ගීතා දේශ­පා­ල­නය කර­න­වාට මම කැමැති නැහැ | සිළුමිණ

ගීතා දේශ­පා­ල­නය කර­න­වාට මම කැමැති නැහැ

ජනප්‍රිය, හොඳ ම නළු නිළියන් ලෙසින් රසික ජනාදරයට පත් ඔවුහු රසඳුන මුහුණට මුහුණින්, ඔවුනොවුන් ගැන කතා කිරීමට මනාප එකම මිතුරා, මිතුරිය ලෙස තෝරා බේරා ගත්හ. වරෙක ප්‍රේක්ෂක හදේ, ආදරණීය මතකයන් සලකුණු කරමින් ද, තවත් විටෙක ඉන් හාත්පසින් ම වෙනස් මඟක යමින්, දේශපාලන කරළියේ පෙරළිකරමින් ද, තවමත් රසික හදව‍තේ විරාජමාන වෙමින් ජනප්‍රසාදයට ලක්ව සිටිති. ජනප්‍රිය නළු සනත් ගුණතිලක හා හොඳම නිළි ගීතා සමන්මලී කුමාරසිංහ මෙවර මුහුණට මුහුණින් හමු වන යුවළයි.

 මොනවද මේ දවස්වල කරගෙන යන්නේ....

මම ඉදිරියට කරන්න යන නිර්මාණවල මූලික කටයුතු කරගෙන යනවා, බොහොම නිහඬව. සිනමාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු එක ම එක තැනැත්තා මම බව කියමින් සුවයක් ලබන පිරිසට එය විඳින්න දෙමින් සැනසුමක් ලබනවා. කකුලේ ආබාධය නිසා, හැම දෙයකටම අරපරිස්සමින් යායුතු තැනට පමණයි සහභාගි වෙන්නේ.

කොහොමද ඇයව මුලින් ම දුටුවේ...

ගීතයි මමයි සමකාලීන වුණාට ඇය සිනමාවට පිවිසෙන්නේ තරුණ වියේදිමයි. මම ඒ ලෙවල් කරන කාලෙ දවසක් පේරාදෙණිය මල්වත්තේ ෆිල්ම් එකක් ෂූට් කරනවා දැකලා එතනට ළංවුණා. සිනමාවේ එතෙක් නොදැකපු සුන්දර යුවතියක් ගීතයකට අලංකාර නැටුමක් ඉදිරිපත් කළා. ඒ රූපය මගේ හිතේ ඇඳුණා. ඒ සාරා චිත්‍රපටය බව පසුව දැනගත්තා.

ගීතා සමඟ වඩාත් ළං වුණේ...

මම සිනමාවට පිවිසෙන්නේ ඉතා අහම්බෙන්. මගේ සිටුකුමරිය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මාලනී ෆොන්සේකා. සිවුරඟ සේනා වැඩකරන කාලේ විජය, සබීතා, ගීතා, දම්මි ෆොන්සේකා, විමල් කුමාර ද කොස්තා එක්ක වැඩ කළා. එහිදී ගීතයි මායි සුහද වෙනවා. ඇය හරිම සරලයි. ඒ වගේ ම ඉතා නිහතමානීයි. ගෞරවාන්විත කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරගේ පින්තූර කීපයකට පෙනී සිටින්න ගීතයි මමයි මවුන්ට් ලැවීනියා හෝටලයේදී හමුවුණා.

අපි හුඟාක් සමීප වුණේ චලිත රංගාලි චිත්‍රපටය රූගත කරද්දි. එහි ගීතයි, මමයි හවුල් නිෂ්පාදකවරු වුණා. ක්ලැරන්ස්, ෆ්‍රෙඩී සිල්වා, මර්සලින් පෙරේරා ඇතුළු තවත් පිරිසක් ඊට දායක වුණා. අපි කවුරුත් බොහොම කැපවීමෙන් වගකීමෙන් තමයි වැඩ කළේ. පසුකාලීනව ඔබටයි ප්‍රියේ ආදරේ, රජ වැඩකාරයෝ සිනමා කෘතිවලින් අපි තවත් ළංවුණා. ගීතා ගාමිණිටයි, විජයටයි සමීපයි. සිනමාවෙදි ඔවුනොවුන් කදිමට ගැළපුණා. විජය දේශපාලනයෙයි සිනමාවෙයි ඉහළින් ම ඉන්න කාලෙ. අපි එකතුවෙලා චිත්‍රපටයක් කරන්න ඉන්නා විටයි විජය ඝාතනය වුණේ. ගීතයි මමයි අතර හොඳ ළබැඳියාවක් ඇති වුණේ පාලම යට කරන කාලේ. අපි හරිම සහයෝගයෙන් හොඳ චිත්‍රපටයකට කැපවුණා. ඇගේ උපරිම සහාය ලබා දුන්නා. අපි පාලම යට අරගෙන ජපානෙට ගියා. පාලම යට යුවළ සැබෑවට කොතරම් ආකර්ෂණීයද කියලා ජපානෙ ජනතාව පුදුම වෙලා අපිට ප්‍රශංසා කළා. එතැන හිටියා ඇමෙරිකන් ජාතික ජපන් චිත්‍රපට විචාරකයෙක්. ලෙස්ටර් මහත්තයා ගීතටයි මටයි ඔහුව හඳුන්වා දුන්නා.

මුහුණට මුහුණින් හමුවෙන්න කැමැති ගීතා කුමාරසිංහ බව ඔබ කීවා...

ගීතා මගේ දුකේදිත් සැපේදිත් එකට හිටියා. සමාජය මට යම් යම් වැරැදි චෝදනා නගද්දි, මම උදව් කරපු අය පවා මාව මගඅරිද්දි ගීතා මගේ ළඟින් හිටියා. මට උදව් කළා. ඇය මට නිරන්තරයෙන් හමු නොවුණත් ඉතා සමීපව හිටියා. එයා මගේ අඩුපාඩුවක් වගේ ම මමත් එයාගේ අඩුපාඩුවක් කෙළින් ම කියන්න පසුබට වෙන්නෙ නෑ. අපි දෙන්නා කතාබස් කරගෙන අවබෝධයෙන් යුතුව රඟපෑ චිත්‍රපට තිබුණා. ඇන්ජලීන්, ලතා ජෝතිපාල ගැයූ යුග ගීතවලට අපි කදිමට රඟපෑවා. නර්තනය සමගින්. මල්සර දෝනි චිත්‍රපටයේ, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත, ඔබ නිදන්න ඔබ නිදන්න... ගීතවලට අපි රංගනයන් හා නර්තනයන් ඉදිරිපත් කළේ හරිම අවබෝධයෙන්. ඇය හැරෙද්දි මා දන්නවා. මා හැරෙද්දි ඇය දන්නවා. ඒක සසරේ පුරුද්දක් ද මන්දා. ඇයට හොඳ ඉවක් තියනවා. අපි දෙන්නා ඒ වගේ රඟපෑ චිත්‍රපට බොහොමයක් තියනවා. මොන Angle එකෙන් බැලුවත් ඇය හරි ම photogenic කියලා කැමරා හා ඡායාරූප ශිල්පීන් කීපදෙ‍ෙනක් ම පවසලා ති‍ෙයනවා.

ගීතාගේ ඔබ දකින යහපත් ගතිගුණ...

ගීතා ඕනෑ ම දෙයක් ඍජුව ම මුහුණට කියන කෙනෙක්. ඇය ම පවසන විදිහට බොහොම මධ්‍යම පන්තික පවුලකින් ඇවිත් ජීවිතයේ හැම අතින් ම හිණි ‍පෙත්තට ගිය කෙනෙක්. ඇය අම්මව හොඳින් බලාගත්තා. සහෝදරියන්ට සැලකුවා. මම කැමැති වුණත් නැතත් ඇය සමාජ සේවය ගරු කරන කෙනෙක්. විජයගේ වියෝව ගැන මුළු ලංකාව ම කම්පා වුණා. ගීතා කම්පාවූ ආකාරය මට අමතක කරන්න බැහැ. වෙඩි ප්‍රහාරයෙන් හානිවූ විජයගේ මුහුණ හදන්න මහ රෑ මම ගීතාගේ ගෙදර ගියේ වේශ නිරූපණ ශිල්පී ඊබට් වි‍ෙජ්සිංහගේ අවශ්‍යතාවට විජයගේ ඇස් හදන්න අයි ලෑෂ් ගේන්න. ගීතා ඇගේ ඇස් පිහාටු පෙට්ටියම දුන්නා කැමැති දෙයක් කරගන්න කියලා. විජය අහිමිවූ දුකින් ඇය හරියට ඇඬුවා.

ගීතගේ අඩුපාඩු එහෙම ඔයා දකින්නේ නැද්ද?

මම කිට්ටුවෙන්ම ඇසුරු කළ නිසා ඈ ගැන දන්නවා. ඇය අඩුපාඩු අඩු හොඳ කෙනෙක්. හරිම සංවේදියි. ඒත් ඉක්මනින් කිපෙනවා. හැබැයි පැහැදිලි කරලා දුන්නා ම තේරුම් ගන්නවා. හුඟාක් අය කිට්ටුවෙන්න බයයි. නමුත් ඇය හද පත්ලින්ම මිනිසුන්ට සලකනවා.

රංගනයට අමතරව ගීතගේ වෙනත් හැකියාවන්?

ඇගේ දේශපාලන හැකියාව, මිනිස් කළමනාකරණය ගැන මම විස්මයට පත්වුණා. හොඳ පෙර සූදානමක් තියනවා හැම දේටම. ඇඳුම් පැලඳුම් ගැන හොඳ තෝරා ගැනීමක් තියෙනවා. කොහේ ගියත් ඒ ඒ කෑමවර්ග ගැන ඇයට අවබෝධයක් දැනීමක් තියනවා.

ගීතගේ හොඳම රඟපෑම?

පාලම යට. ඒත් හැම චිත්‍රපටයකටම ඈ සාධාරණයක් කළා. හොඳම නිළිය, හොඳම නිෂ්පාදිකාව ලෙස ඇය කිහිපවරක් ම සම්මානයට පාත්‍ර වුණා. හින්දි නිළියන්ගේ දර්ශන අනුසාරයෙන් කරන ලංකාවේ වාණිජ චිත්‍රපටවල හින්දි නිළියන්ගේ දර්ශනවලට අසාධාරණයක් නොවෙන ලෙස කටයුතු කළා.

සිනමාවේ ඈ අසාර්ථක වූ තැන්...

ධර්මසේන පතිරාජගේ වාසුලි චිත්‍රපටයේ ඇය ‍හොඳ රඟපෑමක් කළා. එය පස්වන මණ්ඩලයට තේරුණේ නැති නිසා තිරගත වුණේ නැහැ. මගේ චිත්‍රපටයට සාධාරණය ඉටු කරන්න කියලා ඇය ඉල්ලුවෙත් නෑ. ඇය අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කළෙත් නෑ. ඒත් ඒ චිත්‍රපටය තිරගත වුණා නම් ඇය ප්‍රේක්ෂකයින්ගේ හා විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වෙන්න තිබුණා. සිනමාවේදි ඕනෑම චරිතයකට සාධාරණත්වයක් කරන්න දක්ෂකම, කැපවීම වගේ ම බාහිර පරිසරයත් බලපානවා.

හඳහන ඔබ විශ්වාස කරනවද? බුදුදහම ඔබ දකින්නේ....

හඳහන ගැන යම් කිසි විශ්වාසයක් තියෙනවා. ඒත් බුදු දහමේ මහා ගැඹුරක් මා අත්වින්දා. තාවකාලික පැවිදිවීම අහම්බයක් වුණාට. මහණ කරන්න ඉස්සෙල්ලා අවශ්‍ය වතාවත් කරලා සිවුර අන්දවද්දි හාමුදුරුවෝ කීවා ඔබතුමාගේ ඇ‍ඟේ සිවුර හොඳින් දැවටෙනවා. පෙර ආත්මෙක මහණවෙලා ඉන්න ඇති කියලා. මම මහණ වුණේ හඟුරන්කෙත විමලරතන නමින්. මගේ අම්මගේ තාත්තගේ වයසේ අය මට වඳිද්දි චකිතයක් ඇතිවුණා. ඒත් හාමුදුරුවෝ කීවා චීවරයේ ඉන්න කාලේ කැපවීමෙන් චීවරය රැකගන්න කියලා. මට ජීවිතය කොපමණ අනිත්‍යයද කියලා දැනුණා. ඒනිසා සමාජයේ නින්දා අපහාස මට දැනෙන්නෙ නෑ. හැම දේටම කුපිතවී දඟලන මොළයේ අර්ශස්කාරයන්ව මා විනිවිද දකිනවා. වයසට යන්නම ඕනෙ නෑ පැවිදිවෙන්න. ජීවිතයේ සැබෑ සැනසුම එතනයි.

සනත්ගේ විනෝදාංශ...

කල්පනා කිරීම හා සැලසුම් කිරීම. හැකි සෑම විටම භාවනාවට සිත යොමු කිරීම. නිතරම සම්මා සතියෙන් යුතුව එදිනෙදා කරන හැම වැඩක් ම සිහි කල්පනාවෙන් සිදුකිරීම තුළින් මා නිතර ම ජීවිතයේ සැබෑ යථාර්ථය දකිනවා.

ඔබ තවමත් තනිකඩයි. ඔබ විවාහ වුණා නම් හොඳයි කියලා මුහුණට මුහුණින් කතා කරන්න ඔබව පමණක් තෝරා ගත් ගීතා කීවා...

ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වූ සිනමාව පිළිබඳ ඉතා අඩු උනන්දුවක් දැක්වූ මගේ අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා. ගීතාගේ අම්මත් මා ගැන පැහැදීමෙන් සිටියේ. මා පිළිබඳ අනිත් කවුරු මොනා කීවත් මම ඒ කාන්තාවන්ව පාච්චල් කරන්නෙ නෑ. ගීතා පැහැදිලිවම දන්නා දෙයක් විවාහය ගැන හරියටම කියන්න බැහැ. පැවිදි වෙනවාද විවාහ වෙනවාද කියලාත් ඊළඟ දවසේ ජීවත් වෙනවාද කියලත් කියන්නෙ කොහොමද? ඒත් මුහුණට මුහුණ ලිපිය පළවුණාට පස්සේ විවාහය ගැන ගීතා සමඟ කතා කරන්නම්කො. කොහොම වුණත් මම මැරුණු දවසට කාටවත් කරදරයක් නැති මනුස්සයෙක් නැති වුණා කියලා මිනිස්සු කියනව නම් එතන සැනසුමක් තියේවි.

සනත් ගීතා දෙන්නම දේශපාලන වේදිකාවෙ හිටියා...

කලාකරුවන්ට දේශපාලනය හරියන්නෙ නෑ. විජය කුමාරතුංග වගේ අය නම් දේශපාලනය නෙමේ දේශයට සේවයක් කළේ. ඒත් අද අපි මොන දේ කළත් දේශපාලනයෙන් පහළ වැටෙනවා. ගීතා දේශපාලනය කරනවට මම නම් කැමති නෑ. ඈ යන ගමනට මට මුකුත් කියන්න බැහැ. මේ ජරාජීර්ණ සමාජය තුළ ඇයට දසසිල් මාතාවක් ලෙස දේශපාලනය කරන්න බෑ. දේශපාලනයට යාම ඇය කළ පෙර කරුමයක් ලෙසයි මට පේන්නේ. පාර්ලිමේන්තුවට ගිහින් මැති ඇමැතිකම් දැරූ අපේ සිනමා නිළියන්ගේ අවංකත්වය ඔවුන්ට පාරාවළල්ලක් වුණා. ආදරය, කරුණාව, ළෙන්ගතුකම නොතර තැනක ජීවත්වීම නිසා කලකිරීම දුරුකර ගැනීමට අරවින්ද පවා හිතවත්කමක් බලාපොරොත්තු වුණා. 


සනත් දැන්වත් විවාහ වෙනවා නම් හොඳයි

 ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ

 මේ දවස්වල මොනවද කරන්නේ...

සියයට සියයක් ම ඉන්නේ දේශපාලන කටයුතුවල. වෙන දෙයක් කරන්න වෙලාවක් නෑ. සමාජයේ පුද්ගලයන් සමඟ කටයුතු කරද්දි කාලය ගෙවිලා යනවා තේරෙන්නේ නෑ.

සනත්ව මුලින් ඔබට හමුවන්නේ කොහොමද?

මට මතක හැටියට සනතුයි මායි එක අවුරුද්දෙ ඉපදුණේ. පේරාදෙණියේ රූගත කෙරුණු මම රඟපෑ චිත්‍රපටයක රූගත කිරීම් ඔහු දැක්කා කීවා. පසුව අපි සහාය නිෂ්පාදනය කළා. චලිත රංගාලි චිත්‍රපටයේ අපි සමීපව වැඩ කළා. එහි රඟපෑම්වලට අනුරාධපුරේ පොලොන්නරුවේ ගිය ගමන හරිම සුන්දරයි.

සනත්ව හුඟාක් සමීප වුණේ...

අවුරුදු ගාණක් චිත්‍රපට නොකර හිටියා. මට ඕනෑ වුණා දරුවෙක් හදාගන්න. ඉතිං නිෂ්පාදකයෝ අමාරුවෙ දාන්න බෑනේ. ඒ ඉන්න කාලේ කුලසේන ෆොන්සේකාගේ ‘පාලම යට’ කියවන්න ලැබුණා. චිත්‍රපටයක් කරන්න ආසයි. සනත්ට තමයි මුලින් ම කීවේ. එච්.ඩී. ප්‍රේමරත්න නිසා එය හුඟාක් සාර්ථක වුණා.

සනත් ගැන පමණමයි කතා කරන්න කැමතියි කීවේ. ඔහුගේ යහපත් ගතිගුණ...

සනත් හිතවත්, හොඳ යාළුවෙක්. හොඳ මිත්‍රයෙක්. යාළුකම හොඳින් පවත්වාගෙන යනවා. අතළොස්සක් යාළුවෝ අතරින් සනත් තමයි ඒ මිතුරුදම හොඳටම ගෙනයන්නේ. අවුරුදු 5 - 6 කින් හමුවුණේ නැතත් මිතුරුකම එහෙමමයි.

සනත් චිත්‍රපටයක් කරද්දි ඒ වෙනුවෙන් කැපවීමක් කරනවා. එයට ගෞරව කරමින් සාධාරණත්වයක් ඉටුකරනවා.

සනත්ගේ ඔයා දකින අඩුපාඩු එහෙම...

ලෝකයේ අරයා මෙයා කියන කතා මට ප්‍රශ්නයක් නෑ. ඒත් සනත් විවාහ වුණා නම් හොඳයි කියලා මම හිතනවා.

සනත්ගේ වෙනත් හැකියාවන් එහෙම...

සනත්ට හොඳට ලියන්න පුළුවන්. ‘සිසිල ගිනි ගනී’ කතාව තෝරාගෙන ඉන්පසු කළ චිත්‍රපට එයා ම ලියූ ඒවා.

සනත්ගේ හොඳ ම රංගනය..

විරාගය අතිශයින් දුර්ලභ හොඳ රංගන වින්‍යාසයක්.

රංගනයේදි සනත් අසාර්ථක වූ අවස්ථා තියෙනවද?

හැම කෙනෙකුටම සාර්ථක, අසාර්ථක තැන් තියෙනවා. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ චරිතයක් ලැබුණහොත් සියයට සියයක් සාර්ථක වෙන්න පුළුවන්. හොඳ රංගනයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න චිත්‍රපටයක අනිකුත් සෑම ශිල්පියෙක් ම හොඳ කැපවීමක් කළ යුතුයි.

හඳහන ගැන එහෙම කොහොමද විශ්වාසය?

මම හඳහන විශ්වාස කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. මට ඕනෑ දේ මම කරනවා. සමහර අය කියන දේවල් ඒ කනින් අහලා මේ කනින් පිට කරනවා. ඒකටම එල්ලී ගැලී සිටින්නෙ නැහැ. උත්සාහයෙන්, උනන්දුවෙන් කිසියම් ඉලක්කයක් කරා යා හැකියි. මම ජ්‍යොතිෂය හදාරලා තියෙනවා. මට කේන්දර හදන්න පුළුවන්. පොත්පත් කියවලා ශාස්ත්‍රය ප්‍රගුණ කළා. සමහරු ඒරාෂ්ටකයක් කියලා කිසි දෙයක් හරියන්නෙ නෑ කියලා නිකං ඉන්නවා. ඒත් උත්සාහය උනන්දුව තියෙනවා නම් ඒරාෂ්ටකය වුණත් පරදවන්න පුළුවන්. මම කටක ලග්නයේ. සනත් සිංහ ලග්නයේ වෙන්න ඕනෑ. මට මතක හැටියට ‘රන්දිය දහර’ කරද්දි අපි කේන්දරය ගැන කතා කළා.

බුදු දහම ගැන ඔබ හිතන්නේ...

මම හුඟාක් ආසයි. ශ්‍රී මහා බෝධිය ළඟ, රුවන්වැලි සෑය ළඟ, කිරිවෙහෙර ළඟ අසිරිමත් ආශ්චර්යය විඳින්න. මම වෙන කිසි ම ආගමකට ගරහන්නේ නැහැ. නමුත් බුදුදහමේ පුදුමාකාර සත්‍යයක් මා දකිනවා. අපි පාලම යට කරද්දි ලොකු ගංවතුරක් ආවා. අපි හිතුවේ, චිත්‍රපටය කරන්න බැරි වෙයි කියලා. අපි එහෙ මිනිසුන්ට හුඟාක් උදව් කළා. කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සුධර්මා සිල්මාතාව යටතේ ආනාපාන සතිය පුහුණු කළා.

සනත්ගේ රංගන ශෛලිය....

සනත්ට ආවේණික රංගන ශෛලියක් තියෙන්නේ. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තාත්වික රංගනයක් කරන්න. මුලින් අපි අධ්‍යක්ෂ කියන දේම කළා. ඒක අසාර්ථකයි. ඒ නිසා අපි සමහර දේවල් කතාබස් කරගෙන ඒ ඒ චරිතවලට ගැළපෙන පරිදි කරනවා. ඒ රඟපෑ චරිතවලට මිනිස්සු ආදරෙයි.

ඔබත් සනතුත් දේශපාලනය කළා...

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. ඒක හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. දේශපාලනය නිසා මට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත්කරගන්න සිදුවුණා. ඒ නිසා මට මාසයකට එහෙන් ලැබෙන රුපියල් ලක්ෂ 9 බැගින් වන මුදල් අහිමි වෙනවා. ඒ මුදල් තිබුණා නම් මට හුඟාක් අයට සේවය කරන්න තිබුණා. සනත්ට පවුලේ කිසිම ගැටලුවක් නැති නිසා දේශපාලනයට බාධකයක් නෑ. ඒත් එයා දේශපාලනෙන් ඉවත්වෙලා. සමහරවිට කලකිරීමෙන් වෙන්න ඇති. ‘අප්පමාදෝ අමතපදං’ ප්‍රමාදවීම පසුතැවීමට හේතුවයි. ජීවත්වෙන ටික කාලෙදි පින් රැස් කළ යුතුයි. අපි හැමටම පොදු දේ මරණයයි. මිනිසුන්ට හැකි පමණින් උදව් කිරීම තුළින් මා සැනසුමක් ලබනවා. මම කාටවත් කරදර දෙන්නෙ නෑ. කාගෙන්වත් කරදර බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ හොඳින් ජීවත් වෙන්න ඉඩහසර පමණයි.

අදහස්