දළදා පෙර­හ­රෙහි - රජ­රට විත්ති | සිළුමිණ

දළදා පෙර­හ­රෙහි - රජ­රට විත්ති

සිරි දළදා සමිදුන්ගේ වාර්ෂික මහා පෙරහැර මංගල්‍යය මේ දිනවල සිදු වෙයි. පූජා පිළිවෙත් ලේඛණය පරිදි දළදා වහන්සේ වෙත වර්ෂයක් ඇතුළත විශේෂ පූජා මංගල්‍යයන් හතරක් පවත්වයි. බක් මාසදී අලුත් අවුරුදු පිදුම, ඇසළ මසදී ඇසළ මහ දළදා පෙරහැර, ඉල් මසට කාර්තික මංගල්‍ය හා අස්වනු නෙළා දුරුතු (ආසන්නව) අලුත් සහල් මංගල්‍යය වශයෙනි. මේ අතරින් විශ්ව කිර්තියට පත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ පිළිබිඹුවක් ව සැලකුම් ලබන්නේ ඇසළ මහා ජුජෝපහාර පෙරහැරකි.

“අනුරාපුරේ මහා බෝ වැඳ ගතිමි වරම්

මයියන්ගනේ මහ ‍කොත වැඳ ගතිමි වරම්

සිරිපා පද්මෙ වැදගෙන ගත්තාය වරම්

කැපුමට ගොයම් දළදා හිමි වරම් වරම්”

ගොයම් කැපිල්ලේදී නුවර කලාවියේ ආත්තම්මලා එසේ දළදා හිමිගෙන් වරම් ලැබුවා සේම දළදාවහන්සේට ඇති උරුමය, සබඳතා ගැන ද කතාබහේ බොහෝ කතා කියාදී ඇත. ඒ අතර සිරිමත් දළදා වහන්සේ වැඩම වීම, ඊට අදාළ පුජෝපාහාර පිළිවෙත්, රටේ රජුන්ගේ පිළිගැනීම් යනාදී බොහෝ විස්තර ඇත. මේ අතරින් ද ඔවුන් භක්තියෙන්, ගෞරවයෙන් මෙන්ම රස කර කර වර්ණනා කරන්නේ මහා සංඝරත්නය ධර්ම දේශනාවන්වලදී පෙර හැර වර්ණනාව කියා දුන් සොබාවයයි.

මහා වංශය, දාඨාවංශය, ධාතුවංශය, දළදා පුජාවලිය, දළදා සිරිත, පුජාවලිය, රජාවලිය, වැනි ධර්ම පොත්වලින් ද, ඓතිහාසික රජරට නුවර කලාවියට අයත් භූමියේ නටඹුන් ගැන ගවේෂණයෙන් ද, මේ මහාර්ඝ පෙරහැරේ ඇරඹුම හා සොබාවය ගැන බොහෝ දේ දැන කියා ගත්හ. පළමුවෙන් ම දළදා වහන්සේ ලැබීම කෙසේ වීදැයි සොයා බලමු. බුදු රජාණන් වහන්සේ මහා පරිනිර්වාන ප්‍රාප්තියට පත් වූ පසු ආදාහන කටයුතු සිදු වූ අයුරු රාජකීයන් ධාතුන් වහන්සේලා බෙදා ගැනීමට කළ සටන්, ද්‍රෝණ බමුණු මැදිහත්වීම, සතර දළදා වහන්සේලා තව් තිසා දෙව් ලොව, ගාන්ධර්ව පුර, නාලොව, හා කලිඟු රටට අයත් වීම, ආදිය ගැන මහ පරිනිබ්බාන සුත්‍රය, ඛුද්දක නිකායේ අපදාන පාලිය, සුමංගල විලාසනිය, මනෝරත පූරණිය වැනි බෞද්ධ පොත පතෙහි සවිස්තර ව දක්වා ඇත.

වාම් දළදා වහන්සේට කලිඟු රට “ගුහසීව” රජු දවස ඇති වූ අභ්‍යන්තර අරගල වලින්ම අනතුරක්වේ යැයි රජු බිය විය. රජු හේමමාලා නම් තම දියණිය බමුණු වෙස් ගන්නවා, දන්ත කුමරු බෑනා සමඟ වාම් දළදා වහන්සේ ආරක්ෂාව පිණිස සිරි ලංකාද්වීපයේ රජු වෙත වැඩම කරවූහ. කාලය ක්‍රි.ව. 301 ය. මේ වන විට මහසෙන් මහ රජුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජු අනුරාධපුරයේ රාජ්‍යත්වය දැරීය. ලෝක පුජිත ශ්‍රී දළදා මාළිගාවෙන් කෙරෙන දළදා මහා පෙරහැරේ මුලික අඩිතාලම හා ආරම්භය ඇති වන්නේ මේ අවස්ථාවේදී ම ය.

“තෙපි ශරීර විඩා නොතකා වහා ශ්‍රී ලංකාද්වීපයට යව” යැයි නියම වූයෙන් ඔවුන් තාම්රලිප්ත (පට්ටන) යෙන් පිටත් වූහ. පෙර ලංකාවට ඉන්දියාවෙන් පැමිණි අය ගොඩ බැස්සේ ලංකා උතුරු වෙරළටයි. (දඹකොල පටුනටයි) කාලගුණ වෙනසක් නිසාදෝ පූජනීය වස්තුව රැගත් රාජකීය යුවළ ගොඩ බැස ඇත්තේ නැගෙනහිර “ලංකා පටුනට”යි. අදත් ඒ මුහුදේ ගල් කඳු පිරී ඇත. මේ නිසාම යාත්‍රාව සිර වූවාද විය හැකිය.

ලංකා පටුන කඳු ගැටයට නැඟ අනුරාධපුර රාජධානිය දෙස බලන විට තිරිකුණාමලය පැත්තෙන් පිවිසිය හැකි බව පෙනේ. රාජකීය යුවළ සැපැත් වූ බව අනුරාධපුරයේ සිටි මහ රජු දැනගත් වහාම රාජපුරුෂයන් එවා ආදර ගෞරවයෙන් පිළිගෙන පුද පූජා පවත්වමින් අනුරාධ නගරයට වැඩම වූ බව නිසැකය. මීට ප්‍රධානතම හේතුව ජීවමාන බුදුන් වහන්සේ කොට ඒ වන විටත් හරසර ලැබූ විජය ශ්‍රී ජය සිරිමා හාමුදුරුවන්ට පුද පුජා ආවතේව, පෙරහැර මාලාවල්, කොට පුරුදුව සිටි රටවැසියාටත්, රජුටත්, තිබූ පළපරුද්ද හා අත්දැකීමට ඊට හේතුවන්නට ඇත.

ශ්‍රී දළදා වහන්සේ අනුරපුර රාජධානියේ පළමු වරට වැඩ සිටියේ “මඩුකන්දේය”. අදටත් දළදා වහන්සේ වඩා හිද වූ ස්ථානයේ පසු කාලීන රජවරුන් විසින් ඉදි කරන ලද බෞද්ධ ගොඩනැගිලි ශේෂ ව පවතී. වංශ කථා අනුව දළදා වහන්සේට දෛනිකව කළ යුතු තේවාවන් හේමමලා කුමරිය සමඟ පැමිණි අයගෙන් අසා දැන “මඩු කන්ද” විහාරයේදී ද ඉටු වී ඇත. එතැන් සිට දළදා වහන්සේ අනුරාධපුර නගරයට වැඩමවා ඇත්තේ ද පිරිවර සේනා පෙරහැරින් ය. ඉන්පසු කිත්සිරිමෙවන් මහරජු පුර්වයේ “මේඝ...දෙවොල” පිහිටි “මේඝ වර්ණ විහාරයේ” (අද ඉසුරුමුණි විහාරයේ ) වඩා හිඳුවන ලදී. මහසෙන් පිය මහරජු වෛතුල්‍යවාදී විය. ඒ නිසා එහි ප්‍රබලම මධ්‍යස්ථානය වූ අභයගිරි විහාරයේ දළදා වහන්සේ තැම්පත් කිරීමට කිත්සිරි මෙවන් රජුට අවශ්‍ය විය. “ පෙරහැර” චාරිත්‍ර දළදා වහන්සේට පිදෙන්නේ මෙතැන් සිට ය.

ජය සිරිමා සමිඳුන්ට පුද පූජා පෙරහැර පැවැත්වූ කල ර‍ජුන්, රට වැසියනුත්, ඉතා ‍ශ්‍රේෂ්ඨ ලෙසම දළදා වැද පිදුහ. ර‍ාජත්වයේ සංකේතය ලෙසද දළදා හාමුදුරු‍වන් පිළිගත් නිසාම උන්වහන්සේ රජුගේ රාජාසනයටම (කරඬුව තබා) වඩා හිඳුවන ලදි. මෙතෙක් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලද රජකමේ ලකුණු ද එයින් ම දළදා හිමි සතු විය.

මහා විහාර භික්ෂූන්ගේ අප්‍රසාදිත බව නැති කර ගැනීමට සිතු කිත්සිරිමෙවන් රජු දළදා වහන්සේ නැවත දේවානම් පියතිස්ස රජු දවස මිහිදු මා හිමි වෙනුවෙන් ඉදි කළ “ධම්මචක්ක ගෘහය” නම් ගොඩනැගිල්ලේ තැන්පත් කළ‍ සේක.

එතැන් සිට දාඨා ධාතු ඝර, දළදා ගෙඩිගේ, යන විහාර ගෘහ ඉදිකිරීමේ සම්ප්‍රදාය ද ඇරඹුණි. පසු කල දළදා මාළිගාව වූයේ එහි විකාශයයි. මෙය රජුගේ මාළිගාව හා සම විය. “ධම්මචක්ක ගෘහ” සම්ප්‍රාප්තිය දළදා සිරිත ලේඛණ ගත විය. දෛනිකව පැවැත්විය යුතු පුද සේවා වාර්ෂිකව පැවැත්විය යුතු පුද පූජා ඊට අයත් විය. වාර්ෂික ව අභියුත්තර විහාරයට දළදා වැඩම වීමේ මහා පෙරහැර ද අයත් විය. වාර්ෂික ව යුත්තර විහාරයට දළදා වැඩමවීමේ මහා පෙරහැර ද එදා තීන්දු විය. ඒ අද ඇති දළදා පෙරහැර ඇරඹුමයි.

මේ උතුම් පෙරහැර සිරිත් ක්‍රි.ව. 5 වන සියවසේ වැඩිය “පාහියන්” භික්ෂුන් වහන්සේගේ දේශාටන වාර්තාවල පැහැදිලිව ඇත. පෙරහැරට දස දිනකට පෙර රජ ඇඳුමින් සැරසී ගත්තකු ඇතකු පිට නැඟී අණ බෙරලා සියලු වැසියන්ට පෙරහැර බැලීමට ආරාධනා කර ඇත. ඇත්සේනා ධජ, පතාක, ආරක්ෂක බලමුළු, නැටුම්, ගැයුම් සේම ධර්ම ප්‍රචාරයට තුඩුදෙන ජාතක කථා වස්තුන් රූපයට නන්වා වීදිවල “පැතිකඩ රූප” තිබූ අයුරු ද වාර්තාවේ ඇත.

මේ අයුරින්ම ක්‍රි.ව.596 පැමිණි “හියුං සාං” විසින් පෙරහැර නරඹන අවස්ථා ද රජ මාලිගය හා සමව දෙමහල් දළදා මාලිගාව දිස්වුණ හැටි ද කියයි. පද්මරාග මැණික් අල්ලා තිබූ දළදා මැදුර තාරකාවක් සේ දිස් වූ බව ම කියයි. අනුරාධපුර රාජධානිය සමයේ ඇරඹුණ සිරිමත් දළදා මහා පෙරහැර දළදා වහන්සේ වැඩ සිටි සිරිලක පුරා ම පවත්වති. මූලාරම්භය රජරටින් ඇරඹී බව ගෞරව බහුමානයෙන් සිහි ගන්වමු.

දළදා පුදට දිවිසෙන් එන ගුවන් මඟ

හැමදා දිලෙන දනමන කර නුවන් දඟ

විහිදා කිරණ බබළන රන් කැරලි අඟ

සුසදා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ

Comments