මම අභි­යෝ­ග­ව­ලට බය චරි­ත­යක් නෙමෙයි | සිළුමිණ

මම අභි­යෝ­ග­ව­ලට බය චරි­ත­යක් නෙමෙයි

• කොහොමද සිතාරා?

සතුටින් ඉන්නවා.

• සතුටට හේතුව සම්මානයක් ලැබුණු එකද?

ඒකත් එක හේතුවක්. Top 50' Professional and career women Gold Award Electronic Media (2018) සම්මානය ලැබුණා.එය පිරිනැමුණේ ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධානයකින්.

• ITN නාළිකාව ඔබ සම්බන්ධවු පළමු නාළිකාවද?

නැහැ. මුලින්ම 2002 වසරේදී රජරට FM සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කළා. ඉන්පසුව ගුවන්විදුලි සංස්ථාවේ 2010 දක්වා වැඩකළා. 2010 සිට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. එදා සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් සහ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස සේවය කරනවා.

• මොනවද ITN නාළිකාවේ ඉදිරිපත් කරන වැඩසටහන්..

සිනෙ රූ සහ සිනෙ සිකුරාදා වැඩසටහන් දෙකම නිෂ්පාදනය කිරීමත් ඉදිරිපත් කිරීමත් කරන්නේ මමයි.

• කොහොමද නිවේදන කලාවට ප්‍රවිෂ්ට වන්නේ..

තුරුණු ශක්ති වේදිකාව තමයි නිවේදිකාවක වීමට මූලිකම අඩිතාලම වැටුණේ. තුරුණු ශක්ති තරගාවලියට රජ රටින් ඉදිරිපත් වී දෙවැනි ස්ථානය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමන් මඟ තමයි ස්වාධීන රූපවාහිනියෙන් නතර වුණේ.

• පාසල් කාලය ගැනත් සිහිපත් කරමුද?

මගේ පාසල හබරණ මහා විද්‍යාලය. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ එම පාසලෙන්. ඉන් පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන කැලණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගත්තා.

• ඔබ පාසලේදී ක්‍රියාශීලී චරිතයක් කියන්නේ ඇත්තක්ද?

ඇත්තටම ඔව්. පාසලේ බාහිර වැඩ සියල්ලම මට පැවරුණේ මම වගකීමක් භාර ගත්තොත් නොපිරිහෙළා ඉටුකරනවා කියන දෙය ගුරුවරු දැනගෙන සිටි නිසා. ඒ ලක්ෂණය අදටත් මගේ ළඟ තිබෙනවා. ඒ වගේම පාසලේ සියලුම නිවේදන කටයුතු කරන්න පැවරුණෙත් මටයි. කොහොමත් පුංචි කාලයේ සිටම අභියෝගවලට බයවෙන චරිතයක් නෙමෙයි මම.

• ඇතැමුන් කියනවා කොළඹ අයට විතරයි කලාවේ රැඳෙන්න පහසු. පිටපළාත්වලින් එන නවකයන්ට තැනක් නෑ කියා. ඔබටත් මුල් කාලයේ එවැනි ගැටලු ආවද?

ලංකාවේ අති බහුතරයක් කලාකරුවන් පිරිසක් කලාවට දායාද කළ පුරවරයක් තමයි අනුරාධපුරය කියන්නේ. එම ප්‍රදේශයේ ගම්මානයක් තමයි හබරණ. ඉතින් එම ගැමි පරිසරයෙන් ලබාගත් දැනුම සහ වචන නිවේදන කලාවේ රැඳී සිටින්න රුකුලක් වුණා. අවුරුදු දහ තුනක් පුරා මේ තරම් දුර එන්න බලපෑවේ එම දැනුමයි. මම නම් දකින්නේ ග්‍රාමීය ප්‍රදේශයකින් එන කෙනකුට නාගරික අයට වඩා බාහිර දැනුම වැඩියි.

• ඔබේ සහකරු ගැනත් කතා කරමු..

ඔහු නිශ්ශංක මුතුනායක. අපි හමුවුණේ ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කළ කාලයේ. ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයේ සේවය කළ ඔහු ඉන් ඉවත්වෙලා ඔහුගේම කියා ව්‍යාපාරයක් කරනවා.

•‍ගෙවුණු වසර දහතුන තුළ ලැබූ ජයග්‍රහණ ගැන කතා කරමු.

පළමු ජයග්‍රහණය ස්වාධීන රූපවාහිනිය වැනි ජාතික නාළිකාවක සේවය කරන්න ලැබුණු එක. එමගින් ලැබුණු දැනුම වෘත්තියට වගේම පෞද්ගලික ජීවිතයත් සාර්ථක කරගැනීමට ඉවහල් වුණා. රයිගම්, සුමති සම්මාන උලෙළවල වසර කිහිපයක්ම හොඳම නිවේදිකාව වුණා. මෙරට පවත්වන සරසවි, සුමති සම්මාන උලෙළවල නිවේදන කටයුතු කරනවා. ඒ සියල්ල මම දකින්නේ මා ලැබූ ජයග්‍රහණ ලෙස.

• ඇතැමුන් චෝදනා කරනවා කාන්තාවන්ට නිවේදන වෘත්තිය නුසුදුසුයි කියා ..

නිවේදන වෘත්තිය කාන්තාවන්ට ඉතාම උචිතයි. නොගැළපෙන පිරිස් නිවේදන කලාවට අවතීර්ණ වීමෙන් ඔවුන් තුළ වෘත්තීය ගරුත්වය රැක ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. කුමන වෘත්තියක වුවත් නියැළෙන්නට ස්ත්‍රි පුරුෂ භේදය වැදගත් නැහැ. තමන්ට එම කාරණාව කරන්න පුළුවන්ද කියන එකයි වැදගත්.

• නවක නිවේදක නිවේදිකාවන් ගැන ඔබේ මතය කොහොමද?

මම දකින විදිහට බොහෝ නවක නිවේදක නිවේදිකාවන් නිවේදන වෘත්තියේ යෙදෙන්නේ ආසාවට. ඔවුන් ආසාවට කරනවා මිසක් ඒ පිළිබඳව කිසිම අධ්‍යයනයක් කරන්නේ නෑ. ඒ වගේ අය තමයි මේ කලාව විනාශ කරන්නේ.

• කොහොමද වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන යන්නේ..

මට පුතෙක් සිටිනවා. ඔහු ධනුදර රාවණ මුතුනායක. වයස අවුරුදු පහයි. රැකියාවත්, පවුල් ජීවිතයත් දෙකම මගේ ජීවිතයට බද්ධයි. ඒ දෙකම හොඳින් පවත්වාගෙන යෑමට සැමියා සහ දෙමවුපියන්ගේ සහයෝගය ලැබෙනවා. 

 

Comments