දරුසෙනේ අරුමය මහමෙරක් වග කී බණ්ඩාර අම්මා | සිළුමිණ

දරුසෙනේ අරුමය මහමෙරක් වග කී බණ්ඩාර අම්මා

වයස අවුරුදු 87යි
දෙෙනත් අඳ දරුෙවා රකින... තවමත් දළු කඩන...

බදුල්ල බෝය­ගොඩ පාලමේ ජලයට ගීත­යක් ගයනු හැකි නම් ඔවුන්ගේ දුක්ඛිත කතාව ගීයක් වී ගැයෙනු ඇත. එය උප­තින්ම දෑස් අඳ දියණියන් දෙදෙ­නකු ජීවත් කර­ව­න්නට වැර වීරිය දරන අසූ හත් වියැති අම්මා කෙන­කුගේ ‍ශෝක ගීතය වනු ඇත. මේ, ඒ බණ්ඩාර මැණි­කාගේ කතා­වයි.

බෝගොඩ පාලමේ සිට පතනෙ කඩේ කඳු සහිත ගම් පෙදෙස දෙස බැලූ විට අපට පෙනුණේ මන­රම් තේ වතු යායකි.

කඳු­ව­ලින් බැස යන පරිදි එක පෙළට මනාව ලියැදි ලෙසින් වෙන්කළ ඒ තේ වතු යාය බැලී­මට අප ඒ තේ වත්ත කරා පිය මැන්නෙමු. පතන කඩේ තේ වත්තේ ලැබෙනා සිසි­ලස ගිනි මද්ද­හනේ වුවත් අපට දැනුණේ විඩාව ද සංසි­ඳු­ව­මිනි.

කඩි රැලක් මෙන් තේ දලු නෙළනා පිරි­සකි. ඔවු­න්ගෙන් දුරස්ව වයෝ­වෘද්ධ කාන්තා­වක් තේ වත්තේ පඳුරු අතර වහං වෙමින් ගමන් කරයි. අපි ඇය හමු වන්නට අද­හස් කෙළේ තේ වත්ත ගැනත් ගම් පියස ගැනත් තොර­තුරු විමසා බල­න්න­ටය. ඇය පඳුරු අතර වහං වෙවී කවු­රුන් හෝ සොය­න්නේද යන්න අපට මතු වූ ගැට­ලු­වකි.

‘කාවද හොයන්නෙ?’

‘කාවත් හොයන්නෙ නෑ මහ­ත්තයො , මම දලු කඩ­නවා...’

මම අන්දුන් කුන්දුන් වීමි. උඩ­රට මෙන්ම දකුණේ තේ වතු­වල ද බොහෝ තැන්වල මම ඇවිද ඇතත් මේ ලෙසින් දලු නෙළනා වයෝ­වෘද්ධ තැනැ­ත්ති­යක මම නොදු­ටු­වෙමි.

‘ඇයි මේ දලු කඩන්නේ? සල­කන්න කෙනෙක් නැද්ද?’

විඩා­බර වතින් යුතුව අප දෙස බැලූ ඇයගේ මුහුණ කියා පෑවේ අප සමඟ කතා කිරීම පවා ඇගේ රාජ­කා­රි­යට බාධා­වක් බවකි.

‘වැඩේ කරල එන්න. අපි පුළු­වන් වෙලා­වක කතා කරමු’ අපි නික්මුණේ දිවා ආහා­ර­යට ඇය පැමි­ණෙනු ඇතැයි සිත­මිනි. පැයක් දෙකක් පමණ තේ වත්තේ බොහෝ දුරක් දලු කඩා ගිය ඇය දැඩි වෙහෙ­ස­කින් යුක්තව අප වෙත ආවාය.

‘කමක් නෑ වැඩේ ඉවර වෙලාම එන්න’

‘ඔයිට වඩා වැඩ කරන්න බැහැ මහ­ත්තයො, මට හතිය’

අපි ඇය සමඟ කතා­වට වැටුණේ එයින් පසුව ය. ඇය නමින් බණ්ඩාර මැණි­කාය. ඇගේ වයස අවු­රුදු 87කි. සැමියා ද මිය ගොසිනි. ඇයට දිය­ණි­යන් තිදෙ­නෙකි. මේ දැරි­යන් තිදෙ­නා­ටම පොදුවූ කරු­ම­යක් විය. ඒ ඔවුන් තිදෙ­නාම දෑස් නොපෙ­නී­මයි. ඇස් නොපෙ­නෙන මේ දිය­ණි­යන් තිදෙනා තම දෑස් මෙන් බලා ගත්ත ද, එයින් වැඩි­ම­හල් දිය­ණිය කල­කට පෙර මිය ගියාය. ඒ දුක් දොම්න­සත් සිත්හි රඳ­වා­ගෙන බණ්ඩාර මැණිකා අද ඇවිද ගන්න­ට­වත් නොහැ­කිව මේ දෛනික වැටු­ප­කට තේ දලු නෙළන්නේ ඒ දිය­ණි­ව­රුන් ජීවත් කර­ව­න්න­ටය.

අපි ඇයත් සමඟ ඇගේ පැල්පත වෙත ගමන් කෙළෙමු. ඇයගේ කතා­වට අපි සවන් යොමු කෙළේ එයින් පසු­වය.

‘මගේ දරුවො තුන්දෙ­නාම උත්ප­ත්ති­යෙන්ම අන්ධයි. ලොකු දුව­ටයි, දෙවැනි දුව­ටයි කිසිම දව­සක අධ්‍යා­ප­න­යක් හදා­රන්න ලැබුණෙ නෑ. මට බාල දුව බේබි ලැබිල මාස 4ක් යන­කොට දරු­වන්ගෙ තාත්තා මැරුණා. මැරුණා නෙමෙයි මරා ගත්තා.

එයා රස්සා­වට කෙළේ කුලී වැඩ. හරිම අහිං­ස­කයි. කාට­වත් වර­දක් හිරි­හැ­ර­යක් කරපු කෙනෙක් නෙමෙයි. වර­දක් හැටි­යට කිය­න­ව­නම් කළේ, හව­සට රා ටිකක් බොන එක විත­රයි. එයා බොන රා පොල් කට්ටට වහ දාල දීල මැරුණ කියල තමයි මරණ පරී­ක්ෂ­ණ­යේදි කිව්වෙ. අපිට ඒ නඩු දුර දිග ගෙනි­යන්න විදි­හක් තිබුණෙ නෑ. පොලි­සි­යෙන් නඩුව අර­ගෙන ගියා මොනව වුණාද දන්නෙ නෑ. මාස 4ක ඇස් නොපෙ­නෙන අත දරු­වත් අනෙක් දරුවො දෙන්නත් ජීවත් කර­වන එකයි මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ.

ඒක නිසා මම වත්තෙ වැඩට ගියා. ඒ දව­ස්වල නම් මම පැය 10ක් විතර වැඩ කළා. ඒත් දැන් මට ඒ වගේ වැඩ කරන්න ශක්ති­යක් නැහැ. මගේ ඇසුත් දැන් හරි­යට පේන්නෙ නැහැ. ඒ විත­රක් නෙමෙයි මගේ කන් ඇහෙ­න්නෙත් නැහැ. මට දලු කඩන්න ශක්ති­ය­කුත් නැහැ. ඒත් දව­සෙන් බාග­ය­ක්වත් පුළු­වන් විදි­හට දලු කඩන්න යනවා. සති­ය­කට දවස් දෙක­කට වඩා මට දලු කඩන්න විදි­හක් නැහැ. දව­ස­කට රුපි­යල් 250යි ලැබෙන්නෙ. ඒ සල්ලි­ව­ලින් තමයි මමයි දුවල තුන්දෙ­නයි ජීවත් වෙන්නෙ.’ දෑසින් කඳුළු කඩා නොවැ­ටුණ ද ඇය සිතින් හඬනා බව මා හට පසක් විය. ඇගේ සිත අතී­ත­යට ගිය බව මා හට පෙනුණේ ඇය මඳ වේලා­වක් කල්පනා කර­න්නට වූ හෙයිනි. වැඩි­මල් දිය­ණි­ය­ගෙන් වතුර කෝප්ප­යක් ඉල්ලා ගත් ඇය එය පානය කෙළේද දැඩි අප­හ­සු­ව­කිනි. වතුර ටික පානය කළ පසු ඇය මඳක් හති අරි­න්නට විය.

‘ගිය ආත්මෙ කරපු මොකක්දෝ පාප­ය­කට මේ දරු­වන්ගෙ ඇස් අන්ධ වෙලා. මම දලු කඩන්න යන්නෙ වෙන කර­න්නම දෙයක් නැති නිසයි. මටත් දැන් වාත අමා­රුව වගේ එක එක ලෙඩ තියෙ­නවා. ඒත් දරු­වන්ගෙ බඩ ගින්න ලොකු­යිනෙ ඒ සේර­ටම වඩා. සම­හර දව­ස්ව­ලට මට ඇහැ­රෙන්නෙ උදේ 7ත් පහු­වෙලා. ඒ වගේ දව­ස්ව­ලට දලු කඩන්න පරක්කු වෙන නිසා මම කෑම උය­න්නෙත් නැති­වයි යන්නෙ. ලොකු දුව තමයි කෑම උයන්නෙ’

‘ඇස් නොපෙ­නෙන කෙනා කොහො­මද කෑම උයන්නේ’

‘ඒ දරු­ව­න්ටත් දැන් මේ දුක හොඳට හුරුයි. දෙවැනි දුව තනි­යම පොල් ගානව, මිරිස් අඹ­රල කෑම උය­නවා. හිතේ මායි­මට තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. ඒත් මට බයයි. මේ දරුවො දෙන්න ගැන. අක්කට වෙච්ච දේ මේ දරු­ව­න්ටත් වෙයිද කියල.’

‘ඇයි ලොකු දුවට මොකද වුණේ?’

“එයා නැති­වුණේ ළිප ගිනි මොළ­වන්න දර කෝටු හොයන්න ගිහින්. වැර­දිලා සර්ප­යෙක් අතින් අල්ලලා, සර්පයා ගහල. එයා මැරෙන කොට වයස අවු­රුදු 56යි. මේ පැත්තෙ වැස්ස කාලෙ­ටත් සම­හර විට සර්පයො ඉන්නවා, සම­හර ඉඩෝර කාලෙ­ටත් සර්පයො හැම තැනම.

ලොකු දුව පුදුම දුකක් වින්ද මේ නංගිල දෙන්න හින්ද මම වත්තෙ වැඩට යන­කොට බාල දුවට වයස අවු­රුදු දෙක­ක්වත් නැහැ. එදා ඉදල නංගිල දෙන්නව බලා ගත්තෙ අවු­රුදු 16ක් 17ක් විතර වුණු ලොකු දුව තමයි.” ඇයගේ නෙතට කඳු­ළක් උනනු අපි දුටු­වෙමු. ඒ වැඩි­ම­හල් දිය­ණිය වන ජය­වතී සිහි වීමෙනි.

බණ්ඩාර මැණි­කේගේ දෙවැනි දුව ආර්.එම් පද්මා­ව­තීගේ දැන් වයස අවු­රුදු 46 කි. අම්මා ගෙදර නොමැති විට ගෙදර සියලු වැඩ කට­යුතු කරන්නේ ඇයයි.

‘උපන්දා ඉඳන්ම අන්ධ අපට කතා කරන්න විත­රයි පුළු­වන්. ලෝකෙ මුකුත්ම අපට පේන්නේ නැහැ. තාත්ත ඉන්න කාලෙ අපිව හොඳට බලා ගත්ත. ඒත් තරහ කාරයො තාත්තට වහ දීල මරා ගත්තට පස්සෙ අම්ම විඳින දුක අපිට උහු­ලන්න බැහැ. ඒත් අපි මොන­වද කරන්නෙ? අම්ම මොන වගේ කෙනෙක්ද කියල නොපෙ­නු­ණත් අම්මගේ මුහුණ රැලි වැටිල කියල අපට හොඳ­ටම තේරෙ­නව. අම්මට සම­හර වෙලා­වට කතා කර­න්නත් අමා­රුයි. අම්ම ගෙද­රින් කලින් ගිය දව­සට මම තමයි උයන වැඩ සේරම කරන්නෙ. දර ළිපේ උයන්න ගින්දර පත්තු කරන එකත් මට හුරු­වෙලා. ඒකට දර හොයා ගන්න එක තමයි ප්‍රශ්නෙ. අක්ක නැති වුණේ දර අහු­ලන්න ගිහින් සර්ප­යෙක් දෂ්ට කරල කියල අම්ම කිය­නවා. සර්පය කියන්නෙ මොකෙක්ද කියල මට තේරුම් ගන්න බැහැ. මොනව වුණත් නර­කක් නපු­රක් වෙන දෙයක් කියල නම් තේරෙ­නවා. ඒ වගේම ගින්ද­රට පිච්චෙන බව මම දන්නේ දෙතුන් පාරක්ම අත පිච්චුණු නිසයි. ඒත් කරන්න වෙන දෙයක් නැහැ. අපි බඩ ගින්නෙ හිටි­යත් අම්ම ගෙදර එන වෙලා­වට අම්මට දවල් කෑම ටික හදල නොති­බ්බොත් අම්ම මහන්සි නොබලා උය­නවා. අම්ම උය­න­කොට හති අරින සද්දෙ කාමරේ හිටි­යත් අපට හොඳට ඇහෙ­නවා.

අම්ම එක්ක එක ගෙදර ඉන්නවා කියල, මවගෙන් යැපෙන්නෙ කියල අපට ආබා­ධිත දීම­නා­ව­ක්වත් ලැබෙන්නෙ නැහැ. අම්ම ගන්න සොච්චම් පඩි­යෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. ඇස් පේන්නේ නැති අය ලොත­රැයි විකු­ණ­නව කියල අපිට ආරං­චියි. ලොත­රැයි විකු­ණල සල්ලි ටිකක් ලබා ගන්න පුළු­වන් නම් ඒකත් ලොකු දෙයක්. ඒත් අපි කාටද ලොත­රැයි විකු­ණන්නෙ. කොහො­මද ඒ වගේ දෙයක් කරන්නෙ. පුළු­වන් කාල­යක් මේ විදි­හට අම්මට පිහිට වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

බාල දිය­ණිය වන බේබි හාමි­නේගේ වසස දැන් අවු­රුදු 40කි. ඇයට මුල් කාල­යේදී නිවෙ­ස­ටම පැමිණ බ්‍රේල් ක්‍රම­යට පාඩම් කියා දෙන්නට අධ්‍යා­පන බල­ධා­රීන් කට­යුතු කළද එය ක්‍රම­යෙන් නැත්ත­ටම නැති වී ගොසිනි. එයද මේ දිය­ණි­ව­රුන් පෙර කරන ලද කරු­ම­යක් වන්නට ඇතැයි සිතේ.

මැදි­වියේ සිටිනා මේ අන්ධ කාන්තාවන් දෙදෙනා ඇස් නොපෙ­නු­ණද අර­පි­රි­මැස්ම ගැන හොඳට දනිති. නිවෙ­සට වතුර ලැබෙන්නේ දින දෙක­කට වරක් පමණි. ඒ කෙසේ වුවත් ඔවුන් දෙදෙනා දිය නෑම පිණිස යන්නේ නිවෙ­සින් අඩි ගණ­නා­වක් පඩි බැස පල්ලම් සහිත මාර්ග­යක පිහිටි ළිඳ­ක­ටය. කිසිදු සැර­ය­ටි­යක් හෝ නොමැ­තිව සිතේ ඉවෙන් සිතේ මායි­මෙන් ඔවුහු ඒ ළිඳ කරා ගමන් ගනිති. ඒ අනා­ර­ක්ෂිත ගමන දෙස අප බලා සිටියේ ලොමු ඩැහැ ගන්ව­මිනි. අතුරේ යන­වා­ටත් වඩා ඉතාම භයා­නක ඒ ගමන නිසා කුමන මොහො­තක හෝ මේ දෙදෙ­නාගේ ජීවි­ත­යට පවා හානි­යක් වන්නට පුළු­වන.

මෙත­රම් දුක් ගැහැට විඳින මේ පවු­ලට සමෘද්ධි සහා­නා­ධාර ලෙසින් රුපි­යල් 2000ක් හා මවට වැඩි­හිටි දීම­නාව වශ­යෙන් රුපි­යල් 2000ක් පම­ණක් හිමි වෙයි. ඒ හැරෙ­න්නට මේ අන්ධ කාන්තාවන් දෙදෙ­නකු සිටින පවු­ලට වෙනත් කිසිදු හෝ ආධා­ර­යක් හෝ ලැබෙන්නේ නැත.

හාලි ඇළ සිට කැට­ව­ලට ගොස් එතැ­නින් සිට පත­න­කඩේ දක්වා ගිය විට මේ අන්ධ කාන්තාවන් දෙදෙනා සහ ඔවුන්ගේ මව සිටිනා කුඩා නිවෙස වෙත ළඟා විය හැකිය.

තමන් ගේ හුස්ම පොද කොයි මොහො­තක හෝ සැඟව යනු ඇති බව බණ්ඩාර මැණිකා අපි සමග කිව්වේ දිය­ණි­ව­රුන්ට නොඇ­සෙන සේය. තමන් මියැ­දුණු දා තම දියණියන්ට කුමක් වේදැයි ඇය වැල­පෙයි. ඇයගේ දුක කිය­න්නට කෙනෙක් නැත. අස­න්නටද කෙනෙක්ද නැත.

අහල පහළ ගම්වා­සීන් විසින් යම් යම් හදිසි අව­ස්ථා­ව­ලදී මේ දෙදෙනා දෙස අව­ධා­නය යොමු කළද, ඒ අව­ධා­නය කොත­රම් කලක් තිබේ­දැයි කිව නොහැ­කිය.

බණ්ඩාර මැණි­කාගේ සිහින ලෝකය සුනු විසු­නුව ඇත්තේ බොහෝ කාල­ය­කට පෙරය. ඇය සිතන්නේ අද ගැන පම­ණකි. ඇය හෙට දවස ගැන සිතන්නේ තම දිය­ණි­යන් දෙදෙනා වෙනු­වෙන් පමණි. ඇය දින­කට රුපි­යල් 250ක ආදා­ය­මක් සොය­මින් තේ දලු කඩ­න්නී­ය. එහි යෑමට හැකි වන්නේද සති­ය­කට දින 2ක් හෝ සම­හර විට 3ක් පමණි. එවිට ඇගේ සති­යක ආදා­යම රුපි­යල් 500ක් පමණ වේ. මාස­ය­කට වැඩිම වුව­හොත් රුපි­යල් 2500ක් පමණ වනු ඇත. සමෘද්ධි සහා­නා­ධාර රුපි­යල් 2000ක් හා වැඩි­හිටි දීම­නාව රුපි­යල් 2000ක් සම­ඟින් මේ පවුලේ මාසික ආදා­යම උප­රිම වශ­යෙන් රුපි­යල් 6500කි. ලෙඩක් දුකක් සෑදුණු විට මෙන්ම ඇඳු­මක් පැල­ඳු­මක් ගැන්මට පවා මේ අයට වත්ක­මක් නැත.

ක්‍රෑර සමා­ජ­යක් විසින් මේ දිය­ණි­ව­රුන් මේලෙස අපා දුක­කට ඇද දමා ඇත්තේ ඔවුන්ගේ ආද­ර­ණීය පියා­ණන් ගේ දිවි තොර කර­මිනි.

‘මට මොනව වුණත් කමක් නෑ මහ­ත්තයො. මට දුක මං නැති කාලෙට මේ දරු­වන්ට වෙන දේ ගැන හිත­ලයි. මම දන්නෙ නැහැ මගේ මර­ණය අදද හෙටද කියන එක ගැන. ඒත් මාත් එක්කම මේ දරු­වන්ට මැරෙන්න දෙන්න බෑ. ඒත් මට කරන්න දේකුත් නෑ.’ ඇය අප සමඟ අව­සන් වරට පැව­සුවේ එවැනි වදන් පෙළකි.

අපේ රටේ සමාජ සේවා ආය­තන වැසි වැස ඇති නමුත් මෙවන් දුක් ගැහැට විඳින අය ගැන ඒ සේවා­වන්ගේ පවා ඇස් යොමු වී නැති බව පෙනේ. සියල්ල ඇදී යන්නේ ඇති තැන­ටම විනා, බණ්ඩාර මැණිකේ වැනි පිහිට විය යුතුම අයට නොවන බව අපට පෙනී ගියේය. මෙවන් විප­තට පත් වූවන් වෙනු­වෙන්ම සමාජ සේවා අමා­ත්‍යාං­ශ­යක් ඇතත්, ඒ හරහා වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ල­යක් මෙන්ම විශේෂ අව­ශ්‍යතා ඇති අය උදෙසා කාර්යාල ඇතත් ඒවායේ ටයි­පටි දමා­ගත් මහ­ත්ව­රුන්ට මෙන්ම සීතල කාම­ර­වල දව­සම ගත කරන නෝනා මහ­ත්ව­රුන්ට මේ අයගේ දුක නොපෙ­නීම කාගේ අවා­ස­නා­වක්ද යන්න නොද­නිමු.

සේයාරූ - විමල් කරු­ණා­ති­ලක

Comments