ආචාර්ය ඩබ්ලිව්. ඒ අ‍බේසිංහ උපහාර උළෙල 21 දා කුලියාපිටියේදී | සිළුමිණ

ආචාර්ය ඩබ්ලිව්. ඒ අ‍බේසිංහ උපහාර උළෙල 21 දා කුලියාපිටියේදී

අචාර්ය අධිනීතිඥ ඩබ්ලිව්. ඒ අ‍බේසිංහ සූරීන්ගේ සාහිත්‍ය හා සමාජ මෙහෙවර අැගැයීමට උපහාර උළෙලක් මේ මස 21 වැනිදා ප.ව. 2.00 ට කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ති‍බේ.

අබේසිංහයන්ගේ සමා‍ජ සාහිත්‍ය සම්ප්‍රදානය ගැන ලියැවුණු නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා කථිකාචාර්ය උදේනි සරත්චන්ද්‍ර සංස්කරණයෙන් පසුගියදා ජනගත වුණු විද්වත් ලේඛන ලිපි සරණිය 'අභය මුද්‍රාව' කෘතිය ද, දීපචන්දී අබේසිංහ හා සුමුදු චතුරාණී ජයවර්ධන සංස්කරණය කළ ' ආනන්දයෙන් ප්‍රඥාවට ' කෘතිය ද මෙහිදී විශේෂ ඇගැයීමට ලක්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ. ඇම්. පී එ්කනායක මහතා මුලසුන හොඹවන මේ උලෙළේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අං‍ශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා ප්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර දෙසුම් පැවැත්වීමට නියමිත ය.

මේ උලෙළ වර්ණවත් කිරීමට වයඹ ජනකලා කේන්ද්‍රයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රවීණ රංගවේදී ජගත් කුමාර ජයසිංහආරච්චි ඉදිරිපත් කරන ගායන හා රංගන ද ඇතුළත් වේ.

මේ උළෙල සංවිධානය කරනු ලබන්නේ අබේසිංහයන්ගේම ගම්පළාත වන කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය සහ කුලියාපිටිය නගරසභා මහජන පුස්තකාල උපදේශක කමිටුව විසිනි.


සුන්දර පත්තර මතක

 

කර්තෘ - චන්න දොළපිහිල්ල

මිල- රු- 300

අසූව දශකයේ පුවත්පත් කලා ජීවිතයට පිළිපන් චන්න දොළපිහිල්ල ගේ පත්තර කලා ජීවිතයේ රසමුසු තැන් අළලා කරන ලද විග්‍රහයකි.විචිත්‍රවත් මතක එක්තැන් වූ මතක සටහන් 32 කින් සමන්විත මේ කෘතිය, පත්‍රකලාව නම් සුන්දර වෘත්තියේ සුන්දරත්වය මෙන් ම එහි ඇති වගකීම, සමාජ දේශපාලන යුතුකම් හා පත්‍රකලාවේදියකු ට අහිමි වන පෞද්ගලික ජීවිතය පිළිබඳ ව ද මිහිරි අමිහිරි මතක එක්කර ලියැවුණකි.


අපි තවමත් සංසාරේ නවතම මුද්‍රණය

සෝමවීර සේනානායක සූරින්ගේ ස්වයං ලිඛිත අපදානය ' අපි තවමත් සංසාරේ' මේ 28 දා කොළඹ 7 විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

මේ උලෙළට සමගාමී ව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ගුණානුස්මරණ උලෙළක් ද පැවැත්වෙන අතර එහි සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා විසිනි.


සිඟා

ශාස්ත්‍රපති මුරුතමුරේ පඤ්ඤාලෝක හිමි විසින් සිඟාලෝවාද සූත්‍රය පාදක කර ගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචනා කර ඇති SIGALA කෘතිය පසුගියදා උඩහමුල්ල විජිතාරාම විහාරස්ථානයේදී ජනගත කෙරිණි.

සිඟාලෝවාද සූත්‍රයේ අඩංගු සියලුම ධර්ම කරුණු පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් මේ කෘතිය රචනා වී තිබේ. ළමුන්ට පවා කියවා තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සකස් කර ඇති මේ ග්‍රන්ථය අදාළ සූත්‍රය පිළිබඳ දැනුම පමණක් නොව ඉංග්‍රීසි භාෂා ඥානයත් ලබා ගැනීමට හැකිවනු ඇත.

 

Comments