විරෝ­ධයේ අයි­තිය! | සිළුමිණ

විරෝ­ධයේ අයි­තිය!

සර­සවි සිසුන් ඇතුළු විශ්ව­වි­ද්‍යාල ප්‍රජා­වගේ දිගු­කා­ලීන ඉල්ලී­මක් වූයේ, රටේ දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 6%ක මුද­ලක් වාර්ෂි­කව උසස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් වැය කළ යුතු බවය. ඒ ඉල්ලීමේ අසා­ධා­ර­ණ­යක් නැත්තේ රටක ඉදි­රිය ගැන බැලී­මේදී බුද්ධි­ම­තුන්ගේ දාය­ක­ත්වය අත්‍ය­වශ්‍ය සාධ­ක­යක් වන හෙයිනි.

මෙලෙස උසස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් රටේ ජන­තා­වගේ මුද­ල්ව­ලින් වෙන් වන කවර ප්‍රති­ශ­ත­යක වුවද වැඩි ප්‍රමා­ණ­යක් ගලා යන්නේ රටේ විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය වෙත බව නොර­හ­සකි. ඒ එහි විද්‍යා­ගාර, ගොඩ­නැ­ඟිලි ආදි යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට සහ ශිෂ්‍ය­යන්ගේ සහ ආචා­ර්ය­ව­රුන්ගේ කට­යුතු වෙනු­වෙනි. මෙය රටක් ලෙස කරන ජාතික මට්ටමේ ආයෝ­ජ­න­යකි. එහෙත්, මේ ආයෝ­ජ­නයේ නිසි ප්‍රති­ලාභ, නිසි කලට, නිසි මිනි­සුන් විසින් ලබා­ග­න්නේද යන්න අද අප හමුවේ ඇති ප්‍රශ්න­යයි. වෙසෙ­සින්ම සර­සවි ශිෂ්‍ය ප්‍රජාව උසස් අධ්‍යා­ප­නයේ පර­මාර්ථ අතර ශිෂ්‍ය­යන් ලෙස කොතෙක් දුරට හැසි­රෙ­න්නේද යන ගැට­ලු­වය.

නිතර කොළඹ නග­රයේ රාජ­කාරි සඳහා පැමි­ණෙ­න්නන්ට හෝ ඉඳ­හිට දුර­බැ­හැර සිට තමන්ගේ වැඩක් කර­ගැ­නී­මට අග­නු­ව­රට එන සාමාන්‍ය ජන­තා­වට හෝ නග­ර­යේදී අත්වි­ඳි­න්නට සිදු වන දැවැ­න්තම කර­ද­රය වන රථ­වා­හන තද­බ­දය සිය ගුණ­ය­කින් වැඩි කර­වන සුලබ කරු­ණක්ව ඇත්තේ සර­සවි සිසු උද්ඝෝ­ෂ­ණය. රතු­ක­මිස රතු­පටි හැඳ-පැලඳ, දමිළ චිත්‍ර­ප­ට­යක කාඩ්බෝඩ් විප්ල­ව­කා­ර­යන්ගේ වෙස් ගත් සර­සවි සිසුන් තම ඉල්ලීම් අර­බයා ප්‍රධාන වශ­යෙන් කොළඹ හෝ ඊට තදා­සන්න නග­ර­වල සිදු කරන මේ ජන­හිං­සා­කාරි උද්ඝෝ­ෂණ හේතු­වෙන් අද විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යාගේ බුද්ධි­මය ප්‍රති­රූ­පය අන්ත­ය­ටම හේදී ගොස් තිබේ. ඉතා සුළු දෙයට පවා බුරුතු පිටින් පාරට බැස­ගෙන ඔවුන් විසින් කරනු ලබන මේ උද්ඝෝ­ෂණ නිසා සැබැ­වින්ම වැඩිම පීඩ­න­ය­කට ලක් වන්නේ ඔවුන්ගේ දෙම­වු­පිය සහෝ­දර සහෝ­ද­රි­යන් බහු­ත­ර­යක් නියෝ­ජ­නය කරන පීඩිත පන්ති­ය­මය. මෙවැනි විරෝ­ධතා හමුවේ වැසුණු පාර­වල නැව­තෙන වාහන අතර වැඩිම පීඩ­න­යක් දරන්නේ කිටි­කි­ටියේ සෙනඟ හිර වුණු බස් රථ­යක ගමන් කරන හෝ දුම් පහර කමින් ත්‍රිරෝද රියක ගුළි වුණු මිනි­සුන් මිස, වායු සම­නය කරන ලද ලොකු වාහ­න­වල යන මිනිස්සු නොවෙති; එසේම වග කිව යුතු බල­ද­රු­වන් හෝ මැති-ඇමැ­ති­ව­රුද නොවෙති. ඔවුන්ගේ මේ වීදි සට­න්වල අර­මුණ ජන­තාව මේ උද්ඝෝ­ෂණ හරහා පීඩා­වට පත් කොට ඔවුන් වෙතින් රජය කෙරෙහි අප්‍ර­සා­ද­යක් එල්ල කර­වී­මද යන්න පැහැ­දිලි නැත. කෙසේ වුවද මේ වන විට සිදුව ඇත්තේ මේ විරෝ­ධතා සහ ඉටු කර­න්නට අමාරු ඉල්ලීම් පෙරටු කොට සැණෙ­කින් පාර­වල් වහන දඩ­බ්බර ශිෂ්‍ය ප්‍රජාව වෙත සමාජ වෛර­යක් නිර්මා­ණය වීමය.

මේ සමාජ විරෝ­ධ­තා­වට අත්වැල දෙන අනෙක් සාධ­කය වන්නේ විශ්ව­වි­ද්‍යාල තුළ පවත්නා ත්‍රස්ත­වා­ද­යයි. නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් කොත­රම් දැඩි ප්‍රති­පත්ති පිළි­බඳ කතා කළද මේ වන විටද මෙරට බුද්ධි­මත් ශිෂ්‍ය ප්‍රජා­ව­ගෙන් සැල­කිය යුතු පිරි­සක් මෙකී නව­ක­ව­ධය ඇතුළු අමා­නු­ෂික ක්‍රියා­දා­ම­යන් හමුවේ සර­සවි බිම් හැර ගොසිනි. උසස් අධ්‍යා­පන අමා­ත්‍ය­ව­ර­යාගේ නිල සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව එය දෙද­හස ඉක්ම­වයි. මෙය එක් අත­කින් විමු­ක්තිය, සමා­ජ­සා­ධා­ර­ණ­ත්වය‍, උග­තුන් වීමේ අයි­ති­වා­සි­කම් ඉල්ලා පාරට බසින බව කියන සිසු පර­පුරේ අප නොද­කින ඛේද­නීය මුහු­ණු­ව­රකි. මෙයින් පෙනී යන්නේ ලෝකය යන අතට ප්‍රග­ති­ගා­මීව ඇදෙන සිසු පර­පු­ර­කට වඩා, පසු­ගාමි ගෝත්‍රික යුග­ය­කට යන ශිෂ්‍ය ව්‍යාපා­ර­යක් අප විශ්ව­වි­ද්‍යාල පසු­බිමේ සැඟව ඇති බව නොවේද?

කෙසේ වුවත් සර­සවි ප්‍රජාව තුළ මෙවැනි විරෝ­ධතා උද්ඝෝ­ෂණ පව­තින්නේ අපේ රටේ පම­ණක් නොවන බවද අප සිහි­පත් කළ යුතුය. යුරෝ­පයේ හෝ ඇමෙ­රි­කාවේ ලොකයේ හොඳම විශ්ව­වි­ද්‍යාල යැයි කියන ඒවායේ පවා මෙවැනි ශිෂ්‍ය විරෝ­ධතා එදාට වඩා වැඩි ප්‍රව­ණ­තා­ව­කින් සිදු වන බව මේ පිළි­බඳ ශාස්ත්‍රීය අධ්‍ය­ය­න­යක යෙදුණු, දකුණු අප්‍රි­කාවේ ඩර්බන් සර­ස­වියේ ආචාර්ය ගෝපා­ල­ක්‍රි­ෂ්ණන් චෙට්ටි හෙළි කරයි. මෙහිදී විරෝ­ධතා දැක්වීම සිසු අයි­ති­යක් බවත්, ඒ අයි­තිය රැකීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදි සමා­ජ­යක වග­කී­මක් බවත් පව­සන ඔහු, එහෙත් ඔවුන් හිංස­න­යට පෙල­ඹෙන්නේ නම්, මහ­ජ­න­තා­වට පීඩා කරන්නේ නම් එවැනි විරෝ­ධතා උද්ඝෝ­ෂණ මැඬ­පැ­ව­ත්විය යුතු බවද අව­ධා­ර­ණය කරයි. ඔහු පව­සන්නේ කිසිදු විටෙක සමාජ යහ­ප­වැත්ම කඩ වන සීමා­මා­යිම් පැන්නී­මට ඔවුන් පෙ­ල­ඹිය නොයුතු බවයි.

මේ කරුණ සම්බ­න්ධ­යෙන් සැල­කී­මේදී අද අපේ පාල­ක­යන්ට වඩා ජන­තා­වට වධ­යක් වී ඇත්තේ ඔවුන්ගේ මේ වීදි සට­න්වල ස්වභා­ව­යයි. එය එක්කෝ මේ බුද්ධි­ම­තුන් යැයි කියන ශිෂ්‍ය ප්‍රජාව විසින්ම නිවැ­රදි කර­ගත යුතුය; එසේ නැති නම් මහ­ජ­න­තාව පිළි­ගන්නා ක්‍රම­ය­කට ඔවුන් නිවැ­රදි කිරී­ම­කට ලක් කළ යුතුය. වඩාත් සුදුසු වන්නේ සර­සවි ප්‍රජාව මේ කාර­ණ­යේදී ඉස්සර වීමය.

Comments