අලු­ත්ගම හිත­ව­තිය සුරේඛා සම­ර­සේන | සිළුමිණ

අලු­ත්ගම හිත­ව­තිය සුරේඛා සම­ර­සේන

සුරේඛා සමරසේන නව පරපුරේ තරුණ කිවිඳියකි. සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ පළවූ ඇගේ කාව්‍ය නිර්මාණ පාඨකයනට රස විඳින්නට ඉඩ ලැබී ඇත. මේ කතාව ඇගේ පළමු නවකතාවයි. සිලිබිල්ලි සුරේඛා, කිවිඳියක ලෙස පාඨකයන් හමුවට රැගෙන එන ඇගේ ප්‍රථම පද්‍ය කාව්‍ය නිර්මාණ සංග්‍රහයයි. ‘අලුත්ගම හිතවතිය, නම් මේ පද්‍ය නිර්මාණය ‘සිලිබිල්ලි, සංග්‍රහයේ එන කාලීන සමාජ විඥානය සහිත නිර්මාණයකි. කිවිඳිය හා ඇගේ හිතවතිය අතර පෞද්ගලික මිතුරු සබඳතාවකි. පෞද්ගලික මිතුරු සබඳතා, ඥාති සබඳතා, අප සියල්ලන්ටම ඇත. එහෙත්, ඒ සබඳතාවක් කලා නිර්මාණයකට විෂයවීමෙහි කුමන වැදගත්කමක් දැයි කිසිවකුට හෝ ප්‍රශ්නයක් නඟන්නට හැකි ය. එසේ අසනු ලබන ප්‍රශ්නයක් සාධාරණ යැයි, අපට සිතන්නට සිදු වේ. එහෙත් සුරේඛා ගේ අලුත්ගම හිතවතිය, හුදෙක් එවන් මිතුරු සමාගමයක් පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් පමණක් ද? සුරේඛාගේ කාව්‍යනුභූතියෙහි, විශේෂත්වය වන්නේ, එයට අප ඇලුම් කිරීමට පෙලඹෙන්නේ, අලුත්ගම හිතවතිය තුළින් කිවිඳිය නිරූපණය කරනු ලබන යෙහෙළියගේ චරිතය හා ඈ අත්විඳ ලැබ සිටින ඛේදවාචකයේ, පුළුල් සමාජ, දේශපාලන චිත්‍රයක්, පාඨක අප දකිනා බැවිනි.

සුරේඛා විසින් නිර්මිත අලුත්ගම හිතවතිය, මුස්ලිම් තරුණියක බව කවියේ ඇරැඹුමේදී අපට හඳුනාගන්නට හැකිවේ. කවියේ නිමිත්ත ඊට නිදසුන් සපයයි. (2014 ජූනි අලුත්ගම දර්ගා නගරයේ ඇති ව‍ූ නොසන්සුන්කාරී තත්වයෙන් පසුව දව‍ස් කිහිපයක් යනතුරු ම ‘ඇය’ වැඩට නාවාය) වෙනදා කිවිඳියට රැකියාවේදී හමුවන හිතවතිය, එක්තරා දිනකින් පසුව ඇයට හමු නොවේ. ඈ සිත කම්පාවට පත් වේ. එකී කම්පනය කිවිඳිය කවියට නඟන්නීය. කිවිඳියගේ හිතවතිය, කෙබඳු ව්‍යසනයක් හමුවේ සිටින්නීදැයි විමසමින් ඇගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳ කම්පාවන්නී ය; ශෝකවන්නීය. මිතුරුදම් වැඩෙන්නට, මිතුරු දම් බැ‍ඳෙන්නට අවශ්‍යවන්නේ මිනිසත් බව පමණකැයි කිවිඳිය ව්‍යංග්‍යයෙන් පවසන්නීය‍. අන්‍යාගමික, චරිතයක් වීම මිතුරු දමකට කිනම් බාධාවක් ද? කිවිඳියට ඈ දින කිහිපයකින් දකින්නට නො ලැබේ. ඇයට නිවාඩු ගෙන නිවෙසට වී කරන්නට සිදුව ඇති රාජකාරිය කුමක්ද? සොෙහායුරන් හංගාගෙන අම්මා සමඟ ගේ දොරකඩ මුරකිරීම ද? එවැනි මුර රාජකාරියක් ඇයට හා මවට පැවැරී ඇත්තේ කිමද? මහජාතිය යැයි කියා ගන්නා ඇතැම් අමනයන්ගේ පටු ජාතිවාදී, ආගම්වාදී, අවස්ථාවාදී, භේදකාරී මානසික තත්ත්වයන්ගේ ප්‍රතිඵල ද කිවිඳියගේ මිතුරියට අත්විඳින්නට සිදුවී ඇත්තේ?

‘හදවත ගැහෙන හඬ මහ රෑ ඇසේයා

ඇස්වල තියෙන භීතිය පවා මැවේයා

ඇඳිරි නීති ඇඳිරිය දිග ඇදේයා

හදකින් හදට දළු දළු ගිනි නැගේයා”

කිවිඳියගේ හිතවතිය අත් විඳින ඉරණම, ඈ අපූරු කාව්‍යොක්තියකින් දකී.‍ හිතවතිය, ආගමට ලැදි මිත්‍රශීලී චරිතයකි. මඳ සිනා නඟන්නියකි.

“‘සලාම්’ කියාගෙන උදයේ මුණ ගැහෙන

දහවල් බතට කලියෙන් දෙවියන් යදින‍

කෝල කොමල මුදු මදහාස නංවන

නුඹේ මුහුණ සඳ අද රාහු ගිලල ද?”

කාව්‍යොක්ති මතු නොව, රූපකාර්ථවත් බස ද සුරේඛාගේ කවියෙහි ලක්ෂණ වේ.

“කෝල කොමල මුදු මදහාස නංවන

නුඹේ මුහුණ සඳ අද රාහු ගිලල ද?”

මුහුණ සඳ අපූරු රූපකයකි. අද දවසේ එවන් සඳක් වූ මුහුණට කුමක් සිදුවී ඇද්ද? රාහු ගිලගත් සඳක්? එවන් මුහුණක ඇඳුණු කළුවරක් නොවේද කිවිඳිය දකින්නේ? දිනපතා ඈ කිවිඳියට උදයේ මුණ ගැසෙන්නේ ‘සලාම්’ කියාගෙනයි. දහවල් ආහාරයට පෙර ඈ දෙවියන් යැදීමට අමතක නො කරන්නීය. කෝල කොමල මුදු මන්දහාස නංවන මුහුණ සුන්දර යුවතියකගේ ප්‍රතිබිම්බයකි.

පටු ජාතිවාදයෙන් හෝ ආගම්වාදයෙන් එකිනෙකා ඈත් කොට තබමින්, එකිනෙකා කෙරෙහි වෛරී සිතුවිලි උපද්දමින්, ජාතියක් බෙදා වෙන් කිරීමට වරින් වර නැගෙන තිරශ්චීන ව්‍යයාම හේතුකොට ගෙන චිත්ත හා කායික පීඩාවට පත්වන අසරණ ජීවිත අතර කිවිඳියට සමීප චරිතයක් කෙරෙහි ඈ දක්වන මානව දයාව මෙහි ප්‍රකට කෙරේ. වෙනදා ඈ තම මිතුරිය බදා නොගනී. එහෙත් අද ඈ එසේ කරන්නීය. ඇගේ සෙනෙහසේ සංකේතය බඳු හාදුවක් සුළ‍ඟේ පා කර යවන්නීය. රාත්‍රිය කෙටිවන්නැයි පතන්නී හිතවතියගේ හිත ඉක්මනින් බියෙන් මිදෙන්නැයි අනියමින් පතමිනි. කූටප්‍රාප්ත අවසානය, අප සිත් ගනී. කිවිඳිය දෙවි පිහිට විශ්වාස කරන්නියක් නොවේ. එහෙත් ඈ අද තම මිතුරිය වෙනුවෙන් දෙවියන් ද යැද පිහිට පතන්නීය.

“රාත්‍රිය ඉතිං කෙටිවන්නැයි පතමී

කවදා නැතත් අද මම දෙවියන් යදිමී‍”

ජීවිතය, මිනිසත් බව සහෝදරත්වය පිළිබඳ සදාතනික පණිවිඩයකි ‘අලුත්ගම හිතවතිය, කවියෙන් විශද වන්නේ.

අලුත්ගම හිතවතිය

(2014 ජූනි අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු දවස් කිහිපයක් යනතුරුම ‘ඇය’ වැඩට නාවා ය...)

හිතුවත් දකින්නට අදවත් උදෑසන

ඊයේ වගෙම ඔබ තවමත් නිවාඩුය

අයියල මල්ලිලා හංගාගෙන ගෙදර

අම්මයි නුඹයි දොරකඩ මුරකරනවද...?

‘සලාම්’ කියාගෙන උදයේ මුණගැහෙන

දහවල් බතට කලියෙන් දෙවියන් යදින

කෝල කොමල මුදු මදහාස නංවන

නුඹේ මුහුණ සඳ අද රාහු ගිලලද...?

හදවත ගැහෙන හඬ මහ රෑ ඇසේයා

ඇස් වල තියෙන භීතිය පවා මැවේයා

ඇඳිරිනීති ඇඳිරිය දිගේ ඇදේයා

හදකින් හදට දළු දළු ගිනි නැගේයා...

එක කවියකින් එක අවියක් නසන්නද

එක කවියකින් එක ගින්නක් නිවන්නද

එක කවියකින් එක පදයක් ඉවත් කර

කඳුළු පේළියක් මෙතනින් තියන්නද...?

වෙනදා නැතත් අද මම නුඹ බදාගමී

ළඟ නැති නමුත් හාදුව පා කර එවමී

රාත්‍රිය ඉතිං කෙටි වෙන්නැ’යි පතමී

කවදා නැතත් අද මම දෙවියන් යදිමී...

සුරේඛා සමරසේන

Comments