‘ගොට්ලර්වාදය’ පැරදවිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයෙනි | සිළුමිණ

‘ගොට්ලර්වාදය’ පැරදවිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයෙනි

එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන රාජපක්ෂ කෙනකු විපක්ෂයේ අපේක්ෂකයා වුවත්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පෙළගැසෙන්නේ නිශ්චිත අදහස් පද්ධතියක් වටාය. ඒ, පැවැති රාජපක්ෂ රෙජීමයේ න්‍යායාත්මක හරය වූ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයම වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වුව හොත් ඒ මැතිවරණ ව්‍යාපාරයේ සමස්ත යන්ත්‍රණයම හා ඔහු ජයග්‍රහණය කළ හොත් ඔහුගේ ආණ්ඩුවේ සමස්ත යන්ත්‍රණයම මෙහෙයවනු ලබන්නේ මිලිටරි හස්තයක් විසින් බව ස්ථිරය. එහෙත් විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ හැරෙන්නට වෙනත් කවර හෝ රාජපක්ෂ කෙනකු පත් වුව හොත් එම මැතිවරණ ව්‍යාපාරය මිලිටරිමය හස්තයෙන් ගැලවෙන්නේය. එහෙත් ඒ කවුරු වුවත් ජනාධිපතිවරණය ජය ගත හොත් නැවතත් මිලිටරි හස්තයේ සහාය ගැනීමට සිදු වන්නේය. ඊට හේතුව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය රාජ්‍යයේ න්‍යායාත්මක දෘෂ්ටිය වූ විට, එහි ආධිපත්‍යය රඳවා තබාගැනීමට මිලිටරි බලය අත්‍යවශ්‍ය හෙයිනි.

වාසුදේව නානායක්කාරත්, කුමාර වෙල්ගමත් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ වෙති. ඔවුහු දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂගේ පුනරාගමනයකට එකඟ නොවෙති. ඊට හේතුව මුලින් කී පරිදි ගෝඨාගේ ජයග්‍රහණය තුළ රාජ්‍යය මුළුමනින්ම මිලිටරිකරණය වන බැවිනි. එහෙත් ගෝඨා නොව, කවුරුන් බලයට ආවත් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නාගනී නම්, රාජ්‍යය මිලිටරිකරණය වීමෙන් ගලවාගැනීම අපහසු බව වාසුදේව නානායක්කාරත්, කුමාර වෙල්ගමත් තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයේ අපේක්ෂකයා වුව හොත්ද ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හොත්ද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහි ප්‍රතිවාදියා සිංහල-දකුණ තුළින්ම නිර්මාණය වන බවට මතයක් කොළඹ අග-නාගරිකය තුළ රෝපණය කරමින් පවතී. ඒ මතය උත්පත්තිය ලැබුවේ සමාජ මාධ්‍ය තුළය. ඒ අනුව ගෝඨාභයගේ ජයග්‍රහණය තුළ මුළු සිංහල-බෞද්ධ සමාජ තීරුවම රාජ්‍යය වටා එකතු වන අතර, එවිට රාජ්‍යයේ ආකෘතිය මුළුමනින්ම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදි මතවාදයෙන් ශක්තිමත් වේ. එවැනි රාජ්‍යයක් තුළ සිංහල නොවන ජන කොටස්වලටත්, සිංහල වුවද ස්වෝත්තමවාදයට එකඟ නොවන ප්‍රජාතන්ත්‍රවාදී ජන කොටස්වලටත් පැවැත්ම සම්බන්ධයෙන් බරපතළ අභියෝගයන්ට මුහුණදීමට සිදු වේ.

ඒ අභියෝග ජය ගන්නට නම් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදි හවුලක් ගොඩනඟන්නට සිදු වේ. ඒ හවුලට ගෝඨාගේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදි මතවාදය අභිමුඛ වන අතර, ඊට ශක්තිමත්ව මුහුණදීමටද හැකි වේ. ගෝඨා ජනාධිපති වුව හොත් පැනනැඟිය හැකි තත්ත්ව කිහිපයක් පවතී. ගෝඨාගේ කල්පිත ධුර කාලය තුළ ඔහුගේ භාවිතය නිසා ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් බිහි වේද, රාජපක්ෂ රෙජීමය කාලයේ සිදු වූ පරිදි නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරවාගැනීමේ උපක්‍රමික ප්‍රවේශයක් ලෙස අන්තර්ජාතික ධනේශ්වරය විසින් ගෝඨා ආණ්ඩුව රැකගනීද යන වැදගත් සාධක සමහරු නොසලකා හරිති. ඔවුන් තම දේශපාලන භාවිතය තුළ අන්තර්ජාතික සාධකය නොසලකා හැරීම ඊට හේතුවයි. එහෙත් අන්තර්ජාතික සාධකයේ හැසිරීම මත එය විසින් ගෝඨාගේ ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කළ හොත් ගෝඨාගේ මර්දනීය ජුන්ටාව ක්‍රියාත්මක වන්නේ සමාජ ව්‍යාපාරයකට නැඟී සිටින්නට ඉඩ නොතබාය. රාජපක්ෂ රෙජීමය ප්‍රායෝගිකව ඔප්පු කළේ එයයි. රාජපක්ෂගේ මර්දනයට මුහුණ දෙන්නට සමත් සමාජ ව්‍යාපාරයක් දකුණෙන් බිහි නොවූවා පමණක් නොව, උතුරේ කොටි සංවිධානයද සමූලඝාතනය කර-දමන්නට එය සමත් විය. එය පිටුපසින් සිටියේ ගෝලීය ප්‍රාග්ධනයයි. සමාජ මාධ්‍යවල පැතිරෙන මේ මතය විසින් යෝජනා කරන්නේ ගෝඨා ජනපති වුව හොත් සුමට හා සාමකාමි ලෙස සිදු විය හැකි එකම ආකාරයයි.

එහෙත් ඊට වඩා විය හැකි දේ පවතී. ඒ අනුව වෙනත් විය හැක්කක් වුව හොත් ගෝඨාට බලයට පත් වන්නට ඉඩ දීම අතිශය භයානක අත්හදා බැලීමක් ලෙස තේරුම් ගත හැකිය. එවිට සමාජ ව්‍යාපාර අලුතින් ගොඩනැඟීමක් නොව, මිලිටරි ඒකාධිපති පාලකයකු යටතේ ලෝකයේ වෙනත් රටවල් කිහිපයකම සිදු වූ ම්ලේච්ඡ සිදුවීම් ශ්‍රී ලංකාවේද සිදු විය හැකිය. ඒ තත්ත්වය තුළ ගෝඨා ජනාධිපති ධුරයට පත් වුවද ආණ්ඩුව එක්සත් ජනපද ග්‍රහණයෙන් ගැලවෙන්නේ නැත. ඒ තත්ත්වය තුළ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදි රාජ්‍යය තමන්ට එරෙහිව එල්ල වන අභියෝග ජය ගැනීම සඳහා මිලිටරිමය බලය යොදාගන්නා අතර, තමන්ට එරෙහිව ශක්තිමත් දේශපාලන මතවාදයක් හෝ ව්‍යාපාරයක් හෝ මතුවීම වළක්වයි. එනිසා ගෝඨාගේ ආණ්ඩු කාලය තුළ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් මතු වේවිය යන්න අසත්‍යයකි. මතු වුවද එය සිතන තරම් පහසුවෙන් අල්ලා සිටිය හැකි නොවන්නේය. එනිසා මේ අර්ථයෙන් ගෝඨාගේ ජයග්‍රහණය ගැන සරල කියවීමකට යෑම අතිභයානක දේශපාලන අත්හදා බැලීමකි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කිරීම සඳහා කළ යුත්තේ මෙතෙක් අනුගමනය කළ දේශපාලන න්‍යාත්මක උපක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමය; එනම්: 2015 ජනාධිපතිවරණයේදී සිදු වූ පරිදි සියලු ජනකොටස්වල ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජ තීරුව ශක්තිමත් කිරීමය. දෙමළ හා මුස්ලිම් ජන කොටසත්, සිංහල සමාජයේ වර්ගවාදය ප්‍රතික්ෂේප කරන ප්‍රගතිශීලි බලවේගයත් එකට එකමුතුව ශක්තිමත් වූ විට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කළ හැක්කකි. ඒ සඳහා අතිභයානක අත්හදාබැලීම් කිරීම අගතිගාමිය.

ජන කොටස්වල ස්වෝත්තමවාදි ආකල්ප පරාජය කිරීම සදහා පැහැදිලි සැලසුමක් සකස් කරගත යුතුය. ඒ සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ නොබියව ක්‍රියාත්මක කළ යුතුය. උතුරු-නැඟෙනහිර දෙමළ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් ඉල්ලා සිටින්නේ සමාජ සාධාරණයයි; ඔවුන්ට අහිමි වූ තම උරුමයයි. ඒ බොහෝ විට ඔවුන්ගෙන් උදුරාගත් ඉඩකඩම්ය; විනාශ වූ නිවෙස්ය. එවැනි සමාජ ප්‍රතිසංස්කරණ තුළ මූලික වටයේදී දෙමළ ජනතාවගේ මානව අයිතීන් හා ප්‍රධාන මිනිස් අවශ්‍යතා තහවුරු කිරීම කළ නොහැක්කක් නොවේ. ආණ්ඩුව උතුරු-නැඟෙනහිර කළ යුතුව ඇති දේශපාලන වෙනස්කම්වලින් කර-ඇර ඇති බවක් දක්නට ලැබේ. සිදු කළ ප්‍රතිසංස්කරණද දෙමළ ජනතාවගේ මැදිහත් වීම මත විශාල අරගල ක්‍රියාදාමයකට පසුව සිදු වූ දෑවල ප්‍රතිඵලයි. 2015 ජනාධිපතිවරණය වටා එකතු වූ මහජන අභිලාශ ඉෂ්ට කළා නම් එවැනි හිත් නරක් කරගැනීමකට යෑමට ආණ්ඩුවට සිදු නොවන්නේය. එක්සත් ජාතික පක්ෂයේම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන්ගේ හඬ සිංහල දකුණට නුහුරු වන්නේ අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ආණ්ඩුව ඉක්මන් නොවූ බැවිනි. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකුට ඒ පීඩනය දරා සිටින්නට නොහැකි නම් විමුක්තිකාමී තරුණයන් එවැනි පීඩනයක් කිසි සේත් දරා නොසිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම සඳහා වූ අරගලය යම් පසුබැසීමකට ලක්ව ඇති බව සත්‍යයකි. එහෙත් සමස්ත සමාජයම විශාල ඛේදවාචකයකට ඇද-දමමින් අතිභයානක දේශපාලන අත්හදා බැලීම්වලට යෑම ඊට විසඳුම නොවේ. යම් හෙයකින් එවැනි විශාල ඛේදවාචකයක් යළි කැඳවාගත හොත් එහි ප්‍රතිඵල ගෙවා-දමන්නට සිදු වන්නේ සමස්ත සමාජයටමය. එනිසා දෙමළ, මුස්ලිම් ජන කොටස්වල සහායද ගෙන, සිංහල ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ව්‍යාපාරය ශක්තිමත් කිරීම හැර ‘ගොට්ලර්වාදය’ පරාජය කිරීම සදහා වෙනත් විකල්පය නැති බැව් ස්ථිරය.

 

Comments