ආයතන ප්‍රතිසංස්කරණය නොකර රජයේ සේවක පඩි වැඩි කළාට වැඩක් නෑ | සිළුමිණ

ආයතන ප්‍රතිසංස්කරණය නොකර රජයේ සේවක පඩි වැඩි කළාට වැඩක් නෑ

  • මෙය දේශපාලනික වශයෙන් සංවේදි කරුණක්
  •  ඉල්ලන පඩි දෙන්න ගියොත්රට අවුලට
  • වැටුප් වැඩි කරන්න නම් අප තවත් ණය ගත යුතුයි

• වත්මන් රජය මේ වන විට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන්න විශේෂ කොමිසමක් පත් කරලා. මේ මඟින් වැටුප් වැඩි වීමක් සිදු කරන්නත් අපේක්ෂා කරනවා. එහෙත් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමට සමගාමිව රටේ ඵලදායිත්වයත් ඉහළ නැංවිය යුතුයි නේද?

අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් මිලියන 1.4ක් ඉන්නේ රාජ්‍ය අංශයේ: ඒ කියන්නේ ලක්ෂ 14ක් පමණ. රටක ආදායම වැඩි වෙනවා කියන්නේ එහි වාසිය එක කොටසකට පමණක් ලැබීමක් නෙවේ. එය සියලු දෙනාටම හිමි විය යුතුයි. රටක් දියුණු වෙනවා කියන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගේ ආදායම් මට්ටම දියුණු වීමයි. රටේ ආදායම් වැඩි වෙන්නේ නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි වීමත් සමඟ. මෙහි ඵලදායිතාව යනුවෙන් අදහස් කරන්නේ රටේ විවිධ පිරිස් නිෂ්පාදනයට දක්වන දායකත්වය වැඩි වීමක්. උදාහරණයක් ලෙස: එදා බැංකුවකින් සීමිත පිරිසකට දුන් සේවය අද ඒ ආයතනයෙන්ම දහස් ගණනකට ලැබෙනවා. ඒ කියන්නේ එදා තිබූ පරිසරය තුළම අද වඩා ඵලදායි හා කාර්යක්ෂම පරිසරයක් සකස් වී තිබීමයි. එහෙත් අද රාජ්‍ය අංශයේ තිබෙන ගැටලුව තමයි එහි නිෂ්පාදනයේ ප්‍රමාණය මැනිය නොහැකි වීම. එය විශාල ප්‍රශ්නයක්.

• ඔබ පවසන පරිදි වර්තමානයේ රාජ්‍ය සේවයේ කෙනකු කළ යුතු වැඩ කොටස වැඩි වෙලා. ඒ නිසා ඊට සමගාමිව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි විය යුතු බවද?

මෙහෙමයි. අපි උදාහරණයකට ගනිමු: මෑතදී කතාබහට ලක් වුණු දුම්රිය සේවය. දුම්රිය සේවයේ වැටුප් වැඩි විය යුත්තේ දුම්රියේ ආදායම වැඩිවීම, දුම්රියේ සුවපහසුතාව, දුම්රියේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව යන කරුණු මතයි. ඉන් පසු එහි ලාභය සේවකයන්ට බෙදී යා යුතුයි. ඒත් අපේ රටේ තියෙන ප්‍රශ්නය තමයි මේ ආයතන ප්‍රතිසංස්කරණය නොවීම. ලංකාවේ දුම්රිය පටන් ගත්තේ ජපානය දුම්රිය සේවාව පටන් ගන්න කලින්. මේ අවුරුදු කිහිපයේ අපේ දුම්රිය පද්ධතිය කොතරම් දියුණු වූවාද, ජපානයේ දුම්රිය පද්ධතිය කොතරම් දියුණු වුවාද කියලා බැලුව හොත් ජපානය ඉන්නේ අපේ රටට වඩා ගොඩාක් ඉදිරියෙන්. අද ජපානයේ දුම්රියක වේගය ගුවන් යානාවක වේගයට සමාන තත්ත්වයකට ගෙනැවිත්. දුම්රිය සේවාව රජයේ කාර්යයක් නිසා රාජ්‍ය ව්‍යවසායක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තටම එය රාජ්‍ය ව්‍යවසායක් නොවේ; එය දෙපාර්තමේන්තුවක්. එහි කටයුතු කරන්නේ සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුවක ආකාරයෙනුයි. ඒ වගේම මෙයින් ලැබෙන ආදායම තමයි පඩි වැඩිවීම්වලට ගෙවිය යුත්තේ. ඒත් අද ආදායම් ලැබීම වෙනමඑකක් වෙලා. එහි වියදම් දැරීම වෙනමඑකක් බවට පත් වෙලා. මේ දෙක අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.

• රාජ්‍ය සේවකයන්ගේ කලකිරීමට මෙයත් එක් හේතුවන් නේද?

ඇත්තෙන්ම ඔව්. අද සමහර ආයතන ප්‍රධානීන්ට තීරණ ගැනීමේ බලය නැහැ. මොහු බලය ගන්න ඉදිරි තැන්වලට ලියා අනුමැතිය ගත යුතුයි. අද සේවකයාට ආදායමට අනුව කොතරම් පඩිනඩි ගෙවිය යුතුද කියලා තීරණය කරන්නේ ආයතනයට පිටින්. මේ නිසා මේ ආයතනවලට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යමයි. අද ආදායම වැඩි වන තරමට සේවකයන්ට ලැබීමක් නැහැ. මේ නිසා සේවක පිරිස් අතෘප්තිමත්. ඒත් අවශ්‍ය පඩි වැඩිවීම් නිලධාරී මට්ටමින් නම් ඉහටත් උඩින් සිදු වනවා.

• ඔබ පවසන ආකාරයට බොහෝ ආයතන තුළ සෑහෙන වැටුප් විෂමතා තිබෙනවා නේද?

විශාල වශයෙන් වැටුප් විෂමතා තිබෙනවා. එය වෙනස් විය යුත්තේ ඒ ඒ ආයතන වැඩි දියුණු වීමත් සමඟයි. ඒ අනුවයි වැටුප්වලට බලපෑමක් විය යුත්තේ. ආයතනය දියුණු වන විට එහි ප්‍රතිලාභ සේවකයන්ට ලැබිය යුතුයි. ඒ වගේම සේවකයන්ට දෙන දිරිදීමනා මඟින් මේ ආයතනත් දියුණු විය යුතුයි. ඒත් කණගාටුව: අද මේ දෙපැත්තම සිදු වන්නේ නැහැ.

• අද රාජ්‍ය සේවයේ විවිධාකාර රැකියා වගේම විවිධාකාර සේවාත් තිබෙනවා. ඒ වගේම මේ අයට විවිධාකාර වරප්‍රසාද විවිධ මට්ටම්වලින් ලබනවා. මේ තත්ත්වය මත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම පහසුවෙන් කළ හැකිබව ඔබ විස්වාස කරනවාද?

මෙයින් වන්නේ තිබෙන අවුල්සහගත තත්ත්වය තවත් වැඩිවීමක් පමණයි. අද මිලියන එකමාරක් පමණ වන රාජ්‍ය සේවයේ ජනතාවගේ වැටුප් විෂමතා විවිධාකාරයි. කේවල් කිරීමේ හැකියාව හා තමන්ට හිමි බලතල කොතරම් දුරට භාවිත කිරීමේ හැකියාව පවතීද යන කාරණා දෙක මත විවිධ අය විවිධ වැටුප් මට්ටම්වල ඉන්න බව මේ වන විට තේරිලා තියෙනවා. මේ නිසා වැටුප්වල දැඩි විෂමතාවක් තිබෙනවා. මෙය නැවතත් සකස් කරන්න ගියොත් වන්නේ තවත් අවුල් සහගත තත්ත්වයකට පත් වීමක්.

• මෙවැනි වැටුප් විෂමතා ඉවත් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බවක්ද, ඔබේ අදහස?

මෙය දේශපාලනික වශයෙන් සංවේදි කරුණක් නිසා හැමෝම මෙය අත්හැර දැම්මා. අද පෞද්ගලික අංශය ගොඩාක් කාර්යක්ෂමව ඉදිරියට යනවා. ඒත් රාජ්‍ය අංශය ඒ කාර්යක්ෂම ගමනට හුරු වී නැති නම් රටේ වේගවත් ආර්ථික දියුණුවට එකම බාධාව වන්නෙත් එයමයි.

• මේ විෂමතා ඉවත් කිරීම මාස දෙකක් වැනි කෙටි කාලයකින් සිදු කළ හැකිද?

සමහර විට රජය මේ වන විටත් මෙයට වැඩ පිළිවෙළක් යොදවා ඇති.

• රටේ වර්තමාන ආර්ථිකය තුළ දැඩි වැටුප් පීඩනයක් ඇති බවට ආර්ථික විද්‍යාඥයකු ලෙස ඔබ පිළිගන්නවාද?

අපේ ආර්ථික ගමන අවශ්‍ය මට්ටමට වඩා මන්දගාමීව සිදු වූ නිසයි වැටුප් ප්‍රශ්නයක් පවා පවතින්නේ. අපේ ආර්ථික ගමන වේගවත් වුණා නම් ජනතාවගේ වැටුප් වැඩි විය යුතුයි. එහෙත් දැන් රටේ ආර්ථික ගමන මන්දගාමියි. රටේ ආදායම පුළුල් වීම අවශ්‍ය පරිදි සිදු වන්නේ නැහැ. එහෙත් අපි හිතනවා වැටුප් වැඩි විය යුතුයි කියා.

• ජනතාවගේ ජීවන වියදමට සමානුපාතිකව වැටුප් සූත්‍රයක් හදුන්වා දීමට අපහසුද?

දැනටත් ජීවන වියදමට සරිලන වැටුප් මට්ටම් හදලා තියෙන්නේ. ඒත් ලැබෙන ප්‍රමාණය මදි වන්නේ ඒ තක්සේරු කිරීම් හරියාකාරව සිදු නොවූ නිසා. මගේ අදහස වෙන්නේ ඊට වඩා වැඩියෙන් ජනතාවගේ වැටුප් වැඩි විය යුතු බව. මෙය වන්නේ රට පොහොසත් වීමත් සමඟයි. එහෙත් අපේ රට පොහොසත් වන්නේ මන්දගාමිවයි. රට දියුණු වන්න නම් අපනයන ආදායම ඉහළ යා යුතුයි. අපනයන ආදායම ඉහළ යන්න නම් මිනිසුන් ආයෝජනය කළ යුතුයි. අද අපේ රටේ ආයෝජනය පවතින්නේ දුර්වල මට්ටමක. එසේ වන්නේ මිනිසුන්ට සල්ලි යොදවන්න තිබෙන අවිස්වාසය නිසයි.

• අද පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වන්නේ ඒ අයගේ විවිධ දක්ෂතා, සුදුසුකම් මත පදනම් වූ ඇගැයීම් ක්‍රමයක් මත. ඒත් රාජ්‍ය අංශයේ ඇත්තේ වැටුප් වර්ධක පමණයි. මේ නිසා බොහෝමයක් වෘත්තිකයන් අද කලකිරිලා?

ඇත්ත. රාජ්‍ය අංශයටත් ඒ අයගේ කාර්යසාධනය මත වැටුප් වැඩි විය යුතුයි. ඒ වගේම රාජ්‍ය අංශයත් තම ආයතනයෙන් රටට දක්වන දායකත්වය විනිවිද පෙනෙන අයුරින් ඉදිරියට දැමිය යුතුයි. අන්තර්ජාල පහසුකම් මඟින් හෝ තමන්ගේ වාර්ෂික ප්‍රගතිය පෙන්විය යුතුයි.

• පසුගිය දිනවල කොළඹ මහා නගර සභාව ඒ අයට විශේෂිත වැටුප් ක්‍රමයක් සකස් කරගන්න උත්සාහ කළා. රජයක් ලෙස පොදු ප්‍රතිපත්තියකට කටයුතු කරද්දි එක් කොටසකට මෙසේ ස්වාධීනව කටයුතු කළ හැකිද?

මෙය රටේ ඇති නීතිරීතිත් එක්ක විසඳාගත යුතු දෙයක්. ආයතනයක් ස්වාධීන වීම මත සිය ප්‍රගතිය වැඩි කරගැනීමේ ක්‍රමයක් සකසා ඇත් නම්, ඒ අනුව ඔවුන්ට වැටුප් වැඩි කරගැනීමේ හැකියාව පවතිනවා. ඒත් තමන්ට ඇති විවිධ ඉඩ ප්‍රස්තා ප්‍රයෝජනයට ගනිමින් වැටුප් වැඩි කරගන්නවා නම්, එය වැරදියි.

• වසර මැදදී වැටුප් වැඩි කිරීමක් කළ හැකිද? නැති නම් එය අය-වැයකින් පමණක් සිදු කළ හැකි දෙයක්ද?

වසර මැද වැටුප් වැඩි කරන්න පුළුවන්. වෙනත් පරිපූරක ඇස්තමේන්තු මඟින් මෙය කළ හැකියි.

• මේ ප්‍රශ්නය මතු වූයේ දුම්රිය සේවකයන්ගෙන්. ඔවුන් චෝදනා කරනවා දැන් රජය තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොදී කොමිසමක් පත් කර ඇති බවට...

ලංකාවේ වැඩවර්ජන දැන් සුලබ වෙලා. යම් ප්‍රශ්නයකට කවුරු හරි බලධාරියෙක් මැදිහත් වෙලා විසඳුම් ලැබුණත් බොහෝ විට ඒවා තාවකාලික පැලැස්තර මිස ස්ථීර විසඳුම් නෙවෙයි. තව අවුරුදු කිහිපයකින් එය නැවතත් මතු වනවා. එයින් පෙන්වන්නේ මේ ආයතන මීට වඩා පුළුල් ආකාරයෙන් ප්‍රතිසංස්කරණයන්ට භාජනය විය යුතු බවයි.

• බොහෝ දෙනා මෙය ඡන්ද පොරොන්දුවක් ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම රටේ ජීවන බර ඉහළයි. රටත් දැඩි ආර්ථික අර්බුදයකට ලක් වෙලා. මෙවැනි පසුබිමක මෙවැනි වැටුප් විෂමතා ඉවත් කිරීම මෙන්ම වැටුප් වැඩි කිරීම් ප්‍රායෝගිකද?

වැටුප් වැඩි කරන්න නම් අප තවත් ණය ගත යුතු වනවා. එසේ නම් කවුරුන් හෝ ණය දෙන්න සූදානම් විය යුතුයි. ඒක තමයි මම මුලින්ම පැවැසුවේ ආර්ථිකය දියුණු කරන්නේ නැතුව මෙය කරන්න අපහසු බව. යම් රජයකට හිතෙනවා නම් තමන්ට තව අවුරුදු ගණනක් ඉදිරියට යන්න අවශ්‍ය නැහැ කියලා, එසේ නම් ඒ රජයට පුළුවන් වැටුප් වැඩි කරලා දීලා ගෙදර යන්න. එසේ කරන්න නම් ණය ගන්න සිදු වනවා.

• බොහෝ දෙනා චෝදනා කරනවා මෙහි යටි අරමුණ මැති-ඇමැති වැටුප් වැඩි වීමකට මඟ සලසාගැනීමක් බව?

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වනවා කියන්නේ ඒ අයගේත් වැටුප් වැඩිවීමක් තමයි. බොහෝ දෙනෙක් ඉන්නවා මෙය බෙදාගන්න බලාගෙන. ඒත් මෙයට දායකත්වය දෙන්න බලාගෙන ඉන්නේ ටික දෙනයි. වැටුප් වැඩි කරගත යුත්තේ තමන්ගේ දායකත්වය ලබා දීලායි.

• මෙය ඉතිහාසයේ සිදු වුණා සේ පැලැස්තර දැමීමක් පමණක් වේද?

මම නම් මෙය දකින්නේ එක්තරා ආකාරයකට පැලැස්තර දැමීමක් පමණක් බවයි. රටේ ඉදිරි ගමනකට අවශ්‍ය විදියට ආයතන ප්‍රතිසංස්කරණය නොකර වැටුප් වැඩි කිරීම රටට තවත් ණය බරක් එක් කිරීමක්.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්