වනේ අපට ඇයි අනේ මේ විනේ.. | සිළුමිණ

වනේ අපට ඇයි අනේ මේ විනේ..

කිරි­කෝඩු හම්බු තමන්ගේ යහළු යෙහෙ­ළි­යන් සමඟ වැව් පිටියේ දුව පැන ඇවිද ගියේ නිද­හස් සිත­කින්. අම්මා නම් ලොකු අම්මලා, පුංචි අම්මලා, නැන්දලා එක්ක එකතු වෙලා තණ පත් බුදින්නේ පුංචි කට්ටි­යට ඕනෑ තරම් දුව පැන නට­න්නට ඉඩ ලබා දෙන්න වාගෙයි. ඒත් වැඩි­හිටි අය­ගෙන් එක්කෙ­නෙක් දෙන්නෙක් මේ පුංචි උන් දිහා ඇහැ ගහ­ගෙන බලා ඉන්නේ පොඩ්ඩ­න්ටත් නොදැ­නෙ­න්නයි. දාන්ග­ලේට මොකක් හරි නොහො­බිනා දෙයක් කරලා අන­තු­රක් එහෙම කර­ග­ත්තොත්?

හවස් කරේ ලැග ඉන්න කැලෑ රොදෙන් එළි­යට පිට­මං­වෙලා දිය තියෙන තැන­කට රොක් වෙලා බඩ පිරෙන්න වතුර එහෙම බීලා, නාලා, පොඩි එවුන් ටිකත් නාව­ගෙන මැසි මදුරු පීඩා­වෙන් ඒ සිඟි­ත්තන් ආරක්ෂා කර ගන්න දූවිලි එහෙම ඇඟේ තව­රලා මේ විදි­හට වැව් පිටියේ විසි­රුණු ළා තණ පත් බුදින්නේ රාත්‍රී සංචා­ර­යට පෙර ලොකු බඩ­වල් ටික පුරව ගන්නයි. මේ සා විසල් බඩ ගෙඩි­යක් පුරෝ­ගන්න කැලේ පුරා කිලෝ­මී­ටර් 30 –40ක්වත් ඇවි­දින්න ඕනෑ. හම්බුගේ රැළත් සූදා­නම් වුණේ ඒක­ටයි.

පුරුදු විදි­හ­ටම සවස් කරේ නිද­හසේ සෙල්ලම් කරපු පුංචි අලි සිඟි­ත්තොත් කැටුව රාත්‍රිය උදා වෙද්දීම කැලේට වැදුණු මේ අලි රංචුව තමන්ගේ ගොදුරු බිම් සොයා ඇදී ගියේ අතර මගදී හමු වෙන දේව­ලුත් ආහා­ර­යට ගනි­මි­නුයි. අතී­ත­යේදි නම් හිතේ හැටි­යට මහා වන්නි වන­පෙතේ හක්කලං කර­මින් මිනිස් පුළු­ට­ක්වත් ඇහැ­නො­ගැ­ටෙ­මින් ගෙවපු ජීවි­තය දැන් මත­ක­යක් විත­රයි.

රාත්‍රිය ගෙවී යනවා. ඒත් බඩ­ගි­න්නට හරි­යන දෙයක් නම් තව­මත් ලැබුණේ නෑ. කැලේ මායි­මට වෙන්න තියෙන අලු­තින් වගා කරපු හේනට හොරෙන්ම ඇතුළු වෙන්නයි දැන් කීප­දෙ­නෙ­කුගේ කල්ප­නාව. මේ අලි රංචුව කෑම හොයා ගෙන යනවා නම් දැන් රැඳිලා ඉන්න කැලෑ රොදෙන් අනෙක් කැලෑ රොදට මාරු වෙන්න ඕනෑ. ඒත් කැලෑ රොද දෙබෑ කර­ගෙන ඉදි වෙන පාරක් හින්දා පුංචි එවු­න්වත් අර­ගෙන පාර පනි­නවා නම් පරෙ­ස්සම් වෙන්න ඕනෑ. වන­අලි රංචු­වක් යනු එක­මු­තු­කමේ සංකේ­ත­යක්.

කට්ටි­යම බඩ­ගින්නේ ඉන්න පුංචි­වුන් ටිකත් කැටුව ළගම තියෙන හේනට හොර රහ­සේම පනින්න තිර­ණය කළේ අන්න ඒ හින්දයි. නමුත් සිදු වුණේ හැමෝම නොසිතූ දෙයක්. එක වරම මහ හඬින් යමක් පුපරා ගියේ අලි රැළ සී සී කඩ දුව­න්නට සල­ස්ස­ව­මින්.

හිතේ බයට ඇති තරම් ඈතට දුවලා හැරී බලද්දි පුංචි හම්බු මග හැරිලා. තැන තැන විසි­රුණු අනෙක් සාමා­ජි­ක­යොත් එක තැන­කට එකතු වෙන කොට එළි­වෙ­න්නත් ළගයි. ඒත් හම්බු ආගිය අතක් නෑ. ඒත් සිදු­වීම වුණු මිනිස් වාස­යට ආයේ­මත් යන්න මේ ඇත්තන්ට හිත දෙන්නේම නෑ.

ඩෝං ගානා හඬත් සම­ඟින් පුංචි හම්බුට දැනුණේ දරුණු වේද­නා­වක්. දෑස් හැර බලද්දි එයා විත­රක් තැනක තනි­වෙලා. රැලේ අනිත් අය පළා­ත­ක­වත් නෑ. කට හරි­යෙන් ඇති වෙන දරුණු වේද­නාව මැද්දේ හම්බු පුංචි හොඬ­යෙන් කට ඇල්ලුවා. හපොයි එකම ලේ විලක්. දත්වත් දිව­වත් නෙමේ අහු­වෙන්නේ එල්ලා වැටෙන තොලක්. වේද­නාව දරා ගන්න බෑ. ඒත් එහෙ­මයි කියලා මෙතන ඉන්න බෑ. වැනි වැනි නැගිට්ට හම්බු වැනි වැනිම ආයේ­මත් කැලේට වැදුණා. ඒත් හරි­යට පාර­වත් හොයා ගන්න බෑ. වැනි වැනීම ඉබා ගතේ ඇවිද්දා. හරිම තිබ­හයි. ඔය විදි­හට දවස දෙක සතිය හමාර ඇවිද්දා. හරිම අමා­රුයි. බඩ­ගි­නියි. තිබ­හයි. වේද­නා­වයි. වතුර කඩි­ත්තක් හම්බ වුණාම තිබහ නිවෙන්න හිතා­ගෙන හොඩේට ගත්තු වතුර පොද කටට ළං කළත් වතුර පෙවෙන්නේ නෑ. දිය පොද­ක්වත් නැතිව හම්බු තවත් දුර්වල වුණා. ඇද­ගෙන වැටුණා. අම්මාගේ සුවඳ හීනෙන් වගේ දැනී ඒ සුව­ඳට ඉව­අ­ල්ල­මින් හඬ නැඟු­වත් අම්මා ළඟ­පා­තක නෑ. ඉතින් හම්බු සද­හ­ටම තනි­වුණා. හම්බ­න්තොට මහ­ගල ප්‍රදේ­ශයේ වගා ඉඩ­මක තුවාල ලබා වැටී සිටී වයස අවු­රුදු හයක පමණ වූ පිරිමි අලි පැට­වකු හම්බ­න්තොට වන­ජිවී සංර­ක්ෂණ නිල­ධා­රීන්ට හමු වුණේ පසු­ගිය සඳු­දායි. මුඛයේ දරුණු තුවාල සහිත අලි පැට­වාට වන­ජීවී පශු වෛද්‍ය නිල­ධා­රීන් කැඳවා ප්‍රති­කාර කිරීම ආරම්භ කළත් තුවා­ල­වල බර­ප­ත­ළ­කම සහ සති­යක් හමා­රක් නිරා­හා­රව සිටීම නිසා අලි පැටවා එදි­නම මිය ගියේය.

හක්ක­ප­ටස් යනු මෑත කාලී­නව වන­අලි - මිනිස් ගැටුම උග්‍රව පව­තින ප්‍රදේ­ශ­වල මිනි­සුන් වන­අලි ජීවිත බිලි ගැනීම සදහා බහු­ලව යොදා ගන්නා උප­ක්‍ර­ම­යකි. 2018 වසරේ ජන­වාරී සිට මේ දක්වා හක්ක­ප­ටස් ආහා­ර­යට ගැනීම හේතු­වෙන් වන­අලි ජීවිත 28 ක් පමණ අකා­ලයේ විනාශ වී ඇත. පසු­ගිය වසරේ වාර්තා වූ වන­අලි මරණ 256 න් 54 ක්ම හක්ක­ප­ටස් ආහා­ර­යට ගැනීම හේතු­වෙන් සිදු වූ මර­ණය.

ආස­න්න­තම සිදු­වීම් වන්නේ හම්බු සහ ඊට පසුදා එනම් 14වැනිදා ත්‍රීකු­ණා­මල වන­ජීවී කලා­ප­යට අයත් ගෝම­ර­න්ක­ඩ­වල, ගල්ක­ඩ­වල කුඹු­ක්වැව ආස­න්නයේ කුඹුරු යාය­කදී තුවාල ලැබ මිය ගිය වයස අවු­රුදු 35 ක් පමණ වන ඇති­න්නයි. හක්ක­ප­ටස් පිපි­රී­මෙන් වැඩි වශ­යෙන් මර­ණ­යට ගොදුරු වන්නේ කිරි උරා බොන වයසේ පසු වන වන­අලි පැට­වුන්ය. මේ වයසේ පසු වන පැට­වුන් සොඬ­යට හසු­වන ආග­න්තුක ඕනෑම දෙයක් අල්ලා මුඛය තුළ දමා ගනි­මින් හැපීම සාමාන්‍ය දෙයකි. ඒ උන් ආග­න්තුක දෙය හඳුනා ගන්නා එක් ක්‍රම­යකි. මුලදී වගා හානි කරන වල් ඌරන් ඉලක්ක කර­මින් නිපදවූ හක්ක­ප­ටස් දැන් වනඅලි ඉලක්ක කර­මින් නිප­ද­වීම සිදු­කෙරේ. අමු­ද්‍ර­ව්‍යය ප්‍රමා­ණ­යෙන් වැඩි කර­මින් වන­අ­ලින් සදහා භාවි­ත­යට ගනියි. වන­ස­තුන් ආක­ර්ශ­නය කර ගැනී­මට නොයෙ­කුත් රස­කා­රක මෙයට මුසු කරන බවද වාර්තා වේ. එවැනි හක්ක­ප­ටස් මුඛයේ දමා සපන වන­සත්තු විශේ­ෂ­යෙන්ම වනඅලි එක­වර මිය නොයති. උන් මිය යන්නේ දත් සහ දිවට බර­ප­තළ ලෙස තුවාල සිදු වී ආහාර පම­ණක් නොව වතුර පවා පානය කළ නොහැ­කිව සති ගණන් දුක් පිඩා විඳි­මිනි. හක්ක­ප­ටස්වලට අම­ත­රව මිනිස්සු විසින් වන­අලි ඝාත­නය සඳහා ගිනි අවි, වස සහ විදු­ලිය සැර ද යොදා ගනිති.

සේයාරූ - රෝහිත ගුණ­ව­ර්ධන

වන­ජීවී පශු වෛද්‍ය මාලක කසුන් අබේ­ව­ර්ධන

Comments