‘මම කෙළින් මිනි­හෙක්’ හා දෙකට නැවුණ මිනිස්සු | සිළුමිණ

‘මම කෙළින් මිනි­හෙක්’ හා දෙකට නැවුණ මිනිස්සු

කලා කෘති තුන­කට එරෙ­හිව පැන­නැ­ඟුණු බාධා කිරීම් කිහි­ප­යක් නිසා මෙරට කලා­ක­රු­වන් අතර පසු­ගිය දා දැඩි තිගැ­ස්මක් ඇති විය. ඒ අනුව මාලක දේව­ප්‍රි­යගේ ‘ගුව­න්වි­දුලි නාට්‍ය මාලාව’, කේ කේ ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්ති­යා­දුව’ හා අසංග සාය­ක්කා­රගේ ‘මම කෙළින් මිනි­හෙක්’ වැනි කලා නිර්මා­ණ­ව­ලට බාධා කිරීම සම්බ­න්ධ­යෙන් කලා­ක­රු­වන්ගේ විරෝ­ධය පළ කරන ප්‍රවෘත්ති සාක­ච්ඡා­වක්ද පැවැ­ත්විණි.

එදා-මෙදා තුර හැම­දාම කලා කෘති වාර­ණය සම්බ­න්ධ­යෙන් සමා­ජය තුළ තිබුණේ ලොකු අර­ග­ල­යකි. එසේම එදා පටන්ම කලා කෘති වාර­ණය සදහා පද­නම් කර­ගත්තේ පව­තින ආණ්ඩුවේ සදා­චා­ර­මය ස්ථාව­රය මිස, යම් නිශ්චිත රීති පද්ධ­ති­යක් නොවේ. වරක් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස හිටපු ජනා­ධි­පති රණ­සිංහ ප්‍රේම­දා­සගේ හිතෛ­ශි­යකු වූ ආර්. පල්ලෙ­වෙල කට­යුතු කළේය. ඔහු දිගට හර­හට සිනමා කෘති වාර­ණ­යක යෙදුණ අතර, ඒ සිය­ල්ලට පද­නම් කර­ගත්තේ ඔහුගේ සදා­චා­ර­මය ආක­ල්පය. එදා මේ හැසි­රීම විවේ­ච­නය කළ ‘රාවය’ පුව­ත්පත උත්ප්‍රා­සා­ත්ම­කව ප්‍රකාශ කළේ මේ විදි­හට තමන්ගේ ලිංගික අව­යව වුවද කපා ඉවත් කිරී­මට ආර් පල්ලෙ­වෙල පෙල­ඹේ­විය යන්නය!

කලා­කෘති අධී­ක්ෂ­ණය සදහා තාක්ෂ­ණික මිනුම් දඬු කිහි­ප­යක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩ­ල­යට ඇතත් බොහෝ නිර්මාණ වාර­ණය කිරී­මට ඉති­හා­සය පුරා රජය පෙලඹී ඇත්තේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ දේශ­පා­ල­ක­යන්ගේ හෝ සදා­චා­ර­මය ආක­ල්ප­යන් මතය. මෙය බර­ප­තළ තත්ත්ව­යක් වන්නේ ‘සදා­චා­රය’ යන්න විවිධ අයු­රින් අර්ථ දක්වා­ගෙන කලා කෘති වාර­ණය කිරී­මට රජ­යට බලය ලැබෙන බැවිනි. එසේම මේ කිසිම මිනුම් දඬු­වක් හෝ නැතිව රාජ්‍යයේ දේශ­පා­ලන අව­ශ්‍යතා මත කලා කෘති වාර­ණය වූ අන්ද­මද නොර­හ­සකි.

නිර්මාණ වාර­ණය සදහා රජ­යට ආය­තන කිහි­ප­යක්ම පවතී. ප්‍රසිද්ධ රැඟුම් පාල­කන මණ්ඩ­ලය ඉන් එකක් පමණි. එය කලා නිර්මාණ සම­තලා කර­දැ­මී­ම­ටම පිහි­ටුවා ඇතත්, පන­වන නීති-රීති තුළ කලා කෘති කිරී­මට බොහෝ නිර්මා­ණ­ක­රුවෝ පෙලඹී සිටිති. උදා­හ­ර­ණ­ය­කට: අසංග සාය­ක්කාර ‘මම කෙළින් මිනි­හෙක්’ නිෂ්පා­ද­නය කළේ පව­තින ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල නීති­ව­ලට එකඟ වෙමිනි. නාට්‍ය නිෂ්පා­ද­න­යේදී හා භාවි­ත­යේදී එහි එකම හෝ නීති­ය­කට ඔහු අභි­යෝග කර­නවා මා දැක නැත. ගැටුම ඇති වී නාට්‍යය තාව­කා­ලි­කව තහ­නම් වූයේද තාක්ෂ­ණික ප්‍රශ්න­යක් මුල් කොට­ගෙ­නය.

ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩය නිකුත් කළ නිවේ­ද­න­යට අනුව පැහැ­දිලි වන්නේ නාට්‍ය ප්‍රද­ර්ශ­නය කිරීම සඳහා අනු­මැ­තිය ගත් කොන්දේසි පසුව කඩ කර ඇති බවත්, ඒ කොන්දේසි කඩ කිරීම එහි නිෂ්පා­දක අසංග සාය­ක්කාර විසින් පිළි­ගෙන ඇති බවත්ය. මේ නිවේ­ද­නය නිකුත් කර ඇත්තේ අසංග සාය­ක්කා­ර­ගේද එක­ඟ­තාව මතය. ඒ මිස මේ වන තුරු ඔහු ඊට විරෝ­ධ­යක් දක්වා නැත.

මේ අනුව පැහැ­දිලි වන්නේ නාට්‍ය නිෂ්පා­ද­නය සඳහා රාජ්‍යයේ අධි­පති මතය මුලින් පිළි­ගෙන, පසුව ඒ කොන්දේසි කඩ කර­මින් හැසිරී නාට්‍ය තහ­නම් වූ පසු තමා අතින් වර­දක් සිදු වූ බව පිළි­ගෙන නාට්‍යයේ තහ­නම ඉවත් කර­ගෙන ඇති බවයි. පළ­මුව රාජ්‍යයේ මතය පිළි­ගෙන කොන්දේ­සි­ව­ලට එකඟ වූවා නම් අව­සා­නය දක්වා ඒ කොන්දේසි රැකීම ආචා­ර­ශීල ක්‍රම­යයි. එහෙත් තමා විසින් පිළි­ගත් කොන්දේසි පළ­මුව කඩ කර දෙවැ­නිව නොදැ­නු­වත් භාව­ය­කින් ඒවා කඩ වූ බව බල­ධා­රීන්ට පවසා නාට්‍යයේ තහ­නම ඉවත් කර­ගැ­නීම තාක්ෂ­ණික ක්‍රියා­ව­ලි­යකි. එය රාජ්‍යයේ අධි­පති මතය විසින් කලා නිර්මාණ වාර­ණ­යක් ලෙස අර්ථ දැක්විය නොහැ­කිය. කෙසේ වුවත් මේ සම්බ­න්ධ­යෙන් සාය­ක්කා­රගේ මතය පැහැ­දිලි නැත.

ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්ති­යා­දුව’ හා මාල­ක­ගේගේ ‘රේඩියෝ නාට්‍ය’ සම්බ­න්ධ­යෙන් පව­තින්නේ රාජ්‍යයේ අධි­පති මතය මඟින් නිර්මා­ණ­යන් වාර­ණය කිරී­මට තැත් කිරී­මක් බව ස්ථිරය. රාජ්‍යයේ ඒ තිර­ස්චීන හැසි­රී­මට එරෙහි වීමේදී ඒ අර­ග­ලය මොට කර­ගැ­නී­මක් සාය­ක්කා­රගේ නාට්‍ය ප්‍රශ්නය මඟින් සිදු වේ.

කලා නිර්මාණ සම්බ­න්ධ­යෙන් කිසි­යම්ම හෝ සොයා බැලී­ම­කට, නියා­ම­න­ය­කට හෝ වාර­ණ­ය­කට රජ­යට ඇති භූමි­කාව අහෝසි කළ යුතුය. එහෙත් කලා කෘති­වල නිර්මා­ප­ක­යාට පව­තින සමාජ වග­වීම කිසි විට අහෝසි නොවේ. නිර්මා­ණ­ක­රු­වන් තම නිර්මාණ සම්බ­න්ධ­යෙන් සමා­ජ­යට වග­වීම අනි­වාර්ය නිසා අන් කිසි­වකු කතා කර­න්නට කලින් නිර්මා­ණ­ක­රු­වන්ම සමා­ජ­යට ඍජුව කතා කළ යුතුය. ඒ වග­වීම ශක්ති­මත් කර­ගැ­නීම ‘රාජ්‍ය කලා පොලී­සිය’ අහෝසි කිරීමේ අර­ග­ල­යට සාපේ­ක්ෂව කළ යුත්තකි. ඒ සඳහා කලා කෘති නියා­ම­නය කිරී­මට රාජ්‍ය මැදි­හත් වීමෙන් තොර සැලැ­ස්මක් සකස් කර­ගත යුතුය.

කලා නිර්මාණ සම්බ­න්ධ­යෙන් සමා­ජ­යට විය හැකි යම් අග­ති­යක් ගැන නිර්මා­ණ­ක­රු­වන්ම මැදි­හත් වන හා වග­වන ක්‍රම­යක් ඇති කර­ගන්නේ නම්, ඊට මැදි­හත් වීමට රාජ්‍ය­යට ඇති හැකි­යාව අහෝසි කළ හැකිය.

 

- අබ­රන්

අදහස්