ජනතාවගෙන් පළි ගන්නා වර්ජකයන්ට ජපානයෙන් පාඩමක් | සිළුමිණ

ජනතාවගෙන් පළි ගන්නා වර්ජකයන්ට ජපානයෙන් පාඩමක්

මීට මසකට පමණ ඉහතදී ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියැදුරෝ වැඩ වර්ජනයක යෙදුණාහ. නගරයේ සේවයට එක්වූ නව බස් රථ සේවයක් නිසා තමන්ගේ රැකියා සුරක්ෂිතතාව අනතුරට වැටී ඇතැයි තීරණය කළ රියැදුරෝ ඒ වෙනුවෙන් පෙනී සිටින මෙන් තම බස් සමාගමෙන් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔවුන්ගේ අවසාන තුරුම්පුව වූයේ වර්ජන ක්‍රියාමාර්ගයකට ගමන් කිරීම ය. එහෙත් විශේෂත්වය වූයේ එය බස් මගීන්ට වඩාත් හිතකර වූ අපූරු වර්ජනයක් වීම ය.

ජපානය තුළ ලංකාවේ මෙන් කොන්දොස්තරවරු දක්නට නොමැත. බස් රථයට ගොඩවන දොරටුව අසල ම මුදල් ගෙවීමේ යන්ත්‍රයක් පිහිටුවා තිබේ. බස් මගියා තම මුදල හෝ මුදල් ගෙවීමේ කාඩ්පත භාවිත කරමින් ෙම් යන්ත්‍රයෙන් ටිකට්පතක් ලබාගැනීම සාමාන්‍ය සිරිතයි. වර්ජන දිනයේදී ෙම් යන්ත්‍රය රෙදි කඩකින් වසා මගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ඔකයාමා රියැදුරෝ කටයුතු කළහ. සුපුරුදු පරිදි නියමිත වේලාවට බස් ධාවනය කරමින්, සුපුරුදු බස් නැවතුම්වල බස් රථය නවතමින්, සුපුරුදු සේවාව ක්‍රියාත්මක කළ ද එ් සේවය වෙනුවෙන් මුදල් ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

වර්ජන කලාව

මෙය තරමක ආගන්තුක එමෙන් ම අපූරු වැඩවර්ජනයකි. ඉන් බස් මගීන් කිසිවකුගේ දෛනික ජීවිතයට ගැටලුවක් එල්ල නොවුණි; සැබවින් ම එය ඔවුන්ට තිබුණාට ද වඩා හොඳ තත්ත්වයකි. වර්ජනය නිසා අපහසුවට පත් වූයේ බස් සමාගම ය. තම සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කළ ද ඒ වෙනුවෙන් කිසිදු ආදායමක් නොලැබී යෑම බස් සමාගමට යෙන් ලක්ෂ ගණනක පාඩුවක් එක්කරන්නට ඇති බවට සැකයක් නැත. කෙසේ නමුත් කැපී පෙනෙන ම කරුණ වන්නේ, වැඩවර්ජනය සඳහා රියැදුරන් පෙලඹවූ බස් හිමියන් ඉලක්ක කරගත් මේ වර්ජනයේදී බස් මගීන් ඉලක්ක නොකර ගැනීමට බස් රියැදුරන් තුළ පැවති සද්භාවයයි.

මේ නයින් බලද්දී අනෙකුත් බොහෝ අංශ මෙන්ම වර්ජන ක්ෂේත්‍රය හා සැසඳීමේදී ද ලංකාව සිටින්නේ ජපානයට වඩා ගව් ගණනක් පිටුපසිනි. වර්ජනයේදී ආරවුලට හෝ මතභේදයට පත්වන දෙපාර්ශ්වය අතරමැදට තුන්වැනි පාර්ශ්වයක් ලෙස සාමාන්‍ය ජනතාව ඈඳා ගැනීම ලංකාවේ බොහෝ වෘත්තීය සමිතිවල පුරුද්ද බවට පත්ව තිබේ. ලංකාවේ ආණ්ඩු පාලනය තුළ ගැබ් ව පවතින සුබසාධකවාදී පාලන ක්‍රමය ඊට හේතුවන්නට ඇත. එහෙත් සාමාන්‍ය ජනතාව දඩමීමා කරගත් වැඩ වර්ජනයක් ශිෂ්ට සම්පන්න කවර හෝ සමාජයක් තුළ අනුමත කළ හැක්කක් නොවේ.

මෙවැනි අපූරු වර්ජන ක්‍රමවේද ක්‍රියාත්මක කළ එක ම පිරිස ජපන් බස් රියැදුරන් පමණක් නොවේ. ග්‍රීසියේ පෙලොපොනේසියානු යුද්ධ සමයේදී ඇතෑන්ස් නුවර කාන්තාවෝ යුද්ධයට එරෙහිව වෙනස් ම වර්ජනයක් දියත් කළහ. එ් යුද්ධය නවත්වා සාම සාකච්ඡා අරඹන තෙක් තම ස්වාමි පුරුෂයන් සමඟ යහන්ගත වීම ඔවුහු ප්‍රතික්ෂේප කිරීමයි.

එවැනිම අවස්ථාවක් මෑතකාලීන ව ලයිබීරියාවෙන් ද වාර්තා විය. 2003 වසරේදී එරට බහුතර කාන්තාවෝ තම ස්වාමි පුරුෂයන් සමඟ යහන්ගත වීම වර්ජනය කළේ එරට වෙළාගෙන පැවැති සිවිල් යුද්ධය නතර කරන ලෙස ඉල්ලමිනි. ඒ වර්ජනය සාර්ථක වූ අතර සිවිල් යුද්ධය නතරවීමෙන් නොනැවතී එ් වර්ජනයට මුලපිරූ එලන් ජොන්සන් ලයිබීරියාවේ පමණක් නොව මුළු අප්‍රිකා මහාද්වීපයේ ම පළමු ජනපතිනිය බවට පත්වූ අතර නොබෙල් සාම ත්‍යාගය පවා දිනාගන්නට සමත් වූවාය.

1970 වසරේදී එක්සත් ජනපදයේ තැපැල් සේවකයෝ මහා වැඩවර්ජනයක් දියත් කළහ. ඔවුහු ද සියලු ලිපි බෙදීමේ කටයුතුවලින් බැහැරව සිටිය මුත් දිළිඳු ජනතාව වෙනුවෙන් රජය නිකුත් කරන සුබසාධක චෙක්පත් රැගත් ලිපි බෙදීමේ කටයුත්තෙහි දිගටම නිරතවී සිටියහ.

වර්ජන නොහඳුනන ජපන්නු

මේ සියල්ලට ම ඉහළින් ජපානය යනු වැඩ වර්ජන සාර්ථකව ජයගත් රටකිග එනම් වැඩ වර්ජනය කිරීම නම් සංකල්පය පවා අතික්‍රමණය කළ ජාතියකිග එහෙත් ජපානයේ අතීතයද අපේ වර්තමානය මෙන්ම කිළුටු වූවකි. 1974 වසරේදී ජපානය වැඩ වර්ජන 9ල581කට මුහුණ දී තිබුණු අතර ඊට සම්බන්ධ වුණු මුළු සේවක සංඛ්‍යාව ලක්ෂ 32කට වැඩි විය. එහෙත් මේ වනවිට ජපානය තුළ වාර්ෂිකව සිදුවන වැඩවර්ජන සංඛ්‍යාව පනහකට හැටකට සීමා වී තිබේ. බොහෝ ජපන් තරුණ තරුණියන් වැඩවර්ජනයක් පිළිබඳ අසා හෝ නොමැත.

ජපනුන් එවැනි වෙනසකට මුල පුරා ඇත්තේ ක්‍රමානුකූල ව ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාර්යක්ෂමතාව තම ඉහළ ම අගය බවට පත්කරගනිමින් ගොඩනැඟී ලොව දෙවැනි හොඳ ම ආර්ථිකය දක්වා ඉහළට නැඟි ජපානය වැඩවර්ජන යනු තම රට ආපස්සට අදින බලවේගයක් බව හැත්තෑව දශකයේ සිට ම හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව පාරිභෝගිකයා දෙවියා ය යන අදටත් අපේ රටේ නොමැති ව්‍යාපාරික සංස්කෘතියක් එරට තුළ මෝරා වැඩෙන්නට පටන් ගත්තේ මීට දශක තුන හතරකට ඉහතදී ය. එනිසා තමන්ට යම් මුදලක් ගෙවන පාරිභෝගිකයා; ‘මහජනතාව‘ අපහසුවට පත්කිරීම යනු වරදකට වඩා පාපයක් යන හැඟීම ජපන් සමාජය තුළ මුල් බැසගෙන ඇත යන්න ජපාන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන හිෆුමි ඔකුනුකිගේ අදහසයි.

ජපානය අත්හදා බැලූ තවත් දෙයක් තිබේ. එනම් සේවක හුදෙකලා කිරීමෙන් කම්කරු ආරවුල් මතභේද හමුවේ වෘත්තීය සමිතිය වෙනුවට අධිකරණය තෝරාගැනීමේ අවස්ථාව කම්කරුවාට හිමිකර දීමයි. ඒ හරහා එක් සිද්ධියක් වෙනුවෙන් මුළු මහත් කර්මාන්තයක් ම අඩපණ වීම වෙනුවට අදාළ සිදුවීමට සාධාරණයක් ඉෂ්ට වේ. තව ද ජපානය ස්ථීර පදනමට වඩා තාවකාලික සහ අර්ධ කාලීන පදනමින් රැකියා පිරිනැමීම දිරිගැන්වීමත් සමඟ වෘත්තීය සමිති වඩා සේවකයන් රොදබැඳීම ද අඩුවී ගොස් තිබේ.

වැඩවර්ජනයෙන් එළියට පනින සාහසිකත්වය

මේ අකුරු අමුණන මොහොතේදීත් රට තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වේ. ඒ දොස්තරලාගේ ය. දීමනා වැඩි කරගැනීම, තමන්ගේ දරුවන්ට ජාතික පාසල් ඉල්ලීමේ සිට රටේ වෙෙළඳ ගිවිසුම් නීතිය සකස් කිරීම වැනි තම විෂයය පථයට ගෑවී හෝ නොමැති කරුණු ද ඇතුළත් ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් ඔවුහු වැඩ වර්ජනයක් දියත් කර තිබේ. දොස්තරලාගේ අර්බුදය ඇත්තේ ආණ්ඩුව සමඟ ය. නැතහොත් ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනකු සමඟ ය. නමුත් උපහාසය වන්නේ ඊට වන්දි ගෙවන්න සිදුව තිබෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක වරුවක් පෝලිමේ සිට බෙහෙත් ගන්නට කටු කන ජනතාවට වීම ය. දොස්තරලාගේ ‘ලොජික්’ එක එතරම් දුප්පත් ය.

මීට මාස කිහිපයකට ඉහත මුළු රට ම අඩපණ කළ තැපැල් වර්ජනයක් අපි අත්දුටිමු. තැපැල් සේවය සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වූ අතර ඒ හරහා බොහෝදෙනකුට ආර්ථික පාඩු ඇතිවූ බව ද අත්දැකීමෙන් දනිමු. මන්ද තැපැල් කන්තෝරු හරහා බෙදෙන ලිපි සියල්ල ‘සුව දුක්’ විමසා තැපෑලට දමන ලිපි නොවේන බැවිනි. සුවදුක් විමසීමට දැන් ජනතාවට ටෙලිෆෝන්, ඊමේල් මෙන්ම වට්ස්ඇප්, වයිබර් තිබේ. තැපෑල අද බොහෝවිට භාවිත කෙරෙන්නේ රාජකාරි මට්ටමේ කටයුතු සඳහා පමණි. ඉදින් තම ක්‍රෙඩිට් කාඩ්පත් බිල සති ගණනක් ප්‍රමාද වී පැමිණ දහස් ගණන් දඩ ගෙවූවන් ද විදුලි බිල්පතල ජල බිල්පත ප්‍රමාද වීම නිසා කරදරයට ලක්වූවන් ද වෙනත් ව්‍යාපාරික ලිපි ප්‍රමාද වීම නිසා ව්‍යාපාර අවස්ථාවන් ගිලිහී ගියවුන් ද සංඛ්‍යාවෙන් අති මහත්ය.

මීට සතියකට පමණ ඉහත දුම්රිය හිටිහැටියේ මහ දවාලේ වැඩ වර්ජනයක යෙදුණි. වැඩ වර්ජනයක යෙදෙන්නේ නම් අඩුම තරමේ දිනකට පෙර ඒ ගැන ජනතාව දැනුවත් කර ඔවුන්ව අපහසුතාවට පත් නොවන ලෙස එය ක්‍රියාත්මක කිරීම වෘත්තීය සමිති වල වගකීමකි; එය සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් දැන් දැන් වෘත්තීය සමිති යනු රස්තියාදුකාරයන්ගේ තිප්පොළක් බවට පත්ව තිබේ. ඔවුන් වැඩ වර්ජනය කරන්නේ තමන් හැර සෙසු සමාජයෙන්ම පළිගැනීමේ අදහසින් යන්න මෙවැනි සාහසික වැඩවර්ජන වලින් මනාව ඔප්පු වී තිබේ. ජනතාව පත්වන අපහසුතාවයේ තරම තුළින් තමන්ගේ වැඩ වර්ජනයේ සාර්ථකත්වය කිරා මනින කුජීත තත්ත්වයකට බොහෝ වෘත්තීය සමිති ඇද වැටී තිබේ. ජපානයේ බස් රියැදුරන් තුළ ඇති සද්භාවය ලංකාවේ තැපෑලට, දුම්රියට මතු නොව දොස්තරලාට නැත්තේ ද එනිසා ය.

රජිත ජාගොඩ ආරච්චි

අදහස්