රට යවන්න පස් ගත්තේ රන් ආකරයකින්ද | සිළුමිණ

රට යවන්න පස් ගත්තේ රන් ආකරයකින්ද

රන් අඩංගු පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ගැන පසුගිය කාලයේ වාර්තා විය. පස් කන්ටේනර් 57කට අධික ප්‍රමාණයක් ඒ අනුව මෙරටින් අපනයනය කර ඇත.

මේ අපනයනයන් පිළිබඳව සහකාර රේගු නිලධාරියකුගේ ඇස ගැටිණි. ඔහු වහා අපනයනයට තහංචියක් දැමුවේය. කන්ටේනර් ගෙන යෑමට ඉඩ ලබා නොදුන්නේය. පස් අපනයනයට නම් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අවසර ලබා ගත යුතු බව නිර්දේශයක් ඉදිරිපත් කෙළේය.

කන්ටේනර් පනස් හතෙන් අවසාන කන්ටේනර් හතර ඒ අනුව නතර විය. එයින් පසුව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඒ සම්බන්ධව වාර්තාවක් ඉල්ලා සිටියේය. එහිදී එම රත්තරන් මිශ්‍ර පස් පිටරට යැවීමට පෙර භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අනුමැතිය අවශ්‍ය නොවන බවට කාර්යාංශයෙන් පිළිතුරු ලැබිණි.

ඒ අනුව රඳවාගෙන තිබූ කන්ටේනර් හතරද අමතර දඩමුදලක් ගෙවා අපනයනයට අවසර ලබා දුන්නේය.

රන් අඩංගු පස් කන්ටේනර් පරීක්ෂණ අවශ්‍ය නැතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අනුමැතිය ලබා දී ඇති බව මාධ්‍ය මඟින් වාර්තා වෙද්දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදු කෙළේ ඒ සඳහා මුල් වූ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කිරීමයි.

දැන් අපට මතු වන ගැටලුව වන්නේ අනුමැතියක් අවශ්‍ය නොවන බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිර්දේශයක් නිකුත් කෙළේ නම් රේගුව විසින් දඩ ගැසුවේ ඇයි ද යන්නයි. එමෙන්ම එතැනින් මාධ්‍ය මඟින් මේ පිළිබඳව යළි කතිකා ගොඩ නඟද්දී පසුව අපනයනයට ගෙනැවිත් තිබූ තවත් කන්්‍ෙට්නර් 15ක් මේ වන විට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ද දැනුම් දීම මත අපනයනයට තහංචි පනවා තිබීමයි. මෙය හතර බීරි කතාවකි.

රේගුව අපනයනයට අවසර ලබා දී එක්වරම එය භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයට යොමු කෙළේ ඇයි ද යන්න එක් ප්‍රශ්නයකි. එසේම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් විසින් අනුමැතිය අවශ්‍ය වන්නේ නම් අවශ්‍ය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කෙළේ ඇයි ද යන්න තවත් ප්‍රශ්නයකි. අවශ්‍ය නම් නිලධාරීන් දෙදෙනා ඒ බව නොදැන සිටියේ ද යන්න ගැටලුවකි.

එසේම අනුමැතිය අවශ්‍ය නොවන බවට දැනුම් දුන් පසු රේගුව විසින් දඩු මුදල් අය කෙළේ කුමන පදනමක් යටතේ ද යන්න තවත් ගැටලුවකි.

ලෝකයේ ඕනෑම රටක සිට තවත් රටකට ඕනෑම භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් අපනයනය කිරීමේ දී ඒ සඳහා අදාළ භාණ්ඩ සඳහා කෝඩ් එකක් හෙවත් කේත අංකයක් ලබා දිය යුතුය. එය ලෝකය පුරාම අන්තර්ජාතිකව පිළි ගන්නා ‘එච් එස් කෝඩ්’ නමින් හැඳින්වෙන කේත සංකේතයකි. ඒ සංකේතය දුටු සැණින් ඕනෑම රටකට ඒ පිළිබඳව දැන ගන්නට හැකියාව ඇත.

එවන් තත්ත්වයක් තිබිය දී රන් මිශ්‍රිත යැයි සැලකෙන මේ පස් අපනයනයේ දී රේගුව විසින් ලබා දී ඇති කේත අංකය ලොව කිසිදු රටක් විසින් ලබා නොදෙන කේත අංකයක් බවට මේ වන විට හෙළි වී ඇත. එයට හේතුව කුමක්ද යන්න හෝ මේ වන තෙක් වාර්තා වී නොමැත. වාර්තා වන ආකාරයට රේගුව විසින් රඳවාගෙන ඇති කන්ටේනර් තුළ ඇති පස්වල රත්තරන් අන්තර්ගත බව සඳහන්ය. දැනටත් මෙරටින් පිට කර ඇති රත්තරන් කන්ටේනර් චීනය, ඉන්දියාව, සිංගප්පූරුව සහ කොරියාව යන රටවල් වෙත අපනයනය කර ඇති බව වාර්තා වේ.

මේ සිදුවීම් වැළ එළියට පැමිණීමත් සමඟ දැන් රේගුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයටත් ඔවුන් රේගුවටත් ඇගිලි දිගු කරන ලකුණු පෙනෙන්නට ඇත. මේ කරුණු එකින් එක දිග හැරෙද්දී පස් විශ්ලේෂණ වාර්තාවට අනුව මෙහි අඩංගු ද්‍රව්‍ය ලෙස කාර්යාංශය දක්වා ඇත්තේ බොරළු, වැලි, රොන්මඩ, මැටි, අඟුරු කැබලි හා වළං සුන්බුන් ආදියයි. එසේම ඒ තුළ අවිධිමත් රටාවලින් යුත් කුඩා රන් කැබලි හා දිලිසීමකින් යුත් රන් කුඩු ද නිරීක්ෂණය වන බවත් ඒ වාර්තාවේ දැක්වෙන බව ද පවසයි. එවන් දේ අඩංගු පස් නිස්සාරණය කර මෙරට තුළ රත්තරන් ලබා ගන්න බවට කිසිදු වාර්තාවක් නොමැති බවද රේගුව පවසයි.

මේ සම්බන්ධයෙන් අප රේගු අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ හා අන්තර්ජතික කටයුතු) සුනිල් ජයරත්න මහතාගෙන් විමසූ විට ඔහු පෙන්වා දුන්නේ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් ලැබෙන පිළිතුරු ලිපි පරස්පර විරෝධී බවයි. මේ සම්බන්ධව පසුගිය වසරේ කාර්යාංශයෙන් සිදු කළ විමසිමකදී ඔවුන් යොමු කළ ලිපි වල අන්තර්ගතය සම්බන්ධයෙන් ඔහු පෙන්වා දුන්නේ දින වකවානුද සහිතවය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2017.07.27 දිනැති අංක DDM/EX-S/2017/088 දරණ ලිපියේ හා ලද 2017.09.18 දිනැති හා අංක PL/17/206 දරණ විශ්ලේෂණ වාර්තාව හා මේ සම්බන්ධයෙන්ම 2017.12.06 දිනැති අංක PL/17/287 දරන විශ්ලේෂණ වාර්තාවෙන් පරස්පර වාර්තා ඇති බවයි. එසේම කන්ටේනර්වල ඇති මේ පස් ස්වර්ණාභරණ නිෂ්පාදන අලෙවිසල් විසින් ඉවත ලන රොඩු දූවිලි අඩංගු පස් හා කාලයක් එම අපද්‍රව්‍ය රොඩු ලෙස තිබී ලබා ගත් ඒවා බවද ඔහු පෙන්වා දෙයි.

එම නිසා මේ පස් කිසිසේත්ම ඛනිජ සම්පත් හෝ මෙරට වෙනත් සම්පත් ගණයට නොවැටෙන බවත් ඉවත ලන පස් රොන්මඩ ගණයට පමණක් අයත් වන බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේද මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරනු ලබන බවයි. එසේම පස් අපනයයට විධිමත් ක්‍රමවේදයක් ද නොමැති බව ඔහු පැවසීය. ඉවත ලන අපද්‍රව්‍ය සහිත දේ ඛනිජ සම්පත් ලෙස හෝ මෙරට සම්පත් සේ පිළිගැනීමට හේතුවක් නොමැති බවත් ඔහු පිළි ගත්තේය. කෙසේ හෝ රන් මිශ්‍රිත පස් අපනයනයට පෙර රේගුව කාර්යාංශයෙන් කරුණු විමසු විට ඒ පිළිබඳව නිසි පරිදි කටයුතු නොකළ බවට චෝදනා එල්ල කරමින් මේ වන විට නිලධාරීන් දෙදෙනකුගේ සේවය තහනම් කර ඇතැයි ද ඔහු කීවේය. කෙසේ හෝ ඉදිරියේදී පස් යම් දේ මිශ්‍රිත පස් අපනයනට ක්‍රියා මාර්ගයක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු කීවේය.කෙසේ වෙතත් අදාළ කන්ටේනර් තුළ තිබූ පස් සාම්පල් භූ විද්‍යා හා පතල් කාර්යංශය වෙත යවා තිබෙන්නේ ඒ පස් සාම්පල් කුමන ප්‍රදේශවලින් ලබා ගත් ඒවා දැයි නිශ්චිත කර ගැනීම සඳහාය. පස් සාම්පල් තුළ රත්තරන් අඩංගු වී ඇති බව මේ වන විටත් තහවුරු වී තිබේ. අපනයනයට සූදානම් කළ පුද්ගලයන් පවසා ඇතැයි කියන්නේ රත්තරන් නිෂ්පාදන සෑදීමෙන් පසු හා රන් සේදීමෙන් පසු ඉතිරි වූ අප ද්‍රව්‍ය අඩංගු පස් එසේ අපනයනය කරනු ලබන බවයි. ලංකාව පුරාම තැනින් තැන රත්තරන් ලබා ගැනීම සඳහා පස් සේදීම සිදු කරන බවත් එම ස්ථානවලින් ඔවුන් එම පස් ලබා ගත් බවත් පවසා ඇතැයි ද දැන ගන්නට ඇත.

එහෙත් දැනට විමර්ශන කටයුතුවලදී හෙළි වී ඇති කරුණු කෙසේ වුවත් අපට මතු වන ගැටලුව වන්නේ කන්ටේනර් 60ක් 70ක් පිරවීමට තරම් රන් සෝදා හළ එමෙන්ම රන්කුඩු හෝ අඩංගු දුහුවිලි සහිත පස් තිබේද යන්නයි.

අපට වැටහෙන්නේ එක්කො මේ පස් කිසිදු ආකාරයක නිස්සාරණයක් නොකළ, රත්තරන් අඩංගු පස් කන්ටේනර් තොගයකි. නොඑසේ නම් පස්වලට රත්තරන් මිශ්‍ර කරමින් කරගෙන යන රත්තරන් ජාවාරමක් විය හැකිය. පස් අස්සේ සඟවා රත්තරන් ගෙන ගියේ ද යන්න ගැන අපට කිසිසේත්ම නිශ්චිතව කිව නොහැකි නමුත් අපේ රටේ සිදු වී ඇති දේවල් දෙස බැලූ විට රේගුව හරහා සිදු නොවිය යුත්තක් නැති තරම්ය. දැන් මේ රත්තරන් පස් කතාව ජනාධිපති විමර්ශන අංශය දක්වා ගොස් ඇත‍.

 

අදහස්