මහ සෑය තරම් ම උස ශ්‍රද්ධාවක් | සිළුමිණ

මහ සෑය තරම් ම උස ශ්‍රද්ධාවක්

  • පුජාවට අක්කර 10 දාස්පෙතියා වවනවා... මල්වලට විතරක් වියදම ලක්ෂ 20ක්...
  • අටවිසි බුද්ධ ප්‍රතිමා නේත්‍රාවල නිල් මැණික්...
  • පූජාවේ වැඩවලට දහදාහක පිරිසක්

පසුගිය සෙනසුරාදා (11) අනුරපුර රුවන්මැලි මහා සෑ රදුන් වටා පිහිටි සලපතළ මළුව, වැලි මළුව හා මහමෙව්නා උයන පුරා දක්නට දක්නට ලැබුණේ සුදු රෙදි පෙරවූවා වැනි සුදු යායකි. එහි සිටි සුදුවතින් සැරසුණු උපාසක උපාසිකාවන්ගේ සාදු නාදය මහමෙව්නාව පුරා රැව් පිළිරැව් දුන‍්නේ බොදු බැතිය තීව්‍ර කරමිනි. උඩු වියන් හා පාවඩ මැද මුතුකුඩ සේසත් සහ හේවිසි පුජා මධ්‍යයේ විශේෂ මල් මණ්ඩප මත වඩා හිඳවූ අටවිසි බුදු පිළිම වහන්සේලා වැඩමවූ අලංකෘත පෙරහර බුද්ධාලම්භන ප්‍රීතිය නැංවීමට සමත් දසුනක් විය. මල් සුවඳ පරයා නැඟෙන සඳුන් සුවඳ හාත්පස පැතිරෙද්දී පහන් ලක්ෂයක ආලෝකයෙන් රුවන්වැලි සෑ රඳුන් අබියස ඒකාලෝක විය. ඒ, එදින එහි පැවැත් වූ මහා අධිෂ්ඨාන බල පූජාව නිසා ය.

නිසලවිල පදනම විසින් සංවිධාන කරනු ලැබූ මේ මහා අධිෂ්ඨාන බල පූජාව මෙවර පැවැත්වුණේ දෙවැනි වතාවට ය. නොඉඳුල් තෙලින් දල්වන මහා පහන් ආලෝක පුජාව, නොඉඳුල් රන් තැඹිලි පූජාව, නොඉඳුල් මහා චතු මධුර පූජාව, දිය නොමුසු කිරෙන් සකස් කළ නොඉඳුල් මහා කිරිපිඬු පූජාව, නොඉඳුල් මහා විලඳ මී පැණි පූජාව, නොඉඳුල් මහා කැවිලි පූජාව, නොඉඳුල් නැවුම් පලතුරු පූජාව, අති උතුම් රන් අටපිරිකර පුජාව යනාදී වශයෙන් පූජා මාලාවක් මෙහිදී දැක ගත හැකි විය. සෙසු පූජාවන්ට වඩා වෙනස් මුහුණුවරක් ගැනීම නිසා මෙන්ම “නොඉඳුල්” යනුවෙන් යොදා තිබීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමට සිත් විය. ඒ පිළිබඳ තොරතුරු විමසුවේ නිසලවිල පදනමේ අනුශාසකවරයාගෙනි.

“නිසලවිල පදනම ආරම්භ කළේ ශාසනික පුනරුදය උදෙසා කාර්යභාරයක් ඉටු කිරීමටයි. මේ පදනම පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. මහා අධිෂ්ඨාන බල පුජාව මෙවර පැවැත්වුවේ දෙවැනි වතාවට. මේ පූජාව වෙනුවෙන් අපි හැමෝම හුඟක් මහන්සි වෙනවා. හය මාසයකට විතර ඉඳලා සූදානම් වෙන්නේ. පස්පවින් දුසිරිතින් වැළකිලා නිර්මාංශව පේවෙලා තමයි අපි මේ උතුම් පිංකම පවත්වන්නේ” නිසලවිල පදනමේ අනුශාසක පැවසීය.

අටවිසි බුදු පිළිම වහන්සේලා වෙනුවෙන් සකසා ඇති මණ්ඩප ද සුවිශේෂි මුහුණුවරක් ගනී. එක් මණ්ඩපයක් අඩි 20 ක් දිගින් සහ අඩි 15 ක් උසින් යුක්ත ය. මේ මණ්ඩපය රෝස, දාස්පෙතියා, කපුරු, ජර්බෙරාස් වැනි මල්වලින් සරසා ඇත. රෝස, කපුරු, ජර්බෙරා යන මල් නුවරඑළියෙ ගොවිපළවලින් ගෙන්වා ගත හැකි වුවද මණ්ඩප 28 ක් සැරසීමට දාස්පෙතියා සොයා ගැනීම ලෙහෙසි පහසු නැත. ගම්පොළ අටබාගේ අක්කර 10 ක දාස්පෙතියා වවනු ලබන්නේ එබැවිනි. මෙවර පින්කම වෙන‍ුවෙන් දාස්පෙතියා වගා කළේ මීට මාස 4 කට පෙර සිට ය. එක් මණ්ඩපයකට අවශ්‍ය මල් වෙනුවෙන් රු.68,000.00 ක් පමණ වැය වේ. සමස්ත පින්කම උදෙසා මල්වලට පමණක් වැය වූ මුදල රු.ලක්ෂ 20 කි.

මේ මහා අධිෂ්ඨාන බල පූජාවේ දක්නට ලැබෙන තවත් විශේෂත්වය වන්නේ අටවිසි බුද්ධ ප්‍රතිමා මේ පින්කම උදෙසා ම නිර්මාණය කිරීම ය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සෑදු බුද්ධ ප්‍රතිමා විසි අටෙහි නේත්‍රාවලට යොදා තිබෙන්නේ නිල් මැණික් වන අතර කැරට් 24 රන් හුයකින් ඌර්ණ රෝම ධාතුව නිමවා ඇත. එමෙන්ම අටපිරිකරට අයත් පාත්‍ර රන් ආලේපිත ය. දැලිපිහිවල මිට රන් ආලේපිත වන අතර ඉඳිකටුව රත්තරන් ය. පාත්‍ර පිළිමතලාවේ නිෂ්පාදනය කර තිබේ. එහෙත් රන් ආලේප කර තිබෙන්නේ රත්මලාන ප්‍රදේශයේ ය. අටපිරිකර සඳහා අත් යන්ත්‍රෙයන් රෙදි නිම කළේ පිළියන්දල ප්‍රදේශයේ ය. එක් අටපිරිකරක පිරිවැය රු. 55,000/- කි.

මීට අමතරව මේ මහා අධිෂ්ඨාන බල පූජාවට අවශ්‍ය මැටි පහන් ද විශේෂයෙන් නිමවා තිබේ. කුරුණෑගල බමුණ­ාකොටුව ප්‍රදේශයේ සැකසුණු මේ මැටි පහන් විශේෂ අච්චුවකින් සකසා ඇත. පහන් සඳහා මැටි පදම් කිරීමේදී පයින් මැටි පදම් කිරීමෙන් අගෞරවයක් වන බැවින් දණහිසට ඉහළ ස්ථානයක මැටි තබා යන්ත්‍රානුසාරයෙන් පදම් කෙරිණි.

“මේ සෑම කටයුත්තකදීම පළමුවැනි අවස්ථාවේ ශබ්ද පූජා පවත්වලා පිරිත් සජ්ඡායනා කරලා ආශිර්වාදය ලබා ගන්නවා. උදාහරණයක් හැටියට පිළිම වහන්සේ අඹන මංගල අවස්ථාව, නේත්‍ර පූජා අවස්ථාව, අටපිරිකර සඳහා හා හා පුරා කියා සිවුරු මසන අවස්ථාව, පාත්‍ර නිර්මාණය කරන මුල්ම අවස්ථාව, පහන් සඳහා මැටි පදම් කරන අවස්ථාව මුල්ම මැටි පහන හදන අවස්ථාව වගේ සෑම අවස්ථාවකදීම ශබ්ද පූජා පවත්වලා පිරිත් සජ්ඡායනා කරනවා. ඒ වගේම තමයි මේ සියලු පින්කම් කටයුතු සඳහා ඒ අය දායක වෙන්නේ සුදු වතින් සැරසිලා, මුඛවාඩම් බැඳලා, හිසට සුදු ජටාවක් බැඳලා. පහන් හදන විට මැටි පදම් කරන අවස්ථාවේදි වෙනත් මැටි පදම් කරන ස්ථානවල වගේ ඇගේ මඩ තවරා ගෙන ඉන්නේ නැහැ. ඒ අය ශුද්ධ පවිත්‍ර වෙලා වටතිර ඇඳලා උඩු වියන් බැඳලා තමයි මේ සත් කාර්යය කරන්නේ.” මෙසේ පවසන්නේ නිසලවිල පදනමේ අනුශාසක ය.

ෙමම පිංකමට අවශ්‍ය පොල්තෙල් සිඳගෙන තිබෙන්නේ ද අපූරු ආකාරයකට ය. ඒ සඳහා ගත් කිසිම පොල් ගෙඩියක් බිමට කඩා නැත. සියලුම පොල් බාගෙන තිබෙන්නේ අතට ය. මෙසේ එකතු කර ගත් පොල් දණහිසට වඩා උසින් යුක්ත විශේෂ කොටුවක රඳවා තිබේ. එබැවින් සාමාන්‍යයෙන් වත්ත පිටියේ දැක ගත හැකි පොල් ගොඩවල් දක්නට ලැබුණේ නැත. මෙම මහා අධිෂ්ඨාන බල පූජාවට අවශ්‍ය තෙල් සිඳ ගැනීමට පොල්ගෙඩි 12,000 ක් භාවිත විය. ඉන් 6,000 ක්ම ලැබුණේ කුරුණෑගල මැල්සිරිපුර පොල් ඉඩම් හිමි දානපතියෙකුගෙනි. අනෙක් පොල් ගෙඩි 6,000 විවිධ ප්‍රදේශවලට ගොස් අතට බාගෙන එකතු කරගත් ඒවා ය. මේ පොල් දකුණු ‍පළාතේ වීරකැටිය දක්වා රැගෙන ගියේ තෙල් සිඳීම එකී ප්‍රදේශයේ සිදු කළ නිසා ය. මෙහිදි කොටස් තුනකට බෙදූ සුවිශේෂි ස්ථානයක තෙල් සිඳීම කරනු ලැබිණි. එක් කොටසක පොල් ගෑම, තවත් කොටසක ‍ෙපාල් මිරිකීම සහ අනෙක් කොටසේ පොල්තෙල් සිඳීම සිදු විය. දිය අඟලක් මැද වටතිර සහ උඩුවියන් බැඳ කහදිය ඉස නිර්මාණය කළ මෙම සුවිශේෂි ස්ථානයේ කළ සද්කාර්යය සඳහා සැදෑහැවත් පිරිස 500 ක් පමණ ශ්‍රම දායකත්වය සැපයූහ. මෙම කාර්යයේදී ද කුළුඳුලේ කෙරෙන කටයුතුවලට ශබ්ද පූජා පවත්වා පිරිත් සජ්ඡායනා කර තිබේ. මේ ආකාරයට සිඳ ගත් පොල්තෙල් අඛණ්ඩව දින තුනක් පුරා පිරිත් සජ්ඡායනා කරමින් දසදහස් වාරයක් පිරිත් කරනු ලැබුවේ මෙම උතුම් කටයුත්තේ මහත්ඵල ආනිසංස ලබා ගැනීම සඳහා ය.

මහා අධිෂ්ඨාන බල පූජාවට අවශ්‍ය පහන් තිර සකස් කරනු ලැබුවේ රත්නපුර අයගම ප්‍රදේශයෙනි. අලුත් ම රෙදි මිල දි ගෙන මුඛවාඩම් බැඳ, හිසට ජටා බැඳ ශබ්ද පුජා හා පිරිත් සජ්ඡායනා මධ්‍යයේ පහන්තිර සැකසීම ඇරඹුණු අතර නිම වූ පහන් තිර ගණන ලක්ෂයකි. ඉන් පසුව කහ දියර සහ සඳුන් වතුරෙන් සෝදා වේළා ගැනිණි. මෙසේ සකස් කරගත් පහන්, පොල්තෙල් සහ පහන්තිර විශේෂ මණ්ඩපයක තැන්පත් කෙරේ. ඉන් අනතුරුව කුඩා කුප්පිවලට පොල්තෙල් දමා එක් පොල්තෙල් කුප්පි‍යකුත් මැටි පහනකුත් පහන්තිරයකුත් දමා කුඩා පැකට් ලක්ෂයක් සකස් කෙ‍රුණේ පින්කමට පැමිණෙන සැදෑවතුන්ට දීමට ය.

නොඉඳුල් මහා කිරිපිඬු පූජාව සඳහා සූදානම් වූ ආකාරය ද පුදුම සහගත ය. ප්‍රථමයෙන්ම බදුල්ල පස්සර ප්‍රදේශයේ කුඹුරක ගොයම් පැළ රෝපණය කෙරිණි. එය සිදු කළේ පින්කමට මාස 6 කට පෙර ය. නෙළු ගොයම් බිම නොතබා උස පීඨිකාවක තැන්පත් කරනු ලැබුවේ ගෞරවය පිණිස ය. මෙහිදී වී පෑගී‍මක් සිදු නොවේ. වී සහල් බවට පත් කෙරෙන්නේ අතින් පොඩි කිරීමෙනි. කිරිපිඬු පිස ගැනීමේදී මහමෙව්නා උයනේ විශේෂ කු‍ටි 28 ක් ඉදි කළේ අටවිසි බුදුවරුන් උදෙසා පූජා කරන කිරිපිඬු පිස ගැනීමටය. කෑගල්ලේ දී නිෂ්පාදනය කළ අඩි 2 ක් පමණ විෂ්කම්භයකින් යුතු පාත්තර 28 ට හාල් කිලෝග්‍රෑම් 250 ක් අවශ්‍ය විය. එම සහල් සෝදනු ලැබුවේ තැඹිලි වතුරෙනි. ඒ සඳහා භාවිත කළ තැඹිලි ගෙඩි ගණන 400 කි.

කිරිපිඬු පූජාවට අවශ්‍ය එළකිරි ලබා ගැනීම සඳහා අනුරාධපුරයේ පිහිටි ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනේ. ඔවුන් විසින් අදාළ දිනයට කිරි ගොවි මහතුන් සම්බන්ධ කර කිරි ගවයන් ලබා දෙන අතර මෙවර කිරි දොවා ගැනීම සඳහා එළදෙනුන් 100 කට අධික සංඛ්‍යාවක් ගෙන්වනු ලැබිණි. මෙම උතුම් කටයුත්තට යොදා ගත් කිරි ප්‍රමාණය ලීටර් 500 කි. මෙම එළකිරි පරිත්‍යාග වශයෙන් ලැබිණි. සුරක්ෂිතව තැන්පත් කළ කිරි පින්කම දා සහල් අඩංගු පාත්‍රවලට වත් කෙරේ. ඉන් අනතුරුව පාත්‍ර වසා තැබෙන්නේ සුදු හඳුන් ලීයෙන් තැනුණු මූඩියකිනි. කිසිම විටෙක පාත්තර ළිප මත තබන්නේ නැත. ලොකු සාස්පාන්වලට තැඹිලි වතුර දමා පාත්තර ඊට බහාලනු ලැබේ. ළිප මත තැබෙන්නේ එකී පාත්තර ය. සුදු හඳුන් දරෙන් පිස ගනු ලබන මෙම කිරිපිඬු තැඹිලි වතුර හුමාලයෙන් ඉදෙනු ඇත. හුමාලය සුදු හඳුන් මූඩියේ වැදීමෙන් කිරිපිඩු ඉතා සුවඳවත් වේ. දිය නොමුසු කිරෙන් පිසූ නොඉඳුල් කිරිපිඬු පුජාව සඳහා අවශ්‍ය රන් තැඹිලි ද අතට බාගෙන තැන්පත් කෙරුණේ පොල් තැන්පත් කළ ආකාරයට ය.

පාත්‍ර වැසුම් හෝමාගම ප්‍රදේශයේ ශ්‍රද්ධාවන්ත පිරිසක් සැකසූහ. මෙම පින්කමට මුතුකුඩ 400 ක් අවශ්‍ය විය. ඒ සියල්ලම සැකසුණේ පින්වතුන්ගේ දෑතිනි. මෙසේ නිර්මාණය කෙරුණු පාත්‍ර වැසුම් සහ මුතුකුඩ සඳුන් වතුරෙන් සෝදා වේළා ගෙන තිබේ. මේ සඳහා ගත වූ කාලය මාස 4 කි.

නොඉඳුල් චතුමධුර පුජාවට අවශ්‍ය ගිතෙල් සහ වෙඬරු එක්තරා නිෂ්පාදන සමාගමක් විසින් පළමු නිෂ්පාදනය ලබා ගෙන පූජා කෙරෙනු ඇත. උක්හකුරු සාදා ගැනීමට බුත්තල ප්‍රදේශයේ පිහිටි එකම උක් ගසක්වත් නොකැපු උක් වගාවකින් උක් සැපයේ. ඊට අවශ්‍ය මී පැණි ලබා ගන්නේ පෙට්ටි ගසා මී මැස්සන් ඇති කිරීමෙන් ලැබෙන මීවද වලිනි.

නොඉඳුල් පලතුරු පූජාවට අවශ්‍ය කොමඩු වගා කෙරෙන අතර සෙසු පලතුරු සොයා ගැනීමට දරන උත්සාහය සහ කැපවීම අගය කළ යුතුය. හා හා පුරා කියා ඵල හට ගන්නා ගස් තෝරාගෙන ඒවායේ ඵල වැඩෙන විට වසා වෙන්කර තබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා දිවයින පු‍රා විසිරි සිටින නිසලවිල පදනමේ සාමාජික සාමාජිකාවන් ප්‍රදේශවල ඇවිදිමින් නෑඹුල් පලතුරු සොයා කළ මෙහෙයුම සිතා ගැනීමට පවා අසීරුය.

නොඉඳුල් මහා කැවිලි පූජාවට අවශ්‍ය සහල් බදුල්ලේ පස්සර අස්වැද්දූ කු‍ඹුරේ අස්වැන්නෙන් වෙන් කර ගැනේ. මේ පින්කමට අවශ්‍ය සීනි, සෙවණගල සීනි කම්හලේ ප්‍රථම නිෂ්පාදනය වෙන් කර පූජා කරනු ලබන‍්නේ මෙය මහඟු පුණ්‍ය ක්‍රියාවක් වන බැවිනි. කැවිලි සකස් කිරීමට අවශ්‍ය පොල්පැණි අලුතින් ම පීදෙන පොල්වලින් ලබා ගෙන ඇත. හලාවත ප්‍රදේශයේ කතෝලික අයකු විසින් මෙය සිදු සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි. ඔහු කහවතුර ස්නානය කර සුදු ජටාවකින් සැරසී මුඛවාඩම් බැඳ අත්වැසුම් පැළඳ පොල් මල් මැදීම මහත් භක්තියෙන් කළ බව නිසලවිල පදනමේ අනුශාසක පැවසීය. මෙම පින්කමට අවශ්‍ය විලඳ කුඹුරේ අස්වැන්නෙන් ලබා ගෙන තිබිණි.

පසුගිය සෙනසුරාදා (11) පැවැත් වූ මහා අධිෂ්ඨාන බල පූජාවට අවශ්‍ය හඳුන්කූරු ලක්ෂ ගණනක් නිෂ්පාදනය කළේ වාරියපොළ ප්‍රදේශයෙහිය. සුදු සඳුන්, සැවැන්දරා, සුවඳ කොට්ටං වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා හඳුන්කූරු නිෂ්පාදනය කෙරිණි.

“මහා අධිෂ්ඨාන බල පූජාව 11 වැනිදා පැවැත්වූවාට අපි මාස 6 ක් තිස්සේ පින්කම් පවත්වනවා. හඳුන්කූරු නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව, පොල් පැණි හදන අවස්ථාව ගොයම් පැළ රෝපණය කරන අවස්ථාව, අස්වැන්න නෙළන අවස්ථාව, වී සහල් කරන අවස්ථාව ඇතුළු මේ පින්කමට සම්බන්ධ සෑම කටයුත්තක ම මංගල අවස්ථා ශබ්ද පූජා පවත්වලා පිරිත් සජ්ඡායනා කරලා පටන් ගන්නේ. ඒ වගේම ඒ නිෂ්පාදන කරන ස්ථාන වටතිර ඇදලා , උඩුවියන් බැඳලා කහ දියර ඉසලා ඉතා පිරිසුදුවට සකස් කරනවා. මේ සියලුම පුණ්‍ය කටයුතුවලට පින්වතුන් පින්වතියන් රාශියක් දායක වුණා. පින්කම පැවැත් වූ දිනයේදීත් ආවතේව කටයුතු උදව් උපකාර සහ සියලු ම කාර්යයන් සඳහා දස දහසක පමණ කාර්යය මණ්ඩලයක් කටයුතු කළා. පෙරහැරේ ගමන් කිරීමට 500 ක් විතර සහභාගි වුණු බවයි මගේ හැඟීම.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ නිසලවිල පදනමේ අනුශාසක ය.

බුදුන් දවස අසදෘශ මහා බුද්ධෝපහාර පූජාවන් පැවැති බව බෞද්ධ පොත පතෙහි සඳහන් වන්නේ මෙවැනි පින්කම් විය හැකිය. මෙම පින්කම මෙන්ම පින්කමට සූදානම් වන ආකාරය ද විස්ම ජනක ය. මේ ගලාගෙන යන ශ්‍රද්ධාව මහා සෑය තරම්ම උසය.


 

අදහස්