ජන­ප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණ­මාලි | සිළුමිණ

ජන­ප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණ­මාලි

උපේක්ෂා ස්වර්ණමාලි කලක් පුංචි තිරයේ අහිංසක චරිත නිරූපණය කළ රුවැත්තියක්.සැබැවින්ම අහිංසක උපේක්ෂාට මෑතක සිට ලැබෙන්නේම දරුණු, දඩබ්බර ගති පැවතුම් තිබෙන චරිත.එයට හේතුව විමසූ විට උපේක්ෂා කීවේ මෙහෙම කතාවක්.

උපේක්ෂා මොකද හිටි ගමන්ම මුරණ්ඩු වෙලා..

අනේ නැහැ. මම පොඩ්ඩක්වත් සැර පරුෂ මුරණ්ඩු චරිතයක් නෙමෙයි.

එහෙනම් මේ දවස්වල පුංචි තිරේ නපුරු චරිතම කරන්නෙ?

හිරු නාළිකාවේ විකාශය වන 'අහස් මාළිගා' සහ සියත නාළිකාවේ විකාශය කෙරෙන 'නේත්‍රා' ටෙලිනාට්‍ය දෙකේම නිරූපණය කරන්නේ සැරපරුෂ කාන්තාවකගේ චරිත. ඒ නිසා වෙන්න ඇති මම මුරණ්ඩු වෙලා කියල කියන්නෙ. මග තොටේදිත් ප්‍රේක්ෂකයන් ඔය කතාව කියනවා.

ලොකේෂන්වලදිත් වලියට යනව කියන්නේ ඇත්තක්ද?

ඔව්.ඔව්. තරහ මූඩ් එක දිගටම තියා ගන්න ඕන නිසා වලියෙන් තමයි ඉන්නේ. සමහර අය පුදුමයෙන් බලනව උපේක්ෂා කොහොමද මෙච්චර නපු‍රු වුණේ කියා. මේ චරිත දෙක මට දෙනකොටත් සමහරෙක් කියා තිබුණා උපේක්ෂාට නම් සැර චරිත කරන්න බෑ කියා. එහෙම කියපු අයටම පුදුමයි මගේ රඟපෑම් දැක්කම.

කොහොමද මෙවැනි චරිත දෙකක් එකම කාලයේ ලැබුණේ..

චරිත දෙකම අභියෝගාත්මකයි. නේත්‍රා හි අඹගස්වැව වලව්වේ කුමාරිහාමිගේ චරිතයත් අහස් මාළිගාහි රයිනිගේ චරිතයත් එකිනෙකට වෙනස්. වලව්වක චරිතය ටිකක් අසීරු රංගනයක්. මොකද මම වලව් සංස්කෘතිය දන්නෙම නැති නිසා. රයිනිගේ චරිතය නම් අසීරු නෑ.

ගෙදරදිත් ඔය තරහ ඒ විදිහටම තියාගන්නවද?

අනේ නෑ. රඟපෑම් තියෙන්නේ ලොකේෂන් එකේ විතරයි. එතනින් එහා හැම වෙලාවෙම මවක්, බිරියක් සහ සාමාන්‍ය කාන්තාවක් පමණයි.

ඒ නිසාද චරිත තෝරා බේරාගෙන රඟ පාන්නෙ..

ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ නෑ. පසුගිය කාලයේ පිටපත් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. විශේෂයෙන් කොළඹින් පිට රූගත කරන නිර්මාණ භාර ගන්නෙත් නෑ. මට නොගැළපෙන චරිත භාර ගන්නෙත් නෑ.

රංගනයේදි එවැනි සීමා පනවා ගැනීම අපරාධයක් කියා හිතෙන්නෙ නැද්ද?

ඇත්තටම එය මම මට කරගන්නා හානියක්. නමුත් අම්ම කෙනෙකුගේ වගකීම් ඊට වැඩියි. දරුවා ටිකක් ලොකුවෙනකල් ඒ කැප කිරීම මට කරන්න සිදුවෙනවා. දැන් දුවගේ වයස අවුරුද්දයි මාස දහයයි. තව අවුරුද්දක් විතර යනවිට කොළඹින් පිට පළාත්වල රූගත කිරීම් සඳහා සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

දුව අනාගතයේ කවුරු කරන්නද හීන දකින්නේ..

දැනට නම් මට තේරෙනවා එයා ඩාන්සින්වලට දක්ෂයි වගේ. පුංචි කමට ලස්සනට නටනවා. එයා කැමති වෘත්තියක් තෝරා ගන්න අපි නිදහස දෙනවා. දෙමවුපියන් විදිහට මමත්, සමන්තත් එයාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා.

ඇත්තද උපේක්ෂා නැවතත් දේශපාලනයට එනවා කියන්නේ..

මම? අපෝ නෑ. ඔය විගඩමේ ආයෙමත් පැටලෙන්න මම කැමති නෑ. දේශපාලනයෙදි හැමදාමත් වුණේ අපිව පාවිච්චි කරපු එක විතරයි. එහෙම නැතිව අපිට වැඩක් කරන්න කවදාවත් අවස්ථාවක් දුන්නේ නෑ.

ඇයි ඒ තරමටම දේශපාලනය ගැන කලකිරිලා..

මම අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ හිටියා. නමුත් ආසන සංවිධායක ධූරයක්වත් ලැබුණේ නෑ. වගකීමක් දරන්න අවස්ථාවක් ඉල්ලුවම පාර්ලිමේන්තුව විසුරුවන්න මාස දෙකකට කලින් අමාත්‍යාංශයක් භාර දුන්නා. එතකොට කොහොමද වැඩක් කරන්නේ? සමහර වෙලාවට අපි නොකියන දේවලුත් කීවා කියනවා. ඉතින් එහෙම වැඩ වුණහම දේශපාලනය ගැන කලකිරෙන්නේ නැති වෙයිද?

ඔය විදිහට දවසක කලාවත් එපා වෙයිද?

අපෝ නෑ. මම හැම වෙලේම කියන්නේ මට දෙනවක හාමිනේ වගේ වයසට යනතුරුම රඟ පාලා මැරෙන්න ඕන කියා. පුළුවන්නම් මරණාසන්න මොහොතෙත් රඟ පානවා. ඒ තරමටම මම කලාවට කැමතියි. කොහොමත් සියලු දේම සිදුවන්නේ දෛවයට අනුවනේ.

උපේක්ෂා නිතරම දෛවය ගැන කතා කරනවා..

ඇත්තටම මම දෛවය ගැන ලොකු විශ්වාසයෙන් සිටින කෙනෙක්. මිනිසුන්ගේ වාසනාවට තමයි ධනය, බලය සහ පෙනුම ලැබෙන්නේ. මගේ ජීවිතයට මුහුණ දුන්නු සිදුවීම් සියල්ලත් මගේ දෛවයේ ලියවිලා ඇති. 

Comments