ශ්‍රී ලංකා කැරම් බලාපොරොත්තු සමඟ ලෝක කුසලානයට | සිළුමිණ

ශ්‍රී ලංකා කැරම් බලාපොරොත්තු සමඟ ලෝක කුසලානයට

ලෝක කුසලානයක් යනු ජාත්‍යන්තරය ජයගෙන තම මව් රටේ කීර්තිය ලොව හමුවේ ගෙන හැර පැමට ඇති අනගි අවස්ථාවකි. මෙවන් අවස්ථාවන් කිහිපයක් අපට හිමි වුවද දෙවතාවක් හැරුණු කොට එයින් නිසි පල ප්‍රයෝජන ගත් අවස්ථා නැත. ක්‍රීකටි ක්‍රීඩකයන් හැරුනු කොට ලෝක ක්‍රීඩාවෙන් කණ්ඩායම් මට්ටමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් දිනා ගත් අවස්ථා නොමැත. එවැනිම සුවිශේෂ දූර්ලභ අවස්ථාවක් අපගේ කාන්තා හා පිරිමි ජාතික කැරම් කණ්ඩායම් දෙකට මෙවර හිමිවී ඇත.

පස්වන වරට පැවැත්වෙන 2018 ලෝක කුසලාන කැරම් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා කොරියාවේ චුන්වෝන් හිදී පැවැත්වෙන විටදීය. කොරියානු කැරම් සමිමේලනයේ සත්කාරත්වයෙන් පැවැත්විමට කටයුතු සම්පාදනය කර ඇති මෙම තරගාවලියට සේලාන් බැංකුවේ සේවයේ නියුතු 2014 වසරේදී මාලදිවයිනේ පැවැති ‘ස්විස් ලීග්’ ලෝක කැරම් ශූරතාවයද දිනා ගනිමින් දෙවතාවක් ලීග් කැරම් ශූරතාවයට හිමිකම් කියන කැරම් ජාතික ශූර චමිල් කුරේට පිරිමි කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර කාන්තා කණ්ඩායමේ නායකත්වය ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධට හිමිව ඇත. ලොව ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පසුවන ක්‍රිඩකයන්ගෙන් සමන් විත අප කණ්ඩායමට මේ වසරේදී කැරම් ලෝක කුසලානය දිනාගත හැකි වේද? නැතිනම් එයත් සිහිනක් පමණක්ම වේද?

2018 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිත ජාතික ක්‍රිඩක ක්‍රිඩිකාවන් පුහුණු විම් වල නිරතව සිටින කොහුවල පිහිටි ශ්‍රි ලංකා කැරම් සම්මේලනයේ මුලස්ථානයට අප පසුගියදා ගොඩවී ඔවුන් සමග දොඩමළු වෙමින් ඔවුන්ගෙන් මේ පිළිබදව විමසා සිටියේය.

 

අපට ජයගත හැකියි

චමිල් කුරේ

ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්ම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා මා සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 ලෝක කුසලාන තරගාවලියේ පිරිමි කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා. අපට මෙවර තරගාවලිය ජයගත හැකි මානසිකත්වයකයි අප සැවෝම සිටින්නේ. පසුගිය වසරේදී ලෝක කුසලාන තරගාවලියට සහභාගී වු ක්‍රිඩකයන් දෙදෙනෙකු මා සමග සිටිනවා. ඒ නිශාන්ත ප්‍රනාන්දු හා ෂහිඩ් හිල්ම්, මා ද පසුගිය ලෝක කුසලානය නියෝජනය කලා.

රටවල් 20ක් පමණ 2018 ලෝක කුසලැන තරගාවලිය නියෝජනය කිරීමට එක්ව සිටිනවා. යුරෝපා රටවල්12ක් හා ආසියානු රටවල් 8ක් ඒ අතර වනවා. ඉන්දියාව තමයි අපට ඇති එකම අභියෝගය එය මේ වතාවේදී අභියෝගයක් කර නොගන්නට සියලු සැලැසුම් සකසා තිබෙනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී අපව අනු ශූරයන් කරමින් ඉන්දියාව තමයි ලෝක කුසලානය දිනා ගත්තේ. මේ වසරේ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 සිටින අප කණ්ඩායමට හැකියාව තිබෙනවා ඉන්දියාව පරාජය කොට ලංකාවට ලෝක කුසලානය රැගෙන ඒමට. ඒදේ කිරීමට අපි ලෑස්ති යි.

යුරෝපා රටවලින් එංගලන්තය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල් තමයි අභියෝගයකට සිටින්නේ නමුත් ඔවුන්ව අභියෝගයක් නොවන ලෙස අප කණ්ඩායමට සටන් කළ හැකියි.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ අලුත්ම කැරම් බෝඩ් එකක “සින්කෝ පැලැටිනම්” කියන අලුත්ම බොඩ් එකක අප කණ්ඩායමටද තරගාවලියට සූදානම් වීම සඳහා වත්මන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතාගේ උපදෙස්මත සින්කෝ පැලැටිනම් කැරම් බෝඩ් දෙකක් ලබාදුන්නා. මේ වන විට අප පුහුණුවීම් වල නිරතව සිටින්නේ ඒ කැරම් බෝඩ් වලයි. නව තාවයෙන් යුතු සැලැසුම් සකස් කරමින් අප ඒ අලුත් කැරම් බෝඩ් වල මේ වන විට පුහුණු විම් වල නිරතව සිටිනවා.

ක්‍රිඩා අමාත්‍යාංශය හා ක්‍රිඩා ඇමැතිතුමා අප වෙත විශේෂ අනුග්‍රාහ ලබාදී තිබෙනවා තරගාවලිය නියෝජනය කරන තරග කරුවන් අටදෙනාටම ගුවන් ටිකත් පත් හා තරගාව‍ලියේ ඇතුලත් විමේ ගාස්තු ක්‍රිඩා අමාත්‍යාංශය විසින් ලබා දීමෙන් අපව දිරිගැන් වුවා. අප බලාපොරොත්තු වනවා තරගාවලියට සහභාගිවිමට ප්‍රථම ක්‍රිඩා ඇමැතිතුමාව හමුවී අපගේ සුදානම ගැන ඔහුව දැනුවත් කිරීමට.

ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් වල සිටින අංක 01 සිට පහළට සිටින සිව් දෙනා තමයි තරගාවලිය නියෝජනය කරන්නේ. ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායම ගැන මට විශාල විශ්වාසයක් තිබෙනවා. අපට කළ හැකි උපරිමයෙන් තරග කර ලංකාවේ සිංහ ධජය ලොව හමුවේ මුදුනට ගෙන ඒමයි අප කණ්ඩායමේ බලාපොරොත්තුව.

ක්‍රීඩිකිවන් ඉතාමත් දක්ෂයි

යසිකා රාහුබද්ධ

සුදානම හොඳයි ඉතා හොඳයි. ඉතාමත් දක්ෂ ක්‍රිඩිකාවන් තිදෙනෙකුගෙන් සමන් විත කණ්ඩායමක් ලැබිලා තියෙනවා. මා ‍ඒ ගැන සැහිමකට පත්වනවා. පසුගිය ජුලි වල සිට හුණුවීම් වල නිරත වෙනවා. දැනට මාසයකට වැඩි කාලයක් ජිවිතය කැරම් තමයි. ගෙදර ගියත් කැරම් පුහුණුවිම් වල නිරත වෙමින් තරගාවලියට එක් විමට සුදානම් වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ චලනි ලක්මාලි ලියනගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි යන ක්‍රිඩිකාවන් තමයි මගේ සෙසු ක්‍රිඩිකාවන් ඔවුන් ජාතික ශ්‍රේණිගත කිරීමවල එකේ සිට පහලට සිටින ක්‍රිඩිකාවන් ඔවුන්ද මේ දින වල ගේ දොර වැඩ කටයුතු පසෙකළා පුහුණුවීම් වල නිරතව සිටිනවා. ඒ නිසා මට ඔවුන් ගැන ආඩම්බරයි.

ඉන්දියාව තමයි අපට හැම තරගාවලියකදී අවසන් වටයට හමුවෙලා තියෙන්නේ. ඉතාමත් සුලු අතපසුවීම් වලින් තමයි අප පරාජය වී වුණේ. මෙවර ඒ අතපසුවීම් සියල්ල හොඳින් අවබෝධ කරගෙන තරගාවලියට එක් වී තරගාවලිය ජයගෙන ලෝක කුසලානය ජයගැනිම තමයි අපගේ එකම ප්‍රාර්ථනය.

මම රැකියාව කරන්නේ ගුවන් හමුදාවේ. මා සමග චලනි ලක්මාලිද සේවය කරනවා. අප දෙදෙනාට වෙනම පුහුණු විම සඳහා ගුවන් හමුදාවේ තැනක් වෙන් කර දී තිබේනවා. අප දෙදෙනාව දැනට මාසයක සිට සේවයෙන් නිදහස් කරලයි සිටින්නේ. අප දෙදෙනාටම ගුවන් හමුදාපතිතුමා ඇතුලු ඉහළ නිලධාරීන් සියලු දෙනාගේම ආශීර්වාද තිබෙනවා.ඔවුන් අපට අවශ්‍යදේ සපයා දෙමින් අපව දිරි ගන්වනවා. ඒ වගේම ශ්‍රී ලංකා කැරම් සම්මේලනයද අපගේ අවශ්‍යතාවයන් සපුරාලමින් පුහුණුවීම් වලදි අවශ්‍ය දැ නිසි ලෙස සපුරමින් අපව දිරිගන්වනවා. එය අපට විශාල විශ්වාසයක්. මේ හැමෝගේම බලාපොරොත්තුව අප ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමයි. අපි මේ වසරේදී ඒ දේ සපල කිරීමට සපත වෙනවා. ‍යයි පවසමින් ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායමේ නායිකා යසිකා රාහුබද්ධ වැඩිදුරටත් අදහස් දක්වමින් අප සමග පවසා සිටියේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රධාන විනිසුරුවරියක් ලෙස අමිතා වික්‍රමසිංහ, ජාතික කණ්ඩායම් භාරකරුලෙස ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක හා කණ්ඩායම් කළමණාකරුලෙස බ්‍රිනිඩ්ලි වික්‍රමසිංහ තරගාවලියට සහභාගීවිමට නියමිතය.

ඡායාරුප - රංජිත් අසංක

Comments