නුවර වීදී සල්ලි කරන ඇසළ පෙර­හරේ ආසන සෙල්ලම | Page 3 | සිළුමිණ

නුවර වීදී සල්ලි කරන ඇසළ පෙර­හරේ ආසන සෙල්ලම

ශ්‍රී දළදා වහ­න්සේ­ටත් සතර මහා දෙවි­ව­රු­න්ටත් පූජෝ­ප­හා­ර­යක් ලෙස වාර්ෂික ව පැවැ­ත්වෙන මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යය ලෝකයේ ම ඇස් බැඳ තබා ගන්නා අසි­රි­මත් මංග­ල්‍ය­යයි.

හෙළයේ මහා කලා මංග­ල්‍යයේ විසි­තුරු සියැ­සින් දැක ගැනීම සඳහා දෙස් විදෙස් ජන­තාව තුළ පවත්නා නොනිත් ආශාව නිසාම පෙර­හර නැර­ඹී­මට ඉඩක් සොයා ගැනීම ද ලේසි පාසු කාරි­යක් වන්නේ නැත. පන්දම් එළි වලින් නික්මෙන කොප්පරා සුවඳ සමඟ ගිනි සැර විඳි­මින් පෙර­හර නොබැ­ලු­වොත් ඉන් ඇති ඵලක් නැතැයි කිය­ම­නක් තිබේ.මේ අත්දැ­කීම ලබ­න්නට නම් කල්තියා වීදි වලට පැමිණ ඉඩ අල්ලා ගත යුතුය. පදික වේදිකා මත ඉටි රෙදි එළා ඉර මුදුන් වීමට පෙර ඉඩ අල්ලා ගන්නා ජන­තා­වට පෙර­හරේ අසි­රිය අත්වි­ඳි­න්නට අඩු තර­මින් පැය හත අටක් එහි කාලය ගත කර­න්නට සිදු වෙයි. ඒ අතර අව් රශ්මි­යෙන් ද විටෙක දොඹ වැහි ගෙඩි වලින් ද පීඩා විඳි­න්නට ඔවුන්ට සිදු­වන අවස්ථා එමට ය. නැති බැරි පිරිස මෙසේ පෙර­හර නර­ඹත්දී ඇති හැකි අයට සුව පහ­සුව ආස­න­යක වාඩිවී පෙර­හර නර­ඹ­න්නට පහ­සු­කම් ලබා දීම ද පෙර­හර සමයේ මහ­නු­වර සුලබ ව දැකිය හැකි තත්ත්ව­යකි. පෙර­හර පහ­සු­වෙන් වාඩි වි නැර­ඹී­මට අද ඇති හැකි අය­ටත් ලේසි­යෙන් නොහැකි පසු­බි­මක් නිර්මා­ණය වී ඇත. ඒ නුවර පෙර­හරේ ආසන මිල ගණන් ඒ අනුව දැරිය නොහැකි තරම් අහස උසට ඉහළ මිල­කින් යුක්ත වීම නිසා ය.

ආසන පන­ව­න්නන්ගේ ප්‍රධාන ඉල­ක්කය විදේ­ශි­ක­යන් ය. දේශීය පුද්ග­ල­යන් පිළි­බඳ ඔවුන් සිතන්නේ විදේ­ශි­ක­යන් ගෙන් ආසන පුරවා ගැනී­මට නොහැ­කිවූ විටය. මේ දින­වල මහ­නු­වර නග­රයේ වෙළෙඳ සල් බොහො­ම­යක් වසා දමා ඒවා මුද­ලට ආසන පැන­වීමේ නිරත පුද්ග­ල­යන්ට කුලියට ලබා­දී­මට ව්‍යාපා­රි­ක­යන් බොහො­ම­යක් පිය­වර ගෙන තිබේ. මෙලෙස ආසන පනවා තිබෙන ස්ථාන සංඛ්‍යාව 200 ඉක්ම­වන බව ඇසළ පෙර­හර භාරයේ බල­ය­ලත් නිල­ධාරී, ගඟ­වට කෝර­ලය ප්‍රාදේ­ශිය ලේකම් පාලිත බණ්ඩාර මහතා පව­සයි. මහ­නු­වර රැජිණ හෝට­ලය ඇතු­ළ­තින් වැටී ඇති මහ­ජ­න­තාව සඳහා ගමන් ගැනී­මට ඇති කොරි­ඩෝව කොටස් දෙකක් වශ­යෙන් මහ­නු­වර නගර සභාව මඟින් බදුදී ඇත්තේ රුපි­යල් ලක්ෂ 65 කට ආසන්න මුද­ල­කට ය. රුපි­යල් ලක්ෂයේ සිට ලක්ෂ 10 ක මුද­ලක් දක්වා අග­ය­කට නග­රයේ ව්‍යාපා­රික ස්ථාන පම­ණක් නොව ඒවායේ ඉදි­රි­පස රථ­ගාල් පවා ආසන පැන­වීම සඳහා විකි­ණී­මට ප්‍රධාන පෙළේ ව්‍යාපා­රි­කයෝ මෙන්ම සුළු පරි­මාණ ව්‍යාපා­රි­කයෝ ද කට­යුතු කර තිබේ. පෙර­හර ගමන් කරන වීදි ප්‍රමා­ණය දිනෙන් දින වැඩි වෙයි. ඒ සමා­නව පෙර­හර ගමන් ගන්නා දුර ද වැඩි වෙයි. ඒ සමඟ මේ ආසන දෙන ව්‍යාපා­රි­ක­යන්ට ලැබෙන ව්‍යාපා­රික අවස්ථා ද වැඩි වෙයි. වැඩි ම දුරක පෙර­හර ගමන් කරන්නේ අව­සන් රන් දෝලි මහ පෙර­හර දින ය. ඊට ප්‍රථම නගර මධ්‍යයේ තිබෙන වීදි 12 ක ම පෙර­හර ගමන් කිරීම විශේ­ෂ­ත්ව­යකි.

මේ වීදි වල පිහිටා තිබෙන ව්‍යාපා­රික ස්ථාන 80 කට වැඩි සංඛ්‍යා­වක් වසා දමා ආසන පන­වන පුද්ග­ල­යන්ට පෙර­හර දින 10 තුළ ඒවා බදු දීමට ඒවා හිමි ව්‍යාපා­රි­ක­යන් පිය­වර ගෙන තිබේ. ඇතැම් වීදි­වල පෙර­හර දින හත­රක් හෝ පහක් ගමන් ගනිත්දී තවත් ඒවාහි ගමන් ගන්නේ දින දෙක තුනකි. වැඩිම දින ගණ­නක් පෙර­හර ගමන් ගන්නා වීදි­වල පිහිටි වෙළෙ­ඳ­සැල් හිමි­යන්ගේ කාමර කුලියට දෙන මිලද ඉහළ ය. රන්දෝලි පෙර­හර පැවැ­ත්වෙන දින­වල කොතැ­නක වුවද ආස­න­යක් විකි­ණෙන අවම මිල රුපි­යල් දස­ද­හ­සකි. ඊට අඩු­වු­නොත් ඒ අහ­ම්බ­ය­කිනි. මහ­නු­වර රැජින හෝට­ල­යට අයත් කොරි­ඩෝවේ අව­සන් රන්දෝලි පෙර­හරේ පුටු­වක මිල මේ ලිපිය ලියන විට රුපි­යල් 15000 ඉක්මවා තිබිණි. දැන් ම බුක් කළොත් ඒ ගාණට දෙන්න පුළු­වන්, අන්තිම දවස වෙන­කොට මේක 20000 ට විතර නඟි­නවා, එ් ස්ථානයේ ආසන වෙන් කිරීම් සිදු කරන අයකු පැව­සුවේ ආසන මිල තීර­ණය වන්නේ ඉල්ලුම අනුව බව අඟ­ව­මිනි.

රැජන හෝට­ලයේ පිවි­සුම් දොර­ටුව ඉදි­රි­පිට පනවා ඇති ආස­න­යක් අව­සන් රන්දෝලි පෙර­හර දින විදේ­ශි­ක­ය­කුට අලෙවි කෙරෙන්නේ ඩොලර් 115 කට ය. රුපි­යල් වලින් නම් එය 18400 ක පමණ මුද­ලකි. ආසන සඳහා නිශ්චිත මිලක් නොමැති වීම නිසා තැර­ව්ක­රු­වන්ගේ ගොදුරු බවට පත්වන විදේ­ශි­ක­යන් ආසන වලට රුපි­යල් විසි දහ­ස­ටත් වඩා ගෙවන අවස්ථා ද නැතුවා නොවේ.

මහ­නු­වර නග­රයේ ස්ථාන 200 ක පමණ ආසන පනවා තිබෙ­නවා. අපි අව­සර ලබාදී තිබෙන්නේ ඉල්ලු­ම්පත්‍ර 135 කට පම­ණයි. ඇතැම් අය ස්ථාන දහ­යක පහ­ළො­වක ආසන පැන­වීම් කර තිබෙ­නවා. ඒ එක් අය­කුට අපි නිකුත් කරන්නේ එක අව­සර පත්‍ර­යක් නිසා ඉල්ලුම් පත්‍ර ප්‍රමා­ණ­යට වඩා ආසන පනවා ඇති ස්ථාන ප්‍රමා­ණය වැඩි වෙනවා. කුඹල් පෙර­හර වීදි සංචා­රය කරත්දී එක් ආස­න­ය­කින් අපි රුපි­යල් 500 ක මුද­ලක් පෙර­හර භාර­යට ගන්නවා. රන්දෝලි මුල් හත­රේදි රුපි­යල් 1250 කුත් අව­සන් රන්දෝලි පෙර­හ­රේදී රුපි­යල් 1500 ක මුද­ල­කුත් අය කර­නවා.පෙර­හර භාරය මඟින් දළදා මාලි­ගා­වට රුපි­යල් ලක්ෂ 15 ක් පෙර­හර වෙනු­වෙන් දෙනවා. දේවාල හත­රට එක් දේවා­ල­ය­කට රුපි­යල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 40 ක් දෙනවා. මෙයට අම­තර ව පෙර­හරේ විශිෂ්ට කලා ශිල්පීන් තේරීම හා ඔවුන්ට සහ­තික හා මුදල් ත්‍යාග ලබා­දීම කර­න්නේත් පෙර­හර භාර­යෙන්. මේවාට අව­ශ්‍යය මුදල් වලින් විශාල කොට­සක් අපි අවා­ර­ණය කරන්නේ පෙර­හර ආසන වලින් ලැබෙන මුදල් වලින්. හිතූ ගණන් වලට ආසන අළෙවි කිරී­මට ඉඩ නොදී ඒ සඳහා සීමා පැන­වීමේ බලය පන­ත­කින් අපට තිබු­ණත් ප්‍රායෝ­ගික ව ඒක ක්‍රියා­ත්මක කරන්න අමා­රුයි. මොකද සම­හර විදේ­ශි­ක­යන් ෂීට් බුක් කරන්නේ ඔන් ලයින් වලින්. අපිට කීය­කට වික්ක ද කියලා හොයන්න අමා­රුයි. ආසන විකි­ණී­මේදී නොයෙක් අක­ට­යු­තු­කම් වෙන බවට තොර­තුරු ලැබෙ­නවා. සම­හර තැර­ව්ක­රු­වන් විදේ­ශි­ක­යන්ට ආසන පෙන්නලා මුදල් අරන් හැංගෙ­නවා. තවත් අය අධික මුද­ලක් කොමිස් ලෙස තියා­ගෙන විදේ­ශි­ක­යන්ට පුටු අරන් දෙනවා. සම­හර ආසන පන­වන ස්ථාන ආනා­ර­ක්ෂි­තයි කිය­ලත් පැමි­ණිලි ආවා. ඒ සම්බ­න්ධ­යෙන් අපි මෙවර විශේෂ සොයා බැලී­මක් කර­නවා. මහ­නු­වර ඇසළ පෙර­හර භාරයේ බල­ය­ලත් නිල­ධාරී ගඟ­වට කෝර­ලය ප්‍රාදේ­ශීය ලේකම් පාලිත බණ්ඩාර මහතා පව­සයි.

අපි ටවුමේ පෙර­හර ගමන් ගන්නා වීදි වල කඩ ඒ ඒ දවස් අනුව කුළි­යට ගන්නවා. පෙර­හර මුලින් ගමන් ගන්නා තැන්වල කුලිය අනිත් තැන් වලට වඩා වැඩියි. මිනිස්සු කැම­තියි මුලින් ම පෙර­හර බලලා ඉක්ම­නට යන්න. අපි ලක්ෂ පහ හය දීලා මේ තැන් කුලියට ගන්නේ. මුද­ලා­ලිලා කඩේ කුලියට දීලා සල්ලි ටික සාක්කුවේ දාග­න්නවා. අපි ලෑලි ගහලා පුටු දාන්න ඕන; ටිකට් ගහන්න ඕන; නගර සභා­වට පෙර­හර භාර­යට ටිකට් වලින් සල්ලි දෙන්න ඕන. මේවා ඔක්කොම විය­දම්. අපි මේ විය­දම කවර් කර ගන්නේ ටිකට් විකු­ණලා. කඩ කුලි­යට දෙන ව්‍යාපා­රි­කයෝ පෙර­හර වෙනු­වෙන් සත­ප­හක් විය­දම් කර­න­වද? පෙර­හර බලන්න හදන පුටු වලින් ඇත්තට ම වැඩි වාසි වෙන්නේ ආණ්ඩු­ව­ටයි, තැරැ­ව්කා­ර­යි­න්ටයි, කඩ කුලියට දෙන මුද­ලා­ලි­ලා­ටයි. අපි මේකට පුදුම මහ­න්සි­යක් වෙන්නේ. තැර­ව්කා­රයෝ ගොඩක් පෙර­හර කාලෙට ටවුන් එකේ ඉන්නවා. ඔවුන් අපිට මිනිස්සු ගේනවා. අපි ෆොරී­න­ස්ල­ගෙන් ගන්න ගාන ලෝකල්ලා ගෙන් ගන්නේ නැහැ. පෙර­හර නර­ඹන්න අපේ මිනිස්සු ඇවිත් වීදි පිරු­ණොත් තමයි ෆෝරි­නස්ලා අපේ ෂීට් ගන්නේ. නැත්නම් ඒ අය පේව්මන්ට් එකේ ඉඳලා පෙර­හර බල­නවා. මම කියන්නේ පෙර­හ­රට ෂීට් දෙන එකට මොකක් හරි හොඳ වැඩ­පි­ළි­වෙ­ළක් තියෙන්න ඕන. සමි­ති­යක් වගේ එකක් හදා­ගන්න තියෙ­නවා නම් හොඳයි. මම කියන්නේ මේ කඩ කුලියට දෙන මුද­ලා­ලි­ලා­ගෙ­නුත් පෙර­හර වෙනු­වෙන් කීයක් හරි අය කරන්න ඕන...පෙර­හරේ ආසන අලෙවි ස්ථාන­යක් පවත්වා ගෙන යන ඇලෙක්ස් මෝසස් ප්‍රකාශ කරයි.

පෙර­හර වීදි සංචා­රය කිරීම ආරම්භ වීමට පැය­කට පමණ පෙර පෙර­හර ගමන් ගන්නා වීදි­ව­ලට වාහන ඇතුළු කිරීම පොලී­සිය විසින් තහ­නම් කරනු ලබයි. ඒත් සමඟ අතුරු සිදුරු නොමැ­තිව ජන­තාව ගෙන් පිරි­ගිය වීදි වල පෙර­හර නැර­ඹී­මට ඉඩක් සොයා යන විදේ­ශි­ක­යන් පසු­පස දඩ බල්ලන් මෙන දිව­යන තැරැ­ව්ක­රු­වන් කෙසේ හෝ උත්සහ කරන්නේ ඔවුන්ට ආස­න­යක් ලබාදී කියක් හෝ කොටා ගන්න­ටය. ආස­නයේ නියම මිල රුපි­යල් පන්ද­හ­සක් නම් තැර­ව්ක­රුවා විදේ­ශි­ක­යාට පව­සන්නේ එය රුපි­යල් 10000 ක් බවයි. අන්තිම වෙලාවේ කෙසේ හෝ පෙර­හර බල­න්නට අවශ්‍ය විදේ­ශි­ක­යන් වික­ල්ප­යක් නොමැති නිසා මේ තැරු­ව්ක­රු­වන්ට අසු­වන අවස්ථා එමට ය. ඒවා වැල­ක්වී­මට කිසිදු බල­ධා­රි­ය­කුට අව­ශ්‍ය­තා­වක් නොමැති වීම ඇත්තෙන් ම ප්‍රශ්න­යකි.

“සර් අපි සුද්දන් ව බලෙන් ඇදන් ගිහින් පුටු­වලා වාඩි කරලා සල්ලි ගන්නේ නැහැ. අපි හොඳ ටෝක් එකක් දීලා ගාන කිව්වම සුද්ද කැමැති නම් පුටුව ගන්නේ; මෙතන වංචා­වක් නැහැ. අපිත් ජීවත් වෙන්නේ ඕන. පෙර­හරේ කුඹල් දවස් පහේ පුටු වලින් සල්ලි හොයන්න අමා­රුයි. රන්දෝලි වලදී තමයි වැඩි­පුර කීයක් හරි කැපෙන්නේ. මේ දවස් පහේ ගහ­ගන්න මැච් එකක් තමයි මහ­ත්තයෝ..අපිත් ජීවත් වෙන්න ඕනනේ..,, මේ විදේ­ශි­ක­යන්ට ආසන සොයා දෙන තැර­ව්ක­රු­ව­කුගේ අද­හස ය.

මහ­නු­වර නග­රයේ පෙර­හර සඳහා ආසන පනවා තිබෙන පුද්ග­ල­යන් ගෙන් මුදල් අය කිරී­මේදී නගර සභාවේ අදා­යම් නිල­ධා­රීන් සභා සම්මු­තීන් වලට පට­හැණිව ක්‍රියා­කර තිබෙන බව කිය­මින් නාග­රික මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතා පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස විග­ණන අංශ­යට පැමි­ණි­ල්ලක් ද ඉදි­රි­පත් කර තිබේ. පෙර­හර ආසන වලින් නගර සභා­වට මුද­ලක් අය කර ගත යුතු බවට සභා සම්මු­ති­යක් තිබෙ­නවා. ඒ අනුව කුඹල් පෙර­හර වලදී රුපි­යල් 350ක් ද රන්දෝලි පෙර­හර වලදී රුපි­යල් 550 ක මුද­ලක් ද නගර සභා­වට එක් ආස­න­යක් වෙනු­වෙන් ඒවා පවත්වා ගෙන යන අය ගෙවන්න ඕන. නගර සභාවේ ආදා­යම් නිල­ධා­රීන් කරලා තියෙන්නේ විදේ­ශි­ක­යන්ට පනවා තිබෙන ආසන වලින් මේ මුදල් අය කිරීම විත­රයි. මෙතන පැහැ­දිලි ලෙස ම සභා සම්මු­තිය නොස­ලකා හැරී­මක් වෙලා තිබෙ­නවා. නොයෙක් වර­ප්‍ර­සාද වලට මුවා­වෙලා ඇතැම් නිල­ධා­රින් මෙන්ම මහ­ජන නියෝ­ජි­ත­යන් ද සභා­වට ලැබිය යුතු මුදල් අය­වීම වළ­ක්ව­නවා...නාග­රික මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතා පව­සයි.

මහ­නු­වර ඇසළ පෙර­හර නැර­ඹීම සදහා පැමි­ණෙන විදේ­ශි­ක­යන් ගෙන් බොහො­ම­යක් වැඩි මනා­ප­යක් දක්වන්නේ රැජින හෝට­ලයේ කොරි­ඩෝවේ සිට පෙර­හර නර­ඹ­න්නට ය. මහ­ජ­න­තාව ගමන් ගන්නා මේ කොරි­ඩෝව ආසන පැන­වීම සඳහා ලබා­දීම දැන් වසර ගණ­නා­වක් මුළුල්ලේ සිදු­ව­න්නකි. “ක්වින්ස් කොරි­ඩෝව අපි ටෙන්ඩර් දාලා හැම අවු­රුද්දේ ම ආසන පැන­වීම සදහා ලබා දෙනවා. ඇසළ පෙර­හරේ පොදු පහ­සු­කම්, පිරි­සුදු කිරීම් ඇතුළු සේවා රැසක් ඉටු කරන්නේ නගර සභා­වයි. මේකට අපිට රුපි­යල් ලක්ෂ 100 ක් විතර වැය වෙනවා. මේ මුදල් අපිට රජ­යෙන් ලබා දෙන්නේ නැහැ. පෙර­හ­රෙන් ම ඒක සොයා ගන්න ඕන.ක්වින්ස් කොරි­ඩෝව බදු දීමෙන් හා ආසන පන­වන පුද්ග­ල­යන් ගෙන් අය කර ගන්නා මුදල් වලින් තමයි අපි පෙර­හ­රට අවශ්‍ය සේවා සප­යන්නේ “ මහ­නු­වර නාග­රික කොම­සා­රිස් චන්දන තෙන්න­කෝන් මහතා ප්‍රකාශ කරයි.

මහ­නු­වර පෙර­හරේ ආසන පැන­වීම පෙර­හරේ අව­සන් දින කිහි­පය වන­විට මාෆි­යා­වක් බවට පත්වන ස්වභා­ව­යක් දක්නට ලැබෙයි. මේවාහි මිල තීර­ණය කිරීම් සිදු­වන්නේ කිසිදු විධි­මත් ක්‍රියා පිළි­වෙ­ළ­කට නොවේ. එක් තැනක රුපි­යල් දස දහ­සක් වන ආස­න­යක් ඊට අඩි 10-15 කට එහාදී රුපි­යල් 15000 ක් වෙයි. ඇතැම් විදේ­ශි­ක­යන් මේවා නිසා අන්ද මන්ද වන අවස්ථා ද ඇත. කිසිදු විදේ­ශි­ක­ය­කුට තනිව ගොස් ආස­න­යක් ලබා ගැනීම සඳහා නිද­හ­සක් මහ­නු­වර නොමැති වීම කනගා­ටු­දා­යක තත්ත්ව­යකි. ආසන පැන­වී­මේදී සිදු­වන අක­ට­යුතු කම් සොයා බල­න්නට ඉන්නා ඇතැම් නිල­ධා­රීන් තම පවුල් වල හා හිත­ව­තුන්ගේ පවුල් වල උද­වි­යට පෙර­හර නැර­ඹීම සඳහා ආසන ලබා ගැනී­මට දරන ප්‍රය­ත්නය හමුවේ ඔවුන්ගේ රාජ­කා­රිය නිසි අයු­රින් සිදු නොවන බව ද කණ­ගා­ටු­වෙන් වුව කිව යුතුව තිබේ.

“ක්වීන්ස් හෝට­ලයේ කොරි­ඩෝවේ සුද්දගේ කාලේ ඉදලා පෙර­හර බලන්න පුටු දාලා තිබුණා. වෙනත් තැන්වල ලොකු­වට ඒ කාලේ ගොඩ­නැ­ගිලි නොති­බුණ නිසා මිනිස්සු පෙර­හර බැලුවේ වීදි­වල ඉඳලා. නග­රයේ නිවාස හා කඩ සාප්පු ඉදි වුණාට පස්සේ ඒවගේ පුටු දාලා මිනිස්සු පෙර­හර බැලුවා. ඒ අයි­ති­කා­ර­යෙන්ගේ පවු­ල්වල හා හිත­වත් උද­වි­යයි. මේ වගේ සල්ලි වලට පුටු විකු­ණන සංස්කෘ­ති­යක් එදා තිබුණේ නැහැ. අද හැම­දේම සල්ලි වලට යට­වෙලා. 1979 වෙන­කල් මහ මළු­වෙත් ආසන පැනෙව්වා; මම තමයි ඒක නතර කළේ. සල්ලි වලට පුටු දැම්මට කමක් නැහැ. හැබැයි ඒකෙන් පෙර­හර බලන්න එන සාමා­න්‍යය ජන­තා­වට හිරි­හැ­ර­යක් වෙන්න බැහැ“

අපි රටක් ලෙස දැන් සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබෙන නිසා ඔවුන්ට රට ගැන වැරදි චිත්‍ර­යක් මැවෙන ලෙස වැඩ කෙරෙන එක ගැන බල­ධා­රීන් අව­ධා­නය යොමු කළ යුතු බව හිටපු දිස්ත්‍රික් හා අමා­ත්‍යාංශ ලේකම් සුදත් ගුණසේකර මහතා පව­සයි.

ඡායා­රූප - උදේනි රාජ­පක්ෂ




 

Comments