අද එන්න ගෙවල් පැත්තේ ආරි­ය­වංශ රණ­වීර | සිළුමිණ

අද එන්න ගෙවල් පැත්තේ ආරි­ය­වංශ රණ­වීර

තවමත් මල් ආරියවංශ රණවීර කිවිඳුන්ගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. දශක හතරකටත් වඩා අධික කාලයක් පුරා කාව්‍යකරණයෙහි නිරත ව සිටින ප්‍රවීණ කිවියර රණවීරයෝ තම කාව්‍ය නිර්මාණ සංග්‍රහ රැසක් සඳහා, රාජ්‍ය සාහිත්‍ය, විද්‍යෝදය, ගොඩගේ, රජත පුස්තක ආදී සම්මාන උලෙළ සම්මානයෙන් පුද ලැබ ඇත්තාහු ය. සංක්ෂිප්ත කාව්‍ය ආකෘතියෙහි පිහිට‍ා කාව්‍යකරණයට රුචියක් දක්වන හෙතෙම, සඳැස්, නිසඳැස් හෝ නිදහස් ආකෘතියෙන් රචනා කළ නිර්මාණ ද පාඨකයනට පිරිනමා සිටින්නෙකි. ‘අද එන්න ගෙවල් පැත්තේ, නම් ‍ෙම් නිර්මාණය ඔහුගේ නවතම කවි එකතුව තවමත් මල් (අහස ප්‍රකාශනයක්) කෘතියෙන් උපුටා ගත්තකි. ඔහුට අනන්‍ය වූ සංක්ෂිප්ත කාව්‍ය ආකෘතියෙන් බැහැර වී, නිදහස් ආකෘතියෙන් කළ නිර්මාණයකි මෙය.

කවියාගේ කතා නායකයා විසින් ඔහුගේ මිතුරකුට කරනු ලබන ඇරියුමකි, කවියේ ප්‍රස්තුතය වී ඇත්තේ. ඔවුන් දෙදෙනා ම සමාන හදැතතන් ලෙස පාඨකයනට පෙනේ. බොහෝ කලකින් හමු නොවුණු මිතුරාට කවියේ කථකයා ඇරියුම් කරන්නේ, හවස් යාමයේ ඔහුගේ නිවෙස පැත්තේ එන්න කියායි. මධු විතක් තොලාගාන අතරෙහි, මිතුරු සුවඳ දැවැටුණු ආගිය ගමන් බිමන්, විහිළු තහළු දොඩමින් සල්ලාපයක යෙදෙන්නට ය මිතුරා කැඳවනුයේ. එසේ මොහොතක් ගත කරන අතරේ, සප්පායම් වීමට කථකයා ළඟ ඇති මධු පානය පිළිබඳව ද මිතුරාට ඉඟියක් සපයයි.

“පොල් බෝතලේ තුන් කාලක් විතුර ඇති පරණ කළ ඒවා තනියම ටික ටික වග කියලා පලක් නෑ”

ඔහු ඉඳහිට තනිවම මධු විතක් ගන්නකු බව හැඟුණ ද ඉන් තෘප්තියක් නොලබන නිසා විය යුතුය පැරැණි මිතුරා කැඳවනුයේ. කවියේ කතානායකයා ගේ බිරිය තම සැමියාගේ මේ ක්‍රියාකාරකම්වලට හිත යටින් කැමැති නොවූවද සැමියා සිත ‍නොරිදවනු කැමැත්තී, අකමැත්ත සඟවා‍ෙගන සිටින්නීය. එමතුදු නොව, ඔවුන් දෙදෙනාගේ මිතුරු සමාගමයට මධු පානයට ඇවැසි අඩුම කුඩුම ද සපයා දෙනු ඇතැයි මිතුරාට දන්වයි.

‘හාමිනේ කරවල ටිකක් බැදල දේවි

මිරිස් කරල් දෙක තුනකුත් එක්ක

රටලූණු මුසුකර..”

දෙමිතුරන්ගේ සුන්දර හමුවීමක් පාඨක සිතෙහි චිත්තරූපයක් ලෙස චිත්‍රණය කිරීමට කවියා සමත් වේ. කතා නායකයාගේ ලොකු පුතුට ඉදිරි දිනෙක විභායායක් ඇති බැවින්, ඔහුට කරදර නොවන සේ දෙදෙනා හමු වී කතා බහ කරන ඉසව්ව ද කථකයා විසින් සැලසුම් කොට හමාර ය.

“ලොකු කොලුවා ළඟ එන විභාගෙට

මේ දවස්වල පාඩම් කරනවා

කරදර නොකර ඌට

අපි ඉඳ ගනිමු

මිදුලේ ටිකක් ඈතින්

මේ දවස්වල හොඳට හඳ එළිය”

පරණ කළ මධු පානය, මිතුරු සුවඳ, ගමන බිමන, විහිළු තහළු, රටලූණු, මිරිස් කරල් සමඟ කරවල බැදුම, හොඳට ‘පෑයූ හඳ එළිය, මිතුරු ‘හමුවේ සුන්දරත්වය අපූරුවට කියා පාන්නේ යැයි හැ‍ඟේ.

කවියේ කථකයා, ඔහුගේ බිරිඳ, මෙන් ම ඇරැයුම් ලබන මිතුරා ගේ ද චරිත ස්වභාව හඳුනා ගැනීම ව්‍යංගයෙන් පැවසීමට කවියා සමත්වේ. සැමියාගේ මධු පානයට අකමැති, එහෙත් ඔහු සිත රිදවීමට අකමැති මෙන් ම, ඔහුගේ මිතුරු සමාගමයට ඇවැසි දේ දන්නා හොඳ බිරිඳක්, බීමට ඇබ්බැහි නොවුණු දරුවන්ට ආදරය කරන, හුදෙකලා වී සිටින චරිතයක්, පාඨකයන් හමුවට රැගෙන ඒමට කවියා විසින් උපයුක්ත, සරල බස් වහර පිටිවහලක් වී ඇත. ඔවුන් හමු වූ පසු කතා කරන්නේ මොනවාද? පාණ්ඩිත්‍යය, දර්ශනවාද ආදිය නම් නොවේ. සරල ජීවිත ගත කරන ඔවුන් දෙදෙනාට ම ඔවුන් දෙදෙනා ම දන්නා හඳුනන මිතුරන් ගේ ගති සොබා, පුරසාරමක්, සිදු වූ අලකලංචියක් පිළිබඳ කතා කරන්නට හැකිය. කොක්සන් හඬ න ගා සිනාසෙමින්, ඔවුන් වටකොට ඇති පාළුව මකාගෙන, මධු බෝතලය හිස් වන කල්හි, නැගිට, බත් ටිකකුත් කාලාම යමු යැයි, මිතුරා ගේ ඇරැයුමෙහි වේ.

හුදෙකලා වූ මිනිස් සිතක ජනිත වූ අහිංසක, අපූරු හැඟුම් ධාරාවක් ඔස්සේ, ජීවිතයක්, හැසිරෙන ස්වභාවය, කවියාගේ පරිකල්පනය ඔස්සේ, පෙළ ගැසේ. මධුවිත පානය කරන මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකට වඩා කවියේ යටි පෙළ ඔස්සේ කවියා මතු කිරීමට උත්සාහ ගනු ලබන මිනිස් සන්තානයක, සුයිම් වේදයිත, කවියට ප්‍රස්තුත වූ ජීවිතානුභූතියට පාඨක අප සහභාගී කර ගැනීමට සමත් වේ. අපූර්ව ගුණය කාවනුභූතියෙහි අප දකින සුවිශේෂී ගුණය වේ.

අද එන්න, ගෙවල් පැත්තේ...

අද එන්න අපේ ගෙවල් පැත්තෙ හවසට

හමු උණෙත් නෑනෙ ටික කලකින්

පොල් බෝතලේ තුන් කාලක් විතර ඇති

පරණ කළ ඒවා

තනියම ටික ටික වග කියලා පලක් නෑ

මිතුරු සුවඳ පරණ ගමන බිමන විහිළු තහළු එක් නොකර

හාමිනේ කරවල ටිකක් බැඳල දේවි

මිරිස් කරල් දෙක තුනකුත් එක්ක

රටලූණු මුසුකර

දන්නවා මම එයා කැමති නෑ ඕවාට හිත යටින්

ඒ උනත් පෙන්නන්නෙ නෑ මගේ හිත රිදෙයි කියලා

ලොකු කොලුවා ළඟ එන විභාගෙට

මේ දවස්වල පාඩම් කරනවා

කරදර නොකර ඌට

අපි ඉඳගනිමු

මිදුලේ ටිකක් ඈතින්

මේ දවස්වල හොඳට හඳ එළිය

මහබර දේවල් මොටද අපට

සුළු මිනිස්සු අපි

දන්නා අඳුනන උන්ගෙ

හැටි සොබා, පුරසාරම්, අලකලංචි ටිකක් මතක්කර

කොක්සන් සිනා දීලා

වට කරන පාළුව පලවා

බෝතලේ අඩිය පේන විට

නැගිටිමු

බත් ටිකක්

කාලා ම

යන්නට

අදහස්