අකුරු ඉගෙ­න­ගත් අත්තම්මා | සිළුමිණ

අකුරු ඉගෙ­න­ගත් අත්තම්මා

‘How I taught my grandmother to read’ කෙටිකතාවේ පරිවර්තනය.

මා දොළොස් හැවිරිදි දැරියකව සිටි කාලයේ , මගේ ජීවිතය ගෙවුණේ උතුරු කර්ණාටකයේ පිහිටි අත්තම්මලාගේ නි‍ෙවසේ ය. ඒ දිනවල ප්‍රවාහන පහසුකම් අද මෙන් දියුණු නොවී ය. එබැවින් උදෑසන පුවත්පත අප අතට ලැබුණේ සුපුරුදු ලෙස හැමදාමත් සවස්වරුවේ ය. සති අන්ත සඟරා අප ගම්මානයට ළඟාවන විට දිනයක් කල් ඉකුත් වී තිබුණි. නමුත් ගම්මානයේ අපි සියල්ලෝම පුවත්පත්, සඟරා හා ලිපි රැගෙන ගමට පැමිණෙන බස් රථ එනතෙක් පුලපුලා මඟ බලා සිටියෙමු.

එකල ‘කණ්ණඩ’ බසින් සාහිත්‍යකරණයේ යෙදුණු ‘ත්‍රිවෙනි’ නම් ප්‍රසිද්ධ ලේඛිකාවක සිටියා ය. ඈ සැබවින් ම අපුරු වූවා ය. ඇගේ ලේඛන රටාව කියැවීමට පහසු සරල එකක් වූවා මෙන්ම කියවන්නන්ගේ විශ්වාසය නොබි‍ඳෙන‍ සේ කතන්දර ගෙත්තම් කිරීමට ඈ සමත්කම් පෑවා ය. ඇගේ ඒ අපූරු කතන්දර බොහෝමයක් සමාජයේ ජීවත්වන පොදු මිනිසුන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ මානසික ගැටලු ගැඹුරින් විවරණය කළ අවස්ථා ය. නමුත් තණ්නඩ සාහිත්‍යයේ අභාග්‍යය සැමට කියාපාමින් ‘ත්‍රිවෙනි’ තුරුණු වියේදී ම මරු තුරුලට පිවිසුණා ය. එහෙත් වසර හතළිහකටත් පසු අදටත්, මිනිසුන් ඇය පිළිබඳ කතාබහ කිරීමත් ඇගේ නවකතා අගය කිරීමත් අතහැර දමා නැත.

ත්‍රිවෙනිගේ ප්‍රසිද්ධ නවකතාවක් වූ ‘කාෂි යාත්‍ර’ නම් නවකතාව, කොටස් වශයෙන් කණ්නඩ ‘කර්මවීර’ සතිපතා පුවත්පතේ එකල පළ වූ හැටි මට තාම මතක ය. මහලු කාන්තාවක් වටා ගෙතී තිබූ මේ නවකතාව, ‘කාෂි’ වන්දනාවේ හෝ බරණැස් වන්දනාවේ යාමට ඇය තුළ තිබූ නොතින් ආශාවන් අපුරුවට විස්තර කළේ ය. ‘කාෂි’ ගොස් විශ්වේශ්වර දෙවියන් වන්දනා කිරීම සැමතින් උසස් අත්‍යන්ත වූ පුණ්‍යකර්මය බව බොහෝ හින්දු බැතිමත්හු විශ්වාස කළහ. එ් මහලු කත ද හින්දු විශ්වාසයෙන් සිත පුරවාගෙන කාෂි වන්දනාවේ යෑමට කළ අරගලයේ කතන්දරය කාෂි යාත්‍ර නවකතාව පාඨකයා හමුවට ගෙන ආවේය. නමුත් මේ කතාවේ තවත් පැතිකඩක් තිබුණි. මහලු කාන්තාව සේම අනාථ යුවතියක ද අපට කතන්දරයේ දී මුණ ගැසෙයි. මේ යුවතියට ඈ පෙම් කරනා තරුණයා සමඟ විවාහ වීමට වුවමනා වුවත් මංගල උත්සවයක් සඳහා වියදම් කෙරුමට තරම් ඈ සතුව මුදල් නොවීය. අවසානයේදී මේ සියල්ල දැනගන්නා ඒ මහලු කාන්තාව, ඇය කාෂි වන්දනාට ඉතිරි කරගෙන තිබුණා වූ මුදල් සියල්ල ම මෙකී යුවතියට පරිත්‍යාග කරන්නී ය. “මේ අනාථ යුවතියගේ සිතෙහි ඉපදෙන සන්තෝෂය, කාෂි ගොසින් විශ්වේෂ්වර දෙවියන් වඳිනවාටත් වඩා මට වටිනවා” යැයි අවසානයේදී ඒ මහලු කාන්තාව කීවා ය.

මගේ අත්තම්මා, නමින් ‘ක්‍රිෂ්තක්කා’ ය. කිසි දිනෙක පාසල් නොගිය ඇයට කෙලෙසකවත් අකුරු කියවීමට නොහැකි විය. සෑම බදාදාවක ම අප ගමට සඟරාව පැමිණි විට මම කතවේ දිගහැරුම ඇයට ඇසෙන සේ හඬ නඟා කියවමි. එවිට ඇය ඇගේ සියලු වැඩ නවතා දමා සාවදානව කතන්දරය අසන්නී ය. කතන්දරයට සවන්දීමෙන් පසු ඇයට මුළු කතන්දරය ම පාහේ බිඳකුදු නෑර කටපාඩමින් කීමට හැකිය. මගේ අත්තම්මා ද කිසි දින කාෂි වන්දනාවේ ගොස් නැත. එහෙයින් ‘කාෂි යාත්‍ර’ නවකතාවෙහි වීරවරිය තුළින් අත්තම්මා දු‍ටුවේ අැගේම රුවයි. එහෙයින් කතාවේ ඉතිරි කොටස් පළ වනතුරු අතිමහත් නොඉවසිල්ලකින් පුලපුලා බලා සිටි තැනැත්තිය ඇයයි. එසේම ඇයට ඇසෙන්නට මා කතන්දරය කියවනා බවත් ඈ සැම හමුවේ පැවසුවේ ඉතා ආශාවෙනි.

කාෂි යාත්‍ර හි සිදුවන්නා වූ සියලු දේ හොඳින් අසාගත් පසු අත්තම්මා පන්සල් වත්තට ගොස් එහි දී ඇගේ මිතුරියන් හා එක්වන්නී ය. දරුවන් වූ අප ද එහි යාමට පුරුදු වී සිටියේ හැංගි මුත්තන් කිරීමට ය. එහි යන අත්තම්මා, ඇය ස්වල්ප වේලාවකට පෙර ඇසු කාෂි යාත්‍ර හි නවතම කතාංගය ඇගේ මිතුරියන් හා රස කරමින් බෙදාගනී. කාෂි යාත්‍ර නවකතාව පිළිබඳ එතරම් සංවාද කුමට කෙරුණේදැයි එකල මා හට නිසි අවබෝධයක් නොවීය.

දිනක් මම මංගලෝත්සවයක් සඳහා ඥාති සොහොයුරන් හා සමඟ අසල්වැසි ගම්මානයට ගියෙමි. ඒ දිනවල මංගල උත්සවයක් යනු උත්කර්ෂවත් අවස්ථාවකි. වැඩියෙන්ම එයින් විනෝද වූයේ ළමා වයසේ පසු වූ අප ය. ඇති පදන් නොයෙක් රසකැවිලි රසවිඳීමටත්, කෙළි සෙල්ලමේ යෙදීමටත් අපට අවස්ථාව හිමි වුණේ වැඩිහිටියන් විවිධ වැඩ රාජකාරි මධ්‍යයේ කාර්යබහුල වූ බැවිනි. එලෙසින් ලද නිදහස අප සැමගේ ප්‍රහර්ෂයට හේතු විය. දින දෙකකට පමණක් සූදානම්ව ගිය මම අවසානයේ එහි සතියක් ම නතර වී උන්නෙමි.

මා නැවත අප ගම්මානයට පැමිණිවිට අත්තම්මාගේ මුහුණ සොවින් බර වී කඳුළින් පිරී තිබෙණු දුටුවෙමි. එයින් මා පුදුමයට පත් වූයේ ඇය අතිශය වේදනාකාරී අවස්ථාවලදී පවා කිසිවිට නොහැඬු නිසා ය. මා නැති අතර කුමක් නම් සිදුවන්නට ඇත්ද? මම තැවුලට පත් වීමි.

“හැමදෙයක්ම හොඳින් නේද අව්වා? මොකද වුණේ?” උතුරු කර්ණාටකයේ භාවිත කණ්ණඩ කටහරෙහි ‘ අම්මා’ යන තේරුමින් මම අත්තම්මා, ‘අව්වා’ කියා ඇමතීමට පුරුදු වී සිටියෙමි. අද හිස වැනුවා විනා කිසිත් නොකීවාය. මට ද වැඩි යමක් ඈ‍ කෙරෙන් නොවැටහුණු නිසා ඒ සිදුවීම වැඩිකල් නොගොස්ම මතකයෙන් ගිලිහිණි. රාත්‍රිය උදා වූ විට අපි ආහාර ගෙන විවෘත ස්ථානයක් වූ ගෙයි වහල උඩ තට්ටුවේ නින්දට යන්නෙමු. ග්‍රීෂ්ම රාත්‍රියක් වූ එදින පුර හඳ ද අපුරුවට පායා තිබුණු සැටි මතක ය. අත්තම්මා පැමිණ මා අසලින් හිඳගත්තාය. අගේ ආදරණිය දෑස් මාගේ නළල පිරිමදින්නට විය. ඇය යමක් පැවසීමේ වුවමනාවෙන් පසුවෙන බව වටහා ගනිමි. “ඇයි අව්වා? “ මම ඇගෙන් විමසීමි.

“මම පුංචි දැරිවි කාලෙම මගේ අම්මා නැති වුණා. මා ගැන හොයලා බලන්නවත් මට හොඳ නරක කියලා දෙන්නවත් කිසි කෙනෙක් හිටියේ නෑ. හරිම වැඩ රාජකාරි ගොඩක් මැද හිරවෙලා හිටිය අපේ තාත්තා ආයෙත් කසාදයක් කරගත්තා. ඒ දවස්වල ගෑනු ළමයින්ට අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනේ දෙන්න ඕනි කියලා මිනිස්සු එච්චර හිතුවේ නෑ. ඉතින් මං ඉස්කෝලෙ ගියෙත් නෑ. බොහොම තරුණ වයසෙන් කසාද බැඳපු මට ඉක්මනටම දරු‍වොත් ලැබුණා. ඕවත් එක්ක මටත් කරන්න වැඩපොළ ගොඩාක් ගොඩගැහුණා . පස්සේ කාලෙදී ඔයාලා, මගේ මුනුබුරු මිනිබිරියෝ ටිකත් ඉපදුණාට පස්සේ එක එක කෑම ජාති උයලා ඔයාලගෙ බඩවල් පුරවලා මම බොහෝම සන්තෝස වුණා. පෙළක් දවස්වල දී නම් ඉස්කෝලෙ නොයෑම ගැන මං දුක් වුණා තමයි. ඒ හන්දා මං හිතාගත්තා මගෙ දරුවන්ටයි, දරුවන්ගෙ දරුවන්ටයි හොඳින් උගන්නන්න ඕනෙමයි කියලා!”

වයසින් අවුරුදු හැටදෙකක් පමණ වූ අත්තම්මා, වයස අවුරුදු දොළහක් වූ මා වැනි දැරියකට රාත්‍රිය මධ්‍යයේ ඇගේ ජීවිත කතන්දරය පැවසීමේ අරමුණ මා හට නොවැටහිණි. නමුත් මා අත්තම්මාට ඉමහත් ළෙන්ගතුකමක් දැක් වූ හන්දා ඇය සතුව යම් අරමුණක් ඇති බව සිතුවෙමි. මම ඇගේ මුහුණ බැලිමි. එහි වූයේ ශෝකී බැල්මකි. ඇගේ දෑස් කඳුළින් පිරීගොස් තිබුණි. මනා පෙනුමක් තිබුණු මගේ අත්තම්මා නිතර පසු වූයේ සිනාමුසු මුහුණිනි. අදටත් මා හට ඇගේ මුහුණේ පිරි තිබු ඒ ශෝකාකූල පෙනුම අමතක කළ නොහැකිය. මම ඉදිරියට නැමී ඇගේ අතකින් අල්ලා ගත්තෙමි. “අඬන්න එපා අව්වා. මේ ප්‍රශ්නෙ මොකක්ද මට කියන්නකෝ! මට පුළුවන් ද අත්තම්මට උදව්වක් කරන්න ?”

“ඔව් මට ඔයාගෙ උදව් ඕ‍නෙ තමයි. දන්නවද ඔයා එහා ගමේ ගිහිං හිටපු දවස්වල කර්මවීර පත්තරේ ආවා. මං කතාව තියෙන පිටුවට පෙරළුවා. කෘෂි යාත්‍රා කතාවට ගැළපෙන චිත්‍ර තිබුණා. ඒත් ලියලා තිබුණ එක අකුරක්වත් මට තේරුණේ නෑ. හුඟ සැරයක් මං මගේ ඇඟිලි ඒ අකුරු අතරින් එහාට මෙහාට ගෙනිච්චා. පත්තරේ පිරිමැද මැද මං ඒ අකුරු අතගෑවෙ මොනවා හරි දෙයක් මටත් තේරේවි කියලා හිතාගෙනයි. ඒ වුණාට ඒක හරියන්නෙ නෑනෙ කියලා මං දැනන් උන්නා. අකුරු ඉගෙනීම විතරමයි විසඳුම මේකට. ඔයා ආපහු එනකං මං මඟ බලන් උන්නෙ. මීට කලිං ඇවිත් මට පත්තරේ කියවයි කියලයි හිතුවෙ. ඒ විතරද එහා ගමට ගිහිං ඔයාව හොයාගෙන ඒ වෙලාවෙම කතන්දරේ අහගන්නත් මට හිතුණා. මේ ගමේම අකුරු සාස්ත‍ෙර් දන්න කෙනකුට කිව්වා නම් කියලා දේවි. ඒත් මට ඒ දේට ලැජ්ජා හිතුණා මා දූ, කතාවෙ ඉතුරු කොටස දැනගන්නකං ඉවසිල්ලක් නැති නිසා මට මහා අසරණකමකුත් දැනුණා. අපි කොච්චර පෝසත් වුණත් මට ම කියලා තනියම අකුරක් කියවගන්න බැරිනම් ඔය සල්ලි වලින් ඇති පලේ මොකක්ද?”

අත්තම්මාගේ මේ පැනයට දිය යුතු පිළිතුරක් නම් මට මතකයට නගාගත නොහැකි විය. ඈ දිගටම තවත් දෑ කීවාය. “හෙට ඉඳං මං කණ්ණඩ අක්ෂර මාලාව ‍ඉගෙනගන්නවා කියලා තීරණේ කරලා අහකයි. මං කැපවෙලා වැඩ කරන්නම්. දසරා උත්සවේ සරස්වතී පූජා දිනය තමයි මගේ අකුරු ඉගෙනීමේ අන්තිම දවස. ඒ දවස වෙද්දිං මට තනිව ම නවකතා පොතක් කියවන්න පුළුවන් වෙලා තියෙන්න ඕනෙ. මටත් එතකොට ස්වාධීන මනුස්සයෙක් වෙන්ඩ බැරියැ!”

ඇගේ මුහුණේ ඇඳී තිබූ තිරසාර අධිෂ්ඨානයේ පැහැය මම හොඳින් දුටුවෙමි. නමුත් එකවරම මට සිනා පහළ විය.

“අව්වා, මෙච්චර අවුරුදු හැට දකක් වයස ගිහිල්ලත් අක්ෂර මාලාව ඉගෙනගන්න ඕනෙද? බලන්න අත්තම්මගෙ කෙස් ගසුත් ඔක්කොම පැහිලා, අත් රැලි වැටිලා, කණ්ණාඩිය දානවා නේද? කුස්සියෙ වැඩත් ගොඩාක් තියාගෙන කොහොම ඉගෙනගන්න ද?” සුරතල් බස් පවසමින් මම මේ වයස්ගත කත විහිළුවකට ගත්තෙමි. නමුත් ඈ පෙරළා මා හා හිනැහුණා ය.

“යහපත් දේකට හිත යොමු කරලා, දැඩි අධිෂ්ඨානයක් හිතට ගත්තා ම අපි ඉදිරියෙ තියෙන කිසි ම දෙයක් බාධකයක් නෙවෙයි දරුවෝ. ඕනිම බාධකයක් ජයගන්න පුළුවන්. හැමෝටම වැඩියෙන් මං කැප වෙන්නම්. මං කොහොමහරි අකුරු ඉගෙනගන්නවාමයි. ඉගෙනීමට වයස් සීමාවක් නෑනේ.”

ඊළඟ දින පටන් මම ගුරු වෘත්තියට පිවිසියෙමි. අව්වා සැබැවින් ම අපූරු සිසුවියක් වූවා ය. සිතාගන්නටවත් නොහැකි තරමින් ඈ ගෙදර වැඩ නිම කළේ තොග පිටිනි. ඇය කියවූවාය, නැවත නැවතත් කියවූවාය, ලිවීමත් ප්‍රගුණ කළාය. ඇය ලියූ දෑ යළි යළිත් කියවූවාය. ඇගේ එක ම ගුරුතුමිය මා ය. මගේ ද පළමු සිසුවිය ඇයයි. අනාගතයේ දිනක මම පරිගණක විද්‍යාව උගන්වන ගුරුවරියක වී ළමයි සිය ගණනකට උගන්නාවි යැයි එදින නම් නොසිතුවෙමි.

දසරා උත්සවය ද සුපුරුදු පරිදි උදා විය. ඒ දිනවල ම වාගේ කොටස් එකතු කර නවකතාවක් ලෙස මුද්‍රණය වී තිබූ කෘෂි යාත්‍රා පොත මම රහසේ ම මිලදී ගත්තෙමි. අප නිවසේ පූජාව පවත්වන කාමරයට මා හට කතා කළ අත්තම්මා එහි වූ බංකුවක් පෙන්වා අසුන් ගන්නා ලෙස පැවසුවාය. අනතුරුව ඈ මට ගවුම් රෙද්දක් තෑගි කළා ය. නමුත් ඉන්පසු කළ දේ නම් කිසිදින ඇයතින් සිදු නොවුණකි. බිමට නැමුණු අත්තම්මා මගේ දෙපා ස්පර්ශ කළා ය. මම එයින් අතිශය විස්මයට පත් වූවෙමි. වැඩිහිටියෝ කිසි දින බාලයන්ගේ දෙපා ස්පර්ශ නොකරති. අප ස්පර්ශ කරන්නේ දෙවියන්ගේත්, වැඩිහිටියන්ගේත්, ගුරුවරුන්ගේත් දෙපා පමණි. හින්දු සංස්කෘතියට අනුව අප අනෙකාට ගරුබුහුමන් දක්වන්නේ එලෙසිනි. එය මා හැඟි සංස්කෘතිකාංගයක් වුවත් අද සිදු වූයේ එහි අනෙක් පසයි. එය වරදකි.

“මම මේ ස්පර්ශ කරන්නේ ගුරුතුමියකගේ දෙපා මිස මගේ මිනිබිරියගේ දෙපා නෙවෙයි. මට බොහොම ආදරෙන්, බොහොම අපූරුවට අකුරු උගන්වපු ගුරුතුමියයි මේ. ඒ නිසාම මෙච්චර කෙටි කාලෙකින් ඕනෑම නවකතාවක් කියවන්න හැකි විදිහට මගේ කියැවීමේ හැකියාව වර්ධනය වුණා. මම දැන් ස්වාධීනයි. කවුරුත් මත යැපෙන්න ඕනෙ නෑ. ඉතින් ඒ ගුරුතුමියට බුහුමන් දැක්වීම මගේ වගකීම. වයසත්, ස්ත්‍රී පුරුෂ බවත් නොබලා ම අපි ගුරුවරයෙකුට ගෞරව කළ යුතුයි කියලා අපේ ධර්ම ග්‍රන්ථවලත් ලියවෙලා තියෙනවා නේද?”

මම ද ඇගේ දෙපා ස්පර්ශ කොට පෙරළා නමස්කාර කළෙමි. පසුව මගේ ප්‍රථම ශිෂ්‍යාවට හිමි ත්‍යාගයත් පිරිනැමුවෙමි. එය විවෘත කළ ඈ ‘ත්‍රිවෙනි කෘෂි යාත්‍ර’ නම් කෘතියේ නමත් ප්‍රකාශන ආයතනයේ නාමයත් කඩිනමින් කියවූවාය.

අකුරුකරණයෙන් මගේ ශිෂ්‍යාව ඉහළින් ම සමත් වී ඇති බව එවිට මට ද අවබෝධ විය. 

Comments