ඩොලර් වස්සන වනමේ ඉස්සෝ | සිළුමිණ

ඩොලර් වස්සන වනමේ ඉස්සෝ

මුහුදෙන් සහ අවට කකුළු ගොවිපොළවලින් ලැබෙන කකුළුවන්ගේ කටු ඉවත්කොට කකුළුවාගේ මස් දැඩි තත්ත්ව පරීක්ෂාවක් යටතේ ඉහළම තාක්ෂණයෙන් යුතුව ටින්වල අසුරා විදේශ වෙළෙඳපොළට යොමුකරන කර්මාන්ත ශාලාවක් වන මන්නාරම් යාපනය ඒ 32 මාර්ගයේ මුළංකාවිල්හි වධනගර්හි කර්මාන්ත ශාලාව නැරැඹීමේ අවස්ථාව පසුගිය දිනෙක අපට උදාවිණි.

උතුරු නැගෙනහිර පිහිටි එවැනි කර්මාන්ත ශාලා කීපයකම යුද්ධයෙන් පීඩා විඳි ගැහැනු පිරිමි සේම තරුණ මහලු භේදයකින් තොරව යුහුසුලුව සේවයෙහි නිරත පිරිස දුටු විට වත්මනෙහි රටේ සංවර්ධනයට උතුරු නැගෙනහිර ජනයාගේ දායකත්වය මනාව පිළිබිඹු වේ. මේ වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනින් විදේශ ආදායම් රැගෙන එන කකුළුවන් ටින් කර වෙළෙඳපොළට යැවීමෙන් අපේ රට සෙසු රටවල් අබිබවමින් ඉහළම කීර්තියක් ලබාගෙන තිබේ.

“කකුළුවන්ගේ කටු ඉවත්කොට මස් ටින්කොට ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකටම යවනවා. කකුළුවන් ටින් කිරීමේ කර්මාන්ත පිහිටි රටවල් රැසක්ම ලෝ පුරා තිබෙනවා. ඒ අතරින් ඉන්දුනීසියාව, මාලදිවයින සහ අපේ රට විශේෂයි. කකුළු ටින් කිරීමේදී හොඳම ඇසුරුම් කිරීම වෙනුවෙන් පවත්වන තරගාවලියේදී අපේ රට තමයි වසර කීපයක්ම පළමු ස්ථානය ලැබුවේ” එසේ අප සමඟ අදහස් දැක්වූයේ එම කර්මාන්තය මෙරටට හඳුන්වා දීමේ නියමුවා වූ දංකොටුවේ වෙසෙන ඩිලාන් ප්‍රනාන්දුයි.

කකුළුවන් පිටරට යැවීමට මහඟු දායකත්වයක් දෙන එම කර්මාන්ත ශාලාව තුළදී හමු වූ 25 හැවිරිදි නීලමනී පවසන්නෙ මෙවන් කතාවකි.

“අපි දවසකට කකුළුවෝ කිලෝ 10ක් විතර ගලවනවා. කිලෝ එකකට රුපියල් 150ක් දෙනවා. මේ රස්සාව නිසා කාලා, ඇඳලා දරු පැටවු සමඟ හොඳින් ජීවත් වෙනවා. යුද්දෙ නිසා අන්තෙටම අසරණ වෙලා හිටියේ. දැන් අපිට ජීවත්වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන්ට අනාගතයක් තියෙනවා. මුලින් කකුළුවාගේ කටු ඉවත් කරන හැටි පුහුණුවක් දුන්නා. සාමාන්‍යයෙන් කකුළුවන්ගේ සියයට 25යි මස් තියෙන්නෙ.”

ත්‍රස්තවාදී යුද්ධයෙන් තම ස්වාමියන් අහිමි වූ බිරියන් මෙන්ම කිසිත් හව්හරණක් නොමැති කාන්තාවෝ 450ක් පමණ එම කර්මාන්ත ශාලාව තුළ කිසිදු හැළහොල්මනක් නොමැතිව රාජකාරියේ යෙදේ.

2011 වර්ෂයේදී ඩිලාන් ප්‍රමුඛ පිරිස එක්ව කුඩා පිරිසකගේ එකතුවකින් ආරම්භ කළ කකුළුවන් ටින් කර අපනයනය කිරීමේ කර්මාන්තයෙහි මේ වන විට දෙදහසකට අධික පිරිසක් සේවයෙහි නිරත වේ. එම රැකියා ප්‍රමාණය තවත් දහපහළොස් ගුණයකින් ඉහළ නංවා වර්ෂයකට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක පමණ ආදායමක් රට තුළට ගෙනඒම ඩිලාන් ඇතුළු පිරිසේ අපේක්ෂාවයි. කිසිදු ලෙසකින් රජයට බරක් නොවී ත්‍රස්තවාදයෙන් බැට කෑ පිරිසක් එක්ව තම ස්වඋත්සාහයෙන් ආරම්භ කළ කර්මාන්තයෙන් රටේ කිසිදු ජාති බේදයකින් තොරව බොහෝ දෙනෙක් තම ජීවිකාව තර කරගනී. එහෙත් මේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තිබෙන බාධකයන් ගැනද ඩිලාන් කීවේ,

“මේ කර්මාන්තය දියුණු කිරීමට අපට තියෙන ලොකුම ගැටලුව ගොඩබිම ඉඩම් නොමැතිකම. කකුළු ෆාම් වෙනුවෙන් අපට රජයෙන් ගියවර අයවැයෙන් අක්කර 500ක් ගැසට් කර ලබා දුන්නා. එහෙත් එම ඉඩම්වලටත් යම් යම් බාධා තියෙනවා. අපි රජයට කරන ලොකුම ඉල්ලීම තමයි, අපිට පුළුවන් ධීවර කර්මාන්තයෙන් රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන්න. ජනතාවගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න... ඒත් තියෙන ගැටලුව ඉඩම් ප්‍රශ්නය. මේ මන්නාරම් අවට පෙදෙස්වල අක්කර දහස් ගණන් තියෙනවා. අපිට අක්කර 3000ක් පමණ ලබා දෙනවානම් මේ උතුරු නැගෙනහිර විශාල ජනතාවකගේ රැකියා ප්‍රශ්නය විසඳන්න පුළුවන්. අද අපේ ඇතැම් ළමයි මසකට රුපියල් 90000ක පමණ වැටුපක් ලබනවා කකුළුවෝ සුද්ද කරලා.”

ඇසුරුම් කළ කකුළු නිෂ්පාදන මෙරට වෙළෙඳපොළේ දක්නට තිබේදැයි මා ඩිලාන්ගෙන් විමසූ විට, “මෙහෙමයි, සාමාන්‍යයෙන් ග්‍රෑම් 450ක ඇසුරුම් කළ කකුළු ටින් එකක් රුපියල් 3500ක් විතර වෙනවා. එතරම් මිල අධික දෙයකට අපේ වෙළෙඳපොළේ ඉල්ලුමක් නැහැ. නමුත් විදේශීය වෙළෙඳපොළේ පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.”

“රජයට බරක් නොවී දුෂ්කර පළාතක කිසිදු කෙනෙකුට කරදරයක් නොකර මේ තරුණ ළමයි ආරම්භකොට තිබෙන කර්මාන්තය අපි අගය කළ යුතුයි. එවැනි කර්මාන්ත තව තවත් නඟා සිටුවන්න රජයක් වශයෙන් අපි උපරීම සහාය දිය යුතුයි. ඒ සඳහා රජයක් ලෙස අපි බැඳී සිටිනවා. රට නඟා සිටුවීමට සිංහලයාට පමණක් නොවේ සෑම දෙනාටම වගකීමක් තිබෙනවා. මට ලොකුම විශ්වාසයක් තියෙනවා ධීවර කර්මාන්තයෙන් පුළුවන් මේ රටේ සියලු ණය බර තුරන් කරලා මේ පුංචි ලංකාව සංවර්ධිත රටක් කරන්න.”

එසේ කලෙකදී යුද්ධයෙන් පීඩා විඳි ජනතාව‍කගේ සිතුම් පැතුම් සුඛිත මුදිත කරමින් රට තුළට විදේශ විනිමය ගලා ඒමට හැකි මෙවන් කර්මාන්තවල දියුණුවට කැපවීම රජයේ වගකීමකි. ඒ සඳහා අවැසි බාධක ඉවත්කොට සියලු පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජයක් ලෙස ඇප-කැප වී සිටින වග පසක් කළ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කීවේ,

“කකුළු කර්මාන්ත පුරයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩකඩම් ලබාදීමට සියලුම වගකිවයුතු පාර්ශ්ව සමඟ අප කතාබහ කරනවා. එසේම උතුරු නැඟෙනහිර ධීවර ජනයාගේ ගැටලු විසඳීමටත් රජය කැප වෙනවා. රජයක් ලෙස කලක් යුද්ධයෙන් පීඩා විඳි ජනතාවට උපරීම සේවය කිරීමට අප කැප වෙනවා.”

උතුරු නැගෙනහිර ජනයාගේ අත-මිට සරු කිරීම වෙනුවෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත මත්ස්‍ය කර්මාන්තපුරය තුළින් මෙරට ආර්ථිකයට විශාල ආදායමක් ගෙන දීමට මෙරටට ආගන්තුක ඉස්සෙක් වන ‘වනමේ’ නමැති ඉස්සන් වගාවද ආරම්භ කිරීමට නියමිතය. වනමේ ඉස්සා යනු මේ වන විට ඇමෙරිකාව, ජපානය සහ යුරෝපය ඇතුළු රටවල් ගණනාවකම දැඩි ඉල්ලුමක් තිබෙන මත්ස්‍ය වර්ගයකි.

 

අදහස්