අගමැතිවරයාගේ ක්‍රීඩා සිහිනයට පයින් ගසන්නෝ... | සිළුමිණ

අගමැතිවරයාගේ ක්‍රීඩා සිහිනයට පයින් ගසන්නෝ...

ක්‍රීඩාව වෘත්තිය විෂයයක් කරන බවත්, තවත් දශකයක් දෙකක් ගත වන විට ලාංකේය ක්‍රීඩාව ආසියාව ජයගෙන ජාත්‍යන්තරයට ගෙන ඒමට කටයුතු කරන බවක් අගමැතිවරයා ප්‍රකාශ කළේ ක්‍රීඩාවට අතදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල පිහිටුවීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා ලාංකේය ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට අතහිත නිරන්ත‍රයෙන් ම ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් කැප වෙන අය‍ට රජයක් වශයෙන් සහයෝගය ලබා දෙන බවත්, ක්‍රීඩා සංගම්වල අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීමට කටයුතු කිරීම සහ එමගින් රටට කීර්තියක් අත්පත් කරදීමට හැකි වට පිටාව නිර්මාණය කිරීම බවත් පවසයි. රුපියල් මිලියන පනහකින් ආරම්භ කරන ලද මෙකි අරමුදල ඉදිරියේදී තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවැසිය.

ක්‍රීඩාව පිළිබඳ අරලියගහ මැඳුරෙදි ඒ කළ කතාව ලාංකේය ක්‍රීඩා බලධාරීන්ට සහ නිලධාරින්ට වැටහේවිද? ඔවුන් ඒ පිළිබඳ සතුටු වෙයිද? සුසුම් හෙළයි ද යන්න නොදනිමු. කෙසේ වෙතත් එකී කතාව පමණක් නොව ඊට පෙර ද ක්‍රීඩාව පිළිබඳ අගමැතිවරයා කළ කතා ද ලාංකේය ක්‍රීඩා බලධාරීන්ට සහ නිලධාරින්ට නිරන්තරයෙන්ම ඇසීමට සැලැස්විය යුතු බව නම් නොරහසකි.

පසුගිය වසරේ අගභාගයේ අගමැතිවරයා ලා‍ංකේය ක්‍රීඩාව පිළිබඳ මෙවැනිම කතාවක් කළේ හෙට දිනන්න අද සැරසෙමු වැඩ සටහනට ආරම්භ කරමිනි. එම වැඩ සටහන පවා ක්‍රීඩා බලධාරීන්ට සහ නිලධාරින්ට මතක තිබේ ද යන්න නොදනිමු. කෙසේ වෙතත් යහපාලන රජයේ ප්‍රධානින් ක්‍රීඩාව දියුණු කිරීමට, වර්ධනය කිරීමට, ඉදිරියට ගැනීමට මොන උත්සහයන් ගත්ත ද ක්‍රීඩා බලධාරින්ට සහ නිලධාරින්ට ඒ උත්සහ, උනන්දුව, කැපවීම නොමැති නම් ක්‍රීඩාවට ඉදිරි ගමනක් ‍නොමැති බවට සාධක සෙවීමට ද වැඩිය මහන්සි විය යුතු නොවේ.

ඉන්දුනිසියාවේ ආරම්භ වූ දහඅට වැනි ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම සඳහා නම් කළ ක්‍රීඩිකාවක තේරීමේ තරගවලට පවා එක් නොවී කණ්ඩායමට ඇතුළත් වීම නිසා සුදුසුකම් සම්පුර්ණ කළ ක්‍රීඩිකාවගේ මාපියන්ට අධිකරණයේ පිහිට පතන්නට පවා සිදු විය. මෙහිදි අවසන් තේරිම්වලදි කණ්ඩායමේ දෙවැනි ක්‍රිඩිකාව ඉවත් කර ඒ වෙනුවට පළමු සහ දෙවැනි ක්‍රීඩිකාව සමඟ තරග කර සුදුසුකම් සපුරාගත යුතු ක්‍රීඩිකාවක පස්සා දොරින් ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට ඇතුළත් වීම මේ අර්බුදයට මූලික හේතුව වී තිබේ. එසේ සුදුසුකම් සම්පුර්ණ නොකර කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩිකාවගේ පියා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයකි.

අගමැතිවරයා ලාංකේය ක්‍රීඩාව පිළිබඳ මොන බලාපොරොත්තු තබා ගෙන ඉදිරියට යන්නට වෙර දැරුවද එකි ගමන යන්න සිදුව ඇත්තේ මෙවන් පරිසරයක නම් ලාංකේය ක්‍රීඩාවට දෙයියන්ගේ ම පිහිට පමණි.

පසුගිය කාලයේ පවා ජාත්‍යන්තරයේ මහා ජයග්‍රහණ කිසිවක් හිමි නොවු අතර, එහෙන් මෙහෙන් අත්පත් කර ගත් ජයග්‍රහණ තුළ පවා තිබ‍ුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්සාහ - උනන්දුව කැපවීම් මිස නිලධාරින්ගේ හෝ බලධාරින්ගේ මනා සැලසුම්වල ප්‍රතිඵල නොවේ. පසුගිය කාලයේම සමස්ත ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය බිඳ වැටි සහ පසුබෑමක් ඇති වී තිබෙන තත්වයක් තුළ එකි නරා වළෙන් ගොඩ ඒමට ක්‍රීඩා අමාත්‍යවරයා ද බොහෝ කටයුතු කළ නමුත් ප්‍රතිඵල නම් අවම බව පැවැසිය යුතුය.

ක්‍රීඩක ක්‍රීඩිකා‍වන් නැතුව ගමනක් යා නොහැකිය, සියල්ල සිදුවිය යුත්තේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මුල්තැන දී ඔවුන්ව දිරිමත් කිරීමේ ක්‍රියාවලියක් තුළය. එහෙත් බොහෝ තැන්වල සිදුවන්නේ සිදු වී ඇත්තේ ක්‍රීඩාවේ නාමයෙන් තනතුරුවලට පොරක‍ාගෙන එන්නන් සියලු වරප්‍රසාද පාරම්පරික බූදල් ලෙස භුක්ති විදින භූමිපුත්‍ර බඩගොස්තරවාදීන් පිරිසක් බිහි වීම දක්වා වර්ධනයන් පමණි. 

අදහස්