ආසියානු ක්‍රීඩා උ‍ෙලළේ අපේ ශෝකාන්තය | සිළුමිණ

ආසියානු ක්‍රීඩා උ‍ෙලළේ අපේ ශෝකාන්තය

රටවල් හතළිස් පහක් අතර කෙරෙන්නා වූ සටනකින් ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බව දහඅටවැනි ආසියානු ක්‍රීඩා උලෙළ නැවත ලාංකිකයන්ට පසක් කළේය. විශේෂයෙන් අප වැනි ක්‍රීඩාව වල්වැදි රටක තරගයකින් ජය ගැනීම කෙසේ වෙතත් හරි හැටි තරගයක් නිම කර ගැනීම ද අසීරු බව පෙනේ. අපට එසේ නොහැකි වුවද, මානව ජවයට කළ නොහැකි කිසිවක් නොමැති බව සෙසු රටවල් දෙස විමසිලිමත් වෙන විට පැහැදිලි ය.

ඒ සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක විය යුතුය. එකී රට වැසියන්ගේ ජීව විද්‍යාත්මක සාධකයන් ද, භූමියේ සාධකයන් ද, සමඟ මුසු වූ සෙසු භෞතික සාධකයන් ද ප්‍රයෝජනයට ගත යුත්තේ සෙසු අඩුපාඩුකම් මැකී යන අයුරින් ය. මේ සඳහා උදාහරණ ඕනෑ තරම් සොයා ගත හැකිය. දිගු දුර දිවීම් සඳහා අප්‍රිකානුවන් සතු ආධිපත්‍යයත්, කෙටිදුර දිවීම් සඳහා ඇමෙරිකානු දූපත් ආශ්‍රිතව ගොඩනඟාගෙන ඇති ආධිපත්‍යයත් මේ සඳහා සරල උදාහරණ දෙකකි. තවත් අති බහුතර රටවල් ප්‍රමාණයක් සිය අනන්‍යතාව, ශක්තිය සහ නිවැරැදි තාක්ෂණ භාවිතය ආදි කරුණු මත පදනම්ව ක්‍රීඩාවේ ඉදිරි මඟ සැලසුම් කරන විට අප මේ සියල්ල ඉදිරියේ වල්මත් වී ඇති බව පෙනෙයි. ඒ වෙන කිසිවක් නිසා නොව, මනා වූ ජයග්‍රාහි සැලසුම් නොමැතිකම ය.

ජයග්‍රහණ තබා ස්වකීය දක්ෂතා හෝ වර්ධනය කර ගැනීමට ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි බව අද නිමා වන ආසියානු ක්‍රීඩා උලෙළ අපට කියා දෙන පාඩමයි. ශ්‍රී ලංකාවේ භූ පිහිටීම ලොව වෙනත් කිසිදු රටකට නොමැති ආකාරයේ අපූර්වත්වයකින් නිර්මාණය වී තිබේ. සීතල ද මේ භූමියේ ම අනන්‍ය වූ සාධකයකි. එකී සීතල මුහුදු මට්ටමින් මීටර් 2000 කින් උස්වන විට හමුවේ. නමුත් මෙයින් ප්‍රයෝජනයක් ගැනීමට ශ්‍රී ලංකාවේ කිසිඳු ක්‍රීඩාවකට අදටත් සැලසුමක් නැත. ක්‍රිකට් ක්‍රීඩාවේ සිට නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියානු ක්‍රීඩා උලෙළේ ද අසන්නට දකින්නට ලැබෙන පරාජිත අදෝනාවන්ගේ මුඛ්‍ය සාධකයන් වනුයේ පරිසරයයි. එළැඹෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන විට ඊට උචිත දේශගුණික සාධකයන්ගෙන් පිරි නුවරඑළියෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කළ යුතුය. නැතිනම් බලධාරින්ට සිදු වන්නේ එකී තරගාවලිය අවසානයේ පවා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව සමාජය ඉදිරියේ සැලසුමක් නොමැතිකමේ නිරුවත ප්‍රදර්ශනය කිරීමට ය.

අපට නිවැරැදි දැක්මක්, සැලසුමක් වේ නම් මේ භූමිය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව, විදේශිකයන්ට ද උරුමකර දී අති විශාල ප්‍රාග්ධන ආයෝජනයක් වාර්ෂිකව නෙළා ගත හැකිය. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය කේන්ද්‍රකර ගෙන සුපිරි පහසුකම්වලින් පිරි ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණ දෙකක් ඉදිකරන්නේ නම් බොහෝ අදෝනාවන්ට විසඳුම් පොකුරු පිටින් නෙළා ගත හැකිය. මෙකී සැලසුම් එකිනෙකාගේ බඩගොස්තරවාදය සඳහා වන ව්‍යාපෘතීන් නොවී ලාංකේය ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා වන වැඩසටහනක් යටතේ ක්‍රියාවට නැගෙන්නේ නම් අපට ක්‍රීඩාවෙන් බොහෝ දුර යා හැකිය.

අදහස්