අප්පු­හාමි ‍කොලීජියේ සීනි සම්බෝ­ලයි පානුයි කෑ පිය­සේන නිශ්ශංක | සිළුමිණ

අප්පු­හාමි ‍කොලීජියේ සීනි සම්බෝ­ලයි පානුයි කෑ පිය­සේන නිශ්ශංක

මීට ශත වර්ෂයකට පෙර ලේක්හවුස් ආයතනයට බැඳුණු පියසේන නිශ්ශංක මහතා වසර 22 කට පසු ‘සිළුමිණ’ පත්‍රය ආරම්භ කළ විට එහි ප්‍රථම කර්තෘවරයා වීමේ භාග්‍ය ලැබූවෙකි. පසුව ‘දිනමිණ’ පත්‍රයේ කර්තෘ පදවියට පත්ව ඊටත් පසුව ‘බුදුසරණ’ හා ‘සුබසෙත’ පත්‍රවල කර්තෘ පදවිය දරා 1970 ඔක්තෝබර් 11 ‍වැනිදා මිය යන විට 81 වැනි වියෙහි සිටියේ ය.

1918 දෙසැම්බර් 11 දා පියසේන නිශ්ශංක තරුණයා ලේක්හවුස් ආයතනයේ භාෂා පරිවර්තක තනතුරට ඉල්ලුම් කළේ ය. එදා ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් නිශ්ශංක තරුණයාගෙන් මෙසේ ඇසුවේය.

“තමාට පඩිය කීයක් ඕනෑද?”

“සර් මට පඩියක් නැතත් කමක් නෑ. පඩි සල්ලි ගෙදරින් වුණත් අරන් එන්න පුළුවන්. මට ඕනෑ රස්සාවක් විතරයි.”

විජයවර්ධන මහතා රු. 50 මාසික පඩියකට වැඩට බඳවා ගත්තේ ය. භාෂා පරිවර්තක කමින් වාර්තාකාරයකු ලෙස ද ඊළඟට උපකර්තෘවරයකුගේ තත්ත්වයට උසස් වූ නිශ්ශංක මහතා ‘සිළුමිණ’ පත්‍රයේ කර්තෘකම ලැබුණු හැටි ලේඛකයකු වූ ‘මට හමු වූ ලේඛකයෝ’ ග්‍රන්ථය ලියූ මූ. අරුක්ගොඩට විස්තර කර තිබුණේ මෙසේ ය.

“දිනමිණ උප කර්තෘකමේ සේවය කරන කාලයේ දවසක් ඩී.ආර්. විජයවර්ධන මහත්මයා ඔහුට එන්න කියල පණිවුඩයක් එවා තිබුණා. විජයවර්ධන මහත්මයා අතේ ඒ වෙලාවේ ‘ස්වදේශ මිත්‍රයා’ පත්තරයක් තිබුණා. විජයවර්ධන මහත්මයා ඒ පත්තරය නිශ්ශංක අතට දීලා “මෙන්න මේ ප්‍රවෘත්තිය කියවන්න” කීවා. ඔහු ඒ ප්‍රවෘත්තිය කියෙව්වා. “දිනමිණෙ” වැඩ කරමින් සිට අස්වී ගිය ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහත්මයා ආරම්භ කළ ‍ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ඒ ප්‍රවෘත්තියෙන් විජයවර්ධන මහත්මයාට දොස් නඟා තිබුණා. ප්‍රවෘත්තිය කියවා අවසාන වෙන විටම විජයවර්ධන මහත්මයා:

“අපි ඕකට පිළිතුරු දෙන්න අපි පත්තරයක් පටන් ගනිමු. කර්ත‍ෘකම නිශ්ශංක බාරගන්න ඕනෑ.” කීවා. 1930 දී ‘සිළුමිණ’ ඇරඹුණේ ඒ නිසයි. ‘සිළුමිණ’ කර්තෘකමේ අවුරුදු පහක් සේවය කළාට පස්සෙ නිශ්ශංක මහත්මයා ආපසු ‘දිනමිණ’ ට මාරු කළා. ඒ කාලයේ ‘දිනමිණ’ කර්තෘ ව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා ‘සිළුමිණ’ ට ආවා.”

පියසේන නිශ්ශංක මහතා ‘සිළුමිණ’ පත්‍රය ආරම්භ කළාට පසු පත්‍රය හැඳින්වුණේ “සත දහයේ විශ්වවිද්‍යාලය කියා ය. ඔහු සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලක නිශ්ශංක මහතා වැඩිමලා විය. පියා කොස්කඳවල ගම්මුලාදෑනියා ය. මවුපියන්ට උවමනා කළේ ලොකු පුතා දොස්තරවරයකු කිරීමට ය. ඔහු මුලින් ම ඉගෙනීමට ගියේ උඩතුත්තිරිපිටියේ පිරිමි පාසලට ය. පසුව උඩුගම්පොළ ද්විභාෂා පාසලට ගිය ඔහු එතැනින් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය.

නිශ්ශංක ශිෂ්‍යයා ඉගෙන ගන්නා කාලේ විදුහල්පතිවරුන් තුන් දෙනෙකු සිටි බව පවසා තිබුණි. ඩී.බී. ජයතිලක, ජේ.ටී. ඩේවිස්, ඇම්.යූ. මුවර් මේ තිදෙනා ය. ඔහු එදා ආනන්දයේ තොරතුරු කියා තිබුණේ මෙසේ ය.

“ආනන්දයේ වත්ත ඕකම ය. නමුත් ඒ කාලයේ ආනන්දයට අද තරම් (1911 දී පමණ) විශාල ගොඩනැගිලි තිබුණේ නැත. එදා තිබුණේ පරණවාඩිය පැත්තේ සිට හරස් අතටත්, අනික එයට ම අල්ලා ට්‍රෑම්ප් කාර් පාර අතටත් කොට බිත්ති ඇතිව හිංගල උළු හෙවිල්ලා පැරණි ඉස්කෝ‍ල තාලයට සාදන ලද දිග ශාලා දෙකින් යුත් ගොඩනැගිල්ලකි. කොළඹ නගරයේ භූමි සිතියමෙහි එදා ආනන්දය පිහිටි තැන පෙන්වා තිබුණේ ඉංග්‍රීසි කැපිටල් ‘T’ අකුරු හැඩයේ ‍ලකුණකිනි. ඒ කාලයේ පාසල් පටන් ගන්නා ලද්දේ 8.00 ට නොව 10.00 ට ය. ඇරුණේ 4.00 ට හෝ 4.30 ටයි.

මේ ක්‍රමය නගරයේ ළමයින්ට පහසුවක් විය‍. ඔවුන්ට දවල් වේල කා පාසලට පැමිණෙන්නට ද පුළුවන් විය.‍ කෝච්චියෙන් පැමිණෙන ළමයින්ට 10.00 ට පාසල් පටන් ගැනීම සුළු පහසුවක් වුවත් 4.00 න් පසු එය ආපසු ගෙවලට යනවිට රෑ බෝවුණ නිසා ලොකු අපහසුවක් විය. වැඩපිළිවෙළ මෙසේ ව‍ූ නිසා ළමයින්ට දහවල් විවේක කාලය ලැබුණේ එකට ය.

මේ වේලාවට හොඳ පාන් කාරයෙක් පාන් පෙට්ටිය හිස තබාගෙන පාසලට පැමිණියේ ය. උම්බලකඩ හේ ම යහමින් දමා පුස්ම ගහන හොඳ සීනි සම්බෝලයක් සාදාගෙන ආ නිසා ළමයි ඔහුගෙන් පාන් කෑම ප්‍රිය කළහ. ඔහු ගෙනා පානුත්, හොඳට පිළිස්සුණ, අද බොහෝ තැන විකුණන පාන් වගේ මැද අමු නැති හොඳ ඒවා ය. පාරට ගොස් කඩයකින් බත් කනවාට වඩා දවල් වේලට සීනි සම්බෝලත් සමඟ ඔහු ගෙනා සුදු පාන් කෑමට ළමයි ආශා කළහ.

නිශ්ශංක මහතා පවසා තිබුණේ එදා ආනන්දයට හුඟාක් ළමයින් පැමිණ ඇත්තේ පිටිසරනි. තම පිටිසර කම්වලටත්, සිංහලකම්වලටත්, අල්ලන පාසල ඒ නිසාලු. ආනන්දයට මෙකී පිටිසර සම්බන්ධය නිසා එයට ‘අප්පුහාමි කොලිජිය’ යන නම වැටී තිබුණ බව ද නිශ්ශංක මහතා පවසා තිබුණි.

“අප උගන්නා අවධියෙහි ආනන්දයේ ඇති වුණ විශේෂ ම සිද්ධි දෙක නම් ආනන්දයට ‘පාටක්’ තෝරා ගැනීම සහ ක්‍රිකට් කණ්ඩායමක් තෝරා ගැනීම ය. මැරුන් (දුඹුරු රතුපාට) ගෝල්ඩ් (රත්තරන් පාට) යන පාට දෙකේ ඉරි වැටුණු රෙද්දෙන් මසන ලද ආනන්ද පාටේ කෝට් ඇඟලාගෙන ආනන්ද ශිෂ්‍යයන් අන්තර් විද්‍යාලයීය ක්‍රිකට් තරගවලට යන්නට පටන් ගත්තේ මේ කාලයෙහි ය. ආනන්ද ශිෂ්‍යයෙකු පළමු වරට එවකට වූ ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් දිනාගෙන එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට ගියේ ඩී.බී. ජයතිලක මහතා විදුහල්පතිකම කළ කාලයේදීය. ඒ ශිෂ්‍යයා නම් පසු කාලයෙහි ලංකාවේ සුප්‍රකට දේශපාලනඥයකු වූ ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා මහතා ය.”

නිශ්ශංක මහතාගේ පන්ති සගයා වූයේ පසු කලෙක මෙරට විශිෂ්ට කලාකරුවකු වූ හා හේවුඩ් ආයතනයේ මුල් ම අධිපතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. මේ දෙදෙනාම ගම්පහ සිට ආනන්දයට පැමිණියේ මරදානට දුම්රියෙනි. ගම්පහ සිට කොළඹ රජයේ කලායතනයේ පැමිණි මූර්ති අංශයේ ප්‍රධානියා වූ රංජිත් ලියනගේ මහතා නිශ්ශංක මහතා සහ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ගැන අපට පැවසුවේ රසවත් කතාවකි‍.

“හැටේ දසකයේ අග භාගයේ මම ගම්පහ සිට කොළඹට එන දුම්රියේමයි නිශ්ශංක මහතාත්, ජේ.ඩී.ඒ. පෙරේරා මහතාත් පැමිණියේ ඒ නිසා මේ දෙදෙනා සමඟ කතා බහ කිරීමට මට අවස්ථාව සැලසුණා. වරක් ආනන්දයේ ඉගෙනීම ලබන කාලයේ මේ දෙදෙනා කළ දඩබ්බර කමක් මට කීවා. දුම්රියේ ‘හදිසියකට දම්වැල අඳිනු’ කියලා ලියලා තිබුණි. මේ දෙදෙනා කොලු වයසේ සිටි නිසා අර තැනම ‘මෙහි කුඩය එල්ලනු’ කියලා ලිව්වලු. මේ දෙදෙනාගේ පරණ සිදුවීම් බොහොමයක් අපට ඒ දිනවල දුම්රියේදී අහන්න ලැබුණා.” රංජිත් ලියනගේ සිනා සෙමින් කීවේය. පසු කලෙක ජේ.ඩී.ඒ. පෙරේරා මහතා නමින් අද සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ කලාගාරයක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමිකයා රංජිත් ලියනගේ ය.

පියසේන නිශ්ශංක මහතාගේ සමකාලීනයකු වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා 1970 දී ලියූ පුවත්පත් ලිපියක මෙසේ සඳහන් කර තිබුණි‍.

“පුවත්පත් කතුකමින් අස්වූ පසු ද හිතමිතුරකු ලෙස මම ඔහු (නිශ්ශංක මහතා) ඇසුරු කළෙමි. මැ‍රෙන්නට දවස් පහළොවකට පමණ පෙර ඔහු මෙහි පැමිණ බොහෝ වේලාවක් සන්තෝෂයෙන් මා සමඟ කතාබහ කෙළේ ය.

“වික්‍රමසිංහ රෑට බත් කනවාද?” නිශ්ශංක ප්‍රශ්න කෙළේ සිනාසෙමිනි.

“නෑ. මම රෑට පාන් පෙත්තක් හා මාළු පෙත්තක් කනවා. බත් කන්නේ නෑ.”

“මම රෑටත් හොඳට ම බත් කනවා” යි ඔහු සරදම් කරමින් කීවේ ය.

“නිශ්ශංක ටිකක් මහත වැඩියි” කියමින් මම සිනාසුනෙමි.

“රෑට බත් නොකනවා නම් වඩා හොඳයි.”

“මොන බොරු ද? වික්‍රමසිංහත් රෑට බත් කන්න බඩ පිරෙනකං.”

81 හැවිරිදි වියෙහි වුව ද නිශ්ශංකගේ සුහඳ සිත හා ඉරියව් ද ඇබිත්තකිනිඳු වෙනස් නොවී ඇතැයි මට හැඟිණි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුඩුකේඩුකම් හා අහංකාරකම් ද නොගෑවුණු සිත් ඇති ඔහු දකින්නේ හොඳ මිනිසුන්ගේ හොඳ ගති පමණක් නොවේ. නරක මිනිසුන්ගේ ද හොඳ ගති පමණක් දකින සහජ හැඟීම් ඇසක් ඔහුට විය.”

1959 සාහිත්‍ය මණ්ඩලය විසින් තෝරන ලද නවකතාවලින් පහක් එහි ලේකම් කේ.ජී. අමරදාස මහතා විසින් මාර්ටින් වික්‍රමසිංහ මහතාට එවනු ලැබීය. මේ අතර නිශ්ශංක මහතා ගැමි ජීවිතය නිරූපණය කෙරෙන ‘ගිනි සිසිල’ නම් පොත් ද විය. ‘ගිනි සිසිල’ කතාව ගැන වික්‍රමසිංහ මහතා ‘සිළුමිණ’ පුවත්පතේ ලිපියෙන් සඳහන් කර ඇත.

ජීවි‍තයෙහි ගැඹුරු තැන් සිනාමුසු තැන් හා උපහාස රස ද හෙළිකරන තොරතුරුවලින් උසස් තැනක් හිමි වන නිශ්ශංකගේ ඒ කතා පොත ‍මම පළමුවන තෑග්ග ලැබීමට සුදුසු යැයි තේරුවෙමි‍. එහි දුබල තැන් ද මම මඳක් විවේචනය කෙළෙමි. නිශ්ශංකගේ ඒ පොතට පළමු වන තෑග්ග හිමි විය.”

රැකියාවෙන් විශ්‍රාම ගිය නිශ්ශංක මහතා උදේ අනික් අය අවදි වීමට පෙර ගම වටේ රවුමක් යයි. ඊළඟට ඔහු එන්නේ එළවළු කොටුව පැත්තේ ය. මී මැසි පෙට්ටියත් බලයි. සවස් වන විට කවි කීමට ගෙදර එන ගමේ වැඩිහිටියන්ට තරුණයන්ට ඇහුම්කම් දෙන ඔහු ගෙදර මිදුලේ කොලු ගැටවු පිණුම් ගහන සැටි බලා සිටී. ඒ මහතා ලියූ නවකතා අතර ‘වදුල’, ‘සමදරා’, ‘පත්මා’, ‘සුරංගනා කතා’ ‘රෙසා’, ‘දිව මල් - දිවසලු’, ‘හීන් හාමිනේ’ ඔය බොඩ ගෙදර කැපී පෙනෙයි. ‘දිනමිණ’ වෙසක් කලාපය වසර කිහිපයක් සංස්කරණය කළ ඒ මහතා 1964 පවත්වන ලද මුල් ම සරසවිය චිත්‍රපට උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය සෙසු සාමාජිකයන් වූයේ විල්මට් ඒ. පෙරේරා (සභාපති), එම්.ජේ. පෙරේරා, චාල්ස් අබේසේකර, ස්ටැන්ලි අබේසිංහ, එස්.බී. සේනානායක, ලුසිල් අමරසූරිය, විමලා ද සිල්වා, ඩී.ජී. දයාරත්න ය.

නව ප්‍රබන්ධ යටතේ ‘ගිනි සිසිල’ සඳහා ලැබුණ සාහිත්‍ය සම්මානයට හිමි මුදලින් ගෙදරට අයිස් පෙට්ටියක් ගත් බව ඔහු මු. අරුක්ගොඩ ලේඛකයාට කියා තිබුණි.

“ඔය ගිනි සිසිල මොකක්ද කියලා හුඟ දෙනෙක් මගෙන් අහල තිබුණා. ගිනි සිසිලෙන් ගිනියම් වුණු සිත්වලට සිසිලක් දෙනවා කියන එකයි අදහස.”

නිශ්ශංක මහතා සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී ලේක්හවුස් එකට එන නිශ්ශංක මහතාට කර්තෘවරු හා පත්‍රකලාවේදීන් කතා කළේ ‘ලොකු සර්’ කියා ය. ඔහු බොහෝ විට ඇන්දේ අළු පැහැති යුරෝපීය ඇඳුම ය. ආගමික ජීවිතයක් ගත කළ ඒ මහතා වත්තේ ම බුදු ගෙයක් තනවා උදේ සවස බුදුන් වැන්දේ ය. සෑම පෝයට ම පන්සල් ගිය අතර බුද්ධදාස මහතා ආරම්භ කර තිබූ කලායතනයට ගොස් නැටුම් බලා සතුටට පත්වූහ.

ගමේ රස කතා ලිවීමට නිශ්ශංක මහතා සූරයෙකි. වරක් ඔහු ‘ගමේ මඟුල්ගෙදර’ ලියා තිබුණේ මෙසේ ය‍.

“එදා ගමක මඟුල් ගෙදරක් ව‍ූ කලී දුප්පත් පෝසත් භේදයක් නැතිව නෑකම පමණක් ඉස්මතු කර ගෙන තම තමන්ගේ වත්කමේ හැටියට පවත්වනු ලැබූවකි. අලුත් නෑයන් අහක දැමීමේවත් පරණ නෑයන් ඒ මඟුල්වල දී අහක දැම්මේ නැත. දුප්පත් නෑයන් අහක දැම්මේත් නැත.

දැන් කාලයේ මෙන් නොව ඒ කාලයේ මඟුල් කෙරුණේ තමන් තමන්ටම හොයාගත් මනමාලයන් හා මනමාලියන් අතරේ නොවේ. එහෙම එකක් වූවා නම් ඒ හැංගිලා යෑමක් ය.

තවත් වරෙක ගමේ අම්බලම ගැන ඔහු කීවේ අම්බලම පිහිටියේ ගමේ වෙල්යාය මැද ගල් තලාවක් මත බව ය. එය ඉදිරිපසින් වැ‍ටකේ මුදු කදුරු, ඊරිය ආදී ගස්වලින් සෑදුණ ඉවුරු ඇති ඔයකට වඩා ටිකකින් කුඩා වූ ඇලක් අත්තනගලු නදිය හා එක් වනු පිණිස හා එක්වනු පිණිස ශීඝ්‍ර ගමනින් ගලා බසින බව ය.

“කුඩා කල උදෑසන අවදි වූ හැටියේ ම අඟුරු කා දත් මැද මූණ සේදීමට අප දිව ගියේ ඒ අසල පිහිටි එක් පසෙකින් ගල් පොත්තෙන් වට වූ මෙහි වූ ජලාශයට ය. ඒ ගිය ගමන්වලදී අප අම්බලමට ද ගොස් අම්බලමේ කඳන් පිට නැඟ හතර පස් වටයක් ඒ දිගේ දුව පැන සෙල්ලම් නොකර ආවේත් නැත.”

ගමේ සිංහල ඉස්කෝලේ ගැන ද නිශ්ශංක මහතා ලියමින් පාඨකයාට 1870 අවුරුද්දට මනසින් ගෙන යයි.

“අපේ රටේ ආණ්ඩුවේ සිංහල ඉස්කෝල ඇති ව‍ූයේ 1870 අවුරුද්දෙන් පස්සේ ය. ඒ වනතෙක් අප ගම්වල ළමයින් අකුරු ඉගෙන ගත්තේ පන්සලේ හාමුදුරුවන්ගෙනි. පල්ලිය පිහිටි ගම්වල ළමයින් ඉගෙන ගත්තේ පල්ලියේ ගුරුන්නාන්සේලා ගෙනි. මේවා ගැන කීම ගමේ රසතැන් හාරා අවුස්සා ලියන විට ඒ රස ගංගාවේ බැස නාන්නට එනවාට සැක නැත. වැඩි දුර නොගියාට කුඩා කල මා ඇතුළු ගමේ කොලු පෙළ අකුරට ගියේ අද වගේ අතට බරට පොත් ඇතුව නොවෙයි.‍ පොතටත්, කවි පොතටත් ගල්ලෑල්ලටත් අපේ පොතපත සීමා විය. වැඩිහිටි සිසුන් ඒවාට අමතර වශයෙන් භූමි ශාස්ත්‍ර පොතත් ලංකා ඉතිහාස පොත ගෙන ගියහ. එදා සිසුන් කවි පාඩම දුන්නේ කටපාඩමිනි. ගුරුතුමා දක්ෂ ලෙස කවි කීමට ඔවුන්ට ඉගැන්වීය. පොතේ ඕනෑ ම තැනකින් ඇසූ විට ඔවුන්ට කවි කියන්නට පුළුවන්කම තිබුණේ ය. කියවීම් පාඩම් පොත කට පාඩමින් කියවන්නට පුළුවන් තරමින් ඔවුන්ට පුළුවන්කම තිබිණ.”

පියසේන නිශ්ශංක මහතා ලියූ ‘ගමේ රස තැන්’ අතර ‘කෝපි කඩේ’ විශේෂ තැනක් හිමි වේ. මේ කෝපි කඩය කෝපි ඇට තබා විකුණන තැනක් නොවේ. එහෙම කෝපි ඇට තබා විකිණීමට වෙන් වුණ කඩ පේළියක් ඒ කාලේ තිබූ බව විස්තර කොට ඇත. ඒ කොළඹ කෙළින් වීදියේ කයිමන් දොරකඩට නුදුරුව කච්චේරිය මෙහා තිබූ බව ඔහු කියයි.

“කෝපි කඩ පේළියේ වෙසක් දන්සල් ඒ කාලයෙහි පැවති ලොකු ම වෙසක් දන්සලයි. සුදු දැම‍ූ මේස ඇර නෙළුම් කොළවලට බෙදා දෙන මේ දන්සලෙහි නගරයේ වෙසක් සිරි නැරඹීමට යන එන උදවියට බත් මාළු වලින් සංග්‍රහ කරන ලදී. ‘ආප්ප කඩේ’ යනු කෝපි කඩේට තිබුණ තවත් නමකි. ඒ එසේ වුව ද මිනිසුන්ට කාලා කෝපි බීමට ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, වෙල්ලවැහුම් හා බිබික්කන් වැනි දේත් ඒ තැන්වල තිබුණි. එහෙත් කුඩා අප තුළ රස ජවනිකා මැවූ අපේ ගමේ කෝපි කඩය එතරම් සරු එකක් නොවීය. එහෙයින් එහි ඉදුණේ උදේට ආප්ප පමණක් ය.”

මෙසේ පියසේන නිශ්ශංක මහතාගේ ගමේ රසකතා ඉතාම රසවත් ය; හරබර ය; විචිත්‍ර ය.

පියසේන නිශ්ශංක මහතා ඇසුරු කිරීමට මට ලැබුණේ විශේෂ වාසනාවකි. මා 1968 වසරේ ආනන්දයේ උගැනීම ලබද්දී අපට බෞද්ධ සංස්කෘතිය ඉගැන්වූ ආචාර්ය කොටගම වාචීස්ස හිමිපාණන්ගෙන් අපට ලැබෙන ටියුටෝරියල්වල ‘A’ අකුරක් ලැබූ පසු මා ඒ රචනාව අරගෙන එවකට ‘බුදුසරණ’ පත්‍රයේ කර්තෘවරයා හමුවීමට යන්නෙමි. මට නිශ්ශංක මහතා හඳුන්වා දුන්නේ ‘බුදුසරණ’ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ දයා සිරිවර්ධන මහතා ය. (‘සරසවිය’ පුවත්පතේ උපකතුවර චන්දන දයා සිරිවර්ධනගේ පියාය) මුලින් මගේ ලිපි කියවන දයා සිරිවර්ධන මහතා මා නිශ්ශංක මහතාට හඳුන්වා දෙමින් මගේ ලිපි ‘බුදුසරණ’ පත්‍රයේ පළ කරදීමට තරම් කාරුණික විය‍; නිහතමානී විය. එපමණක් ‍මට ලේක්හවුසියට බැඳීමට යනවිට නිශ්ශංක මහතා ලවා චරිත සහතිකයක් ලබාදීමට දයා සිරිවර්ධන මහතා කටයුතු කළ බව කෘතවේදීව සිහිපත් කරමි. මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ වැකියකින් මේ ලිපිය අවසන් කරමි.

“පැරණි ජනකතාකාරයන්ගේ කවිත්වය නිශ්ශංකගේ සහජ උරුමයක් විය. ද්වේෂය, ඊර්ෂ්‍යාවෙන් තොර වූ ඔහු ගැමියන්ගේ දුබලකම් ද දුටුවේ හොඳ නරක දෙකින් ම තොරවූ ගති ලෙසිනි. ඔහු ඒ සියල්ල නිරූපණය කළේ ජනකවියකු ලෙස සිනාසෙමිනි.”

Comments