අකලංක විභාග ඉතිහාසය වෙනස් කරයි | සිළුමිණ

අකලංක විභාග ඉතිහාසය වෙනස් කරයි

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ.

මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේ මස 19 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් නියෝජනය කරන අකලංක පීරිස් එහිදී මීටර් 50 සමනල ආර මූලික වටයේ 23 දා, මීටර් 50 පසුපස ආර මූලික වටයේ 20 දා, මීටර් 200 පසුපස ආර මූලිකවටයේ 23 දා සහ මීටර් 100 සහාය නිදහස් ආර මූලික වටයේ 22 දා යන දිනවල තරග වැදීමට නියමිතය.

ඒ අනුව ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනු ඇත.

මෙම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු ඉන්දුනීසියාවට යාමට නියමිත අතර ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ද සහය ඇතිව ඔවුන් ඉන්දුනීසියාවේදී විභාගය පවත්වනු ඇත.

විභාගයේ රහසිගතභාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි මෙරට වේලාවෙන්ම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මේ සම්බන්ධව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

"මේ සඳහා මම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සහභාගිකරවනවා, රහස්‍ය ලේඛන රැගෙන යාම, පිළිතුරු පත් රැගෙන ඒම ඔවුන් විසින් සිදුකරනවා, විභාගය පවත්වන ශ්‍රී ලංකාවේ වෙලාවටම ඒක එහෙදි පවත්වනවා" විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේය.

කොළඹ ශාන්ත පීතර විදුහලේ ඉගෙනුම ලබන අකලංක පීරිස් සාමාන්‍ය පෙළ විභාගයේ දී A සාමාර්ථ 9 ක් සමගින් සමත් වී වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටී.

"ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දේ තමයි 10 වසරේදී ක්‍රීඩාව අතහරිනවා O/L, A/L කරන්න ඕනේ නිසා, මගේ යාළුවොත් එහෙමයි. මම හිතනවා මේ වගේ මට අවස්ථාවක් දුන්නම මගෙන් පස්සේ මේ වගේ ක්‍රීඩාකරන අයට මේක තෝතැන්නක් වෙයි කියලා" තමන්ට අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන දෙකම ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබීම ගැන අකලංක පීරිස් මාධ්‍යට දැක්වුයේ එවන් අදහසකි.

මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 සමනල ආර පිහිනුම් ඉසව් සඳහා ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කියන්නේ ද අකලංක පීරිස් ය. මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ද අකලංක පීරිස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ශ්‍රී ලංකා සහය පිහිනුම් කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකි.

විභාගය විදේශයක පැවැත්වීමට අවසර ලබාදීම දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම අධ්‍යාපනයේ දක්ෂයන් ද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හඳුන්වා දෙන ලදී. 

Comments