ඉරිතැළුණු සිත් සුවපත් කරන වයඹ ඇළ | සිළුමිණ

ඉරිතැළුණු සිත් සුවපත් කරන වයඹ ඇළ

අහසින් සරු වැහි පල වැටෙන්නයි පතා දෙවියන්ට බුදුන්ට බාරහාර වී මුට්ටි නමා හෝ සංහිඳට බාර වී එසේත් නැති නම් පොල්ගෙඩියක් උඩ තබමින් ගොවිතැන් ඇරඹීම වැව්ගම්මානවල සංස්කෘතියයි. එහෙත් වැස්ස වලාහක දෙවියන් මේ හැම පුද සත්කාරයක්ම නොසලකා හැර අහස් දිය බිමට ඇදනොහළන අවස්ථා ඕනෑ තරම් ඇත. එය බත් කෝරලයට එහෙමත් නැති නම් සත්කෝරලයටද පොදුය. විශේෂයෙන්ම වැහි අසාර යල් කන්නට නම් මේ සංගදියට නොඅඩුව මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ.

මේ සංගදියට පිළියම් දෙනවා යැයි කියමින් තම ඡන්ද පැස පුරවාගත් දේශපාලනඥයෝ වයඹට මහ අරුමයක් නොවෙති. වයඹ පළාතේ මීගලෑව හැරෙන්නට අන් කිසිදු ප්‍රදේශයකට මහවැලි ජලය ලැබෙන්නේ නැත. නමුත් මහවැලි ව්‍යාපාරයේ මුල් අදියර වූ පොල්ගොල්ල වේල්ල තැනීමත් සමඟ වයඹට ජලය ලැබෙන බවට වූ සුබ ආරංචිය වයඹ පළාත මඟුල් සිරි ගන්නට විය. නමුත් එය මහවැලි ඉතිහාසය තුළ සිහිනයක්ම පමණක් විය.

දැන් ඒ සිහිනය මල්ඵල දරන්නට පටන් ගෙන ඇත. එය තවදුරටත් වයඹ ජනතාවට ගෙන එන ඡන්ද පොරොන්දුවක් ද නොවනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කෙරෙන ඇළ මාර්ගවලින් වැඩි කොටසක් වයඹ පළාත හරහා වැටී ඇති නිසා ව්‍යාපෘතිය "වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය" නමින් හැඳින්වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩා විඳින ප්‍රදේශ වන පොල්පිතිගම, මහව, ඇහැටුවැව, අඹන්පොළ හා ගල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මහවැලි ජලය හැරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එසේ ම සංවර්ධනය කෙරෙන ඇළ මාර්ග ආශ්‍රිත මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල හා නාඋල ප්‍රදේශ වල පිහිටි කුඩා වැව් පද්ධතීන් වෙත ජලය සපයා ජල සුරක්ෂිතතාව ඇති කිරීම ද, වෑමැඩිල්ල හා දේවහූව යන මහා වාරි ව්‍යාපාර වලට සුරක්ෂිත ජල සැපයුමක් ලබා දීම ද, ව්‍යාපෘතියේ සුවිශේෂී අරමුණු අතර වේ.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ජලය ලබා දෙනු ලබන ප්‍රධාන ජලාශ ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ජලාශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහකිතුල, මහකිරිඋල, හක්වටුනා ඔය, පාලුකඩවල, අතරගල්ල, අබකොළවැව මහ මැඬියාව ජලාශ දැක්විය හැකිය.

කුඩා වැව් ව්‍යාපෘතිය යටතේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වැව් 91ක්, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 119ක්, මහව ප්‍රාදේශීය ලේකම් කොටඨාසයේ වැව් 107ක්, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 30ක් , දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 05ක්, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 01 ක් ලෙස වැව් 353ක් සංවර්ධනය කිරීමට නියමිතය.

එසේම එල්ලංගා පද්ධති මගින් යාබද ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරය ව්‍යාපෘතිය සිදු කිරීමට ද නියමිතය.

ව්‍යාපෘතිය නිමා වීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000 ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප්‍රදේශයට ලබා ගැනීමට හැකියාව ලැබේ. ප්‍රදේශය තුළ පිහිටා ඇති කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් පෝෂණය කෙරෙන අතර හක්වටුණා ඔය ජලාශය යටතේ හෙක්ටයාර් 2500කට පමණද, මී ඔය ජලධාරා පද්ධතියේ කුඩා වැව් යටතේ හෙක්ටයාර් 3500ක් ද ඇතුළුව ප‍්‍රදේශයේ මුළු ගොවි බිමි හෙක්ටයාර් 12,000 කට වඩා යල මහ දෙකන්නයේ වගා කටයුතු සදහා වාරි ජලය සැපයීමට එමගින් හැකියාව ලැබේ. මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක් එසේත් නැති නම් රුපියල් කෝටි 1600ක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන අතර පවුල් 13000ක 40000ක් වෙනුවෙන් ඉන් ප්‍රතිලාභ හිමි වනු ඇත.

වර්ෂ 2016 සිට 2020 දක්වා ක්‍රියාත්මක වන පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු යටතේ දැනට වෑමැඩිල්ල ජලාශය වෙත ලැබෙන නාලන්ද ජලාශයේ අමතර ජලය, කාර්යක්ෂම ලෙස වෑමැඩිල්ල ව්‍යාපාරය හා දේවහූව ජලාශය වෙත රැගෙන යෑමට අවශ්‍ය ඇළ මාර්ග හා නිර්මිත සංවර්ධනය කිරීම, නාලන්ද ජලය සහ මහවැලි ජලය, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත ගෙන යාමට හා ගබඩා කිරීමට අවශ්‍ය ඇළ මාර්ග, නිර්මිත හා ජලාශ සංවර්ධනය කිරීම සිදු කිරීමට නියමිතය.

2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක දෙවැනි අදියට යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත හරවන ජලය, පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, අඹන්පොළ හා මහව ප්‍රදේශයන් වෙත ගෙන යාමට අවශ්‍ය ඇළ මාර්ග ඉදිකිරීම, දැනට බෝවතැන්න ජලාශයේ සිට දඹුලු ඔය වෙත ලැබෙන මහවැලි ජලය, පළමුවන අදියරේ දී ඉදි කළ ඇළ මාර්ග පද්ධතිය වෙත වෑමැඩිල්ල ජලාශය ආසන්නයේ දී යොමු කිරීමට අවශ්‍ය ඇළ මාර්ග හා නිර්මිත සංවර්ධනය කිරීම සිදු කෙරෙනු ඇත. ජල හිඟකමින් මහත් කටුක දිවි පෙවතක් ගත කළ ඒ හා සම්බන්ධ අනෙකුත් ජීවන අරගලයන්ට මැදි වූ ප්‍රදේශයේ ජනතාවට වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මහත් සහනයක් අත්වනු ඇති අතර රජය ගත් මහඟු දූරදර්ශී කාර්යයක් ලෙස ද හැදින්විය හැකිය. ජලය ඝන මීටර් දශ ලක්ෂ 130 ක් මෙම ප්‍රදේශයට සපයන අතර , ඉන් 10% ක් පිරිසුදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් වෙන් කර ඇත. මේ මඟින් ව්‍යාපෘති ප්‍රදේශයේ ප්‍ර‍ජාවගේ පානීය ජල අවශ්‍යතාව සැපයීමට අවශ්‍ය ඉදිරි කටයුතු කෙරේ. තව ද , වකුගඩු රෝගීන් වැඩි වශයෙන් සිටින පොල්පිතිගම , නිකවැව ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලීනව ව්‍යාපෘතිය මඟින් ඉමහත් සෙතක් සැලසේ.

ව්‍යාපෘතියේ අදියර දෙක තුළ සිදු වන ඉදිකිරීම් කටයුතු, පැකේජ කිහිපයකට බෙදා ඇත. ව්‍යාපෘතිය තුළ ප්‍රතිපාදන වෙන්ව ඇත්තේ මෙම ඇළ මාර්ග, ජලාශ සහ ඒ හා බැඳුණු නිර්මිත ඉදිකිරීම සඳහා පමණි.

NCB 1 ඉදිකිරීම් පැකේජය මඟින් වෑමැඩිල්ල ජලාශයේ නව වම් ඉවුරු සොරොව්ව ඉදි කෙරෙනුයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලමිටියාව ග්‍රාම නිලධාරි වසම තුළ වන අතර, මීටර 520ක් දිග නව සොරොව් ඇළ මාර්ගය එම ග්‍රාම නිලධාරි වසම තුළ ම ඉදි කෙරේ.

ICB 2 ඉදිකිරීම් පැකේජය මඟින් එම පැකේජය මගින් ද, වෑමැඩිල්ල වම් ඉවුරු ප්‍රධාන ඇළෙහි නබඩගහවත්ත ග්‍රාම නිලධාරි වසම තුළ, මීටර 720ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීම සිදු කෙරේ. එතැන් පටන් නබඩගහවත්ත, දඬුයාය, පහළ බම්බාව, රන්වැඩියාව, කොස්පොත, හොම්බාව, අලුත්වැව හා පිබිදුණුගම යන ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් හරහා අලුත් ඇළ මාර්ගයක් මෙම පැකේජය යටතේ ඉදි කිරීමට යෝජිත ය.

ICB 5 ඉදිකිරීම් පැකේජය එම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය. බෝවතැන්න උමඟ හරහා දඹුලු ඔය වෙත ලැබෙන මහවැලි ජලය ලෙනදොර සිට පළමු වන අදියරේ දී ඉදි කෙරෙන ඇළ මාර්ග පද්ධතිය වෙත යොමු කිරීමට අවශ්‍ය ඇළ මාර්ග හා නිර්මිත ඉදිකිරීම මෙහි දී සිදු කෙරේ.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ජලය සැපයෙන වාරි ව්‍යාපාර සුළු හා මහා වාරි ව්‍යාපාර ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි මහා වාරි ව්‍යාපාර වන්නේ, වෑමැඩිල්ල හා දේවහූව යන ව්‍යාපාර යි. වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්ත අනුව, දැනට වෑමැඩිල්ල ව්‍යාපාරය යටතේ කුඹුර අක්කර 2,000ක් ද, දේවහූව ව්‍යාපාරය යටතේ අක්කර 3,000ක් ද වගා කෙරේ. ව්‍යාපෘතිය නිසා සිදුවන්නේ මෙම වාරි ව්‍යාපාරවල ජල සුරක්ෂිතතාව ඉහළ යෑම යි. වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ (දේවහූව පෝෂක ඇළ) තුළ NCB1 හා ICB2 පැකේජ මගින් කෙරෙන සංවර්ධන කටයුතු නිසා දේවහූව හා වෑමැඩිල්ල ව්‍යාපාර වලට ප්‍රධාන වාසි තුනක් හිමි වේ. එනම්, කොන්ක්‍රීට් ආස්තරණය කිරීම නිසා ජල හානිය අවම වීම ඇළෙහි ජලය ගලා යන වේගය වැඩි වන නිසා එක වතුර මුරයක් තුළ දී වැඩි ජල ප්‍රමාණයක් ලබා ගත හැකි වීම/ ඉක්මනින් දේවහූව ජලාශයට ජලය ලබා දිය හැකි වීම දැනට ඇළ මාර්ග පද්ධතියේ පවතින අඩු පාඩු සකස් කර ගත හැකි වීම එසේ ම ICB5 පැකේජය යටතේ ඉදි කෙරෙන ඇළ මාර්ගය හරහා දේවහූව පෝෂක ඇළට මහවැලි ජලය ලැබීම නිසා වෑමැඩිල්ල හා දේවහූව යන ව්‍යාපාරවල ජල සුරක්ෂිතතාව ඉහල යෑම සිදු වේ. මාතලේ දිස්ත්‍රික්කයේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘති බල ප්‍රදේශයට අයත් වන්නේ දඹුල්ල, ගලේවෙල හා නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වේ. ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ජලය සැපයෙන වාරි ව්‍යාපාර, සුළු හා මහා වාරි ව්‍යාපාර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මහා වාරි ව්‍යාපාර ලෙස හඳුනා ගැනෙනුයේ වෑමැඩිල්ල හා දේවහූව යන ව්‍යාපාර වන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්ත අනුව, වෑමැඩිල්ල ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 2,000ක් ද, දේවහූව ව්‍යාපාරය යටතේ අක්කර 3,000ක් ද පවතී. මෙම කුඹුරු අක්කර 5,000ක ප්‍රමාණයේ ජල සුරක්ෂිතතාව ඉහළ යෑම ව්‍යාපෘතිය නිසා සිදු වේ.

වෑමැඩිල්ල ව්‍යාපාරය යටතේ පවතින කුඩා වැව් 14ක ප්‍රමාණයක් ව්‍යාපෘතිය යටතේ පෝෂණය වීමට නියමිත ය. වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකය මගින් සිදු කරන ලද සමීක්ෂණයක් මගින් වෑමැඩිල්ල සිට මහ කිතුල දක්වා අලුතින් පෝෂණය වන වැව් 16ක ප්‍රමාණයක් මීට අමතරව හඳුනාගෙන ඇත. මෙම වැව් 16 "දේවහූව" හා "කලා ඔය" යන එල්ලංගා දෙකට අයත් වේ. මෙම එල්ලංගා දෙකත් වෑමැඩිල්ල ව්‍යාපාරයත් යන සියල්ල ම ගත් කල වැව් 30ක ප්‍රමාණයක් ව්‍යාපෘතිය මගින් පෝෂණය වේ.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදි වීමට නියමිත දඹුලු ඔය සිට වෑමැඩිල්ල දක්වා යෝජිත ඇළ මාර්ගය මගින් පෝෂණය වන කුඩා වැව් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල හා නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටා ඇත.

ඒ සියල්ල අස්සේ වයඹ ඇළ ඉදි වන්නේ වැව් එල්ලංගා පද්ධතියද පෝෂණය කරමිනි. එල්ලංගාවේ ඉහළින් ම පිහිටි වැව් සඳහා වයඹ පළාත් ඇළ මගින් ජලය ලබා දෙන අතර, එහි ස්වාභාවික ජල බැස්ම ප්‍රයෝජනයට ගෙන පහළින් ම පිහිටි විශාල වැව දක්වා එල්ලංගාවේ සියලු ම වැව් වලට ජලය ලබා දීමට හැකි වේ. මේ එල්ලංගා පද්ධතිය සුරක්ෂිත කිරීම වයඹ ඇළ ව්‍යාපෘතියේ සුවිශේෂි කාර්යයක් ලෙසට නම් කර ඇත. එලෙස වයඹ ඇළ ව්‍යාපෘතිය දියත් වන්නේ හරිහැටි වැව් පද්ධතිය හරිහැටි ප්‍රතිසංස්කරණය නොවීම නිසාත් දේශගුණික විපර්යාසත් හේතුවෙන් මෙම පළාත් වල ගොවීන් කාලයක් තිස්සේ පීඩා විඳි ජල හිඟයට විසඳුම් දෙමිනුත්, පිරිසුදු පානීය ජලය නොමැතිකමින් හිස එසවූ වකුගඩු මාරයා මට්ටු කරමින්ය.

එපමණක්ද නොව වයඹ ඇළ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වන්නේ “මහ වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණ දීමට ද උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීම හා ගොඩ වී ඇති වැව් වල රොන් මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නෙමි” යන මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ වූ පොරොන්දුවක් ද යථාවත් කරමිනි.

අදහස්