අලුත් වැඩසටහන් රැසක් ළඟදීම ගේනවා | සිළුමිණ

අලුත් වැඩසටහන් රැසක් ළඟදීම ගේනවා

මෙරට ජාතික නාළිකාවක මුල් පුටුව කරවන්නට පැමිණි පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වන්නීය. ඉනෝකා සත්‍යාංගනී... සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරිය ලෙස ඔබත්, මාත් හඳුනන ඇය රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය. ඇයට නව දැක්මක් ඇත. ඒ නව දැක්ම යටතේ සැලලිහිණි මාධ්‍ය ජාලය යළිත් නව ගමනක් උදෙසා පියාසර කරන්නට සූදානම් වෙයි. මේ පිළිබඳ දැනගන්නට අපි ඇයට කතා කළෙමු. මේ සටහන ඒ පිළිසඳර ඇසුරෙනි.

 

ජාතික නාළිකාවක මුල්පුටුවට කාන්තා නියෝජනයක් සිදුවීම ගැන ඔබේ අදහස?

ඇත්තටම කාන්තාවක් මුල්පුටුවට පත්වීම කියන දේ මට එතරම් සුවිශේෂත්වයක් නම් නෑ. මට වැදගත් වන්නේ වෘත්තිකයෙක් හැටියට මේ වගකීම දරන්නේ කොහොමද කියන කාරණය විතරයි.

මෙය ඔබට තරමක් වෙනස් අත්දැකීමක්?

මම නිර්මාණකරුවෙක් විදිහටයි කටයුතු කළේ. එතකොට මාත් සමඟ වැඩ කරන 30ක - 40ක පමණ කණ්ඩායමකට වගකීමට තමයි මා බැඳී සිටියේ. තවත් වගකිව යුතු පාර්ශ­්වයන් හිටියේ නැහැ. නමුත් මා මේ අසුනේ වාඩිවුණාට පස්සේ කිසිදාක නොදැනුණු ලොකු පීඩනයක් හා බරක් දැනෙන්න ගත්තා. හැබැයි ඒ පීඩනය මම බාධාවක් කරගන්නේ නෑ.

එකී කාර්යය ඉටු කිරීම එතරම් ලෙහෙසු පහසු නෑ නේද?

රජයේ තියෙන ප්‍රධානතම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නාළිකාවේ වගකීම හා ප්‍රධාන යතුර අතට ගන්නවා කියන්නේ සරල කටයුත්තක් නෙමෙයි. මොකද මේ රටේ ඉන්න සියලුම ජනතාවගේ ප්‍රවෘත්ති, සංස්කෘතිමය, දේශපාලන මතවාද මෙකී සියල්ල එළියට ගමන් කරන්නේ මේ පුංචි හතරැස් පෙට්ටිය තුළින්. එහි රූප, ශබ්ද හෝ නාද දිහා බලන මිනිසුන්ට මනසට ලොකු බලපෑමක් කරනවා. ඒ විශාල බලපෑම ඒ ශක්තියේ මූලික වගකීම අතේ දරාගෙන ඉන්නවා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි.

ඒ භාරධූර වගකීම ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම මේ තනතුරේ ප්‍රභාව ගැන නම් මට කිසිම හැඟීමක් තිබුණේ නෑ. මේ අසුනට ඇවිල්ලා දැන් මාස 2 ක් වෙනවා. විශේෂයෙන් කියන්නට ඕනෑ මම මෙතැනට ඇවිල්ලා ඉන්නේ මේ අසුනෙහි ඉඳගෙන මාව බබළවා ගන්න නෙමෙයි. මෙතැනට ඇවිල්ලා ඉන්නේ මේ ආයතනය බබළවන්නයි.

ඔබ බොහොම සරල කෙනෙක්?

ඔව්. මම මේ ආයතනයට ආව පළමු දවසෙම කියපු දෙයක් තමයි මම සාරි ඇඳලා අනිත් අයගෙන් වෙන්වෙන කෙනෙක් බවට පත්වන්නේ නෑ කියන කාරණය. සරල ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් විදිහට කටයුතු කරමින් ඔවුන්ට නායකත්වය දීලා කටයුතු කිරීම මගේ ප්‍රතිපත්තිය.

ඉනෝකා සත්‍යාංගනී කියන්නේ දැඩි තීරණ ගන්න කෙනෙක්ද?

මෙහෙමයි. මම වෘත්තීය අධ්‍යක්ෂවරියක් විදිහට ඉඳිද්දී ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මාත් එක්ක වැඩ කරන්නට ලේසි නැහැ මම දැඩි තීරණ ගන්න කෙනෙක් කියලයි. එහෙම නම් පටබැඳිලා තියෙන නිසාද දන්නේ නෑ මේ ආයතනය තුළට එනවිටත් මට අනවශ්‍ය ලෙස, බලපෑම්, ප්‍රතික්ෂේප කිරීම් වැනි දේවල් දැනුණේ නෑ. කෙනෙක් මා දැඩි කෙනෙක් කියලා හිතනවා නම් එය වරදක් නැහැ. මොකද මම වචනයේ පරිසමාප්තයෙන් ම රාජකාරියට කැප වෙන කෙනෙක්.

රජයේ මාධ්‍ය නාළිකාව නිසා එහි ක්‍රියාකාරකම්වලට දේශපාලනික බලපෑම් නැතිද?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ගොඩක් දෙනෙක් කියන්නට පුළුවන් රජයේ නාළිකාවක ඉහළ ම තනතුර දරනකොට එහි ක්‍රියාකාරීත්වයට දේශපාලනික බලපෑම් ඇති කියලා. ඒත් මම බොහොම වගකීමෙන් කියන්නේ මම මේ රජයට ආවඩනවා නෙමෙයි මේ ආයතනයේ ක්‍රියාකාරීත්වයට රජයෙන් හෝ මාධ්‍ය ඇමැතිවරයාගෙන් මට කිසිදු බලපෑමක් නෑ. එතුමන් මේ විෂයය පිළිබඳ පුළුල් දැනුමක් ඇති කෙනෙක්. මම මේ අසුනේ ඉඳගත්ත දවසේ මා තීරණය කරපු දෙයක් තමයි රජයේ බලපෑම් ආවත් මගේ හෘදය සාක්ෂියට එකඟව වරදක් කරන්නේ නෑ කියන කාරණය.

මේ ගමනෙදි ආයතනික වශයෙන් ඔබට ලොකු සහයක් ලැබෙනවා ඇති?

ඇත්තටම ආයතනයේ සියලුම සාමාජිකයන්ගෙන් හොඳ සහායක් ලැබෙනවා. විශේෂයෙන් කියන්නට කැමැතියි මට දේශපාලනික වශයෙන් රජයෙන් හෝ මාධ්‍ය ඇමැතිවරයාගෙන් බලපෑමක් නැතත් ඇතැම් පිරිස් තමන්ගේ නිර්මාණ නාළිකාව තුළින් විකාශය කරවා ගැනීමට වැල නොකැඩී මා හමුවට එනවා. දුරකතන ඇමතුම් දෙනවා. අනෙක් කාරණය තමයි මේ ආයතනයේ රැකියා සඳහා බඳවාගැනීම සඳහා ඉල්ලීම් කරනවා. මෙය තමයි මට තිබෙන ලොකුම හිසරදය.

මම මේ වෙලාවේ කියන්නට කැමැතියි මම ඔවුන්ට නිවැරැදි පිරිසුදු මාවතක් පෙන්වලා තියෙනවා. ඒ තමයි මගේ ආයතනයේ ඉන්න විවිධ වෘත්තීන් සඳහා මනා දැනුමක් ඇති අත්දැකීම් ඇති නිලධාරින්ගෙන් කමිටුවක් පත්කරලයි තියෙන්නේ. ඒ අනුව මා ඉදිරිපත් කරන නිර්මාණ සඳහා එම මණ්ඩලයේ උපරිම ලකුණු ලබා ගතහොත් ඔවුන්ගේ ටෙලිනාට්‍ය විකාශය සඳහා අවසර ලැබෙනවා. එනිසා මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නෑ. ඒ සඳහා ආයතනයේ නිලධාරීන්ගේ උපරිම සහය මට ලැබෙනවා.

ඉදිරියේදි යම් යම් වෙනස්කම් කිරීමට ඉදිරි දැක්මක් ඔබට ඇති?

අගෝස්තු 17 වැනි දිනට යහපාලන රජය බලයට පත්වෙලා වසර 3 ක් සපිරෙනවා. ඒ තුන් අවුරුදු කාලය තුළ අපට කරන්නට හැකිවූ දේවල් මෙන්ම කිරීමට නොහැකි වුණු වැඩ කොටසක් තිබෙනවා. ඒ සඳහා තිබෙන්නේ කෙටිකාලයයි. ඒ අනුව නව වැඩසටහන් මඟින් නව මුහුණුවරක් ගත් ගුණාත්මක වැඩසටහන් 34 ක් 17 වැනි දින සිට ක්‍රමානුකූලව විකාශ කටයුතු ආරම්භ කරනවා. සමස්තයක් විදිහට ගත්තම 50කට ආසන්න නව වැඩසටහන් ගොන්නක් සමඟින් ජාතික නාළිකාව වැඩසටහන් නව වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

මොනවද ඒ වෙනස්වන අලුත් වැඩසටහන්?

නිර්මාණශීලී සංගීත වැඩසටහන්, උදෑසන පුවත් කියවීම් වගේම රියැලිටි වැඩසටහන්, ඒ කියන්නේ මෙතෙක් තරගකාරී නාළිකාවල විකාශය වුණේ ගායන, නර්තන හා විකට තරග පමණයි. නමුත් ඊට වඩා ජාතික වැදගත්කමින් යුක්ත රියැලිටි වැඩසටහන් තරග අපි නිර්මාණය කරලා ආරම්භ කිරීමට මූලික කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.

ඊට අමතරව සාකච්ඡාමය වැඩසටහන් පවා වෙනත් නාළිකාවල නැති ආකෘතිවලින් නව මුහුණුවරකින් නව වැඩසටහන් ගොන්නක් ඉදිරියේදී විකාශය කරන්නට සැලසුම් කරලයි තියෙන්නේ. විශේෂයෙන් අපේ ප්‍රවෘත්ති වල මුහුණුවර ඉදිරියේදී සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නටත් බලාපොරොත්තු වනවා.

මේ සඳහා ආයතනය ඇතුළත නිර්මාණකරුවන් පමණද සම්බන්ධ කරගත්තේ?

නැහැ. ආයතනයෙන් පරිබාහිරව අපේ රටේ ඉන්න විශිෂ්ට නිර්මාණකරුවන්ට ආරාධනා කරලා ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔවුන් සමඟ ගිවිසුම්ගත කිරීම් මූලික කටයුතු ආරම්භ කරලයි තිබෙන්නේ.

නමුත් මේ ආයතනය තුළ ඉතාම දක්ෂ වූ නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. ඔවුන්ගේ යෝජනා සහ අදහස් අනුව මගේ සංකල්පඔස්සේ තමයි මේ සියලු කටයුතු සිදුවුණේ. ඔවුන් ඉතාම දක්ෂ නිර්මාණකරුවන් වුවත් ඇතැම් යුගවලදී ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට නොහැකි වුණු කාලවකවානු තිබිලා තියෙනවා.

මේ වගකීම් නිසා ඉනෝකා සත්‍යාංගනී කියන කලා ශිල්පිනිය කලාවෙන් දුරස් වේවිද?

කෙටියෙන්ම කීවොත් කොහෙත්ම නෑ. මොකද මම මෑතකදී අධ්‍යක්ෂණය කළ ‘සාර සොබාවිට මල් පිපිලා’ සිනමා කෘතිය දින 15 වැනි කෙටි කාලයක් ඇතුළතදී වැඩ අවසන් කළා. එහි ප්‍රතිඵලය පිළිබඳ අපි හැමෝටම සතුටු වෙන්නට පුළුවන්. තව නොබෝ දිනකින් එහි සංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතයි. නමුත් එහි නම වෙනස් වේවි.

මේ ඔබේ කීවැනි නිර්මාණයද?

මේ මගේ තුන්වැනි නිර්මාණය. මේ වන විට චිත්‍රපට 2 ක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සුළං කිරිල්ලී සහ සින්ඩ්‍රෙල්ලා. සින්ඩ්‍රෙල්ලා වාණිජ සිනමාපටයක් නිසා කිසිම සම්මාන උලෙළකට ඉදිරිපත් කළේ නෑ. නමුත් සුළං කිරිල්ලී චිත්‍රපටය දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය ඇතුළු ජාතික සම්මාන 22 ක් දිනාගෙන තිබෙනවා. ඒ වගේම ඔබ මා කතා කරන මොහොත දක්වාම මා හිතන්නේ 70 වසරක පමණ ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන හිමිකරගත් සිනමාපටය වෙලා තියෙන්නේ. අදටත් එය නොබිඳුණු වාර්තාවක්.

Comments