මං හැම තැනම ගියේ නොරිකො සං එක්ක | සිළුමිණ

මං හැම තැනම ගියේ නොරිකො සං එක්ක

සර­ච්ච­න්ද්‍රයන්ගේ මළ­ගිය ඇත්තෝ සොයා ජපා­න­යට ගිය ගම­නක විසි­තුර

දෙවෙ­න්දොරා සං හා නොරිකො සං නම් වූ පෙම්ව­තුන් හරහා සර­ච්ච­න්ද්‍ර­යන් අප ‍කිසිදා නොදුටු ජපාන ජන ජීවි­තය ගැන කීවේය. එහි සොඳුරු තැන් කරා ගෙන ගියේය. අපේ පර­ම්ප­රාවේ බොහෝ දෙනෙක් පම­ණක් නොව මළ­ගිය ඇත්තෝ හා මළ­වුන්ගේ අවු­රුදු දා පොත් කියවූ කවු­රුත් මේ චරි­ත­ව­ලට මෙන්ම ඔවුන් ජපා­නයේ ආගිය තැන්ව­ලට ද පෙම් කළහ.

ආ ගිය මඟ තොටදී අපට බොහෝ මිනිස්සු හමු­වෙති. ඒ හමු­වෙන හැම කෙනෙ­කු­ගේම ‍කුමක් හෝ වටි­නා­ක­මක් වෙයි. අපට අහ­ම්බෙන් හමුවූ නාරද විජ­ය­සූ­රිය ද මේ කිය­න්නට යන කතාවේ කතා­නා­ය­ක­යාය. කලක් තිස්සේ ජර්ම­නියේ පදිං­චිව සිටින නාරද කෙටි නිවා­ඩු­ව­කට මේ දින­වල ලංකා­වට පැමිණ සිටී. ලෝකය වටා ඇවී­දිමේ ආසා­වෙන් පෙළෙන ඔහු මීට ටික කල­කට පෙර ජපා­න­යට ගියේය. ඔහු ජපා­න­යට ගියේ නිකම්ම නිකම් සංචා­ර‍ය­කට නොවේ. ගමනේ අර­මුණ වූයේ සිතින් පෙම් බැඳි ඇය සොයා ගැනී­මය. නාර­දට ඇය මුලින්ම හමු­වන්නේ පාසල් වියේ­දීය. එනම් වයස අවු­රුදු දහ­හ­තක් තරම් කාල­යේය. අරු­මය නම් නාරද පම­ණක් නොව ඔබ අප කවු­රුත් ඇයට අප­මණ පෙම් කිරී­මය.

“ඇය කවුද?” ඔබ කුතු­හ­ල­යෙන් අසනු ඇත.

“ඇය නොරිකො සං”

මේ නොරි­කොසං කවු­රු­න්දැයි ඔබ හඳු­න­න­වාද?

මළ­ගිය ඇත්තෝ හා මළ­වුන්ගේ අවු­රුදු දා යන නව­කතා ද්විත්ව­යේදී අපට හමු­වන ඇය සොයා යෑමම අරු­ම­යකි.

ජපා­නය කියන්නේ හීන­යක්. ඒ හීනයේ අප අත­රමං වෙන්නේ පාසල් වියේ­දීය. මහා­චාර්ය එද­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ මළ­ගිය ඇත්තෝ නව­ක­තාව කියැ­වී­මත් සම­ඟය. දෙවෙ­න්දොරා සං හා නොරික සං නම් වූ පෙම්ව­තුන් හරහා සර­ච්ච­න්ද්‍ර­යන් අප ‍කිසිදා නොදුටු ජපාන ජන ජීවි­තය ගැන කීවේය. එහි සොඳුරු තැන් කරා ගෙන ගියේය. අපේ පර­ම්ප­රාවේ බොහෝ දෙනෙක් පම­ණක් නොව මළ­ගිය ඇත්තෝ හා මළ­වුන්ගේ අවු­රුදු දා පොත් කියවූ කවු­රුත් මේ චරි­ත­ව­ලට මෙන්ම ඔවුන් ජපා­නයේ ආගිය තැන්ව­ලට ද පෙම් කළහ.

මළ­ගිය ඇත්තෝ පොත ලියැ­වෙන්නේ 1959 වස­රේ­දීය. මළ­වුන්ගේ අවු­රුදු දා පොත ලියැ­වෙන්නේ එයි­නුත් අවු­රුදු හයක් ගිය පසුය. එනම් 1965 වස­රේ­දීය. මළ­ගිය ඇත්තන්ට පෙම් බැඳි නාරද ජය­සූ­රි­යට දශක පන­හ­කට පසුව වුව එදා නොරිකො සං හා දෙවෙ­න්දොරා සං ආගිය තැන් සොයා යන්නට තරම් සිතක් පහළ වන්නේය.

නොරිකො සං හා දෙවෙ­න්දොරා සං එදා ආ ගිය මඟ­තොට ගිය නාරද මෙදා දුටුදේ කෙසේ වන්නට ඇතිද?

ඔබට ඒ ගැන කුතු­හ­ල­යක් මතු­වනු නිසැ­කය. ජපා­න­යට යෑමට පෙරත් ජපා­න­යට ගිය පසුත් නාර­දගේ සිතේ ඇතිවූ සුන්දර සිතු­වලි අද ද ඔහු සිහි­පත් කරන්නේ ජීවි­තයේ ආද­ර­ණීය මත­ක­යන් ලෙසිනි.

“ප්‍රේමයේ අව­සා­නය හිමි­කර ගැනී­මයි කියන එක සර­ච්චන්ද්‍ර මහ­ත්තයා ඔහුගේ නව­ක­තා­ව­ලින් වෙනස් කළා. සර­ච්ච­න්ද්‍ර­යන් අපේ සමා­ජ­යට ප්‍රේමය පිළි­බඳ බොහෝම ලස්ස­නට වෙනස් විදි­හ­කට කිව්වා. ඒ නිසාම වෙන්න ඇති යොවුන් වියේ හිටපු අපි ඒ පොත්ව­ලට ඒ පොත්වල ආව චරිත වලට ආද­රය කළේ. මම මේ චරි­ත­ව­ලට අසී­මි­තව පෙම් බැන්දා. මගේ හිතේ හැම­දාම තිබුණු දෙයක් තමයි නොරිකො සං හා දෙවෙ­න්දොරා සං ආගිය තැන් කවදා හරි දකින්න ඇත්නම් කියලා. මම අවු­රදු විස්ස­කට පස්සේ ‍මළගිය ඇත්තො හා මළ­වුන්ගේ අවු­රුදු දා පොත් දෙක කියෙව්වා. ඉන් පස්සෙයි මම ජපා­න­යට ගියේ. ගුවන් යාන­යේදී මම හිටියේ අඩ නින්දක. ජපා­නය දකි­න­තුරු මට නින්ද ගියේ නැහැ. මුලින්ම ජපා­නය දකිද්දි මම ගුවන් යානා කවු­ළු­වෙන් හඳුනා ගත්තේ ෆූජී­යාමා කන්ද. මම නොරිකො සං ගේ රටට ආවා කියන හැඟීම මට දැනෙන්න ගත්තා. මට මඟ පෙන්වන්න ‍යහළු­වෙක් හිටියා. අපි ඇවි­දින්න පටන් ගත්තා. මම නතර වී සිටි ඔමි­යා­වල සිට නොරිකො සං ගේ නිවෙස පිහිටා තිබුණු වක­බ­ය­ෂි­යට යෑමට ෂිබුයා වලට ගිහිල්ලා සංග­න්ජයා මංස­න්ධි­යට දුම්රි­යෙන් යන්න ඕනෑ. ඒ ගමන යන දවසේ මට නින්ද ගියේ නැහැ. උදෑ­සන 4 ට ඉර නැගෙ­න­කො­ටත් මම ඇහැ­රලා හිටියේ. මම දුම්රිය පොළට ගියා. එත­කොට තමයි මට තේරුණේ සර­ච්ච­න්ද්‍ර­යන් අවු­රුදු හැත්තෑ­ව­කට පමණ පෙර කියූ විදි­හ­මයි තව­මත් ඒ දුම්රිය පොළ­වල් කියලා. රේල් ගේට්ටුව වුණත් ඒ තිබුණු විදි­හ­මයි. ඒ ඒ තැන්ව­ලට ගියාම තමයි තේරෙන්නේ සර­ච්ච­න්ද්‍ර­යන් කොයි­ත­රම් ලස්ස­නට ඒ පරි­ස­රය අපේ මනසේ මැවෙන ලෙස කියලා තියෙ­නව ද කියලා.”

නාරද තම ගමන් සඟයා සමඟ නොරිකො සං ගිය මඟ හිතින් මවා­ගෙන ඇවි­දි­න්නට විය. ඔහුගේ මනසේ සුන්දර දසුන් මැවෙන්න‍ට විය. ඒ මැවුම් හරි අපූ­රුය. ආගිය කතා කියන අපි ඔහු­ගෙන් මෙසේ ඇසු­වෙමු.

“ඔබට නොරිකො සං ගෙ නිවෙස සොයා ගන්නට පුළු­වන් වුණාද?”

“ඇත්තෙන්ම නැහැ. මහා­චා­ර්ය­තුමා එදා කියු පරි­ස­රය ඒ විදි­හ­ටම තියෙ­නවා. නමුත් දැන් පාර­වල් බෙදිලා තියෙන විදිහ වෙනස්. ඒ නිසා නිවාස අංක වෙනස්. වක­බ­ය­ෂිය වෝ හී තතමි පැදු­රෙන් හා ලී දොරෙන් යුත් අංක 225 නම් වු ඇගේ නිවෙස අනු­මා­න­ය­ට­වත් සොයා ගන්න බැරි වුණා. ඒත් එම පරි­ස­ර­යේදි මළ­ගිය ඇත්තෝ පොතේදී අප දුටු නොරිකො මගෙ හිතේ අපූ­රු­වට මැවුණා. ඉන්පසු මම සියලු ගමන් ගියේ මගේ හිතේ ඇඳුණු ඇයත් සම­ඟයි. ඇයත් ඔහුත් කෝපි බිව්ව අව­න්හ­ලට මමත් ගොඩ­වැ­දුණා. එහි කිසිම වෙන­සක් නැහැ. කාලය ඒ පරි­ස­රයේ මහා ලොකු වෙන­සක් කර නැහැයි කියන එක තමයි මගේ හැඟීම. පුංචි පුංචි කඩ මඟ දෙපස තියෙ­නවා. ලාම්පු රෙප­යාර් කරන කඩ තියෙ­නවා. පුංචි මල් කඩ මඟ දෙපස තියෙ­නවා. මගෙ හිත මෙහෙම කිය­නවා. නොරිකෝ ජීවත් වුණා නම් ඇයට මේ වන විට වයස අවු­රුදු සියය ඉක්මවා තියෙන්න ඕන. ජපා­නයේ ආයු කාලය දිගුයි. ඒ සැකය නිසා මම මඟ­තො­ටදි හමු­වන අය­ගෙන් නොරිකො ගැන ඇහුවා. කොණ්ය කොටට කැපු වය­සක ජපන් කාන්තා­වන් වෙතින් මම දුටුවේ නොරි­කෝව.”

නාරද ඒ පරි­ස­යේදී දුටු සියල්ල තම කැම­රා­වට හසු­කර ගත්තේය. එද­වස නොරිකො හා දෙවෙ­න්දොරා සං අත්වැල් බැඳ ඇවිද ගිය මං මාවත් ඔස්සේ ගොස් අව­න්හ­ලක කෝපී බී කබුකි නැටුම් ද බැලු­වේය. කෙනෙ­කුට මෙය එක්තරා අන්ද­මක පිස්සු­වක් ලෙස පෙනෙන්ට පුළු­වන. නමුදු සුන්දර ජපා­නයේ අපේ ලේඛ­ක­යකු නිර්මා­ණය කළ කතා­වක් ඔස්සේ ඒ ඇත්ත සොයා යන්නට ඔහු මළ­ගිය ඇත්තන්ට කොත­රම් ආද­රය කර­න්නට ඇද්දයි යන්න මෙය සාක්ෂි­යකි.

“එදා මතක ද අපි ඉනො­ක­ෂිරා උය­නට ගිය වේලෙ, අපි හිටිය නේද අර තම­ගාවා ජෝසු කියන ඇළ කානුව ගාව? දසයි ඔස­මසු දිවි නසා ගත්ත තැන? ඒක බලලා යන­කොට මතක ඇද්ද දන්නේ නෑ පිටි පස්සේ බිම වාඩි­වෙලා හිටියා තරුණ ජෝඩු­වක්.....”(මළ­ගිය ඇත්තෝ පිටුව -55)

නොරිකො ආගිය කතා­වක් කියන්නේ දෙවෙ­න්දොරා සංටය. ඒ මත­කය ඔස්සේ නාරද ද ජපා­නයේ ඉනො­ක­ෂිරා උද්‍යා­නය සොයා ගියේය.

“ඒ උද්‍යා­නය හරිම ලස්ස­නයි. මිනිස්සු එතැ­නට එන්නේ බොහෝම නිද­හසේ ඉන්න. කවු­රු­වත් කාගෙ­වත් නිද­හ­සට බාධා කරන්නේ නැහැ. මෙම උද්‍යා­නයේ තියෙ­නවා ඇළ පාරක්. ඒ ඇළ­පාරේ වතුර පොඩ්ඩයි තියෙන්නේ. ජපා­නයේ සිටි දසයි ඔස­මසු කියන ලේඛ­කයා මේ ඇළට පැනලා දිවි නසා ගත්තා කියලා කතා­වක් තියෙ­නවා. මම ගිය දිනයේ එතැන පාල­මක අලුත් වැඩි­යා­වක්. මම එතැන හිටිය අය­ගෙන් ඇහුවා දසයි ඔස­මසු දිවි නසා­ගත්ත ඇළ­ පාර කෝ කියලා. එවිට ඔවුන් මගෙන් ඇහුවා දසයි ඔස­මසු හඳු­න­න­වාද කියලා. මම ඒ ලේඛ­ක­යාගේ පොත් කියවා තිබෙන බව කිව්වම ඔවුන් සතුටු වුණා. මට ඇළ පාර පෙන්නුවා. ඒ හරියේ ගැව­සුණු වය­සක කාන්තා­වක් කිව්වා ඒ ඇළ කාල­ය­කට වතු­රෙන් පිරෙන බව. දසයි ඔස­මසු තුන්ව­රක් සිය දිවි නසා ගන්න උත්සාහ කර තිබෙ­නවා. අව­සන් වර තමයි ඔහු ‍ඇළට පැනලා තියෙන්නේ. ඇළේ තිබුණු කොන්ක්‍රීට් එකක හිස වැදී­මෙන් ඔහු මිය ගිය බව තමයි කියැ­වෙන්නේ. මේ ස්ථාන දකින විට මට සිහි­පත් වුණේ නොරි­කොව. ඒ ‍වගේම මම ගියා දෙවෙ­න්දොරා සං හා නොරිකො ගිය 'කන්නනා දොරියේ' පන්ස­ලට. ඒක පන්ස­ලක් කිව්වට අපේ වගේ පන්ස­ලක් නෙමෙයි. ගල් පඩි නැඟ ගිය විට වටේ කණු සහිත පන්ස­ලක්. පන්සලේ දොර වහලා තිබුණේ. මම යතුරු සිදු­රට කැම­රාව තියලා තමයි පන්සල ඇතුළේ පින්තූ­ර­යක් ගත්තේ. පන්ස­ලෙන් පිට වෙලා වක­බ­ය­ෂියේ දුම්රිය පොළට ඇවිත් සංග­න්ජ­යා­වට ඉන්න ඉස්සෙල්ලා අවන්හලකින් තෙම්පුරා කෑවා. තෙම්පුරා කියන්නේ ගැඹු­රු­තෙලේ බදින ලද එළ­වළු, මස්, මාළු, ඉස්සන් හා දැල්ලන් ‍මේවා කුළු­බඩු එක්කල පිටි මිශ්‍ර­ණ­යක දවටා සෝයා සෝස් සමඟ කෑමට ගන්නේ. මේ කෑම හරිම රස­වත්. කන්නේ හෂි කූරු­ව­ලින්. එහෙම කන එක නුහු­රුයි. ඒත් ඒ අත්දැ­කීම් ලබ­මින් මම හිතෙන් මළ­ගිය ඇත්තෝ හා මළ­වුන්ගේ අවු­රුදු දා නැවත නැවත වින්දා.”

ජපන් ජන විශ්වාස අතීත කතා බොහෝය. ඇතැම් දේ ඔවුන්ගේ ජන වහ­රෙන් එන කතාය. නොරිකො සං සොයා­ගෙන ගිය ගම­නේදි නාරද තවත් තැන­කට ගියේය. ඒ 'අඔ­කි­ගාරා' නම් වු සිය දිවි නසා ගැනීමේ කැල­ය­ටය. ක්‍රි. ව. 864 ගණ­න්ව­ලදි ෆුජී කන්ද පිපිරී ලාවා ගැලී­මෙන් ෆුජී කන්ද අවට තිබූ විලක් ලාවා­ව­ලින් වැසී ගොස් තිබිණි. වසර දහස් ගණ­නක් ඇවැ­මෙන් මේ ලාවා තට්ටු මත පස් සෑදී කාල­ය­කට පසුව ඒ පස් මත විශාල ශාක වැඩි ඇත. මෙම වනා­න්තර සැදී ඇත්තේ එලෙ­සය. අද වන විට එය ගන කැලෑ­වකි. පෙනුම බිය­ක­රුය. අද්භු­තය. මේ වනා­න්ත­රය මුල් කර­ගෙන අද්භුත කතා බොහෝය. සිය දිවි හානි කර­ග­න්නට බොහෝ­දෙ­නෙකු යන්නේ මේ වන­ය­ටය. ඇතැ­මෙක් විසල් ගසක එල්ලී මිය යනු ඇත. වනයේ බොහෝ ඇට සැකිලි ඇත. නාර­දද මේ වනය බැලී­මට ගියේය. බොහෝ දෙනෙකු එහි යන්නට එපා යැයි කීවද නාරද තම මඟ පෙන්ව­න්නිය සමඟ එහි ගියේය. එහෙත් ගමන යද්දී ඇය අතර මඟ නතර වුවාය.

“මේ කැලෑ­වට ගියාම ආයෙත් පාර හොයා­ගෙන එන්න බෑ කියලා කියැ­වෙ­නවා. ඒ නිසා කැලේ බලන්න අය යන්නේ කැල­යට ඇතුළු වෙන තැන පටි­යක් ගැට ගහලා ඒ පටිය අල්ල­ගෙන තමයි යන්නේ. මමත් එහෙම ගියා. නමුත් මට කැලේ මැද­ටම යන්න ලැබු‍ණේ නැහැ. මගේ මඟ පෙන්ව­න්නිය කෑග­හන නිසා ආයෙත් හැරිලා එන්න වුණා. සම­හරු නිදි පෙති බීලා කැලේ කූඩා­ර­මක් ගහලා නිදි­ය­නවා. ඔවුන් එහෙ­මම මැරෙ­නවා.මේක මාර අත්දැ­කී­මක්. මම පුදු­මා­කාර සතු­ට­කින් මේ ගමන ගියේ. නොරිකෝ සොයා ගිය ගමන හරි සුන්ද­රයි. මහා­චාර්ය සර­ච්චන්ද්‍ර මේ නව­කතා දෙක නොලි­ය­න්නට ඇතැම් විට මම ජපා­න­යට නොය­න්නත් ඉඩ තිබුණා.”

බොහෝ නව­ක­තා­වන්ට පාදක වූ ප්‍රදේශ, පුද්ගල චරිත හා ස්ථාන සොයා යන්න­ටත් ඒවා ගැන දැන ගැනී­ම­ටත් බොහෝ­දෙ­නෙකු කැමැ­තිය. නාරද ද එවැ­න්නෙකි.

“නොරිකො නැති බව මම හොඳ­ටම දන්නවා . නමුත් නොරිකො ජීවත් වූ පරි­ස­ර­යට ගොස් ඒ අත්දැ­කීම් විඳි­න්නයි මට ඕනැ වුණේ. මම ඒ දේ වින්දා. නොරිකො සොයා ගිය ගම­නේදි මට ඇය හමු­වුණු බව මං කියන්නේ ඒකයි”

ඔහුගේ හඬෙහි ඇත්තේ අප­මණ සතු­ටකි.


 

Comments