ලංග­මයේ යන ගමන් ප්‍රයි­වෙට් බස් වර්ජ­නය මෙහෙ­යවූ වෘත්තීය සමි­ති­කා­රයෝ! | සිළුමිණ

ලංග­මයේ යන ගමන් ප්‍රයි­වෙට් බස් වර්ජ­නය මෙහෙ­යවූ වෘත්තීය සමි­ති­කා­රයෝ!

‘බස් වර්ජ­නය අකු­ර­ටම ක්‍රියා­ත්මක වෙනවා නම් අද ප්‍රයි­වෙට් බස් නැතැව ඇති...’ යන දෙගි­ඩි­යා­වෙන් මා ගෙද­රින් පිටත් වූයේ කව­දත් ලංග­මයේ යන-එන මා හට ගම­නා­ග­මන අව­දා­න­මක් නොති­බු­ණද වෙනදා පෞද්ග­ලික බස් රථ­වල යන උද­වි­යද අද සී‍ටීබි­යට ගොඩ වීමට ඉඩ ඇති බැවින් ඉහින්-කනින් දාඩිය නාගෙන තද-බද­යෙන් හෙම්බත්ව කාර්යා­ල­යට යන්නට සිදු වන වග සිහි­පත් කර­මිනි.

එහෙත්, කිරි­බ­ත්ගොඩ සිට ධාව­නය වන මාර්ග අංක 154 ‘කිරි­බ­ත්ගොඩ - අඟු­ලාන’ බස් රථයේ ඒ උදෑ­සන එත­රම්ම සෙන­ඟක් නොවීය. මට ඉදි­රි­යෙන් වූ අසුනේ සිටියේ මැදි­වියේ දෙදෙ‍නෙකි. බස් රථයේ ගමන් ගන්නා කිසි­වකු ගැන විශේෂ අව­ධා­න­යක් නොතිබූ මා කවු­ළු­වෙන් පිටත බල­මින් එන්නට විය. වෙනදා තරම් පෞද්ග­ලික බස් රථ ධාව­න­යක් නැති බැවින් අත­ර­මඟ බස් නැව­තු­ම්වල ළතැ­වෙන ජන­තාව ගැන සිතෙහි උපන්නේ දුකකි.

මගේ අව­ධා­නය එක් වනම බිඳී ගියේ මට ඉදි­රි­පස අසුනේ වාඩි වී සිටි දෙදෙ­නාගේ සංවා­දය අහ­ම්බෙන් මෙන් සවන් වැකී­මෙනි. ඔවුන්ගේ කතා-බහ බස් වර්ජ­නය ගැනය. එකෙක් මැදි­වි­යේය. අනෙකා මැදි­වි­යට ළං වෙමින් හිඳි­න්නෙකි. දෙදෙ­නාගේ මුහුණු පෙනෙන්නේ නැති නමුදු, බස් රියේ සහ ඊට පසු වන - හමු වන වාහ­න­වල හඬ අතරේ වුව, කතාව පැහැ­දි­ලිව ඇසේ.

දෙදෙනා කතා කරන අතර මැදි­වියේ තැනැ­ත්තාට දුර­ක­තන ඇම­තු­මක් ආවේය...

‘ඔව් ඔව්! සිය­යට අසූ­වක් සාර්ථ­කයි. දවල් වෙන කොට ඉතරි ටිකත් හරි. ආ ගැමු­ණුද? ගැමු­ණුගෙ එක බස්-එකයි. ඒකත් නැව­තිලා තියෙන්නේ... මම දැන් සාක­ච්ඡා­වක ඉන්නේ. පස්සෙ ගන්නම්.’

ඇම­තු­මට ඔහු උත්තර දුන්නේය.

යළිත් දෙදෙනා කතා­වේය.

ටික­කින් ඔහු ඇම­තු­මක් ගන්නට විය...

‘කොහො­මද අලු­ත්ගම තත්ත්වේ? බෙන්තර ගඟෙන් එගොඩ-මෙගොඩ කොහො­මද?’

ඔහුගේ ප්‍රශ්න­යට ලැබුණු පිළි­තුර මට නෑසිණි.

එහෙත් ඔහු ඊට කියූ දෑ ඇසිණි.

‘දවල් වෙන­කොට හරි-යයි... ඉතිරි ටිකත් නව­තියි... අපි­ටත් දරු-පවුල් ඉන්නවා තමයි. ඔවුන් පත්ත­ර­යක් පොතක් බලන එකක්යෑ! නැත් නම් පහු­ගිය ටිකේම පත්ත­ර­වල ගියානේ... දවල් වෙන­කොට ඔක්කෝම හරි­යයි.’

ඔහු දුර­ක­ත­න­යෙන් බස් වර්ජ­නය මෙහෙ­ය­ව­න්නේය... රට වටා තොර­තුරු සොයා බල­න්නේය. තමන් සමඟ සිටින අනෙකා සමඟ බස් වර්ජ­නය ගැන සාකච්ඡා කර­න්නේය. අනුන්ගේ කතා­ව­ලට සවන් දීම හොඳ පුරු­ද්දක් නුවූ­වද, ‘ලංග­මයේ’ නැඟී ‘පෞද්ග­ලික බස් වර්ජ­නය’ මෙහෙ­ය­වන දෙදෙ­නාගේ කතාව මට වැද­ගත්ය. ඊළ­ඟට සිත උපන් ආශාව වූයේ මොවුන් දෙදෙ­නාගේ මුහුණු බලා­ගැ­නී­මය. බසය වේග­යෙන් ඉදි­රි­යට ඇදෙයි. මා බැසී­මට අවැසි තැනද ළං වේ. දුම්රියේ නැ‍ඟෙන්නට පට්ටිය හන්දි­යෙන් බසින විට මම අසු­නින් නැඟිට විත් ඉදිරි අසුනේ සිටි දෙදෙ­නාගේ මුහුණු හොඳින් බැලීමි. ඒ හුරු-පුරුදු මුහුණු දෙකකි; සෑම බස් වර්ජ­න­ය­ක­දීම වර්ජ­නය මෙහෙ­ය­වන සුපු­රුදු මුහුණු දෙකකි! (අවා­ස­නාව නම් ඒ මොහොතේ මා අත ඡායා­රූප ගැනී­මට තරම් නව පන්නයේ දුර­ක­ත­න­යක් නොවී­මය).

පොදු මහ­ජ­න­තා­වට අප­හ­සු­තා­වට පත් කර­න්නට දිගින් දිග­ටම බස් වර්ජන දියත් කරන මොවුහු කොත­රම් නම් කෙප්ප ඇද-බාන්නෝද? හැම­දා­මත් මඟී ජන­තාව අප­හ­සු­තා­වට පත් කරන මොවුන්ට පාඩ­මක් ඉගැ­න්වී­මට මහ­ජ­න­තා­වට පෙළ ගැසිය නොහැ­කිද? දවස් දෙකක් එහෙ­මත් නැත් නම් එක දව­සක් මහ­ජ­න­තාව මේ බස් වර්ජ­නය කළොත් මොවුන්ට මොනවා වනු ඇද්ද? තව­මත් අපේ රටේ ජන­තාව ඒ තරම් සවි­මත් නොවීම, එක­මුතු නොවීම ගැන සිතින් තැවෙ­මින් කාර්යා­ලයේ දවස ගෙවා දැමීමි.

සුපු­රුදු මඟින්ම විත් හවස නිවෙ­සට ගොඩ වන විට ගෙදර ඇත්තෝ රූප­වා­හිනී නාළි­කා­වක රාත්‍රී ප්‍රවෘත්ති බල­මින් සිටි­යහ.

ඒ වන විට බස් වර්ජ­නය ගැන බස් රථ හිමි­යන්, මඟීන්, මැති-ඇමැ­ති­ව­රුන් පළ කළ අද­හස් විකා­ශය වෙමින් තිබිණි. ගමන් මහ­න්සිය නොතකා රූප­පෙ­ට්ටි­යට ළං වූ මට, හුරු-පුරුදු කට­හ­ඬ­කින් ‘බස් වර්ජ­නය සිය­යට අසූ­වක් සාර්ථ­කයැ!’ යි පව­සනු ඇස­ුණේය.

මට අන්දරේ සිහි විය. ගෙයි වහල උඩ යන තරමේ සිනා­වක් මුවින් පිට වූයේ මටත් නොදැ­නී­මය.

රූප­වා­හිනී තිරයේ දිස් වූයේ උදෑ­සන ලංගම බස් රියේ නැඟී යමින් පෞද්ග­ලික බස් වර්ජ­නය මෙහෙ­යවූ අම­න­යන් ‍දෙදෙනාය!

අහෝ! මෙහෙ­මත් වෘත්තීය සමි­ති­කා­රයෝ!

(‘සිළු­මිණ’ කර්තෘ මාණ්ඩ­ලි­ක­යකු ‘බස් වර්ජ­නය’ දා ඇසූ-දුටු සත්‍ය සිදු­වී­මකි)

 

- ඉසවි

අදහස්