මං ලෝකයක් දිනුවෙ තේ දල්ලෙන් | සිළුමිණ

මං ලෝකයක් දිනුවෙ තේ දල්ලෙන්

මෙරිල් ජේ. ෆර්නැන්ඩු සභාපති - Dilmah

මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල තියාගෙන ගොඩ ගැහුවට දවසක ඒවා දාලා යන්නෙ. ඒ මුදලින් සියයට එකක්, දුප්පතුන්ගේ ජීවිත නඟා හිටුවන්න වැය කළාට පොහොසතා වැටෙන්නෙ නැහැ. 

සීත කඳුකරයේ වැඩෙන තේ දලුවකට ජාත්‍යන්තර වටිනාකමක් එක් කළ, පුරෝගාමියා ඔහුය. වැඩිමනත් ඉංග්‍රීසි සමාජය හා ගනුදෙනු කරන, මෙරට ව්‍යාපාර නායක ලැයිස්තුවේ ඉහළින් ම සිටින මෙරිල් ‍ජෝසෆ් ෆර්නැන්ඩු හෙවත් ඩිල්මා නිර්මාතෘ, ජාතික පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ පුරාවෘත්තයක් ඔබ...

හුඟ දෙනෙක් මට එහෙම කියනවා. කවුරු හරි මාව ලෙජන්ඩ් එකක් ලෙස දකිනවා නම් දකින්න ඕනෙ, ම‍ගේ ව්‍යාපාර දර්ශනය නිසයි. ඒ දර්ශනය ව්‍යාපාරිකයා වෙච්චි මං විතරක් හැදෙන එකක් නෙවෙයි. මං ජීවත්වන මේ මිනිස් සමාජයේ දුප්පතුන් හා බැඳුණු විසල් දර්ශනයක්.

මොකක්ද Dilmah අර්ථය....

ඩිල්හාන් සහ මලික් මගේ පුතාලා දෙන්නගෙ නම්වල එකතුවක්. අද මුළු ලෝකයම ‘ඩිල්මා’ කිව්වම, සිලෝන් ටී කියලා දන්නවා. කර්මාන්තයට ඇවිත් අවුරුදු 35 කට පස්සෙයි මං බ්‍රෑන්ඩ් එකක් හැදුවේ. ඒ කියන්නෙ මට වයස 58 දි. පුංචි කාලෙ ඉඳලා මං පුතාලා දෙන්නට තේ ගැන හැඟීමක් ඇති කළා. ඒ නිසා දෙන්න ම ව්‍යාපාරයට ආවේ හොඳ පදනමක් ඇතිව. ව්‍යාපාරය තුළ මං හැදූ වටිනාකම් ඒ දෙන්නත් ඒ දෙන්නගෙ දරුවොත් ඉදිරියට අරන් යාවි. මට ඒ ගැන බයක් නැහැ.

අපේ රටේ තේ කර්මාන්තය අද කොහොම තැනකද තිබෙන්නේ...

භයානක තත්වයක. මොකද කර්මාන්තය රැඳිලා තියෙන්නෙ වෙළෙන්දොා් අතේ. පුළුවන් තරම් ලාබෙට තේ ගන්නවා. පුළුවන් තරම් ලාභ තියාගෙන විකුණනවා. සල්ලි තමයි මුල්තැන. එහෙම තත්වයක් යටතේ ‍ෙද්ශීය කර්මාන්තකරුවන්ට මේ කර්මාන්තය කරගෙන යන්න අමාරුයි.

ඔබ මේ රටේ තේ කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨයා. ඔබට පුළුවන් ඒ වෙනුවෙන් කතා කරන්න...

ආණ්ඩුව අපි කියන දේ අහනවා නම්, මොනවද කරන්න බැරි. අපේ ජ්‍යෙෂ්ඨකම්, අත්දැකීම්, යෝජනා ඔවුන්ට වටිනවා නම් අපි ඕන වෙලාවක දෙන්න ලෑස්තියි. කෝ, ගන්න කෙනෙක්.

මොකක්ද ඔබ ඔය ක්‍රියාත්මක කරන ‘school of tea….’ සංකල්පය...

තේ ගැන දැන ගන්න ඉගෙන ගන්න කැමැති ඕන කෙනකුට මං තේවල ගුණය - වටිනාකම කියලා දෙනවා. අවුරුද්දට දෙතුන් වතාවක් ලංකාවෙත්, පිටරටත් මේ වැඩමුළුව මම කරනවා. තේ ගහ වැවෙන තැන ඉඳලා තේ බිඳුවක රහ බලන තැන දක්වා සියලු අත්දැකීම්, දැනුම ම ඔවුන් හා බෙදා ගන්නවා. මොකද මම තේ ගොවියෙක්.

ඔබ කොහොමද ගොවියෙක් වෙන්නෙ, ඔබට තිබෙන්නෙ තේ හා බැඳුණු ව්‍යාපාර සමූහයක්...

තේ පැළ හිටවනවා නම්, තේ වතු හෙක්ටයාර ගණන් ආදරයෙන් රැක බලා ගන්නවා නම් ඒවායේ ගැවසෙනවා නම්, ඒ මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවනවා නම්, කර්මාන්තයක් හදලා රටට රස්සා උත්පාදනය කරනවා නම් මං ගොවියකුට වැඩිය දේවල් කරනවා.

ඔබ මොන දේ කළත් ඩිල්මා තේ බොන්න මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බැහැ...

විදේශ විනිමය ලබන්න නම් හොඳ ම තේ පිටරටට දෙන්න ඕනේ. කොලිටි බඩු ගණන් තමයි. පිටරටින් අපි එහෙම උපයන නිසා තමයි මේ රටේ දුප්පතුන් නඟාසිටුවන හිතට දැනෙන චැරිටි වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනාථ - ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනයේ ඉඳලා සුළු ව්‍යවසායකයන් බිහි කිරීම දක්වා, හැම අවුරුද්දක ම මිනිස්සු ලක්ෂයකගෙ ජීවිත වෙනස් කරන්න පුළුවන් වී තිබෙන්නේ. මගේ වතුවල දලු නෙළන අයගෙ දරුවො ඉන්නවා වෛද්‍යවරු වෙච්චි. මගේ ෆවුන්ඩේෂන් එකේ ශිෂ්‍යත්වලින් වතුකරයෙන් බිහි කරපු උගතුන් ඕනෙ තරම්. මේවා මට විතරක් නෙවෙයි, තව ඕනෙ තරම් අයට කරන්න පුළුවන් ‍ෙද්.

ව්‍යාපාරිකයො ඇයි එහෙම කරන්නේ. ඔවුන් උපයන්නෙත් මහන්සිවෙලා නේ...

කවුරුත් කතා නොකළාට මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල තියාගෙන ගොඩ ගැහුවට දවසක ඒවා දාලා යන්නෙ. ඒ නිසා ඒ මුදලින් සියයට එකක්, නැතිනම් බාගයක්, දුප්පතුන්ගේ ජීවිත නඟා හිටුවන්න වැය කළාට පොහොසතා වැටෙන්නෙ නැහැ. දුන්නා වගේ හත් ගුණයක් ඔවුන්ට දෙවියො දෙනවා. ඒක මගේ අත්දැකීම.

ඔබ සේවකයන්ට හොඳින් සලකනවද...

1962 මං තනිය ම තේ බිස්නස් එක පටන් ගන්නකොට සේවකයො හිටියෙ දහ අට දෙනෙක් විතර. ඒ කාලෙ මං රෑ දහය විතර වෙනකල් වැඩ කළා. එහෙම වෙලාවට හුඟක් සේවකයො මං යනකල් ගෙදර ගියේ නැහැ. OT ගත්තෙත් නැහැ. වැඩිපුර සල්ලි එනකොට මං ඒ අයගෙ දරුවො වෙනුවෙන් අධ්‍යාපනයට උදව් කරන්න හිතුවා. අද ඒ ක්‍රියාව විශාල ගහක් වගේ ව්‍යාප්ත වෙලා. මොරටුවෙ මං ගත්තු අක්කර දොළහක ‘වෙලෝනා’ ඉඩම අද නැති බැරි පවුල්වල දරුවො සහ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් වෙනුවෙන් වෙන් කරපු අධ්‍යාපන මධ්‍යස්ථානයක්. රට පුරා දරුවො දාහකට වඩා ප්‍රමාණ්‍යක් මේ තැන්වලින් ජීවිත එළිය කර ගන්නවා.

ව්‍යාපාරික ඥානය ඔබට පවුල් උරුමයක් ද...

මීගමුව කොච්චිකඩේ, පල්ලන්සේන ගමේ ජීවත්වුණු මධ්‍යම පාන්තික කතෝලික පවුලක දරුවෙක් මං. අයියලා දෙන්නෙක් සහ අක්කලා තුන්දෙනකුට පස්සෙ මං. පවුලෙ බාලයා. හයවැනියා. 1930, මං ඉපදුණේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ. ඉංග්‍රීසි අධ්‍යාපනය විතරයි අපි වගේ පවුල්වලට ශක්තිය වුණේ.

පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් ද...

පොඩි ම කාලෙ ගියේ මීගමුව මාරිස්ටෙලාවට. ඊළඟට මරදාන සෙන්ට් ජෝසප්ස් කොලේජ්. එරිත්මැටික් - ඇල්ජිබ්‍රා - ජියෝමැට්‍රි... මට පෙන්වන්න බැහැ. හැමදාම ලකුණු අඩුයි. ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව, ඉතිහාසය මං කැමැති ම විෂයන්. කොහොම ලකුණු ගත්තත්, දෙවැනියා තුන්වැනියාගෙන් පහළට නම් ගියේ නැහැ.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...

ඉස්සර ගමේ උදවිය හුඟ දෙනෙක් අපේ ගේ ඉස්සරහින් ගියේ ඒ ගෙවල්වල හැදුණු ගඩා ගෙඩියක් හරි අපේ අම්මට දී ගෙන. අම්මා ඒ අයගෙ ළමයින්ට, තාත්තා මට ගෙනැත් දෙන ටොෆි - චොක්ලට්වලින් බාගයක් ම දුන්නා. මං ඒකට විරුද්ධ වුණා. ‘පවු පුතා! ඒ ළමයි මේවා දැකලවත් නැතුව ඇති. ටිකක් දෙමු...’ අම්මා කිව්වෙ එච්චරයි. ඒ තමයි, අම්මගෙන් ඉගෙන ගත්තු බෙදා හදා ගැනීම.

එතකොට තාත්තාගෙන්...

ඩිසිප්ලින්. හැම ඉරිද ම පාන්දර හතරහමාරට නැඟිටලා පහ වෙද්දි පල්ලියට ගියා. මුළු දවසෙම අපි නිකන් ඉන්නෙ, මේ හැටි පාන්දර නැගිට්ටවාගෙන පල්ලි යන්න කියන්නෙ ඇයි...?’ දවසක් මං අම්මගෙන් ඇහුවා. ‘ඒක තමයි සිරිත. සතිය පටන් ගන්න පළමු දවස දෙවියන් වෙනුවෙන්. මේ යුතුකම කළ යුතුයි...’. ඒ තමයි, තාත්තාගේ උත්තරේ. විනය කියන දේ අපේ ජීවිතවලට කා වැද්දුවේ තාත්තා.

තේ සහ ඔබේ බැඳීම ඇරැඹෙන්නේ කොතැනින්ද...

ආර් තොණ්ඩමන්, එයාගෙ ඥාති සහෝදරයා මාධවන් මගේ ඉස්කෝලෙ යාළුවෝ. එක නිවාඩුවකට මං ඒ ගොල්ලො එක්ක පූඩළුඔය එයාලගෙ තේ වත්තට ගියා. පළමු වතාවට මං තේ ගැන හිතන්නෙ ඒ ගමනින්. ඊළඟට හැම නිවාඩුවක ම වගේ යන්න පුරුදු වුණා. ඒත් ඒක ඔහේ ගිය ගමනක් නොවන බව පොඩි වුණාට මට තේරුණා.

ඒ කිව්වෙ...

මං මොනවදෝ හෙව්වා. මට මොනවදෝ දැනුණා. දුෂ්කර ජීවිතයක් වුණත් වතුවල ගැහැනු දලු කැඩුවෙ හිනා වෙවි. එතැන සතුට තිබුණා. ඒ සීතල පරිසරයේ තේ ගස් අතර ඇවිදිනකොට අපේ රටේ මේ තරම් ලස්සන - ප්‍රයෝජනවත් වගාවක් කරන්න පුළුවන් වීම ගැන සතුටක් දැනුණා. ෆැක්ටරි ළඟින් යනකොට නහයට දැනෙන තේ කොළ සුවඳ ආසාවෙන් විඳගත්තා. මේ හැම දේම එකතු වෙලා අවුරුදු දාහතරක ළමයෙක් වෙච්ච මට, තේ ගැන ලොකු ළැදියාවක් දැනෙන්න ගත්තා. ‘තේ... මගෙත් දෙයක්.’ මං හිතන්න ගත්තා.

ඉතින්, ඒ සිතිවිල්ල වෙනුවෙන් ඔබ මොනවද කළේ...

‘ටී - ටේස්ටර්’ කෙනෙක් වෙන්න හිතාගෙන සුද්දො පාලනය කරපු ඩාර්ලි බට්ලර් සමාගමට බැඳුණා. රට අපේ වුණාට ඒ කාලෙ සිංහල අයව සුද්දගෙ සමාගම්වලට බඳවා ගත්තෙ නැහැ. ගත්තත් ගත්තෙ කොළඹ හතේ ලොකු පවුල්වල තරුණයන්ව. කොච්චිකඩෙන් ආපු මාව ඒ කාලෙ මට ම දැනුණෙ ගොඩේ මනුස්සයෙක් ගාණට. ඒ තරමට ඒ සමාජය වෙනස්. හැබැයි මාත් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබලා තිබුණු නිසා, ඉංග්‍රීසිකාරයෙක් ගාණට ම ඉංග්‍රීසි කතා කළා. අවුරුදු දෙකක් මම ටී ටේස්ටින් ඉගෙන ගත්තා.

එත‍කොට ඔබේ පළමු රස්සාව ටී - ටේස්ටර්....

නැහැ. ඒ සමාගමේ දුන්නෙ පුහුණුව විතරයි. රස්සාව අපි හොයා ගන්න ඕනේ. හුඟක් කොම්පැනිවලට ඉල්ලුම් කළා. කවුරුවත් ගත්තෙ නැහැ. වයස 22 යි මට තවත් බලා ඉන්න බැහැ. මගේ මාමා, මොබිල් ඔයිල් සමාගමේ රස්සාවක් හොයලා දුන්නා. මට යන්න තිබුණෙ රට වටේ ම පෙට්‍රල් ෂෙඩ්වලට. අවුරුදු දෙකක් ම ඒකත් කළා. ඉන්න ගමන් ඇප්ලිකේෂන් දැම්මා. ඉංග්‍රීසි ජාතික පවුලකට අයිති, AF ජෝන්ස් තේ සමාගමේ රස්සාව ලැබුණෙ ඉන් පස්සෙ.

ඒ කියන්නෙ, ඔබේ ජීවිතයේ Turning point එක උදාවුණා...

ඔව්. දැන් මං ඉන්නෙ මගේ ට්‍රැක් එකේ. AF ජෝන්ස් සමාගම මාව එයාලගෙ එංගලන්තෙ ජෝසෆ් ට්‍රැවර්ස් ඇන්ඩ් සන්ස් කියන හවුල්කාර සමාගමේ පුහුණුවකට යැව්වා. ඒක, පවුම් 92 ක් නැව් ගාස්තු මම ම ගෙවාගෙන ගිය ගමනක්. ඒ ගියාමයි මගේ ඇස් ඇරුණේ. ලැයින් කාමරවල අන්ත දුක් විඳගෙන අපේ රටේ ගෑනු කඩන වේළන තේ දලු ටික, කම්කරුවන්ගෙ දහඩිය මහන්සියෙන් තේ කොළ බවට පත් කරලා බල්ක් ගාණට එංගලන්තයට එවනවා. සුද්දො ඒවා තව ඒවට කළවම් කරලා ‘පියෝ සිලෝන් ටී’ කියලා විකුණනවා. ලාභය එකට විසිපහයි. අපි හැමදා ම දුප්පතුන්. අපේ තේවලින් සුද්දො මිලියනපතියො වෙනවා. අවුරුද්දකට පස්සෙ මං ආපහු ලංකාවට ඇවිත් AF ජෝන්ස් සමාගමේ ම වැඩ කළත් මගේ හිතට වධ දුන්නෙ එක ම දෙයයි.

මොකක්ද ඒ...

කවද හරි මං මගේ ම, බ්‍රෑන්ඩ් එකක් හදනවා. කළවම් නොකරපු හොඳ ම සිලෝන් ටී ලෝකෙට දෙනවා. මං මගේ රටේ මිනිස්සුන්ට කර්මාන්තයක් හදනවා. ශුද්ධ ලාභය ලංකාවට ගේනවා... ඔහොම හිත හිතා ලැබෙන කීය හරි එකතු කළා.

අවුරුදු කීයක් ගියා ද ඔය සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න...

1962, ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු කම්පනි ලිමිටඩ්..’ නමින් මං මගේ ම කොම්පැනියක් පටන් ගත්තා. මුලින් අනික් අය වගේ ම මාත් අමුද්‍රව්‍ය පිටරට යැව්වා. හැබැයි ඒවා පියෝ සිලෝන් ටී. රුසියාවෙන් අහස් යාත්‍රා අරන් දෙපාරක් ම ආවා මගේ තේ ගෙනියන්න. 1988 ඩිල්මා බ්‍රෑන්ඩ් එක හදලා, ‘value added’ තේ කර්මාන්තයක් රටට හඳුන්වා දුන්නා. ඩිල්මා නමට, හිතන්න බැරි ඉල්ලුමක් හැදුණා. ටිකෙන් ටික දියුණු වෙනකොට තේ වතු ගත්තා. ඩිල්මා බ්‍රෑන්ඩ් එකෙන් පියෝ සිලෝන් ටී පිට රටවලට යවද්දි රුසියාව හුඟක් කොපි කළා. බේරන්න බැරි තැන හැම තේ පැකට් එකකම මගේ අත්සන යෙදුවා. හරි ගියේ නැහැ. ඊළඟට මගේ පිංතූරේ දැම්මා. ඒකත් කොපි කළා. එදා ඉඳලා අද වෙනකල් මගේ පිංතූරේ හැම තේ පැකට් එකක ම තිබෙනවා.

ඔබේ තේ ජීවිතේ බාධා තිබුණෙ ම නැද්ද...

මං තේ කර්මාන්තයේ විරුද්ධවාදියො බලාපොරොත්තු වුණේ පිටරටවලදි. නමුත් මට ආපු තරමක් බාධක ආවේ මගේ රටේදි. මගේ රටේ, මගේ මිනිස්සු කරපු අවැඩ කතා කරන එක රටට ලැජ්ජාවක්. ඒ නිසා නොකියා ඉන්නම්.

අලුත් බිස්නස්වලට අතගහද්දි වෙලාව බලනවද...

දෙවියන් වහන්සේ දීපු දවසෙ, හැම වෙලාවක් ම මට හොඳ වෙලාවක්. රටවල් එකසිය ගණනකට, ගුවන් සමාගම්, තරු හෝටල්... ලොකු කොම්පැනි හැම එකකට ම ඩිල්මා යවන මේ මොන බිස්නස් එකක්වත් පටන් ගත්තෙ වෙලාවල් බලලා නෙවෙයි. පව් කළොත් කොයි වෙලාවෙ හරි ගෙවන්න වෙයි. හොඳක් කළොත් ඒක ලැබෙයි. එච්චරයි.

ජීවිතේ වැටුණු දවස් මතකද...

මට ම කියලා මුලින් ම ගත්තු අක්කර 328 ක ලිඳුලෙ මෙල්ටන් වතු යාය, ජනසතුකරණය යටතේ වත්ත ආණ්ඩුවට ගත්තා. එදා මම ඇඬුවා. මේ රටේ පොඩි මිනිහෙක්, දියුණු වෙලා ර‍ටටත් යමක් කරන්න හදනකොට ම ඔන්න ලැබුණු දේ. ඊට පස්සෙ අපිට පෙනි පෙනී ඒ වත්ත පාඩු ලැබුවා. එක එක ආණ්ඩු කරන මෝඩකම් නිසා මේ රටට වෙච්චි පාඩු නිමක් නැහැ.

දවසකට තේ කෝප්ප කීයක් බොනවද...

හයක් හතක්. හැබැයි සීනිත් නැතිව. කිරිත් නැතිව. තේ කෝප්පයක නියම රසය ගුණය ලබන්න නම් බොන්න ඕන නිකම්.

බොහෝ පිරිමින්ට නම් තේ කෝප්පෙ විඳින්න පුළුවන් සිගරට් එක්ක...

ඒක බොරු කතාවක්. මං ජීවිතේ වැඩි කාලයක් ගෙව්වෙ තේ වතුවල. මං කවදාවත් සිගරට් බීලා නැහැ. ඉස්සර නම් මාසෙට එක දවසක් දිග සුරුට්ටුවක් බිව්වා. එච්චරයි.

පාරිභෝගිකයන් එක්ක ඔබට කිසි ගනුදෙනුවක් නැද්ද...

ඇයි නැත්තෙ, මං පාරිභෝගිකයො එක්ක කතා කරන්න කැමැතියි. මට ඊමේල් එවන ඕන කෙනකුට මං රිප්ලයි කරනවා.

වැඩ කළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද...

වයස 88 ක් වුණාට මට තවම එහෙම හිතෙන්නෑ. පාන්දර හතරට නැගිටලා ඇ‍ඳේ ඉඳන් යාච්ඤා කරලයි මං දවස පටන් ගන්නේ. ඊළඟට රාජගිරියෙ මගේ ගෙදර ඉඳලා පෑලියගොඩ ඔෆිස් එකට යනවා. දවල් එක වෙනකල් මං වැඩ කරනවා. ඊළඟට අපේ චැරිටිවල වැඩවලට යනවා. මීටින් තියෙනවා. දවස පුරා කරන්න වැඩ ඕනෙ තරම්. ජේසු ස්වාමි දරුවන්ගේ ආශිර්වාදයෙන් තව ම මං හොඳින් වැඩ කරනවා.

තේ කෝප්පයක් ගැන ඔබට තිබෙන ඉහළ ම හැඟීම කුමක් ද...

තේ කෝප්පයකට පුළුවන් ගෙදරක පවුලක ගමක රටක ප්‍රශ්න විසඳන්න. ගෙදර අම්මා තාත්තට දෙරටක නායකයන්ට තේ කෝප්පයක් බොන ගමන් බොහෝ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඕන තරහක් නිවන බලයක් තේ කෝප්පයකට තියෙනවා. ඒ වගේ ම, සුහද කතා බහකට හොඳ ම මඟ තේ කෝප්පය. මට නම්, උණුසුම් තේ කෝප්පයක් කියන්නෙ සාමයේ සතුටේ සංකේතයක්.

අන්තිමට කියන්න, මොකක්ද ඔබේ ජීවිතයෙන් ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය...

ඔබ ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් මගේ ව්‍යාපාර දර්ශනය හදාරන්න. මට ලෝකෙ රටවලින් දේශනවලට ආරාධනා ලැබෙන්නෙත් මගේ ‘බිස්නස් ෆිලෝසොෆි’ එක ගැන කතා කරන්න. ඔබත් දියුණු වෙන ගමන් ඉපදුණු රටට වැඩ කරන්න පුළුවන් අනේක විධි ඔබට පෙනේවි. අනෙක තමයි ඔබ මොනතරම් කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැ, ඔබට බැහැපත් ජීවිතයක් ගත කරන්න බැරි නම්. 

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්