එඩ්වඩ් යොවුන් හද­වත අම­තන ප්‍රබුද්ධ ලේඛ­ක­යෙක් | සිළුමිණ

එඩ්වඩ් යොවුන් හද­වත අම­තන ප්‍රබුද්ධ ලේඛ­ක­යෙක්

“නැත ලොවේ අන් රසඳුනා

ආදරය සේ.. සුවදෙනා....

පන්හි‍ඳෙන් පත් ඉරු මත සටහන් කරන ඔවුහු භද්‍ර යෞවනයේ හදවත් වලට සෞන්දර්යාත්මකව ආමන්ත්‍රණය කරති. ජීවන අත්දැකීම් හා සමාජානුභූතීන් හරි අපූරුවට වදන් බවට පරිවර්තනය කරමින් ජනාදරයට පත්වූහ. ඔවුන්ගේ නවකතා පුංචි තිරයෙන් හා සිනමාවෙන් රසික ජන හදට තව තවත් ළංවූයේ ඒ නිසාය. තලංගම කොස්වත්ත එක ම පෙදෙසක දිවි ගෙවන ජනප්‍රිය නවකතාකරුවන් වන, එඩ්වඩ් මල්ලවඅාරච්චි හා උපාලි වනිගසූරිය මෙවර මුහුණට මුහුණින් හමු වෙති.

මේ දිනවල වැඩියෙන් ම නියැළෙන්නේ...

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට කාර්ය බහුල වෙලා. මා ලියූ පියපුතු කෙටිකතා සංග්‍රහය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් පුස්තකාල පොතක් ලෙසත් අනුමත කළා.

පවුලේ තොරතුරු එහෙම...

බිරිය චන්ද්‍රා වනිගසූරිය. ශාන්ත ජෝසප් විද්‍යාලයේ උපවිදුහල්පති ධුරයෙන් පසු විශ්‍රාම ගියා. මගේ නිර්මාණවලට උදව් කරනවා. ඇය රිය අනතුරකට ලක් වූ නිසා ඇය වෙනුවෙන් මට කැපවෙන්න වුණා. ඒ නිසා නිර්මාණවලින් ටිකක් ඈත් වෙන්නත් වුණා. අපිට දරුවෝ නැති නිසා මල්ලිගේ දුව නිසංසලාව කුඩා කාලේ ඉඳලා හදා ගත්තා. ඇය දැන් විවාහවෙලා ඕස්ට්‍රේලියාවෙ. ඇයටත් දුවෙක් ඉන්නවා සිතාරා කියලා.

එඩ්වඩ් මල්ලවආරච්චි නවකතාකරුවෙක් ලෙස ඔබ දකින්නේ...

යොවුන් හදවතට ආමන්ත්‍රණය කර ප්‍රබුද්ධ ගණයේ නවකතාකරුවෙක්.

ඔබ කැමැති ඔහුගේ නිර්මාණ...

එඩ්වඩ්ගේ මුල්ම නවකතා‍ ත්‍රිත්වය ආරාධනා, සුබා - සුබ ප්‍රාර්ථනා වගේ ම මෑතකදී ලියූ හේමාලයා නවකතාවත් රසවත්. ඔහුගේ හැම කතාවකම ගත යුතු හරයක් තියනවා.

ඔබ එඩ්වඩ් තුළ දකින යහපත් ගතිගුණ...

අපි දෙන්නා හරි ම සුහද මිත්‍රයෝ. ඒ වගේ ම ඔහුටයි බිරියටයි හොඳ මනුස්ස ගතිගුණ තියනවා. මගේ බිරියගේ කකුල කැඩිලා ඉද්දී නිතර ම වගේ කෑම හදාගෙන පවා ආවා. ඔහු ළඟ කුහකත්වය නැහැ. ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. ඔහුගේ දරුවොත් ඒ වගේ ම යහපත්. ලේඛනයේ අඩුපාඩු වුණත් ඔහු අපට කියා දෙනවා හිතවත්ව. මම කොළඹට යන්නේ ඔහුගේ ගේ පහුකරගෙන. ඒකත් මට ආශිර්වාදයක්.

ඔහුගේ අසාර්ථක ග්‍රන්ථ එහෙමත් තියනවද?

ඔහුගේ පොත් හැම එකක් ම සාර්ථක නිර්මාණ ලෙසයි මා දකින්නේ. නවකතාවලට වගේ ම තිරනාටක වලටත් ඔහු දක්ෂයි. තිරනාටක ලියද්දී මට පැටලුණු අවස්ථාවල ඔහුගෙන් තමයි උපදෙස් ගන්නේ. හොඳ මනුස්සයෙක්.

එඩ්වඩ්ගේ යහපත් ගතිගුණ...

එඩ්වඩ් කොපමණ අපහසුකම් තිබුණත් ඕනෑම කෙනකුට පිහිට වෙනවා. හුඟාක් ලේඛක ලේඛිකාවන්ට අතහිත දුන්නා. මිත්‍රයෙක් ලෙස කිසිම බයක් නැතුව ඇසුරු කරන්න හැකි අයෙක්.

ඔබලගේ ආගමික නැමියාව....

එඩ්වඩ්ගේ බිරිය හැම පෝයටම සිල් සමාදන් වෙනවා. ඔහුවත් එක්ක යනවා සමහර පෝයවලට. එයාලා වෙජිටේරියන්. හොඳ බෞද්ධයෝ පස්පව් වලින් වැළකිලා ඉන්නේ. මගේ බිරිය නම් කතෝලික. මම බෞද්ධ. අපේ ගෙදර බුදුහාමුදුරුවන්ගේ පිළිමයයි, දේව සුරුවමයි දෙකටම එකවගේ පුද පූජා කරනවා.

ඔහුගේ අඩුපාඩු එහෙම නැද්ද?

මම ඔහුගේ අඩුපාඩුවක් නම් දකින්නෙ නෑ.

ඔබ ජ්‍යොතිෂය දෛවය විශ්වාස කරනවද?

නැහැ මම කවදාවත් නැකත් බලලත් නැහැ. බුදුහාමුදුරුවෝ පමණයි විශ්වාස කරන්නේ. මිනිසුන්ට උදව් කරනකොට අපිටත් පිහිට ලැබෙනවා. ඒත් සමහර අවස්ථාවල කරදර සිදුවීම වළක්වන්න බැහැනේ.

හොඳ ලේඛකයකුගේ කාර්යභාරය?

සමාජය දැනුවත් කිරීමට, නිවැරැදි කිරීමට, යහපත් පණිවුඩයක් යහපත් ආකාරයකට ලබාදීම. උදාහරණයක් වශයෙන් දිය සුළිය, ඉතිං මට අවසරයි, වසන්තය නිමාවිය ආදී නවකතා තුළින් සමාජයට පණිවිඩයක් ලබා දුන්නා. ඒත් අද හුඟාක් සම්මාන උත්සවවල සම්මාන ලබා දෙන්නේ නියම සුදුස්සාට නෙමෙයි. ඒ ගැන කනගාටුයි.

 ඔබ නිර්මාණයකට වස්තු බීජ, අමුද්‍රව්‍ය සොයා ගන්නේ කොහොමද?

මීට හුඟාක් ඉස්සර ‘වී’ කියලා චිත්‍රපටයක් ආවා. ඒකෙ ගැහැනු බිත්තර දානවා. සිද්ධිය ඇත්තද බොරුද යන්නට වඩා නිර්මාණය රසවත්වීම වැදගත්.

මට අහන්න දකින්න සිදුවූ දේවල් ඇසුරු කර ගනිමින් පොත් රැසක් ලීවා. තව 100 වුණත් ලිවිය හැකියි. අද කෙටිකතා කලාවත් බොහෝ රටවලින් ඈත් වෙලා. ඒත් තවම ලේඛකයන් කීප දෙනකුට පින්සිදුවන්නට කෙටිකතාව, කවියට තවමත් ලංකාවේ තැනක් තියනවා.

වත්මන් ලේඛන කලාවේ දිශානතිය...

සමහර අය අවිචාර විදිහට පොත් ලියනවා. කතාකරන භාෂාව යොදා ගන්නවා. ඉස්සර නම් ළමා පොත් විතරයි එහෙම ලීවෙ. අද කාලේ සම්මානයට පාත්‍ර වුණු කතා පවා කතා කරන භාෂවෙන් ලියලා තියනවා. මාර්ටින් වික්‍රමසිංහ රචිත මඩොල් දූව කියවලා ඒ පරිසරය සැබෑවටම නරඹන්න හිතෙන තරමට මඩොල් දූව කතාවේ මනඃකල්පිත චිත්තරූප මතුවෙනවා. ඒත් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළට ඉදිරිපත් කරන පොත් 135 අතරින් 50 කට පමණ කිසිම හරයක් නෑ. එක් එක් නිර්මාණකරුවාගේ බුද්ධි මට්ටම වෙනස්. ඊට අනුගතව තමයි නිර්මාණ බිහිවෙන්නෙත්.

වත්මන් පරපුරට පොත්පත් කියවීමෙන් ලැබෙන ජීවිතාවබෝධය පරිකල්පනය ලැබෙන්නෙ නැහැ...

පොත්පත් කියවීමෙන් ලැබෙන විෂයානුබද්ධ දැනුම, සමාජ දැනුම, පරිකල්පන ශක්තිය පුළුල් වෙන්නෙ නැත්තේ වත්මන් පරපුරෙන් අති බහුතරය කියවීමෙන් ඈත්වෙලා නිසයි. පොතක් කියවීමෙන් ලැබෙන ජීවිතාවබෝධය, වින්දනය, රූපවාහිනිය පරිගණය තුළින් ලැබෙන්නෙ නැහැ.

අපි පාසල් යන කාලයේ පාසලේ අතිරේක කියවීම්වලට නිර්දේශ කරලා තිබුණේ කැලෑහඳ, විජයබා කොල්ලය, සිරිය ලතා, මඩොල්දූව වගේ පොත්. ඒත් වර්තමානයේ පොත්පත් ඇසුරින් ළමා, තරුණ බහුතරයක් ඈත් වී තිබීම කනගාටුවට කරුණක්. අද කාලේ කුඩා ළමයි පවා පෙම් ගීතවලට තමයි ප්‍රිය කරන්නේ. ඒ විතරක් නෙමෙයි තරුණ පරපුර, වැඩිහිටියන් පවා පොත් පත් කියවීමෙන් දුරස්වෙලා තිබීම ශෝචනීය තත්ත්වයක්. ඉන්ටනෙට්, ෆේස්බුක් හා වෙනත් සමාජ ජාල වෙබ් අඩවි ආදියට පොත්පත් කියවනවාට වඩා කාලයේ තාලයට නැඹුරුවෙලා තිබීම ජාතියේ අවාසනාවක්.

 


උපාලි විරහව යථාර්ථවාදීව දකින නවකතාකරුවෙක්

 එඩ්වඩ් මල්ලවඅාරච්චි

 මේ දිනවල තොරතුරු...

‍මේ සැප්තැම්බර් 21 - 30 දක්වා පොත් සංගමයෙන් B M I C H පවත්වන පොත් ප්‍රදර්ශනයට සූදානම් වෙනවා. සමාචාරා, ස‍ඳේ තනියට, උත්තරීතර සහ පුනරාගමනය යන ම‍ෙග් අලුත් නවකතා හතරක් එළිදකිනවා.

පවුලේ තොරතුරු හෙම...

දිනුජ චාමර, අමිල ධනුෂ්ක මගේ පුතුන් දෙන්නා. දිනුජ ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. අමිල ටෙලි නාට්‍යවල රඟපානවා. අමිලත් නවකතා රචනයට පිවිසෙමින් නවකතා පොතකුත් ලීවා. බිරිය ලලිතා. මගේ ‘ප්‍රාර්ථනා’ නවකතා පොතේ පිටකවරය සැරසුවේ ඇයයි. ඈ මගේ ජීවන ගමනට ලොකු දිරියක්. ඇය හැම ‍මාසේ පෝයකට ම සිල් සමාදන් වන හොඳ බෞද්ධ උවැසියක්.

උපාලි වනිගසූරිය මුලින් ම හමුවන්නේ...

එයා මුලින් වැඩ කළේ දිවයින පුවත්පතේ. ඒ මීට අවුරුදු 40 පෙර. ඔහුත් පොත් ලියමින් හිටියා. නවකතාකරුවකු ලෙස හොඳ නමක් දිනාගෙන හිටියා. ඔහු අපේ කලා කටයුතුවලටත් උදව් කළා.

උපාලිගේ පොත් අත­ුරින් වඩාත් මනාප...

ඔහුගේ ‘දෙව්දුව’ හුඟාක් ජනප්‍රිය වුණා. සිනමාවටත් නැඟුණා. මාලනී විජය රඟපෑවේ. ඔහුගේ ‘කිරි සුවඳ’ නවකතාවත් චිත්‍රපටයක් බවට පත්වුණා. JVP අරගලය ඇසුරින් ලියූ ‘මිලින විය කුමුදු මලක්’ ඒ ව‍ෙග්ම ජනප්‍රිය වුණ තවත් නිර්මාණයක්. ලංකාවේ තිස් අවුරුදු යුද්ධය අපි දැක්කේ වෙනස් අයුරින්. හමුදා සොල්දාදුවන් ජාතික හැඟීමෙන් කටයුතු කළේ. ඒවා කලාව හරහා ප්‍රතිනිර්මාණය කරන්න උපාලි නිතරම කටයුතු කළා. හැම ක්ෂේත්‍රයක් ම නියෝජනය වන පරිදි ලියූ, නවකතා කෙටිකතා, උසස් මට්ටමක තිබෙනවා. හොඳ නිර්මාණකරුවකු සතු විය යුතු ගුණාංග උපාලි තුළ තියෙනවා. ඔහුගේ හැම පොතක ම ගත යුත්තක් තියෙනවා.

උපාලිගේ යහපත් ගතිගුණ...

එයා අවුරුදු ගාණක් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් ලෙස සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ කෙනෙක්. මේ නිසා ඔහුට නවකතා ලියන්න තියන කාලයත් අඩු වුණා. සමහරු ඔහුට චෝදනා කළා සංගමයේ ලේකම් ලෙස එල්ලිලා ඉන්නවා කියලා. නමුත් ඔහුට සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම වැඩ කළ හැකි නිසා කැපවීමෙන් කටයුතු කළා. එංගලන්තය, චීනය, ජර්මනිය වගේ රටවල පොත් සංගම් සමඟ කටයුතු කරන්න ඔහුට පෘථුල අවබෝධයක් තිබුණා.

උපාලිගේ අඩුපාඩු එහෙම දකින්නෙ නැද්ද?

ඒවා පෞද්ගලික අඩුපාඩු නෙමෙයි. ඔහුගේ නරකක් මා දකින්නැහැ.

ඔහුගේ ග්‍රන්ථ සියල්ලක් ම ප්‍රශස්තද?

සියල්ල ම සමාජය විසින් පිළිගන්නා තැනක තිබෙනවා. ඔහු නිර්මාණකරණයේදී වෙනස් මගක් ගත්තා. දුක, සන්තාපය, යථාර්ථය, විරහව ව‍ෙග් දේවල් තමයි ඔහුගේ නිර්මාණවලින් ඉදිරිපත් කළේ. විරහව ප්‍රබල සාධකයක් වුණා. ඔහුගේ බොහෝ නිර්මාණවල මේ ගුණාංග අතිශය සියුම් ලෙස මෘදු ලෙස ඉදිරිපත් කළා. ඇතැම් අය මරණය, වියෝව, විරහව වගේ දේවල් නිර්මාණකරණයේදී ස්පර්ශ කරන්න කැමැති නෑ. ඒත් උපාලි එය ජීවන යථාර්ථයක් ලෙස දකිමින් සමාජය දැනුවත් කිරීමේ යෙදුණු කෙනෙක්.

නවකතාකරුවකු ලෙස උපාලිට හිමි තැන.

උපාලි සමාජය ගැඹුරින් අත්විඳිමින් නිර්මාණකරණයෙන් සමාජය යහමඟ යවන හොඳ පෙර ගමන්කරුවෙක්, ප්‍රශස්ත ගණයේ නවකතාකරුවෙක්. ඒ නිසා ඔහු ඉදිරිපෙළේ නවකතාකරුවෙකු ලෙස මා දකිනවා.

ජ්‍යොතිෂය, හඳහන ගැන ඔබ දෙපළගේ විශ්වාසය.

මම නම්, ඒ ගැන පන්නන්නේ එළවන්නේ නැහැ. ජ්‍යොතිෂය, හඳහන විද්‍යාවක් ලෙස නිවැරැදියි. නමුත් අද බොහෝ ජ්‍යොතිෂශාස්ත්‍රඥයින් එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරගෙන. මම හිතන්නේ උපාලිත් මාව අනුමත කරාවි. මම පොත් සමාජගත කරද්දි ගෙවල් හදද්දි වෙලාවල් බලලා නෑ. මට ප්‍රශ්නය තියෙන්නේ නිවැරැදි ජ්‍යොතිෂ්‍ය විද්‍යාව ඇතැම් ජ්‍යොතිෂඥයින් විසින් විකුණාගන කෑමයි. මෙය ශෝචනීය තත්ත්වයක්.

ඔබ බුදු සමයට නැඹුරුද?

මම බෞද්ධාගම, පාලි, සංස්කෘත ඉගෙනගෙන ධර්මය ගැන හැදෑරීමක් කළා ගැඹුරින්ම. ළඟදී අපි අම්පාරේ ගියා මිහිඳු හාමුදුරුවෝ ආදාහනය කරපු තැන බලන්න. බුදු දහම පමණයි අපි අදහන්නේ. බුදුන් දේශනා කළ “අනිච්ඡා වත සංඛාරා - උප්පාද වයධම්මිනෝ” දහම් කරුණට අනුව හැරයාම, විරහව, අතෘප්තබව සනාතන දහමක්. මම බත්තරමුල්ලේ පිහිටි මිරිස්සේ හාමුදුරුවන්ගේ පන්සලෙන් බුදුදහමේ බොහෝ හර පද්ධතීන් ඉගෙනගත්තා. ඒවා මගේ ජීවිතයටත් බද්ධ කරගත්තා. ඉන් මා නිරාමිස සුවයක් අත්විඳිනවා.

ඔබත්, උපාලිත් එක ප්‍රදේශයක ජීවත් වන්නේ...

ඔව්. අපි සහෝදරයන් වගේ ඇසුරු කරන්නේ. අපි දෙපළ අපේ විවාහ ජීවිතත් අවබෝධයෙන් ගත කරන්නේ. උපාලි හොඳ මිතුරෙක්. දු‍ෙක්දී සැපේදී එකට සිටින, අපි දෙදෙනා ම සාර්ථක විවාහ ජීවිත ගත කරන අය. ගොතටුව, බත්තරමුල්ල සමීපයේ අපි දෙන්නා ජීවත් වන්නේ.

වත්මන් ළමා පරපුර වගේ ම තරුණ පරපුරත් කියවීමෙන් ඈත්වෙලා...

ඇත්තට ම හරිම ඛේදවාචකයක් තමයි. අති බහුතරයක් රූපවාහිනියට, අන්තර්ජාලයට යොමුවෙලා. ඒවායේ අද තියෙන්නේ පහත් ලිංගික දර්ශන. ශික්ෂාකාමී සමාජයකට මග පෙන්වන්නන් වුණත් අඩුයි. ඒ නිසා වත්මන් බාල තරුණ පරපුර වුණත් ජීවිතයට උකහා ගන්නේ හර පද්ධතීන් නෙමෙයි වැරැදි දේවල්. කියවීමෙන් ලබන රසාස්වාදය, දැනුම, අවබෝධය ලබන්නේ නැහැ තමයි. සමාජයේ අඳුරු අහුමුලු කරා ආලෝකධාරා එල්ල කරමින් පරිකල්පන ශක්තිය පුබුදු කරගන්න පොත්පත් කියවීම අපූරු පිටිවහලක් වෙනවා. 

 

Comments