ග්‍රාම ශක්ති ගමට ශක්තියක් වෙන හැටි | සිළුමිණ

ග්‍රාම ශක්ති ගමට ශක්තියක් වෙන හැටි

චන්දිමා එදිරිමාන්න

දරිද්‍රතාවය, දිළිඳු බව, එසේත් නැත්නම් දුප්පත්කම අපේ රටට පමණක් උරුම වූවක් නොවේ. සංවර්ධනය වූ පොහොසත් රටවල පවා තවමත් මේ කියන දුප්පත්කමට පිළිතුරු සොයන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු රට කළ විවිධ රජයන් දුප්පත්කම පිටුදැකීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ අතර එම සෑම රජයක්ම පාහේ දුප්පත්කම තුරන් කිරීම තමන් ඉදිරියේ වූ විශාලතම අභියෝගය ලෙසද හඳුනාගෙන තිබුණි. ඒ අනුව දුප්පත්කමෙන් ගොඩඒමට ජනතාව උනන්දු කරන ජනසවිය, සමෘද්ධිය හා ගැමිදිරිය වැනි විවිධ වැඩසටහන් පසුගිය සමයේ දී ආරම්භ වුණු අතර අඩු වැඩි වශයෙන් ජනතාවට යහපතක් වුණු එම වැඩසටහන් නිසාම අප රටේ දරිද්‍රතා මට්ටම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

කෙසේ වුවත් මෙරට ජීවත්වන ජනතාව අතරින් සියයට 6.7% තවමත් පූර්ණ දුගීභාවයෙන් පෙළෙන බවට ප්‍රකාශ වී තිබේ. එහෙත් 2012/ 13 සංඛ්‍යා ලේඛන වලට අනුව දරිද්‍රතා රේඛාවෙන් ඉහල ආසන්න තීරුවේ සිටින දිළිඳු ජන සංඛ්‍යාව ඉහළ අගයක් ගනී යම් හෙයකින් දරිද්‍රතා රේඛාව 10% කින් ඉහළ ගියහොත් මේ වන විට මිලියන 1.34 වන පූර්ණ දිළිඳු ජන සංඛ්‍යාව මිලියන දෙකක් දක්වා ඉහළ යන බවත් දරිද්‍රතා අනුපාතය සියයට 9.9 ක් දක්වා වර්ධනය වනු ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී තිබේ.

දුප්පත්කම පිටුදැකීම සඳහා වත්මන් රජය ද සිය ප්‍රමුඛ අවධානය යොමුකර තිබේ. ඒ අනුව දුප්පත්කම පිටුදැකීම අරමුණු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්මාණශීලී වැඩ කොටසක් දැනටමත් ඉටුකරමින් සිටී . එතුමාගේ අදහසට අනුව 2017 වසර දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.

දිළිඳුබව පිටුදැකීම වචන හරඹයක් පමණක් බවට පත් නොකර එය කළ යුතු ක්‍රමවේදය ද ජනාධිපතිතුමා විසින් ජන ගත කළ අතර ග්‍රාම ශක්ති නම් වූ එකී වැඩපිළිවෙළ මේ වන විට ඉතා සාර්ථක ලෙස රටපුරා ක්‍රියාත්මක වේ.

විධිමත්ව සංවිධානය වී දිළිඳු කමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ශ්‍රී ලාංකික ජනතාවක් බිහිකිරීම සඳහා ගම් පහලොස් දහසක් සුඛිත කිරීම මෙම ග්‍රාම ශක්ති වැඩපිළිවෙළේ දැක්ම වී තිබේ. මේ වන විට අන්ත දිළිඳු බව පිටු දකිමින් අන් සියලුම ආකාරයේ දරිද්‍රතාව අඩකින් අඩු කිරීමේ ජාතික තිරසාර සංවර්ධන ඉලක්කය කරා ළඟා වීමට ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයට හැකි වේ යැයි පුරෝකතනය වී ඇත.

දිළිදුබව පිටුදැකීම සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ දිළිඳුකම පිටුදැකීමේ ලේකම් කාර්යාලයක් දැනටමත් ස්ථාපනය කර ඇත . මෙම කාර්යාලය පළාත් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක වන මෙහෙයුම් කමිටු හා එක්ව ක්‍රියාකරන අතර ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ සැලසුම්කරණය හා ක්‍රියාත්මක වීමේ මෙහෙයුම ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට අදාළව එම එක් එක් ගම්මානවල දැනටමත් පිහිටුවා ඇති සංවිධානය මඟින් ක්‍රියාවට නැංවේ. එහිදී දිළිඳු ජන සංඛ්‍යාව වැඩි වශයෙන් ජීවත්වන දිස්ත්‍රික්ක හා ගම්මාන වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් ග්‍රාමීය ජනතාවගේත් නාගරික ජනතාවගේත් දිළිඳුකම පිටු දැකීමේ සුවිශේෂ වැඩසටහන් හඳුනා ගැනීමටත්, අපේක්ෂිත අරමුණු ඉටුවන තුරුම එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත. තවද යුද්ධ පසුබිමෙහි ජීවත්වූ ජනතාව, වතුකර ජනතාව, කාන්තාවන් හා තරුණ තරුණියන් වෙත ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ අවධානය යොමු කර වීමටද කටයුතු සම්පාදනය වී තිබේ.

ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ බලාපොරොත්තු වන අරමුණ හා ඉලක්ක ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා දිවයිනේ සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගත් ගම් දහසක් තුළ ප්‍රජා පාලිත ග්‍රාම සංවර්ධන ප්‍රවේශය අනුගමනය කරන ක්ෂුද්‍ර සමාගම් දහසක් පසුගිය වසරේදී අලුතෙන් පිහිට වුණු අතර එතෙක් ගැමි දිරිය වැඩ සටහන යටතේ පිහිටවන ලද ක්ෂුද්‍ර සමාගම් 2044 ක් නැවත සක්‍රීය කිරීමට පියවර ගැනුණි. එකී සෑම ක්ෂුද්‍ර සමාගමක් ක්‍රියාත‍්මක වන ග්‍රාම නිලධාරි වසමක් සඳහාම අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ අධීක්ෂණය වන ග්‍රාම සංවර්ධන අරමුදලක් ද පිහිටුවා ඇති අතර එම අරමුදල සඳහා වැඩ පිළිවෙලට දායක වන එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 8000 ක් පොදු සංවර්ධනය සඳහා වන කොන්දේසි සහිත වැය බරක් ලෙස රජය විසින් ආයෝජනය කෙරේ.

ග්‍රාම ශක්ති වැඩපිළිවෙළේ සාර්ථකත්වය සඳහා හේතුකාරක වී ඇති ප්‍රධානතම අංගය වනුයේ මෙලෙස පිහිටුවා ඇති ග්‍රාමීය මට්ටමේ ශක්තිමත් ක්ෂුද්‍ර සමාගම්ය. මෙම සමාගම් වල ක්‍රියාකාරීත්වය හා මූල්‍ය කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා සමාගම් රෙජිස්ටාර් වරයාගේ අධීක්ෂණයට යටත් වේ. මෙම සමාගම් සිය අභිමතය පරිදි තෝරාගත් සභාවකින් ද එම සභාව හි නියෝජිතයන්ගෙන් සමන්විත දිස්ත්‍රික්ක කැඳවුම් කමිටුවලින් ද ජාතික සම්මේලනය තුළ රැස්වන ජාතික විධායක සභාව කින්ද එම සභාවන්හි නියෝජිතයන්ගෙන් සමන්විත දිස්ත්‍රික්ක කැදවුම් කමිටුවකින්ද, ජාතික සම්මේලනයක් තුල රැස්වන ජාතික විධියක සභාවකින්ද සමන් විත වේ. මෙම ක්ෂුද්‍ර සමාගම් හා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ය පහසුකම් දිළිඳුකම පිටුදැකීමේ ලේකම් කාර්යාලය හා එම ලේකම් කාර්යාලයේ කටයුතු වලට අවශ්‍ය සහාය හා පන්නරය ලබා දෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන නොවන සංවිධානයන් මගින් ඉතා ප්‍රශංසනීය ලෙස ඉටු කරයි.

ඒ අනුව මෙම ක්ෂුද්‍ර සමාගම් මගින් සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙන අතර යැපුම් මානසිකත්වයෙන් මිදී ව්‍යවසායකත්වය වෙත එළඹීමට එහිදී ග්‍රාමීය ජනතාව වෙත විශේෂ පුහුණුවක් ද ලබා දේ. තවද ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කරන ග්‍රාමීය ඉතුරුම් ක්‍රමයක් ද මෙම සමාගම් හරහා ඇති කෙරෙන අතර ග්‍රාම ශක්ති ප්‍රතිලාභීන්ට තමන් පදිංචි ප්‍රදේශයේ දී ම තම නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ නව දැනුම, තාක්ෂණය හා උපකරණ පහසුවෙන් ලබාගත හැකි වේ. එහිදී දුප්පත්කමෙන් මිදුණු නව ව්‍යවසායක පරපුරක් ග්‍රාමීය මට්ටමින් ඇති ඇතිකිරීමට ග්‍රාම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හැකිවේ යැයි ගණන් බලා ඇති අතර එම වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ව්‍යවසායකත්ව හා තාක්ෂණ කේන්ද්‍රයක් බවට පත් වනු ඇතැයිද අපේක්ෂා වී තිබේ.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ඇති තවත් වැදගත් සාධකයක් වන්නේ එම වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික අංශයෙන්ද දායකත්වය ලබා ගැනීමයි. එපමණක් නොව දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් සාමූහික ප්‍රයත්නයන් මෙහිදී විශේෂයෙන්‍ අගය කෙරෙන අතර ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථක භාවය නිරතුරුව පසු විපරම් කිරීම ද අගය කළ යුත්තකි.

මෙම ලිපිය සැකසීමේදී අවශ්‍ය තොරතුරු හා මූලාශ්‍ර ලබා දී සහය දුන් ග්‍රාම ශක්ති/ දිළිදුකම පිටුදැකීමේ ලේඛම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් කේ කේ අතුකෝරල මහත්මියට හා එහි උපදේශක එම් ඒ හේමාල් ඩයස් මහතාට විශේෂ ස්තූතිය.

අදහස්