දෙමළ සීයා හා ජර්මන් මිනිබිරිය | සිළුමිණ

දෙමළ සීයා හා ජර්මන් මිනිබිරිය

යුරෝපයට රස්සනය වැඩි වන විට බොහෝ දෙනෙක් තානාපති කාර්යාලවලට යන්නේ විදේශ ගත වන්නට වීසා සොයාගෙනය. ලංකාව ඔවුන්ගේ ආදරණීය තේරීමකි. මේ පිරිස අතර ලාංකික සම්භවයක් ඇති යුරෝපීයෝ ද වෙති.

පසුගිය යුද්ධ සමයේ රටින් බැහැරව යුරෝපයට පැමිණි බොහෝ දෙනෙක් දැන් මවුපියෝ ය. ඔවුන්ට දරුවෝද වෙති. එහෙත් මෙම දරුවන් බොහෝ දෙනෙකු සමහර විට ලංකාව කිසිවිටකත් දැක නැත. ලංකාව ගැන ඔවුන්ගෙන් සමහරක් තුළ ඇත්තේ ඉතා අපහැදිලි ඡායා සමූහයකි. එයට එක් හේතුවක් දමිල දරුවන් වශයෙන් බොහෝ දෙනෙකු ලංකාව ගැන අසන්නේ වඩාත් යහපත් දේ නොවීමය.

2015 වසරින් පසු බොහෝ දමිල පිරිස් ලංකාව වෙත යන්නට උනන්දුවක් දක්වන බව නිරීක්ෂණය කෙළෙමි. ලංකාවට යෑම පිණිස පැමිණෙන මෙම දෙමළ සහෝදරයන් සමග වචනයක් දෙඩීම මාගේ සිරිතකි.

දිනක් මා හමුවට යුවළක් දරුවන් දෙදෙනෙකු සමඟ පැමිණියහ. දියණියගේ වයස නවයකි. ඇය මා සමඟ කුලුපඟ වූවා ය. ඇය කථා කෙළේ මටත් නොතේරෙන ජර්මන් භාෂාවය. අප දෙදෙනාට භාෂා ප්‍රශ්නයක් වූ නිසා පියා මගේ උදව්වට පැමිණය අතර දරුවා කැඩුණු ඉංග්‍රිසියෙන් මා හා වචනයක් දෙකක් කථා කළා ය. ඇගේ උත්තර ඉතා කෙටියි. සරලයි.

”ඔයා ලංකාවට ගිහින් තියෙනවාද?”

නැහැ.”

”ඔයා ලංකාවට ආසාද?”

”ඔව්.”

”ඇයි ලංකාවට යන්නේ?”

”සීයා බලන්න.”

”සීයා කොහේද ඉන්නේ?”

”යාපනේ.”

මම තරමක් විමතියට පත් වුණේ ඇය සීයා ගැන දන්නේ කෙසේද යන්න පැහැදිලි නැති නිසායි. මම ඇගේ පියා දෙසට හැරුණෙමි.

”මහත්තයා. මගේ තාත්තා හරි වයසයි. දුවට කථා කරනවා පෝන් එකෙන්. එයාට දැන් සීයා බලන්න ඕන වෙලා.”

”ඇයි මීට කලින් ඔයාලා ලංකාවට ගිහින් නැද්ද?”

“මම විතරක් එක පාරක් ගියා. ඉස්සර යන්න බැහැනේ. මට හිතුණා දරුවෝ එක්ක යන්න. වැඩිහිටි අපට ලංකාවේ සමහර පිරිස් එක්ක ප්‍රශ්න තිබුණු නිසා රටින් ආවා. එත් දරුවන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. අනෙක අපි ලංකාවට ආදරය නැති නිසා පැනලා අවේ නැහැ.”

ඔහු මෙවර කථා කෙළේ තරමක වේදනාවකිනි. ඔහුගේ දෑස් අතර බොහෝ දේ සැඟව ඇති බවක් මට පසක් විය.

”මෙහේ අපිට පාස්පෝට් තිබුණත් අපි පිටගං කාරයෝ වගේ. මේවා අපේ රටවල් නොවේ. අනික කවදාවත් නොදැක්ක රටක් ගැන දරුවන්ගේ හිතේ වෛරයක් ඇති කරන්න ඕන නැහැ. මෙහේ ඉන්න සමහරු එහෙම කරනවා.”

මම වඩාත් හොඳින් ඔහුට ඇහුම්කන් දුනිමි.

”අපේ දරුවන්ට අපේ රට පෙන්වුවේ නැති නම් ඔවුන් අනාගයේදී ලංකාවට විරුද්ධ අය ගේ පැත්ත ගන්නේ කරුණු හරිහැටි නොදැනයි. අපේ දරුවන්ට ලංකාවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔවුන්ට ලංකාව ගැන දැන්න ගන්න අරින්න ඕනේ. එතකොටයි ඒ අය ලංකාවට වෛර නොකර ඉන්නේ.”

ඔහු ඉතා සෙනෙහසින් දියණියගේ හිස අතගා මට ස්තුති කෙළේ කාර්යාලයෙන් එළියට යන්නය. මම ඉත සිතින්ම ඔවුන්ට සුබ පැතුවෙමි. මම දරුවා දෙසට හැරුණෙමි.

”දුව ඔයා මට ලංකාවෙන් ගේන්නේ මොනවාද?” මම ඇසුවෙමි.

”කැවුම් ගෙනත් දෙන්නම්.” ඇය සිනහවෙමින් කියා සිටියා ය.

රංජිත් ගුණරත්න

අදහස්