පවත්නා ආකෘ­ති­යෙන් බැහැර සන්ධා­න­යක්? | සිළුමිණ

පවත්නා ආකෘ­ති­යෙන් බැහැර සන්ධා­න­යක්?

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී එක්සත් ජාතික පක්ෂ­යත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් නිත­රග ගිවි­සු­මක් යටතේ තරග කරන බවට වූ ආරංචි මාර්ග පසු­ගි­යදා පැතිර ගියේය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස වත්මන් අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිං­හත් අග්‍රා­මාත්‍ය ධුර­යට වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේ­නත් ඉදි­රි­පත් කර­න්නට කතා­බ­හක් ඇති වෙමින් තිබේ. එහෙත් දෙපා­ර්ශ්වය අතර පව­තින නොහොඳ නෝක්කාඩු නිසා අව­සන් සම්මු­ති­ය­කට පැමි­ණෙ­න්නට තව­මත් හැකි­යා­වක් ලැබී නැති බවද ඒ ආරංචි මාර්ග සඳ­හන් කළේය.

මේ අතර ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා පැවැති දෙපා­ර්ශ්වයේ සාක­ච්ඡා­වේදී ආණ්ඩු­ක­ර­ණය සම්බන්ධ කරුණු රැසක් පිළි­බඳ එක­ඟ­තා­ව­කට පැමිණ තිබේ. එය හිත­හොඳ නිත­රග ගිවි­සුම සාර්ථක කර­ගැ­නීම සඳහා කොත­රම් දුරට බල­පා­වි­දැයි කිය­න්නට තවම කල් වැඩිය. කෙසේ වුවත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පොදු අපේ­ක්ෂක මෛත්‍රී­පාල සිරි­සේන ජය ගත් දා සිටම දෙපා­ර්ශ්වය අතර සියුම් හුය­කින් බැඳුණු එක­ඟ­තා­වක් තිබිණි. ඒ අත­රම දෙපා­ර්ශ්ව­යම එකි­නෙ­කාට එල්ල කර­ගන්නා දැඩි වාග්ප්‍ර­හාර නිසා ඒ බැඳීම තුළ පලු­දුද ඇතිව තිබිණි.

මේ අතර ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන හා රාජ­ප­ක්ෂ­ව­රුන් අතර ඒකා­ග්‍ර­තා­වක් ඇති කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් වූ කතා­බ­හක ආරං­චිද පසු­ගිය දා පැතිර ගියේය. ජනා­ධි­ප­ති­ව­රයා මැද­මු­ල­නට ගොස් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහෝ­ද­ර­යාගේ අව­ම­ඟු­ලට සහ­භාගි වීමද මේ ආරංචි මාර්ග පැතිර යෑමට සමා­න්ත­රව සිදු විය. ඇත්ත­ටම ප්‍රධාන දේශ­පා­ලන ධාරා දෙක­ටම කිහි­ලි­කරු ආධාර නැතිව කෙළින් සිට­ගැ­නී­මට නොහැකි දේශ­පා­ලන වාතා­ව­ර­ණ­යක් ඇතිව තිබේ. ඒ නිසා මේ හෙයි­ය­ම්මා­රු­ව­ලට දේශ­පා­ලන අව­කා­ශය තුළ පුළුල් ඉඩ­ක­ඩක්ද නිර්මා­ණය වී ඇති බව රහ­සක් නොවේ.

ඊට තවත් හේතු­වක් වන්නේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කවර අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කර­න්නේ­දැයි සම්බ­න්ධ­යෙන් රාජ­පක්ෂ පාර්ශ්වය තුළද එක­ඟ­තා­වක් නොවී­මයි. තමාම ලොකු ප්‍රසි­ද්ධි­යක් දී ඉහ­ළට ඔසවා තබා­ගත් ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ජනා­ධි­පති හීනය බොඳ වෙමින් පවතී. එසේම බැසිල් රාජ­ප­ක්ෂගේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය සම්බ­න්ධ­යෙන් මුල පටන්ම රාජ­පක්ෂ පාර්ශ්වය තුළ විස­මතා පැව­තිණි. ප්‍රශ්න­යට විස­ඳුම් ලෙස සම­හ­රුන් යෝජනා කළ දිනේෂ් ගුණ­ව­ර්ධ­නද චමල් රාජ­ප­ක්ෂද ශක්ති­මත් අපේ­ක්ෂ­කයෝ නොවෙති.

මේ නිසා රාජ­පක්ෂ පාර්ශ්ව­යට දේශ­පා­ලන කැරි­ස්මා­වක් අවශ්‍ය විය. එවැනි දේශ­පා­ලන කැරි­ස්මා­වක් නොමැ­තිව තම අනු­ගා­මි­ක­යන් ඒක­ග්‍රා­හීව තබා­ගැ­නීම රාජ­පක්ෂ පාර්ශ්ව­යට අප­හසු කරු­ණකි. ඒ සඳහා නීතිය පිළි­බඳ මහා­චාර්ය ජීඇල් පීරිස් යොදා­ග­නි­මින් පළ­මුව නීති ව්‍යාකු­ල­තා­වක් නිර්මා­ණය කළේය. දෙවැ­නිව ‘මහි­න්දට පුළු­වන්’ යැයි මත­යක් සමා­ජ­ගත කර­මින් සිටී. රාජ­පක්ෂ පාර්ශ්වය අතර පව­තින දේශ­පා­ලන අර්බු­ද­යද මේ අනුව එළි­ද­රව් වෙමින් පවතී. එහෙත් එම අර්බු­දය සම­නය කර­ගැ­නී­මට මහා­චාර්ය ජීඇල් පීරිස්ගේ නීති මැජි­ක්ව­ලට නොහැ­කිය.

රාජ­පක්ෂ රෙජී­මයේ උප­ක්‍ර­ම­ශීලි දේශ­පා­ල­කයා වූයේ බැසිල් රාජ­ප­ක්ෂය. ඔහු දේශ­පා­ලන පක්ෂ භේද­භින්න කර­මින් විපක්ෂ මන්ත්‍රී­ව­රුන් ආණ්ඩු­වට ගන්නා ගමන්ම ඉන්දි­යාව සම­ඟද උප­ක්‍ර­ම­ශීලි සාකච්ඡා පව­ත්ව­මින් ගනු­දෙනු බේරා­ග­ත්තේය. ඔහුට නොහැකි වූයේ දෙමළ ජාතික සන්ධා­නය කඩා-බිඳ­දැ­මීම පමණි. මෙව­රද දේශ­පා­ලන ගනු­දෙනු කර­න්නට ඉදි­රි­පත් වී ඇත්තේ ඔහුය. පසු­ගිය මාසයේ අවම ජන සහ­භා­ගි­ත්ව­ය­කින් පැවැති ආණ්ඩු විරෝධි ජන රැලිය සම්බ­න්ධ­යෙන්ද චෝදනා එල්ල වූයේ බැසිල් රාජ­ප­ක්ෂ­ටය.

ආණ්ඩු විරෝධි දේශ­පා­ල­නය තුළ රාජ­පක්ෂ පාර්ශ්වය සිටින්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ එය සාර්ථක කර­ගැ­නී­ම­ටය. විශේ­ෂ­යෙන් බලය අහිමි වීමෙන් අස­හ­න­යට පත්ව සිටින බොහෝ රාජ­ප­ක්ෂ­වා­දීන් අනු­ග­ම­නය කරන්නේ හැඟී­ම්බර දේශ­පා­ලන උප­ක්‍ර­ම­යය. එහෙත් බැසිල් රාජ­පක්ෂ තම මෝරා ගිය දේශ­පා­ල­නය පෙන්නුම් කර­මින් ජන­ප්‍රිය උප­ක්‍ර­ම­ය­න්ගෙන් වෙනස්ව දේශ­පා­ලන භාවි­තා­වක යෙදිණි. ඔහු සෑම­වි­ටම පාහේ ජන­ප්‍රි­ය­වාදි රාජ­පක්ෂ දේශ­පා­ල­න­යෙන් වෙනස් විය. මේ අතර පසු­ගිය දා වාර්තා වූයේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී රාජ­පක්ෂ පාර්ශ්ව­යෙන් අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් නොක­ර­න්න­ටය. එම අද­හස උප­ක්‍ර­මික නම් හා සම්මු­තික නම් අග­ති­ය­කින් තොරව එවැනි තීර­ණ­යක ස්ථාව­රව සිටි­න්නට රාජ­ප­ක්ෂ­ව­රුන්ට අප­හ­සු­වක් නැත. ඉන්දි­යාව පවා මේ උප­ක්‍ර­මික ප්‍රවේ­ශ­යට කැමැත්ත පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

තමන්ට නීති­මය හෝ දේශ­පා­ල­නික හෝ පීඩා­වන්ට මුහුණ දෙන්නට නොවන්නේ නම් තව වසර පහක් බලා­සි­ටි­න්නට තරම් හිත­හ­දා­ගැ­නී­මට රාජ­ප­ක්ෂ­ව­රුන් සූදා­නම් නොවන්නේ නම් එය දේශ­පා­ලන අඥා­න­ක­මකි. එවැනි වාසි­ය­කට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ නම් කෙසේ­වත් එකඟ නොවී සිටින්නේ නැත. ඊට හේතුව අවම වශ­යෙන් තම සහෝ­ද­ර­යන්ගේ දාය­ක­ත්වය හෝ නොලබා ශක්ති­මත් ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යකු ලෙස තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජ­පක්ෂ ඉදි­රි­පත් කළ හැකි බැවිනි.

රාජ­පක්ෂ පාර්ශ්ව­යෙන් අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් නොකි­රීම යන්න ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිම අපේ­ක්ෂ­ක­යකු ඔවුන්ගේ පාර්ශ්ව­යෙන් ඉදි­රි­පත් නොකි­රී­ම­කට ලඝු කළ නොහැ­කිය. එවැ­න්නක් දේශ­පා­ල­නික ලෙස සිය­දිවි නසා­ගැ­නී­මක් බව තෙම්ප­රාදු දේශ­පා­ල­ක­යන් වන රාජ­ප­ක්ෂ­වරු හොඳින් දනිති. එනිසා එක්කෝ තම පාර්ශ්වයේ දුර්ව­ල­යකු ඉදි­රි­පත් කිරීම හෝ එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ අපේ­ක්ෂ­ක­යාට සහාය දැක්වීම හෝ ඔවුන්ගේ උප­ක්‍ර­මය විය හැකිය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මේ දින­වල පසු වන දෙකට දෙවා­ර­යක් නැති ස්ථාව­රය තුළ එවැ­න්න­කට එක­ග­වීම ‘ඉබ්බා දියේ දාන්න ඇහු­වාම ඇන්නෑ­වයි’ කීම­කට දෙවැනි නොවේ.

එවැනි ප්‍රවේ­ශ­ය­කට ඉන්දි­යාව එකඟ වනවා කිය­න්නේම ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බට­හිර ඈලිය ඊට එක­ත්ප­සව එකඟ වන බවකි. ඒ සම්බ­න්ධ­යෙන් එක්සත් ජන­පද හිත­මි­තු­රන් වන ජපා­නය ඇතුළු පෙර­දිග රට­වල්ද එකඟ වීම අනි­වාර්ය කරු­ණකි. එහෙත් මහ­ජන චීනය නම් ඊට තම නොකැ­මැත්ත පළ කරන බව ස්ථිරය. ඊට හේතුව එවැ­න්නක් මහ­ජන චීනයේ භූ දේශ­පා­ල­නික උප­ක්‍ර­මික ප්‍රවේ­ශය වන පැරණි සේද මාවත නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­ති­යට (‘one belt and one road’) බාධා­වක් වන බැවිනි.

පැරණි සේද මාවත නවී­ක­ර­ණය කිරීමේ මහ­ජන චීන භූ-දේශ­පා­ල­නික ව්‍යාපෘ­තිය තුළ චීන­යට හිත­වත් රෙජීම පාල­න­යන් දකුණු ආසි­යානු කලා­පයේ බලයේ සිටීම අත්‍ය­ව­ශ්‍යය. මිය­න්මා­රය හා නේපා­ලය තුළ පව­තින රෙජීම මුළු­ම­නින්ම මහ­ජන චීන­යට හිත­වත් නොවූ­වත් භූ-දේශ­පා­ල­නික පිහි­ටීම් නිසා ඒවා කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට චීනය සමත්ය. මාල­දි­ව­යිනේ පව­ති­න්නේද මහ­ජන චීන­යට හිත­වත් රෙජී­ම­යක් වන අතර, ශ්‍රී ලංකාව තුළ පම­ණක් මහ­ජන චීන අභි­ලා­ශ­යන්ට පර­ස්පර රෙජී­ම­යක් පවතී. එහෙත් මහ­ජන චීනයේ අවම අභි­ලා­ශය වන්නේ තමන්ට පක්ෂ­පාතී නොවන්නේ නම් තමන්ට එරෙ­හිව නොයන මට්ට­මක රෙජී­ම­ය­කට තම සහ­යෝ­ගය ලබා දී පව­ත්වා­ගෙන යෑම­ටය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ඊට සම්බන්ධ හෝ රෙජීම පාල­න­යක් ශ්‍රී ලංකාවේ පව­ති­න­වාට වඩා මහ­ජන චීනයේ අභි­ලා­ශය රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ පාල­න­ය­කට බව සක්සු­දක් සේ පැහැ­දි­ලිය. මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ භූ-දේශ­පා­ල­නික ප්‍රවේ­ශ­යට එරෙ­හිව ඇමෙ­රි­කන් එක්සත් ජන­ප­දය ඉන්දීය සාගර කලා­පය තුළ ප්‍රබල ලෙස ක්‍රියා­ත්මක වේ. ඔවුන් ඒ සම්බ­න්ධ­යෙන් ඉන්දි­යාව සම­ඟද සිටින්නේ එක­ඟ­තා­ව­කය. ඉන්දීය කලා­පයේ කට­යුතු සම්බ­න්ධ­යෙන් එක්සත් ජන­ප­දය හා මහ­ජන චීනය බර­ප­තළ ගැටු­ම­කට නොගි­යද දෙපා­ර්ශ්වය අතර පව­තින්නේ සීතල යුද්ධ­යකි. එය පසු­ගිය කාලයේ මාල­දි­ව­යිනේ ඇති වූ දේශ­පා­ලන හැල­හැ­ප්පී­ම්ව­ලදී ඉන්දි­යාව, මහා බ්‍රිතාන්‍ය හා ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය හැසු­රුණු අන්ද­මින්ම තේරුම් ගත හැකිය.

ඉන්දි­යාවේ අභ්‍ය­න්ත­ර­යෙන් අද­හස් පළ වන්නේ මාල­දි­ව­යින් අර්බු­ද­යට මැදි­හ­ත්වීම ඉන්දි­යාව ගෝලීය ප්‍රබ­ල­යකු ලෙස වර්ධ­නය වන පෞරු­ෂය තුළ වැද­ගත් වන බවයි. එවැනි මැදි­හත් වීම­කදී ඇමෙ­රිකා එක්සත් ජන­ප­ද­යත්, එක්සත් රාජ­ධා­නි­යත් ඉන්දි­යා­වට ශක්ති­යක් වනවා නොඅ­නු­මා­නය. ඊට හේතුව වන්නේ ඉන්දීය කලා­පය තුළ මහ­ජන චීනයේ කැපී­පෙ­නෙන වර්ධ­නය එම දෙරට විසින්ද නොඉ­ව­සී­මයි. මහ­ජන චීන­යට ගැති මාල­දි­ව­යිනේ වත්මන් ජනා­ධි­පති යාමීන් පද­වි­යෙන් ඉවත් වීම ඇමෙ­රිකා එක්සත් ජන­ප­ද­යේද එක්සත් රාජ­ධා­නි­යේද කැමැ­ත්තයි.

ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන්ද එක්සත් ජන­ප­දය ඇතුළු බට­හිර ඈලි­යත් ඉන්දි­යා­වත් දරන්නේ එවැ­නිම මත­යකි. ඒ අනුව රාජ­පක්ෂ හිත­වාදී රෙජීම පාල­න­යක් ශ්‍රී ලංකාවේ පැව­තීම ඉන්දි­යාවේ හෝ එක්සත් ජන­ප­දයේ හෝ එහි බට­හිර ඈලියේ හෝ අභි­ලා­ශය නොවේ. එවැනි තත්ත්ව­යක් තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී රාජ­පක්ෂ පාර්ශ්ව­යෙන් අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් වී ජය­ග්‍ර­හ­ණය කිරීම ඉන්දි­යාවේ අභි­ලා­ශය නොවේ. එනිසා ඒ සම්බ­න්ධ­යෙන් අත­ර­මැදි විස­ඳු­ම­කට පැමි­ණී­මට ඉන්දි­යාව නොපැ­කි­ළෙනු ඇත. ඊට රාජ­ප­ක්ෂ­ව­රුන් තල්ලු කරන්නේ රට අභ්‍ය­න්ත­රයේ මතුව ඇති දේශ­පා­ලන ධ්‍රැවී­ක­ර­ණ­යයි.

අභ්‍ය­න්තර හා බාහිර දේශ­පා­ලන තත්ත්ව­යන් තුළ පව­තින දේශ­පා­ලන ආකෘ­ති­යෙන් බැහැර වෙනස් ආකා­ර­යක දේශ­පා­ලන සංධා­න­යන් ඇති වීමත් ඉදිරි ජන­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ඒවා අලුත් ආකා­ර­ය­කින් ආකෘ­ති­ගත වීමත් කාලය පිළි­බඳ ප්‍රශ්න­යක් පමණි.

 

[email protected]

අදහස්