ප්ලාස්ටික් පුටු­වල හිඳ පළමු රැස්වීම පැවැත්වූ බස්නා­හිර පළාත් සභා­වට ලක්ෂ හයේ සුපිරි පුටු | සිළුමිණ

ප්ලාස්ටික් පුටු­වල හිඳ පළමු රැස්වීම පැවැත්වූ බස්නා­හිර පළාත් සභා­වට ලක්ෂ හයේ සුපිරි පුටු

 

ඉකුත් දින­වල බස්නා­හිර පළාත් සභා­වෙන් ‘පුටු’ ගැන වෙනස් කතා­වක් මතු විය. සාමා­න්‍ය­යෙන් පුටු නැත­හොත් මන්ත්‍රී ආසන ගැන කතා කෙරෙන්නේ මැති­ව­ර­ණ­ය­කදී වුවත් මේ ‘පුටු කතාව’ ඊට හාත්ප­සින් වෙනස් එකකි. බස්නා­හිර පළාත් සභාවේ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පිට­ර­ටින් සුඛෝ­ප­භෝගී ආසන ගෙන්ව­න්නට යන බවත් ඉන් එකක මිල රුපි­යල් හය ලක්ෂ හත­ලිස් දහ­සක් වන බව­ටත් වූ ඒ කතා­බහ නිමා­වට පත්වූයේ, ජනතා විමුක්ති පෙර­මුණේ මන්ත්‍රී­ව­ර­යකු කළ පැමි­ණි­ල්ලක් මුල් කර ගනි­මින් බස්නා­හිර පළාත් ආණ්කා­ර­ව­රයා විසින් එම පුටු ගෙන්වීම අත්හි­ටු­වී­මත් සම­ඟය.

පුටු ගෙන්වීමේ හා අත්හි­ටු­වීමේ තීන්දුව පසෙක තබා අපි මහ­ජන නියෝ­ජි­ත­යන් භාවිත කරන ‘පුටු’ගැන විමසා බැලී­මක් කර­න්නට අද­හස් කළෙමු.

පුටු ගැන කතා කිරී­මට පෙර බස්නා­හිර පළාත් සභාව පිළි­බඳ විම­සීම අවශ්‍ය වන්නේ පුටු ගැන කතා­වට පද­නම් වූයේ බස්නා­හිර පළාත් සභාව වන නිසාය.

භූමි ප්‍රමා­ණ­යෙන් කුඩාම පළාත් සභාව වුවත්, නියෝ­ජ­නය කරන මන්ත්‍රී­වරු සංඛ්‍යාව අනුව බස්නා­හිර පළාත් සභාව සෙසු පළාත් සභා අතර මුල් තැනක් ගනිති. එප­ම­ණක් නොව මෙරට පව­තින සෙසු ප්‍රජා­ත්‍රා­න්ත්‍රික මහ­ජන නියෝ­ජිත හා සසඳා බලන විට නියෝ­ජිත සංඛ්‍යාව අනුව එය දෙවැනි වන්නේ උත්ත­රී­තර පාර්ලි­මේ­න්තු­වට පමණි. 1978 ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­රජ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට 1987 වස­රේදී ගෙන එන ලද ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය මගින් 1988 දී මෙරට පළාත් සභා ස්ථාපිත විය. එසේ ඇරැඹි බස්නා­හිර පළාත් සභා­වට මේ වන විට වයස අවු­රුදු තිහකි.

රටේ උත්ත­රී­තර නීතිය වන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ විධි­වි­ධා­න­ව­ලට යටත්ව පළාත ආණ්ඩු කර­වීමේ බලය හිමි පළාත් සභාව පළාතේ ජන­තා­වට වග­කි­යන මහ­ජන නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත ප්‍රබ­ලම ආය­ත­න­යයි. ඒ අනුව බස්නා­හිර පළාතේ පළාත් සභාව කොළඹ, ගම්පහ, කළු­තර යන දිස්ත්‍රික්ක තුනෙන් තෝරා­පත් කර­ගත් 104කගෙන් සම­න්විත වේ.

ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ඉති­හා­සය සමග සසඳා බලන විට බස්නා­හිර පළාත් සභාවේ නියෝ­ජිත සංඛ්‍යාව මෙරට පළමු, දෙවැනි, තෙවැනි පාර්ලි­මේ­න්තු­වල නියෝ­ජිත සංඛ්‍යා­ව­ටද ඉදි­රි­යෙන් සිටින බව පෙනේ. එමෙන්ම බස්නා­හිර පළාත් සභා බල ප්‍රදේ­ශය මෙරට සමස්ත ජන­ග­හ­න­යෙන් සිය­යට 28ක පමණ සංඛ්‍යා­වක් නියෝ­ජ­නය කරන අතර, රටේ පරි­පා­ලන අග නග­රය, වාණිජ අග නග­රය ඇතුළු ප්‍රධා­න­තම නගර කීප­යක්ද පිහිටා තිබේ. බහු වාර්ගික, බහු ආග­මික සහ නාග­රික මෙන්ම ග්‍රාමීය ජන­තා­වක් ජීව­ත්වන නිසාද බස්නා­හිර පළාත් සභාව සෙසු පළාත් සභා­ව­ලට වඩා සුවි­ශේෂ බවින් ඉදි­රි­යෙන් සිටී. එම නිසා බස්නා­හිර පළාත් සභා­වට එය­ටම වෙන්වූ අන­න්‍ය­තා­වක් සහ අභි­මා­න­යක් තිබේ.

එසේ වුවද බස්නා­හිර පළාත් සභාවේ මුල්ම පළාත් සභා රැස්වීම පවත්වා ඇත්තේ මහ­වැලි කේන්ද්‍රයේ ශාලා­ව­කය. මන්ත්‍රී­ව­රුන් අසු­න්ගෙන ඇත්තේ ප්ලාස්ටික් හා ෆයි­බර් පුටු­ව­ලය. ඉන්පසු තවත් වසර කිහි­ප­යක් කුලී පද­නම මත වෙනත් ස්ථාන­යක සභාව පව­ත්වා­ගෙන ගොස් ඇත. එයි­නුත් වසර කිහි­ප­යක් තිස්සේ බස්නා­හිර පළාත් සභා රැස්වීම පැව­තියේ ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව මාවතේ පළාත් සභා පරි­ශ්‍රය තුළ වූ රැස්වීම් ශාලාවේ සීමිත පහ­සු­කම් යට­තේය.

දීර්ඝ කාල­යක් තිස්සේ විධි­මත් ගොඩ­නැ­ගි­ල්ලක අව­ශ්‍ය­තාව බස්නා­හිර පළාත් සභා­වට මතු වී තිබිණ. ඒ අනුව පළාත් සභා­වට අයත් සියලු ආය­තන එකම පිය­සක් යටට කැඳ­වා­ගත හැකි නව ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කර ගැනී­මට හැකි වීම පළාත් සභාව පම­ණක් නොව බස්නා­හිර පළාතේ මහ­ජ­න­තා­වද ලද ජය­ග්‍ර­හ­ණ­යකි. එයට හේතුව රස්ති­යා­දු­ව­කින් තොරව අවශ්‍ය කට­යුතු එක වහ­ලක් තුළ දී ඉක්ම­නින් පහ­සු­වෙන් කර­ගැ­නී­මට අව­ස්ථාව සැල­සෙන නිසාය.

නව පළාත් සභා ගොඩ­නැ­ගිල්ල තුළ වන පළාත් සභා රැස්වීම් ශාලාව සඳහා ගෙන්වී­මට නිය­මිත මන්ත්‍රී ආසන සම්බ­න්ධ­යෙන් ආන්දෝ­ල­න­යක් ඇති වූයේ එවැනි පසු­බි­මක් යට­තේය.

නව පළාත් සභා ගොඩ­නැ­ගිල්ල ඉදි කොට ඇත්තේ බස්නා­හිර පළාත් සභාවේ අභි­මා­නය නිරූ­ප­නය වන පරි­දිය. එහි ගොඩ­නැ­ගිලි සැල­සුමේ සිට ඉදි­කි­රීම් කට­යුතු දක්වා සියල්ල විද්‍යා­නු­කූ­ලව සිදුවී ඇති අතර මෙරට පිළි­ගත් විශේ­ෂ­ඥ­ය­න්ගෙන් සැදු­ම්ලත් විද්වත් කමි­ටු­වක් යටතේ සිදු­වන බව පැවසේ. ඒ අනුව පළාත් සභා රැස්වීම් පව­ත්වන ශාලා­වද නවීන ආම්ප­න්න­ව­ලින් සම­න්විත වීම අරු­ම­යක් නොවේ.

ඒ අනුව ගෙන්වී­මට සැල­සුම් කර ඇති මන්ත්‍රී අසුන නවීන තාක්ෂ­ණ­යට ගැළ­පෙන, අනි­වා­ර්ය­යෙන්ම වසර විස්ස­කට නොඅඩු වග­කී­මක් සහිත එකක් බව පළාත් සභා ආරං­චි­මා­ර්ග­ව­ලින් පැවසේ. මන්ත්‍රී­ව­රුන් එක­සිය හත­රක් සිටින සභා­ව­කට ආසන 125ක් ගෙන්ව­න්නට යන්නේ ඇයි යන්නද සම­හරු ප්‍රශ්න කරති. පළාත් සභා­වක මහ­ජන නියෝ­ජි­ත­යන් සංඛ්‍යාව තීර­ණය වන්නේ පළාතේ ජන­ග­හ­නය සහ භූමි ප්‍රමා­ණය සැල­කි­ල්ලට ගනි­මිනි. වැඩි වී ඇති ජන­ග­හ­ණය මෙන්ම ඉදි­රි­යේදී සංශෝ­ධ­නය විය හැකි ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව නිසාද බස්නා­හිර පළාත් සභාවේ මහ­ජන නියෝ­ජි­ත­යන් සංඛ්‍යාව වැඩි වීමේ ඉඩක් තිබේ. එම නිසා නැවත නැවත ඇන­වුම් කිරී­මට සිදු­වන අප­හ­සුව සලකා වැඩි­පුර පුටු කිහි­ප­යක් ගෙන්වා ගැනී­මට සැල­සුම් කළා විය හැකිය.

පිට­ර­ටින් ගෙන්වී­මට නිය­මිත මන්ත්‍රී අසුන ගැන විවිධ අද­හස් පළ­වුව ද මේ වන තෙක් එම අසුනේ ඡායා­රූ­ප­යක් හෝ නිල වශ­යෙන් ප්‍රසි­ද්ධි­යට පත්වී නැත.

ඒවා “ පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී අසු­න්ව­ලට සමාන විය හැකි” බවද පැවසේ.

වත්මන් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී ආස­න­වල ඉති­හා­සය එම අලුත් පාර්ලි­මේ­න්තුවේ ආර­ම්භය දක්වා ඈතට දිව­යයි. 1982 වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ජය­ව­ර්ධන පුර කෝට්ටේ නව පාර්ලි­මේන්තු මන්දි­රය විවෘත කළ දා සිට ස්ථාපිත මන්ත්‍රී ආස­න­වල කිසිදු වෙන­සක් මෙතෙක් සිදු කර නැති අතර, මේ වන විට එම මන්ත්‍රී ආස­න­ව­ලට වසර 36ක් පැර­ණිය. එහෙත් ඒවා තව­මත් නිසි තත්ත්ව­යෙන් පව­තින අතර “තවත් අවු­රුදු දහ­යක් පහ­ළො­වක් කිසි ප්‍රශ්න­යක් නැතිව පාවිච්චි කරන්න පුළු­වන්” බව පාර්ලි­මේ­න්තුවේ ප්‍රකා­ශ­ක­යෙකු සඳ­හන් කළේ අභි­මා­න­යෙනි.

එවැනි කල් පැවැ­ත්මක්, ගුණා­ත්මක බවක් සහිත එම මන්ත්‍රී අසුන් ජපා­න­යෙන් ආන­ය­නය කරන ලද ඒවාය. සභාවේ මූලා­ස­නයේ දකුණු පසින් ආණ්ඩු පක්ෂය සඳ­හාද වම්ප­සින් විපක්ෂ දේශ­පා­ලන පක්ෂ සහ කණ­ඩා­යම් සඳ­හාද සභා ගර්භය තුළ අසුන් පනවා තිබෙන අතර මන්ත්‍රී­ව­රුන්ට ආසන පහ­සු­කම් සලසා ඇත්තේ මේස සහිත තට්ටු­වෙන් තට්ටුව උස්වන පරිදි සවි කළ ආසන මඟිනි. කර­කැ­විය හැකි, ඉදි­රි­යට හා පසු­ප­සට තල්ලු කළ සුව­ප­හසු එකම ආකා­රයේ එවැනි මන්ත්‍රී අසුන් 232ක් පාර්ලි­මේන්තු සභා ගර්භය තුළ වේ. මහ­ලේ­ක­ම්ව­රුන් සඳහා එම ආස­න­ව­ලට සමාන අසුන් පනවා ඇති අතර ප්‍රධාන සහ නියෝජ්‍ය වේත්‍ර­ධා­රීන් දෙදෙනා සඳහා ද මන්ත්‍රී­ව­රුන් භාවිත කරන ආසන දෙකක්ම වෙන් කර තිබේ.

වත්මන් තත්ත්වය එසේ වුවද මුලින් ගාලු මුව­දොර අබි­යස පැවති පැරණි පාර්ලි­මේන්තු ගොඩ­නැ­ගිල්ලේ සභා ගර්භය තුළ මන්ත්‍රී­ව­රුන් සඳහා ආසන පනවා ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලි­මේ­න්තුවේ ආකා­ර­ය­ටය. එහි මන්ත්‍රී­ව­රුන්ට ආසන පම­ණක් තිබුණ ද මෙරට පාර්ලි­මේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රී­ව­රුන්ට ආසන සමග මේස­යක්ද වෙන් කර තිබිණ.

මුලින්ම මන්ත්‍රී ආසන 56ක්, ඉන්පසු ආසන 101ක් සහ 156ක් වශ­යෙන් එහි මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩිවී තිබේ. එම පාර්ලි­මේන්තු සභාවේ මහ­ලේ­ක­ම්වරු සහ හැන්සාඩ් වාර්තා­ක­රු­ව­න්ටද අසුන් පනවා ඇත්තේ සභා ගර්භය මැද වූ අතර ඔවුන් සඳහා සාමාන්‍ය ලී පුටුද මන්ත්‍රී­ව­රුන් සඳහා කුෂන් කරන ලද ලී පුටුද භාවිත කර තිබේ. මුල්ම කාලයේ මන්ත්‍රී­ව­රුන් සඳහා ආසන සකස් කර තිබී ඇත්තේ එහා මෙහා කළ හැකි තනි ආසන වශ­යෙනි. පසුව සභාව මැද මන්ත්‍රී­වරු අතර සිදු­වන උණු­සුම් වාද­වි­වා­ද­ව­ලින් “පුටු එහා මෙහා වීසි වී යන තත්ත්ව­යක් ”මතුවූ නිසාදෝ පුටු පේළි වශ­යෙන් එකට සිටින සේ සවි කර සකස් කෙරිණි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී ආසන ගැන විම­සද්දී සභාවේ මුල­සුන දරන කථා­නා­ය­ක­ව­ර­යාගේ අසුන ගැන ද අම­තක කළ නොහැ­කිය. ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක වෙනු­වෙන් සභා ගර්භය තුළ වෙන් කර ඇති නිල ආස­නය පිළි­බඳ ඉති­හා­සය 1949 දක්වා ඈතට දිවෙයි. එය එව­කට පැවති නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ල­යට මහා බ්‍රිතාන්‍ය මහ­ජන මන්ත්‍රී මණ්ඩ­ල­යෙන් ලැබුණු තෑග්ගකි. එම ආස­නය සතු සුවි­ශේෂ බව නම්, දෙවැනි ලෝක යුද සමයේ ජර්ම­නිය විසින් මහා බ්‍රිතා­න්‍යට බෝම්බ හෙළීම නිසා අර්ධ වශ­යෙන් විනාශ වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩල ගොඩ­නැ­ගිල්ලේ වහ­ලයේ ඕක් ලීයෙන් සවි කර තිබූ බාල්ක­ය­කින් එම ආස­නය නිම කර තිබී­මයි.

1952දී ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොල­මුරේ කථා­නා­ය­ක­ව­ර­යාට මෙරට නිෂ්පා­දිත අසු­නක් තෑගි ලෙස ලැබී තිබේ. මුළු­ම­නින්ම දේශීය නිර්මා­ණ­යක් වූ එම අසුන කළු­වර ලීව­ලින් බන්ධ­නා­ගා­රයේ සිටි සිර­ක­රු­වන් විසින් ඉතා සියුම් කැට­ය­ම්ය­ලින් අලං­කාර ලෙස නිර්මා­ණය කරන ලද්දකි. එම ආසන දෙකම අද­ටත් පාර්ලි­මේ­න්තුවේ විශේෂ පීඨි­කා­වක මහ­ජන ප්‍රද­ර්ශ­නය වෙනු­වෙන් තබා තිබේ. පාර්ලි­මේ­න්තුවේ ස්ථාපිත වත්මන් කථා­නා­යක අසුන 1982 ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර නව පාර්ලි­මේන්තු මන්දි­රය විවෘත වීමත් සමඟ ස්ථාපිත කරන ලද්දකි.

Comments