සිරි වජි­රා­රාම දහම් පාසලේ සිය­ව­සක මෙහෙ­වර | සිළුමිණ

සිරි වජි­රා­රාම දහම් පාසලේ සිය­ව­සක මෙහෙ­වර

 

පාස­ලෙක ඇරැ­ඹුම සිර ගෙවල් සිය­යක් වැසු­මෙ­කැයි කියැවේ. ඒ ඇත්තක් නම් දහම් පාස­ලක් ඇරැ­ඹුම සිර ගෙවල් දස දහස් ගණ­නින් වසා දැමී­මක් වනු ඇති. මිනිසා අද­හ­මින්, පවින් වළ­ක්වන දහම ම දහම් පාස­ලින් ඉගැ­න්වෙන හෙයිනි.

ලක්දිව දහම් පාසල්හි යට­ගි­යාව සල­කන කලැ පෙනෙ­නුයේ කිතු­නු­වන් ගේ ‘සබත් ඉස්කෝල’ හෙවත් ‘ඉරිදා ඉස්කෝල’ සඳහා ආදේ­ශ­ක­යක් ලෙසින් බුදුනු දරු­වන් සඳහා පන්සල්හි දහම් පාසල් ඇති කැරුණු බවයි. එහෙ­යින් එහි ලා දක්නා ලදුයේ ද ‘ඉරිදා ඉස්‍කෝල’ ආකෘ­තිය මැයි

මෙසේ දහම් පාසල් ඇරැඹි වැඩි කලක් ගත වන්නට පෙර, අත්‍ය­ර්ථ­යෙන් ම බෞද්ධ සම්ප්‍ර­දා­යා­නු­ගත වැ සිංහල බෞද්ධ ශිෂ්‍ය­යාට ධර්ම අධ්‍යා­ප­නය ලබා දෙන දහම් පාසල් ‘පැළ­යක්’ 1918 අගෝස්තු මස දී රෝප­ණය කැරිණ. ඒ එසේ මෙසේ අතෙ­කින් සෙසු පටු තැනෙක්හි දු නොවේ; එ කලැ මෙ රට නිල නොවන සඟ රජුන් වැ වැජැ­ඹෙ­මින්, ජගද් විශ්‍රැත කීර්ති­ඝෝ­ෂ­යෙන් බෞද්ධ ශාස­නය ශෝභ­මාන කෙරෙ­මින්. ‘පෙර­දිගු ධර්ම භාණ්ඩා­ගා­රය, නමින් දනන් තුඬ තුඬ හැඳි­න්වුණු පරම පුජ­නීය පැළෑණේ ශ්‍රී වජ­ඥාන මහ­නා­යක ස්වාමීන් වහන්සේ අති­න්මය.

අද මහා වන­ස්පති වෘක්ෂ­යක් වැ ශත සහස්‍ර සංඛ්‍යාත බෞද්ධ ශීෂ්‍ය - ශිෂ්‍යා­වන් සුප­විත්‍ර සද්ධර්ම දාන­යෙන් පරි­පෝ­ෂ­ණය කෙරෙ­මින් සකල බෞද්ධ ලෝක­යෙහි අත්‍යන්ත ගෞර­ව­යට පාත්‍ර වෙමින්, සමස්ත සද්ධර්ම පාඨ­ශාලා මස්ත­කා­ව­තංශ වැ ශතාබ්ද පුර්ති මහා මංග­ල්‍යය සම­ර­නුයේ ඒ මේ දහම් පාසල් පැළය යි.

පාස­ලෙක වේ වා, දහම් පාස­ලෙක වේවා ගුණ කීර්ත­න­යෙහි ප්‍රධාන මාන­ක­යක් නම් එහි ශිෂ්‍යා­දි­ශිෂ්‍ය පර­ම්ප­රාව යි. ජේ.ආර්.ජය­ව­ර්ධන, රණ­සිංහ ප්‍රේම­දාස , චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග යන ජනා­ධි­පති - පති­නි‍ය­නුත් ඩබ්ලි සේනා­නාක අග­මැ­තිඳු, බර්නාඩ් සොයියා, ලලිත් ඇතු­ළත් මුදලි ඇමැ­ති­ව­රු­නුත් ප්‍රමුඛ වැ ගත් යශෝ­කී­ර්ති­මත් ඡාත්‍ර පර්ෂ­ද­යක් මේ වජි­රා­රාම දහම් පාසල ඇසු­රින් ධර්මා­ධ්‍යා­නය ලැබීම ම මෙහි ප්‍රමා­ණා­ති­ප්‍ර­මාණ යශෝ­ක­ද­ම්බ­යට හේතු වෙයි. වජි­රා­රාම දහම් පාසල සිය වස සපුරා මේ උතුම් මඟුල් උලෙ­ළෙහි දී මෙහි විදු­හ­ල්ප­තින් වැ නිශ්ශ­ර­ණා­ධ්‍යා­ශ­යෙන්ම අත්‍යු­දාර කාර්ය භාර­යෙක නියැළි අස­හාය ධර්ම­දූත නාරද නාහි­මි­යන්, පැළෑණේ වජු­ඥාන මහා­නා­යක ස්වාමීන් ගේ ජීව­මාන එක ම ශිෂ්‍ය රත්නය වැ දැනුදු වැඩ සිටිනා අම්පි­ටියේ රාහුළ නා හිමි­යන්, දික්වැල්ලේ මහින්ද නාහි­මි­යන්, බෞද්ධ සන්නි‍වේ­ද­න­යෙහි අති­ප්‍ර­මු­ඛ­යකු වූ දර­ණා­ගම කුස­ල­ධම්ම නාහි­මි­යන්, කඹු­රු­ග­මුවේ මහා­නාග නා හිමි­යන් යන සාධු ශීල ගුණෝ­පේත සංඝ පිතෘන් මෙන් ම ඉතා දිගු කලක් මෙහි ප්‍රධා­නා­චාර්ය වැ සිටි සිරි­මෙ­වන් පිය­සිංහ මහා­ශ­යන්ද පුණ්‍යා­නු­මෝ­දනා පුර්වක ගෞරව බහු­මා­න­යෙන් සැමැ­රිය යුතු ය පෙර නොවු විරූ මහත් වග සිරි විදු­රු­අ­රම් දහම් පාසල් රිය පෙරට ගෙන යන වත්මන් නියමු ඇදු­රා­ණන් වන, විසි­තුරු දහම් දෙසු­මෙන් දනන් සිත් බඳනා ගෞරව ශාස්ත්‍ර­වේදී මිගොඩ සුඛිත තුරුණු හිමි සඳුන්ගේ මෙහෙ­වර වෙසෙ­සින් ඇගැ­යිය යුතුය.

බෝධි සත්ව ගුණෝ­පේත මඩිහේ පඤ්ඤා­සීහ මහා­නා­යක ස්වාමීන් වජි­රා­රාම දහම් ප‍ාස­ලෙහි දියු­ණු­වට කළ මෙහෙ­වර ඉතා උදා­රය. ඒ කුළු­ගැ­න්වෙන්නේ උන් වහන්සේ එහි ලා ඉදි­රි­පත් කළ පස් වැදෑ­රුම් පිළි­වෙ­තිනි. උන්ව­හන්සේ ගේ අනු­ජාත ශිෂ්‍ය රත්නය වැ, වර්ත­මාන ලංකා ශාස­න­යෙහි ශ්‍රමණ සාරුප්‍ය පර­මා­ද­ර්ශ­යක් වැ වැජැ­ඹෙන, සිරි වජි­රා­රා­මා­ධි­පති. තිරි­කු­ණා­මලේ ආනන්ද ගරු මහනා සමි­ඳුන් ගේ ශ්‍රේෂ්ඨ සංක­ල්ප­යක් අනුව ‘සති දහම් පාසල’ නමින් අධ්‍යාත්ම වර්ධ­නය ඒකා­යන ආර­ම්ම­ණය ලෙස ගෙන සොබැ­ද­හම, පරි­ස­රය නිරා­මිශ ප්‍රීති­යෙන් අත් මිඳුනා. බස,රැස දෙස නැඟු­මෙහි හැඟුම් ඇති පර­පු­රක් බිහි කිරී­මට වජි­රා­රාම දහම් පාසල පෙර­මුණ ගැන්ම මෙරට බුදු­නු­වන් ගේ මහත් පිනක් මතු වීමෙ­කැයි සැල­කිය හැකි ය.

එයට ම ගැළ­පෙන ‘සද­හම සපි­රුණු සමා­ජ­යක්- මිනිස් දහම් සරු ලංකා­වක්’ යන ගැඹුරු අරු­තින් හොබනා ආදර්ශ පාඨය ද මෙතෙක් අඩු­වක් වැ පැවැති දහම් පාසල් ගීය ද ගරු මහනා සමි­ඳුන් ගෙන් දහම් පාස­ලට මතු නො වැ මුළු බුදුනු වගට ම පිදුණු තිළි­ණ­යකි.

Comments