අපේ ජීවිතයට නායකත්වය දෙන ශ්‍රද්ධාව | සිළුමිණ

අපේ ජීවිතයට නායකත්වය දෙන ශ්‍රද්ධාව

ජිවිතයක වටිනාකම තීරණය කරන්නේ ජීවිතයට එකතු වන දේවල් මතයි. ජිවිතයට එකතු වන දේවල් වන ධනය, බලය, ගෙවල් දොරවල්, යානවාහන, දේපොළ, ස්වාමිභාර්යා සහ දු දරුවන් ආදි දේ පිළිබඳ නොවෙයි අපි මෙහිදී කතා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළා සෑම කෙනෙකුගේම ජීවිතයට නායකත්වයට පත් කරගත යුතු පස්දෙනෙක් සිටින බව. ඒ තමයි පළමුවැන්නා සද්ධාවයි‍. එනම් බුද්ධ රත්නය ,ධර්ම රත්නය සහ සංඝ රත්නය පිළිබදව ගුණ වශයෙන් හොදින් හදාරා ඒ තුණුරුවන් හොදින් ඇදහීම විශ්වාසය සද්ධාව සහ ගෞරවය ඇති කරගැනීමයි. ඒ සද්ධාව නායකත්වට පත් කර ගත යුතුයි. අපේ ජිවිතවල සද්ධාව නායකත්වයට පත් කර ගත් විට ඒ ජීවිතවල අසද්ධා කියන අකුසලය අඩු වීමට පටන් ගන්නා බව ධර්මයෙහි සදහන් වෙනවා.

අකුසල කර්මයේන් මිදිම

ඊළගට නායකත්වයට පත් කරගන්න ඕන වීර්යයි. විර්යය යනු උත්සහාය උනන්දුව කැප වීම වැනි තේරුමයි. නමුත් අපි මෙහිදි කතා කරන්නේ ලෞකික සැප සම්පත් ඇති කරගන්නා වීර්යය නොවෙයි. එම වීර්යයත් තිබිය යුතුයි. නමුත් අපි මෙහිදී කතා කරන්නේ මේ ධර්ම තුළ ඉගන්වෙන ධර්මයෙන් දියුණුවට යන වීර්ය පිළිබදවයි. ඒ විර්යය වන්නේ අකුසල කර්මයන් ප්‍රහානය කිරීමටයි‍‍. ඒ වගේම කුසල ධර්මයන් උපදවා ගැනීමට‍ වීර්යය උපදවා ගැනීමටයි. යම්කිසි කෙනෙකුට සතෙක් මරන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ සිතිය යුතුයි මේය ප්‍රාණ ඝාතයක් එය නොකළ යුතුයි කියා. මෙයින් අගති ගාමි විය හැකියි. ඒ නිසා මා මෙයින් වැළකිය යුතුය යන සිතුවිල්ල උපදවා ගත යුතුයි. කුසලයේ යෙදෙන්නටත් අකුසලයෙන් මිදෙන්නටත් විර්ය ගත යුතුයි. තමන්ගේ ජීවිතයේ නායකත්වයට පත් කරගත යුතුයි.

තුන්වෙනි නායකයා බවට පත් කරගන්නට ඕන සතියයි. සතිය යනු යහපත් සිහියයි. සිහිය කියන කාරණය යෙදෙන්නේ කුසල ධර්ම වල පමණයි. අකුසලධර්ම වල සිහිය උපදවා ගන්නේ නැහැ. කුසල දහම් කෙරෙයි පමණයි සිහිය උපදවා ගත යුතු වන්නේ. ඉස්සර රජවරුන්ට හිටියා සර්ව කර්මාන්ත අමාත්‍යවරයා රජ තුමාට කරන්න තියන හැමදේම සිහිපත් කර දෙනවා. ඒ සර්ව කර්මාන්ත අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු වගෙයි සිහිය කියන කාරණාව පිළිබඳව අප නිතරම අවධානයෙන් සිටිමින් අපි අපිටම උපදෙස් දෙන්නා බවට පත් විය යුතුයි. තමා විසින් තමන්ටම සිහියෙන් උපදෙස් දිය යුතුයි. අකුසල කර්මයේන් මිදිමට, හොරකමට, කාම මිථ්‍යාවට, මත්පැන් පානය සහ ප්‍රාණඝාතයකට හිත යන විට එය අකුසල කර්මයක් පිළිබද මෙනෙහි කරගත යුතුයි. කාම මිථ්‍යාචාරයකට හිත් දෙන විට එය නවතා ගත යුතු වන්නේ යහපත් සිහියෙන්. තමන්ගේ ජීවිතවලට හොඳ නරක කියලා දෙන කළ යුතු දේ නොකළ යුතු දේ කියලා දෙන කෙනා බවට පත් ගන්නට අවශ්‍ය සිහියයි. සිහිය නායකත්වයට ගෙන එන්නට ඕන.

ඊළඟ කරුණ සමාධි යයි. එනම් සිතේ එකඟකම,ශාන්ත බව තැන්පත් බවටයි. සම්බුද්ධ ශාසනය තුළ සමාධිය කියන දේ විස්තර කළේ මේ ආකාරයටයි ‘ ඔස්සග්ගා රම්මනං කත්වා

ලබති සමාධි ලබති චිත්තස්ස

ඒකග්ගතං අයං සමාධී ‘

නිවන අරමුණු කරගෙන යම් භාවනා ක්‍රමයක් අනුගමනය කරලා සමාධියක් එනම් සිතේ එකඟ බවක් ඇති කරගන්නවා නම් නම් එයට කියන්නේ සමාධීය කියයි. නිවන අරමුණු කරගෙන බුදු ගුණ භාවනාව දියුණු කරලා සමාධියක් ඇති ගත්තත් එය සමාධිය නමින් හැඳින්වෙනවා. නිවන ඉලක්කය කරගෙන මෛත්‍රී භාවනාව කරයි නම් නම් සමාධියක් ඇති කරගත්තත් එය සමාධී කොටසට අයත් වෙනවා. සම්බුද්ධ ශාසනයේ වෙන ඕනෑම භාවනාවක් මඟින් නිවන අරමුණු කරගෙන සිදු කරනු ලබන භාවනාව සමාධීය නමින් හැදින්වෙනවා. සමාධීය තමන්ගේ ජීවිතය තුළ නායකත්වයට ගෙන එන්නට ඕන.

ඊළඟ නායකත්වය හැටියට පත් කරගන්නට ඕන ප්‍රඥාවයි ප්‍රඥාව කියලා අදහස් කරන්නේ අපේ දැනුමට කියන නමක් නොවෙයි අපේ දැනුම පාලි භාෂාවෙන් හඳුන්වන්නේ සද්ධර්මය තුළ බහුශ්‍රෑත බව කියන වචනයෙන්. බහුශ්‍රෑත කියන්නේ බොහෝ දේ දන්වනවා කියන අදහසටයි. නමුත් ත්‍රිපිටිකය කියන කොටසට ගැනෙන්නේ නැහැ. එය ගැනෙන්නේ බහුශ්‍රෑත කියන කොටසටයි. නමුත් මොකක්ද ප්‍රඥාව කියන්නේ කියලා පැහැදිලි කර දීම ඉතාම අසීරු කරුණක්.

අපි උදාහරණයක් විමසා බලමු දහම් පාසලේ දී අපි උගත්තා සතුන් මැරීම කාම මිථ්‍යාචාරය මුසාවදය සොරකම බොරු කියන්න එපා පරුෂ වචන කියන්න එපා කියලා නමුත් අපි මේ සියලු අකුසල කර්මයන් කරනවා. එයින් අපිට පැහැදිලි වන්නේ අපිට දැනුම තියනවා. නමුත් අපේ ආධ්‍යාත්මය සංවර්ධනය වෙලා නැහැ දැනුමට බැහැ අධ්‍යාත්ම සංවර්ධනයක් කරන්නට ආධ්‍යාත්ම සංවර්ධනයක් කිරීමට දැනුමක් සමඟ එන ප්‍රඥාව තිබිය යුතුයි.

විදර්ශනා භාවනාව

නුවණින් දැකීම තිබෙනවා අපි නුවණින් දැකීමත් සමඟ ඇති වන සිහි කිරීමක් තිබිය යුතුයි. නුවණින් දැකීමත් සම ඟ සිහි කිරීමක් තිබිය යුතුයි එයයි අපි ප්‍රඥාව ලෙසින් සලකන්නේ.කොසේ නමුත් ප්‍රඥාව නායකත්වට පත් කරගැනීමට කැමැති පුද්ගලයා මුළු හදවතින්ම පින අදහන පිනේ විපාක අදහන අකුසලය අදහන අකුසලයේ විපාක අදහන අපාය දිව්‍ය ලෝ ක පිළිගන්නා අයෙකු විය යුතුයි. එතැනින් නොනැවතී විදර්ශනා භාවනාව දියුණු කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය නුවණින් විමසන කෙනෙකු විය යුතුයි. මෙන්න මේ ගුණධර්ම පහ ඔබ ඔබේ ජීවිතය තුළ නායකත්වට පත් කරගන්න. ඔබ තුළ නායකත්වයට පත් කරගත්ත මේ සද්ධාව විර්යය සතිසමාධි ප්‍රඥා ආදි ගුණ ධර්ම පහ පංච ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. මේ පංච ඉන්ද්‍රිය ධර්ම වලින් මුලින් සදහන් කළ සද්ධාව සති ප්‍රඥා කියන ඉන්ද්‍රිය තුන කුසල විපාක ලෙසත් හඳුන්වනවා. කුසල විපාක ලෙස කියන්නේ සංසාරයේ සිදු කරන ලද කුසල විපාකයක් විදිහට අපිට මේ ජීවිතයේ තුළ සද්ධාව සතිය පිහිටන්න පුළුවන් ප්‍රඥාව පිහිටන්න පුළුවන් සසර පුරුදු කරන ලද කුසල විපාකයක් ලෙස. ඒ වගේම අපි මේ ජීවිතයේ කරන ලද කුසල් විපාකයක් විදිහට මේ ජීවිතය තුළ සද්ධා සති ප්‍රඥා කියන ගුණධර්ම තුළ දියුණු වෙන්න පුළුවනි.

උදාහරණයක් විදිහට මේ සම්බුද්ධ ශාසනයේ තුළ බුද්ධ වන්දනාව කරන්න පුරුදු වෙනවා. දන් පැන් දෙන්න භාවනා කරන්න මවුපියන්ට සලකන්න පුරුදු වෙනවා. මේ කුසල ධර්ම පුරුදු කරන කොට එහි දිට්ඨ ධම්ම වේදනීය කර්ම විදිහට මෙලොවම සද්ධාව ඒවගේ ම ප්‍රඥාව දියුණු වෙනවා. ඒ නිසා පෙර සසර කුසල විපාක විදිහටත් මේවා පිහිටනවා. මේ ජීවිතයේදී ම කරන කුසල විපාක ලෙස මේවා අපේ ජීවිතයේ ඇති වෙනවා ඒ විතරක් නොවෙයි. මේ ගුණ ධර්ම ඇති කරගන්න ක්‍රියාව ඉතා වැදගත් වෙනවා. කුසල විපාකවලට අමතරව ක්‍රියාව එනම් කුසල ක්‍රියාවේ යෙදෙන්න සද්ධාව දියුණු වනවා. සතිය දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා.

ඊ ළඟ ඉන්ද්‍රිය දෙක වන්නේ වීර්යය සහ සමාධීයයි. නමුත් විර්යයේ පැති දෙකක් තිබෙනවා සමහර කෙනෙක් කුසල් කිරීමටත් සමහර කෙනෙක් අකුසල් කිරීමටත් පව් කරන්න විර්යය කරනවා. කුසලය තුළත් තියනවා හොද වීර්යයක්. අකුසලයේත් තියනවා වීර්යයක්. හිතේ තැන්පත් බව කුසල ධර්මවලත් තියනවා. අකුසල ධර්මවලත් යෙදෙනවා. අකුසල සමාධියක් විදිහටයි වෙන්නේ අපි මේ දේවල් තේරුම් අරගෙන අකුසල දුරුකරන්නට ඕන. කුසල සමාධිය කුසල වීර්යයි අපි වැඩිය යුතු වන්නේ.

මේ ඉන්ද්‍රිය ධර්ම තව දුරටත් ඇති කරගන්නේ කෙසේද කියලා අපි බලමු. ඇති කරගන්නවා කියන්නේ ඇති වීමට හේතුව. එයට අපි කියන්නේ සමුදය කියලා. ඉන්ද්‍රිය ධර්ම හට ගැනීමට හේතුවට අපි කියන්නේ ඉන්ද්‍රිය සමුදය කියලා. ඉන්ද්‍රිය සමුදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? උදාහරණයක් ලෙස සද්ධාව හට ගැනීමට හේතුව කුමක්ද? ඉතාම සද්ධාවෙන් යුතුව ගෞරවයෙන් යුතුව මෙනෙහි කරනවා නම් සද්ධාව උපදිනවා. අපි බුද්ධ රත්නය කෙරෙහි සද්ධාවෙන් යුතුව බුදු ගුණ මෙනෙහි කරනවා නම් සද්ධාව උපදිනවා. ධර්ම රත්නය කෙරෙහි සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙනෙහි කරනවා නම් දහම් ගුණ මෙනෙහි කරන විට සද්ධාව උපදියි. ආර්යය සංඝ රත්නය කෙරෙහි සද්ධාවෙන් ගෞරවයෙන් මෙනෙහි කරනවා නම් සද්ධාව උපදිනවා. කර්මය සහ කර්ම විපාක කෙරෙහි ගෞරවයෙන් සිල ගුණය මෙනෙහි කරන විට සද්ධාව උපදිනවා.

ඊළග කරුණ වන්නේ විර්යයි. උත්හාය උනන්දුව ඇති වන විදිහට මෙනෙහි කිරීම් කළ යුතුයි. වීර්යය වර්ධනය වන්නේ එවිටයි. අපි උදාහරණ බලමු. කෙතරම් වෙහෙසට මහන්සියට පත් වී සිටියත් කළ යුතු පිළිවෙත් ටික නතර කිරීමට කල් දැමීම නොකළ යුතුයි. කුසීත බවින් යුතුව එසේ සිතන්නට හොඳ නැහැ. වීර්යයෙන් යුතුව කල්පනා කළ යුතුයි. අද මා වඩා වෙහෙසට පත් වී සිටින නිසා තෙරුවන් කෙරෙහි පිළිවෙත් ටික කිරීමට නොහැකි වුණ නිසා කෙසේ හෝ ඒ පිළිවෙත් ටික අනුගමනය කිරීමට ධෛර්යෙන් යුතුව පිළිවෙත් අනුගමනය කළ යුතුයි.

විදර්ශනා භාවනාව

මේ වගේ කල්පනා කරමින් වීර්යය ඇති වන ආකාරයට මෙනෙහි කරන්නට අවශ්‍යයි. විර්යය ඇති වන ආකාරයට මෙනෙහි කරන විට ඔබ තුළ විර්යය කියන ඉන්ද්‍රිය දියුණු වෙනවා. ඒ වගේමයි උපස්ථාන කියන්නේ යහපත් සිහියෙන් යුතුව ඔබ ඔබේ ඉන්ද්‍රිය හසුරුවාගත යුතුයි. හොඳ හෝ නරක දේ පිළිබද තමන්ගේ සිහිය තමන්ට උපදෙස් දෙන්නට අවශ්‍යයි. ඒ උපස්ථාන කෙනෙක් විදිහට එය වර්ධනය කරන විට සති ඉන්ද්‍රිය වර්ධනය වෙනවා.

ඒවගේම හිත තැන්පත් වන විදිහට මෙනෙහි කිරීමක් කරනවා නම් සමාධී ඉන්ද්‍රිය වර්ධනය වෙනවා. නුවණින් යුතුව නුවණින් දකිමින් මෙනෙහි කරනවා නම් ප්‍රඥාව වර්ධනය වෙනවා .අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආකාරයට මෙනෙහි කරමින් කටයුතු කරනවා නම් නුවණ දියුණු වෙනවා. මෙ ආකාරටය මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා.

මේ ඉන්ද්‍රිය ධර්ම කියන ගුණ ධර්මවලින් ඔබේ ජීවිතය පෝෂණය කරගතහොත් ඔබේ ජිවිතය ඉතාම යහපත් වනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් එකක් වත් ඔබ තුළ නැති නම් එවැන්නන් අන්ධ බාල පෘතග්ජනයෙකු යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා.

ඉන්ද්‍රිය ඵල තිබුණත් මාර්ග ඵල නැති නම් පෘතග්ජනයෙක් තමයි. ඒ වුණාට මේ ඉන්ද්‍රිය ධර්ම කොහොමවත්ම නැති නම් නිකම්ම පෘතග්ජනයෙක් නෙමෙයි. අන්ධ බාල පෘතග්ජනයෙක් යැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ පිළිබදව අවධානයට ගෙන ඔබේ ජීවිතයට මේ ගුණ ධර්ම පහ ප්‍රගුණ කරගනිමින් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සුපෝෂිත ජීවිතයක් ගත කරගනිමු. එවිට ඔබේ ජිවිතය අර්ථ පුර්ණ වටිනාම ජීවිතයක් වනු නිසැකයි.

Comments