අතාර්කික විශ්වවිද්‍යාල වසා-දමමු! | සිළුමිණ

අතාර්කික විශ්වවිද්‍යාල වසා-දමමු!

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍වවිද්‍යාලවල ඒ ඒ දෙපාර්තමේන්තුවලින් කියවෙන පොදු කතාවක් පවතී. එනම්: ඒ ඒ විෂයයන් හදාරා ශාස්ත්‍ර ගවේෂණයට යොමු වන විද්‍යාර්ථීන් පිරිස අවම වෙමින් පවතින බවය. විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී තොග වශයෙන් සිසුන් බඳවාගනු ලැබූවද දැනුම නිෂ්පාදනය සඳහා යොමු වන්නට ඔවුහු මැළිකමක් දක්වති. ඊට හේතුව සාතිශය බහුතරය විශ්වවිද්‍යාලයට එන්නේ රැකියාවක් සොයාගැනීම සඳහා සහතික පත්‍රයක් ලබාගැනීමේ අරමුණින් වීමය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු කදිම අදහසක් ප්‍රකාශ කළේය. එනම්: විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන පළමු දවසේදීම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගේ අදහස් විමසා, ඔවුන්ට අවශ්‍ය පන්ති සාමර්ථ්‍යය සහිතව උපාධි සහතිකය පිරිනමා එම කාර්යය අවසන් කළ යුතු බව හා අනතුරුව ඉතුරු වන හතර-පස්දෙනාට ශාස්ත්‍ර ගවේෂණය සඳහා සහාය වී ඔවුන් විද්‍යාර්ථීන් බවට පත් කළ යුතු බවයි. ඒ අන්දමින් කටයුතු කළ හොත් සමාජයට අවශ්‍ය ඥාන ගවේෂණයට සුදුසු කිහිප දෙනකු හෝ බිහි කරගත හැකි බව ඒ ආචාර්යවරයාගේ දැඩි විශ්වාසය විය.

ඥාන ගවේෂණය සදහා විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසු දරුවන් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වඩා අවම වී ඇත්තේ වෙළෙඳපළ අවශ්‍යතාවලට හැඩගැසීමට ඔවුන් පුරුදු වී ඇති නිසායැයි කිව හැකිය. මේ යුගය තුළ සමාජ අභිලාශය වන්නේ විසල් වැටුපක් ලැබෙන රැකියාවක්, සුවිසල් නිවෙසක්, සුඛෝපභෝගි කාරයක් හා රුවැති සහකාරියක හෝ පෞරුෂවත් සහකරුවෙකි. ඒ පෘථග්ජන ආශා තෘප්ත කරගත් පසු වෙනත් අභිලාශයන් පැන නොනඟී. ඊට හේතුව සමාජයේ දිළිඳු බහුතරය නිදහස් අධ්‍යාපනය භාවිත කරන්නේ ඉහළ සමාජ පන්තියට පොළා-පැනීමට අවශ්‍ය මෙවලමක් ලෙස වීමය.

ඉහළ ආර්ථික ශක්තියක් පවතින පවුල්වල දරුවන් අද යොමු වන්නේ විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමටය. මෙරට විශ්වවිද්‍යාලයන්ට ප්‍රවේශ වන්නේ ඉහළ මැද පන්තියේ සුළුතරය හා පහළ මැද පන්තියේ බහුතරයයි; එසේම නිර්ධන පන්තියේ පිරිසයි. මේ කිසිම සමාජ තීරුවක දරුවකුට ශාස්ත්‍ර ගවේෂණය සදහා උසස් අධ්‍යාපනය අවශ්‍ය බවක් දක්නට නොලැබේ. ඔවුන් එක් අයකු නෑර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ රැකියාවක් සොයාගැනීම සඳහා සහතිකයක් ලබාගැනීමටය. එනිසා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ දා සිට සිතන්නේ සහතිකය ගෙන ගෙදර යන අන්දම ගැනය. ස්ව-අධ්‍යයනයේ යෙදීම, පොත-පත කියවීම, පර්යේෂණ සිදු කිරීම, දැනුම නිෂ්පාදනය ඔවුන්ට අරහංය. විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ආචාර්ය මණ්ඩලයට ඇතුළු වූ අයට පවා තම පෞද්ගලික චරිතය ආර්ථික අතින් ශක්තිමත් කරගැනීම හැර වෙනත් අභිලාශයක් නැත. එනිසා ඔවුහු එදිනෙදා වැඩ කටයුතු සිදු කර තම වෘත්තීය පැවැත්ම සහතික කරගැනීම හැරෙන්නට, ශාස්ත්‍ර ගවේෂණයේ හෝ පර්යේෂණයේ හෝ යෙදී දැනුම නිෂ්පාදනය කරන්නට නොපෙලඹෙති.

අද විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන බරපතළම අර්බුදය වන්නේ එයයි. මේ තත්ත්වය ඇති වන්නේ වෙළෙඳ අවශ්‍යතාව මත අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වී ඇති නිසාය. මේ යුගය තුළ එය නොවැළැක්විය හැක්කක් වුවත් දැනුම නිෂ්පාදනය කිසිම සමාජයකට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. ඒ නිසා රැකියාවක් බලාපොරොත්තුවෙන් අධ්‍යාපන ධාරාවට පැමිණෙන්නන්ට කාර්මික ක්ෂේත්‍රයේ උපරිම අධ්‍යාපනයත්, ශාස්ත්‍ර ගවේෂණය සඳහා පැමිණෙන්නන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබා දිය යුතුය. රැකියාවක් සඳහා සුදුසුකම් සොයන්නන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීම අනවශ්‍ය ක්‍රමයකි. ඔවුන්ට ශක්තිමත් කාර්මික අධ්‍යාපනයක් තහවුරු කර දිය යුතුය. එහෙත් ඥාන ගවේෂණය සඳහා පැමිණෙන්නන්ට උපරිම පහසුකම් සලසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිය යුතුය.

අබරන්

Comments