ආසියානු ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාව මෙවර වෙනසක් කරයිද? | සිළුමිණ

ආසියානු ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාව මෙවර වෙනසක් කරයිද?

බහුවිධ ක්‍රීඩා තරගාවලියකට එක්වන විශාලම ශ්‍රී ලංකා සංචිතය දහඅට වැනි ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා එක්ව සිටියි. මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පිහිනුම්, බොක්සිං, ඔරු පැදීම, ජිම්නාස්ටික්, බේස්බෝල්, කබඩි, ප්‍රථම වරට කාන්තා කබඩි කණ්ඩායමක් 

මෙවර තරගාවලියට එක්වෙයි. වොලිබෝල්, බීච්වොලිබෝල්, සත් සාමාජික රග්බි ඇතුළු ක්‍රීඩා 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ක්‍රීඩා උළෙලට එක්වෙති.

රන් පදක්කම්

මෙතෙක් පැවැති ආසියානු තරගාවලි දහහතම නියෝජනය කර ඇති ශ්‍රී ලංකාව එහිදී දිනාගෙන ඇත්තේ රන් පදක්කම් 11 ක්, රිදී 11 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් ඇතුළුව සමස්ත පදක්කම් 46 ක් පමණි. ආසියානු ක්‍රීඩා උලෙළේ වැඩිම පදක්කම් ලාභි රටවන චීනය 1974 දි පළමුවරට මේ තරගාවලියට එක්වී තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙන අතර එතෙක් මෙතෙක් දිනාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 1342 කි. රිදී 901 ක් සහ ලෝකඩ 655 කි.

අවසන් වරට කේවල ආසියානු පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ සුසන්තිකා ජයසිංහ 2006 දි මීටර් 100 රිදී සහ මීටර් 200 ඉසව්වට දිනා ගත් ලෝකඩ පදක්කම් දෙක පමණි.

මුල්ම පදක්කම

ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රි ලංකාවේ මුල් ම පදක්කම් ලාභියා එම්.ඒ. අක්බාර් ය. 1951 නවදිල්ලියේ පැවැති ප්‍රථම ආසියානු ක්‍රීඩා උලෙළේ රිටි පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

මුල් ම රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි වන්නේ 1958 ටෝකියෝහි පැවැති තෙවැනි තරගාවලියේදී නාගලිංගම් එදිරිවීරසිංහම් උස පැනීමේ ඉසව්වෙනි. 1962 ජකාර්තාහි පැවැති හතරවැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ නිර්මලා රාජපක්ෂ මීටර් 400 ඉසව්ව සඳහා ලෝකඩ පදක්කම දිනා ගත් අතර එය ලාංකේය ක්‍රීඩිකාවක් දිනා ගත් මුල් ම පදක්කම ද වෙයි.

ස්වර්ණමය යුගය

ආසියානු ක්‍රීඩා උලෙළේ පමණක් නොව ලාංකේය මලල ක්‍රීඩාවේ ද ස්වර්ණමය යුගය ලෙස 1970 සහ 1974 හැඳින්විය හැකිය. 1958 පැවැති ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් නාගලිංගම් එදිරිවීරසිංහම් දිනා දීමෙන් අනතුරුව නැවත රන් පදක්කම් පහස විඳීමට හැකි වූයේ 1970 දීය. 1970 බැංකොක්හි දී එස්.එල්.බී. රෝසා මීටර් 5000, 10,000 ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව ඩබ්ලිව්. විමලදාස මීටර් 400 ඉසව්ව සඳහා රිදි පදක්කම ද ජේ. විජේවර්ධන සහ ඒකේන්ද්‍ර එදිරිසිංහ රුවල් ඔරු පැදීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්හ. 1974 ටෙහෙරාන්හිදී ඩබ්ලිව්. විමලදාස මීටර් 400 සහ ඩබ්ලිව්. විමලදාස, එස්. ගුණවර්ධන, ඒ. ප්‍රේමචන්ද්‍ර සහ කේ. සහබන්දු මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

1974 ට පසු නැවත ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූයේ 1998 බැංකොක් හි පැවැති 13 වැනි තරගාවලියේ දී ය. එහිදී දමයන්ති දර්ශා මීටර් 200 - 400 සහ සුගත් තිලකරත්න මීටර් 400 ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මෙහිදී කේවල ඉසව් දෙකකින් එස්.එල්.බී. රෝසාට (1970) පසුව රන් පදක්කම් දෙකක් දිනා ගත්තේ දමයන්ති දර්ශා පමණි. මේ රන් පදක්කම් ද්විත්වයත් සමඟ ආසියානු තරගාවලියේ රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස දමයන්ති දර්ශා ඉතිහාසගත වූවාය. සුගත් එහිදී මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම සහ ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු තරණ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ක්‍රීඩක - ක්‍රීඩිකාවන් 174ක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දහඅට වැනි ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩකයන් 128 සහ ක්‍රීඩිකාවන් 48 ක් ඇතුළුව 174 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නියෝජනය කරති. ක්‍රීඩා 28 ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිතය.

ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ බර ඉසිලීමේ රිදී පදක්කම් ලාභි ඉන්දික දිසානායක කිලෝග්රෑම් 66 බර පන්තියෙන් ද, ලෝකඩ පදක්කම් ලාභිනි දිනුෂා ගෝමස් කිලෝග්රෑම් 48 පන්තියෙන් ද ආසියානු ක්‍රීඩා උලෙළ නියෝජනය කරති. ඊට අමතරව පොදු රඳ ක්‍රීඩා උලෙළේ බොක්සිං රිදී පදක්කම් ලාභීන් වූ අනූෂා කොඩිතුවක්කු කිලෝග්රෑම් 51, තිවංක රණසිංහ කිලෝග්රෑම් 48 සහ ඉෂාන් බණ්ඩාර කිලෝග්රෑම් 52 බර පන්තියෙන් ද ආසියානු තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර තරගාවලියේ මලල ක්‍රීඩා තරග සඳහා ආසියානු කනිෂ්ඨ මීටර් 400 රන් පදක්කම් ලාභී අරුණ දර්ශන ඇතුළුව ඉඳුනිල් හේරත් මීටර් 800, රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200, නිමාලි ලියනආරච්චි, ගයන්තිකා අබේරත්න මීටර් 800 තරග බිමට පිවිසෙති. සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ සත් සාමාජික රග්බි කණ්ඩායම ද, පිහිනුම් කණ්ඩායම නියෝජනය මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චිරන්ත ද සිල්වා, අකලංක පීරිස් සහ කවින්ද්‍ර නුගවෙල තරග කරති.

මහත් ආන්දෝලනයක් ඇති කළ කාන්තා ටෙනිස් කණ්ඩායම නියෝජනය කරමින් අංජලිකා කුරේරා සහ අනිකා සෙනෙවිරත්න තරග බිමට පිවිසෙති. පිරිමි වොලිබෝල් කණ්ඩායම ඊ කාණ්ඩයෙන් තරග කරන අතර මූලික වටයේ දී චීනය, තායිලන්තය සහ වියට්නාමය සමඟ තරග කිරීමට නියමිතය. ජිම්නාස්ටික් කාන්තා ඉසව්වලදී ඇනා මාරි ඔන්ඩච්චි රිද්මයානුකූල ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.

2014 ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වූයේ පිරිමි ක්‍රිකට් රන් පදක්කම සහ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම් දෙක පමණි.

   

 

Comments