කුඩු නඩු කුඩු කරන්න වහලෙට නැග්ග ගැහැනු ඉල්ලන හිරගෙදර අම්මා කවුද ? | සිළුමිණ

කුඩු නඩු කුඩු කරන්න වහලෙට නැග්ග ගැහැනු ඉල්ලන හිරගෙදර අම්මා කවුද ?

  • රෙදි හෝදන වෙලේඑළියෙන් වැටෙන පාර්සල්
  • වහලට නැග්ගේගස් අතුවල එල්ලිලා
  • කිරි බනිස් වහලෙට
  • ඇමැතිනි තලතාත් තදින් සිටී

'අන්න වැලිකඩ ගෑනු වහලෙට නැගලා'

'මේ ගෑනු වහලෙට කොහොම නැග්ගද මන්දා'

'හිරේ ඉන්න අය කොහොමද පාට ඇඳුම්

ඇඳගෙන ඉන්නේ'

'අනේ පව්....හරියට කන්න

ලැබෙන්නෙත් නැහැලු'

'මොනවා වුණත් ගෑනුනේ'

වැලිකඩ හිර ගෙදර කාන්තා අංශයේ රැඳවියන් ඉකුත් සතියේ කාන්තා බන්ධනාගාරයේ වහලට නැග කළ ජරමරය ආරංචි වූ විට විද්‍යුත් මාධ්‍ය හා පුවත් වාර්තා ඇසූ දුටු කවුරු කවුරුත් කම්පා වන්නට වුයේ එලෙසිනි.

'එව්වා ඔය කුඩුකාර ගෑනුන්ගේ වැඩ' ඇතැමකු පැවසූයේ එලෙසය.

හිරගෙදර බුද්ධි අංශය විසුරුවා හැර වැඩි දිනක් නැත. එමෙන්ම සෑම බන්ධනාගාරයකම පාහේ ලොකු පුටුව වෙනස් වුයේද මේ අතරය. මේ පුටු වෙනස් වීමත් සමඟ බන්ධනාගාරයේ සිටින ඇතැමුන් අතර අනියත බියක් ඇති නොවුණාම ද නොවේ.

නොසිතූ මොහොතක කාන්තා රැඳවියන් මේ ලෙසින් විරෝධතාවකට පෙ‍ලඹීමට හේතු ගණනාවක් විය. ඔවුන් මේ විරෝධතා ආරම්භ කළේ ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙනය. පිටතින් ගෙන එන ආහාර සීමා නොකිරීම, අවශ්‍ය තරම් ඇඳුම් ළඟ තබා ගැනීමට ඉඩ දීම, නඩු ඉක්මන් කිරීම ආදී හේතු ගණනාවක් විය.

දඬුවම් ලැබූ රැඳවියන්ට ඇඳුම් ලබා දෙන්නේ බන්ධනාගාරයෙනි. පිරිමින් සඳහා සුදු ජම්පරය හා කොට කලිසමයි. කාන්තාවන් සඳහා රෙද්ද සහ බ්ලවුසයයි.

හිරගෙදරදී නොම්බරයක් වන කාන්තාවන්ට යට ඇඳුම් අයිති නැති වුවද එය ඒ තරම් දුරට ක්‍රියාත්මක වන නීතියක් නොවේ. නමුදු රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ට තම නිවෙසින් ගෙන එන ඇඳුම් ඇඳීමට ද, විසිට් බලන්නට එන විට ගෙනෙන ආහාර ගැනීමට ද අවසර ඇත. දඬුවම් නියම වූවන් සඳහා විසිට් බැලිය හැක්කේ මසකට වරකි. මෙය අද ඊයේ සිට නොව අනාදිමත් කාලයක සිට බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන්නකි.

අප දන්නා පරිදි කාන්තා අංශයේ රැඳවියන් වහලය මත නැඟ උද්ඝෝෂණය කිරීම පිටුපස ඇත්තේ වෙනම ම කතාවකි. වහලය මත සිටි කාන්තාවන් සියල්ලෝම වාගේ මත් ද්‍රව්‍ය ‍චෝදනාවන්ට ලක් වූවෝය.

මත්ද්‍රව්‍ය අලෙවිය මෙන්ම භාවිත කිරීම ද හිරගෙදරට ආවා කියා ඒවා නතර වීමක් නැත. ඔවුහු හිරගෙරදී ද බිස්නස් එක ජයටම කරගෙන යති. ඊට ප්‍රධානම හේතුව වන්නේ විශේෂයෙන්ම කාන්තා හිර ගෙදරට කුඩු පාර්සල් උඩින් වැටීමය. එපමණක් නොව මෙවර වහල උඩ නැඟී විරෝධතා දැක්වීමේදී ඔවුනට කිරි පැකට් හා බනිස් ආදිය ද උඩින් වැටිණ.

කාන්තා හිරගෙදර එක් පැත්තක ඇත්තේ වනාතමුල්ල සීවලිපුරය. දෙපැත්ත වෙන් වන්නේ බන්ධනාගාරයේ උස තාප්පයකිනි. වනාතමුල්ලේ සිට උස තාප්පයෙන් මෙපිටට කුඩු පාර්සල් වැටේ. දෙපැත්ත සම්බන්ධ වන්නේ ඔවුන්ගේම සන්නිවේදන ක්‍රම අනුවය.

ගල් කැට එහෙට මෙහෙට විසිකරමින් නෝනලා නැද්දයි බලමින් සිදුකෙරෙන හොරගල් ඇහිඳීම්වලදී වනාතමුල්ලෙන් වැටෙන පාර්සල් සද්දය නෝනලාට නොඇසෙන්නට රැඳවි කාන්තාවෝ මහ හඬින් රෙදි ගලේ ගසමින් සෝදති. ඇතැම් නෝනලා මේවා දුටුව ද අහක බලා සිටින්නේ ඔවුන්ට මේ රැඳවියගෙන් යම් යම් වාසි ඇති බැවිනි.

මත්ද්‍රව්‍ය මෙන්ම ජංගම දුරකථන සිම් කාඩ්පත් ආදී බොහෝදේ කලක් තිස්සේ බන්ධනාගාරයට ලැබීම පිටුපස කාන්තා අංශයේම නිලධාරිනියන් සිටන බව පරීක්ෂණවලින් ‍හෙළිවී ඇත.

මේ සියල්ල යටපත් කරමින් කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ වහළයට නැඟීම දක්වා සියල්ල දුර දිග ගියේ කාගේ හෝ උසි ගැන්වීමක් ද සිදුවූ බැවිනි.

වහලයට නැඟි රැඳවියන්ගේ එක්ඉල්ලීමක් වූයේ අපේ අම්මා අපට ඕනෑය යන්නය.

මෙහිදී කාන්තා රැඳවියන්ට මවක බඳුවූ නිලධාරිනියන් මෙහි සිටියාදැයි යන සැකය අපට මතුවේ. මන්ද අම්මා නම් දරුවන්ට ආදරේය.

දරුවන්ට වැරදි දේ කිරීමට ඉඩ දෙන්නේ නැත. අම්මා හැම විටම උත්සාහ කරන්නේ දරුවන් යහමඟට ගැනීමටය. මේ පිළිබඳ දිගින් දිගට තොරතුරු සෙවීමේදි බන්ධාගාරය පිළිබඳ තතු දන්නෙකු පැවැසුවේ මෙවැනි කතාවකි.

“අම්මා අම්මා කියලා ඒ අය කෑ ගහන්නේ ඔය කියන නිලධාරි අම්මා මේ ගොල්ලන්ගේ වැඩවලට උදව් කරපු නිසයි. එයා ලොකු මහත්තුරුන්ට කෙළින්ම කතා කරනවා. ඒ නිසා සමහර කාන්තා නිලධාරිනියන් මෙයාට බයයි. අම්මාගේ වැරදි ගැන කිව්වොත් වැඩ වරදියි කියලා ඒ අය කට හොල්ලන්නේවත් නෑ.

ඒ නිසා පොඩි අය මෙයා කරන වැරදි දැක දැක කට වහගෙන හිටියා. ඒ වගේම මේ කියන අම්මා එයාගේ පහළ නිලවල ඉන්න අයට බොහෝම කැත විදිහටයි කතා කළේ. මේ අම්මා කියන කෙනා නිසා ඇතැම් නිලධාරිනියන් මානසික පීඩනයෙන් වැඩ කළේ”

මේ කියන ‘අම්මා’දැන් වැලිකඩ නැති බව පැවසේ. දූෂිත නිලධාරීන් කොටු කිරීමට පෙර බන්ධනාගාරවල නිලධාරින් එහෙට මෙහෙට මාරු කිරීම ඇරැඹියේය. මේ මාරු කිරීම් ඇතැම් නිලධාරින්ට දරා ගැනීමට නොහැකි වූ බවද වාර්තා විය. හේතුව නම් යම් පෞද්ගලික අරමුණු හා වෙනත් වාසි නිසා ඔවුන් වසර දහය පහළොව කොළඹ අවට බන්ධනාගාරවලම රැඳී සිටීමය.

බන්ධානාගාරයේ වහලට නැඟි කාන්තා රැඳවියන් වෙනුවෙන් දැඩි ක්‍රියා මාර්ග නොගත්ත ද පසුව ඔවුන් හා සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට කාන්තා රැඳවියන් නියෝජනය කරමින් සහභාගි වූ කාන්තාවෝ හයදෙනා විරෝධතාවට සහභාගි වූ සියලු රැඳවියන් වෙනුවෙන් සමාව ගත්හ. එමෙන්ම ඉදිරියේදි සාමකාමිව හැසිරෙන්නට ද පොරොන්දු වූහ.

ඇප ලබාදී නඩු කඩිනම් කර ගැනීම වහලයට නැඟුණු කාන්තාවන්ගේ තවත් ඉල්ලීමකි. නමුදු සාමාන්‍යයෙන් මත් ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ගේ නඩු විභාග වී අවසන් වන තුරු ඇප ලබා දීමක් සිදු නොවේ.

එනමුදු වසර ගණන් දිග්ගැස්සෙන නඩු ඉක්මන් කිරීමේ හැකියාව ගැන සොයා බැලීම වගකිවයුත්තන්ගේ වගකීමය. මේ සියලු කරුණු කාරණා සම්බන්ධව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත යුතු පියවර කවරේද යන්න ඉදිරියේදී තීරණය කරනු ඇත.

හිරගෙදර රජ ගෙදර කර ගත් අය මෙන්ම දිගුකාලීන දඩුවම් ලැබ, ජීවිතාන්තය දක්වා මෙන්ම මරණීය දණ්ඩනය නියමව සිරගතව සිටින මේ සියලු දෙනා දෙස මනුෂ්‍යත්වයෙන් බැලිය යුතුය. හිරගෙදර දැන් තදබදය වැඩිය .මේ තදබදය අවම කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර අඟුණකොළපැලැස්ස නව බන්ධනාගාරයට ද කාන්තාවෝ මාරුකර හැරියහ.

'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන වදන බිත්තිය‍ට පමණක් සීමා නොවී ඔවුන්ගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ විය යුතුය.

' මෙහෙ කෑම මෙලෝ රහක් නැහැ. අපි ගෙදර ගිහිල්ලා කාලා එන්න ද?' ඒ රැඳවියන්ගේ තවත් මැසවිල්ලකි.

හිරගෙරදර බුද්ධි අංශය විසිරුවා හැර අනෙක් නිලධාරීන්ට මාරු වීම් ලබා දුන්සේම හිර ගෙදර කුස්සි පාටිය ද වෙනස් විය යුතුව ඇත.

එමෙන්ම සතියේ කෑම වට්ටෝරුවද වෙනස් විය යුතුය. බන්ධනාගාර නිත්‍ය නියෝගවලට අනුව රැඳවියන් සඳහා ලබාදිය යුතු ආහාර පාන දක්වා ඇත. එළවළු වර්ග ද දක්වා ඇත. දැන් කාලය වෙනස්ය. ඇතැම් විට‍ මේ පිළිවෙළ දැන් වෙනස් වී ඇත.

බන්ධනාගාර නිත්‍ය නියෝගවලට අනුව සියල්ල සිදුවේනම් බන්ධනාගාර පද්ධතිය තුළ මෙතරම්ම ප්‍රශ්න පැන නොනගිනු ඇත.

බන්ධනාගාර පද්ධතිය උඩු යටි කරු කළ ද අවංක නිලධාරින් හෝ කාර්යය මණ්ඩල නැත්නම් සිරකරුවනට මනුෂ්‍යයන් සේ සැලකීමක් නම් සිදුවීම උගහටය.

අදහස්