අම­ර­දේ­ව­ය­න් පිළිබඳ මතකය හරිම සුන්දරයි | සිළුමිණ

අම­ර­දේ­ව­ය­න් පිළිබඳ මතකය හරිම සුන්දරයි

 පවුලේ අභාෂයෙන් සංගීතයට අත්පොත් තබා, පාසලින් සංගීතය හදාරන්නට යොමුවී ගුරුවෘත්තියට පිවිසි ඔහු පසුව ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සරසවියෙන් සංගීත විශාරදවරයකු බවට පත්විය. පණ්ඩිත් අමරදේවයන් සමඟ සමීපව ඇසුරු කළ ඔහු ලෙලුම කලායතනය ආරම්භ කොට දහස් ගණනක් දරු දැරියනට සංගීත දැනුම ලබා දෙයි. හෙළ සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ කලාභූෂණ, ලංකාතිලක, දේශබන්ධු, විශ්ව කලා කීර්ති, විශ්වාභිනන්දන සම්මානලාභී සංගීත විශාරද එම්. ඒ. පී. සමරසූරිය මහතාට 80 වසරක් පිරීම නිමිත්තෙන් සහ ගම්පහ ලෙලුම කලායතනයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ලෙලුම උත්තමාචාර ‘සමර සර‘ සංගීත සමාධිය ප්‍රසංගය 18 වැනි සෙනසුරාදා පස්වරු 5.00 ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. සමරසූරිය මහතා සමඟ මේ සංවාදය ඒ නිමිත්තෙනි.

මුලින්ම ඔබ ගැන විස්තර කරන්න

මම 1938 අගෝස්තු 17 වැනිදා උපත ලැබුවේ. හෙන්ඩිමහර කියන ගමේ. මගේ තාත්තා එම්. පී. පෙරේරා විදුහල්පති වරයෙක් ලෙස සේවය කළා.අම්මා පියසීලී සෝමාවතී. මගේ තාත්තාගේ ගම ගම්පහ. පවුලේ එකම දරුවා මම. හෙන්ඩිමහර විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ.මගේ අම්මාගේ බාල මල්ලී කෙනෙක් හිටියා එයා සංගීත ගුරුවරයෙක්. හෙන්ඩිමහර පාසලේමයි ඉගැන්නුවේ. මගේ තාත්තා විදුහල්පති කෙනෙක් නිසා ඒ දවස්වල සේවය කළේ නොච්චියාගම පාසලේ. ඒ නිසා ගෙදර හිටියේ නැහැ. මාමා හිටියේ අපේ ගෙදර. ඉතින් ගෙදර සර්පිනා තබ්ලා වගේ සංගීත භාණ්ඩ තිබුණා. ඒ නිසා තමයි මගේ හිත සංගීතය පැත්තට ආසාවුණේ. ඒත් මම ඉගෙන ගත්තේ හොරෙන්. තාත්තාගේ අක්කාගේ (මගේ නැන්දාගේ) දුවක් හිටියා ගුරු විභාගයට ඉගෙන ගත්තු. මේ අක්කා අපේ ගෙදර නැවතිලා හිටියේ. එයා මාමාගෙන් සංගීතය ඉගෙන ගත්තා. මාමා අක්කාට සංගීතය උගන්වන කොට මම හොරෙන් බලා ඉන්නවා. මාමා හැන්දෑවට වීදියවත්ත ටවුන් එකට එනවා මාළු ටිකක් ගේන්න. කළු සුරුට්ටු මිටියක් ගන්න වගේ දේවල් වලට. මාමා ගියාට පස්සෙ මම අක්කාව පැත්තකට කරලා සර්පිනාව ගහනවා. ජය මංගල ගාථා, දැඩිකළ මාතා වගේ ගීත මම අක්කාටත් වඩා වේගයෙන් ඉගෙන ගත්තා.

ඉන්පස්සෙ ඉංග්‍රීසියෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට මාව කොළඹ ආන්නද විදුහලට ඇතුළත් කළා. පස්සේ ආනන්ද විදුහලෙන් අස්කරලා හුණුමුල්ල මහා විද්‍යාලයට ඇතුළත් කළා. ඒ පාසලේදී මම ශාස්ත්‍රීය සංගීතය පැත්තට යොමුවුණා. මම ප්‍රින්සිපල් බෝඩ්කරලා තමයි පාසලට ගියේ. ඒ පාසලේ හිටිය සංගීත ගුරුතුමා ජෙරාඩ් ජේ පීරිස්. එතුමා මොරටුවේ. එයා ගුවන් විදුලියෙත් ශාස්ත්‍රීය වයලීන වාදනය කරන කෙනෙක්. මම එතුමන්ගෙන් ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා.

 

ඔබේ පළමු කලඑළි දැක්ම සිදුවන්නේ මාමා ඉදිරියේ

අපේ පොඩි මාමා හිතවත් ගුරුවරයකුගේ මඟුල් ගෙදරකට සුගතදාස කියන ගුරුතුමා සහ තවත් ගුරුවරු කිහිප දෙනෙක් එක්ක කුරුණෑගල ගියා. මට සින්දු කියන්න පුළුවන් නිසා මාමා මාවත් එක්කරගෙන ගියා. ඒ කාලේ මඟුල් ගේ දවස් ගණනක් තියෙනවා. ඉතින් කට්ටිය බිම පැදුරු වල ඉඳගෙන සින්දු කියනවා. සුගතදාස මහත්තයයි මමයි සින්දු කිය කියා ඉන්න කොට මාමා ඔරේන්ජ් බාර්ලි ටිකක් බොන්න ටිකකට නැගිටලා ගේ පිටිපස්සට ගියා. දැන් සින්දු කියන එක නැවතුණා. සෙනඟ බලා ඉන්නවා. සුගතදාස මහත්තයා මට කිව්වා. පාළුයි වගේ පොඩි මහත්තයා ගහන්නකො සර්පිනාව කියලා. මම අදිමදි කළා. එයාට තේරුණා. මම මාමාට බයේ එයාගේ සර්පිනාවට අත තියන්නේ නැහැ කියලා. එයා මට බල කළා ඔයා බය නැතුව ගහන්න කියලා. ඉතින් මම සර්පිනාව ගහන ගමන් දැඩිකළ මාතා සින්දුව කිව්වා. මම සර්පිනාව ගහනවා බලන්න සෙනඟ වටවුණා. සර්පිනාවේ සද්දෙට මාමා දුවගෙන ආවා. එතකොට සුගතදාස මහත්තයා අතින් මාමාට කිව්වා මොනවත් කරන්න එපා කියලා. සින්දුව ඉවර වුණාම මාමා මම ළඟට ඇවිත් කිව්වා තව දන්න සින්දු ගහන්න කියලා. මම දිගටම දන්න සින්දු ගහන කොට මාමාත් හැඳි දෙකක් අරගෙන තට්ටු කරමින් තාලය ඇල්ලුවා. අන්තිමට සන්තොෂයට මාමාගේ ඇස්වලට කඳුළු ආවා. ඒ තමයි මගේ පළමුවැනි කලඑළි දැක්ම. ඊට පස්සේ මාමා මාව දිගටම සංගීත කටයුතු වලට එක්කරගෙන ගියා.

 

ගුරුවරයකු ලෙස පත්වීම ලැබීමත් අපූරු සිදුවීමක්

මම පීරිස් මහත්තයාගෙන් වයලීන් එක හොඳට වාදනය කරන්න ඉගෙන ගත්තා. අපි තරගවලට ඉදිරිපත් වුණා. ඒ තරග ගණනාවකින්ම ජයග්‍රහණ කරන්නත් අපිට පුළුවන් වුණා. ඒ කාලයේ මම සමස්ථ ලංකා පළමු ස්ථානයක් දිනාගත්තා වයලීන් වාදනයෙන්. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙනුත් සංගීතය හොඳින් පාස්වුණා. . එතකොට අපිට තිබුණා. 8 පන්තියෙනුත් විභාගයක්. ඒක පාස්වුණේ නැත්නම් සාමාන්‍ය පෙළ ලියන්න දෙන්නේ නැහැ. ඒ කාලයේ මම ඉස්කෝලේ හරිම ජනප්‍රියයි. අපි ‘කුවේණි‘ කියලා නාට්‍යයක් කළා. ඒකේ මම කුවේණිගේ පැත්තේ යක්ෂ සේනාපතියෙක් විදිහට චරිතයකුත් කළා. ඒ කාලයේ ජාතික සංගීත විභාගය තිබුණේ ගාන්ධර්ව සභා විභාගය විදිහටයි. ඒකෙනුත් මම පාස්වුණා. මේ ගාන්ධර්ව සභා විභාගය සමත්වුණු අයට ගුරු පත්වීම් දෙනවා. ඉතින් සාමාන්‍ය පෙළත් සමත් නිසා මට පත්වීමක් හම්බවුණා. 1959 ජනවාරි 04 වැනිදා මම හොරොව්පතාන මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා විදිහට වැඩ බාර ගත්තා.

 

ගුවන් විදුලියට සම්බන්ධවීමත් රසවත් කතාවක්

මෙහෙම කටයුතු කරගෙන ඉන්න කොට 1961 විතර දවසක් මකුලොලුව මහත්තයා සර්කිට් ආවා. හවස 4 විතර ඒ පැත්තේ අධ්‍යාපන නිලධාරි ජෝගීනු මහත්තයා එක්ක ආවේ. මේ වෙලාවේ මම සියඹලා ගහයට සර්පිනාව ගගහ ළමයින්ට කොන්සර්ට් එකක් පුරුදු කරමින් හිටියේ. මකුලොලුව මහත්තයා ඒ දිහා බලාගෙන ඉඳලා කිව්වා ඔයාලා වගේ දක්ෂයෝ මෙහෙට වැඩක් නැහැ මම ඔයාව මාරු කරනවා කියලා. ටික දවසකින් මම මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයට මාරු කළා.

1962 ගුවන් විදුලියේ සරළ ගී පාස්වුණා. 1964 ගුරුගේ මහත්තයාගේ අත්සනින් ‘නවක මඩල‘ කියන වැඩසටහනට අවස්ථාවක් ලබා දෙනවා කියලා ලිපියක් ආවා. රෙකෝඩින් වලට ආවාම රුපියල් 10 ක ගෙවීමකුත් දෙනවා කියලා තිබුණා. ගම්පහ හිටියා ටේලර් කෙනෙක් සුනිල් ශ්‍රී ගුණවර්ධන කියලා කවියෙක්. එයා මට සින්දුවක් ලියලා දුන්නා. ‘රන් කරල් පැසීලා රඟනු පෙනේ ඉපනැල්ලෙන් බිමට නැමිලා සුදු පුළුන් වලා මඳ නලින් වෙලා පාවීයයි ගම්මානෙට මිහිරි රස මවා‘ කියන ඒ ගීතයට මම තනුව නිර්මාණය කළා. ඒ තමයි මම ගුවන් විදුලියෙන් ගීතයක් ගායනා කළ මුල්ම අවස්ථාව.

 

අමරදේවයන් හා ඇසුර ගැනත් කියමු

අමරදේව මහත්මා ඉන්දියාවේ ඉඳල පැමිණි අලුත. මම එතුමන්ගේ ගීත වලට හරිම කැමැතියි. මම සංගීතය වැඩිදුර ඉගෙන ගන්න තමයි එතුමන් ළඟට ගියේ. මම ගුරුවරයෙක් නිසා එතුමා මාව යහළුවෙක් විදියට තමයි පිළිගත්තේ. මාත් එක්ක කොයිතරම් සමීපව ඇසුරු කළාද කියනවා නම් මාසයක් පමණ අපේ ගෙදර ඇවිත් නැවතිලා හිටියා. විමලා හම්බවෙන්න යන්නෙත් මාත් එක්ක. මේ ළඟ ඇසුර නිසා එතුමා සංගීත වැඩ වලට යනවිට මාවත් එක්ක ගියා. රන්මුතු දූව චිත්‍රපටයේ ගීතවලට සංගීත නිර්මාණ කරනවිට, ඒවා රෙකෝඩින් කරන විට එතුමා එක්ක මම ඒවාට සහභාගි වුණා. අමරදේව මහත්තයාටත් වාහනයක් නැහැ. අපි බස්වල තමයි යන්නේ. ගැටවරයෝ චිත්‍රපටයත් කළාට පස්සේ විදෙස් නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒකට මුදල් ගෙවද්දී තමයි එතුමාට රෙනෝල්ට් ඩෝපින් 4 ශ්‍රී කාර් එකක් ලැබුණේ. අමරදේවයන්ට මුල් කාලයේ වාහන පදවන්න බැහැ. මම තමයි එතුමා යන යන තැන කාර් එක එළෙව්වේ.

ඒ විතරක් නෙමෙයි බී. වික්ටර් පෙරේරා, ඩෝල්ටන් අල්විස් ශේෂා පලිහක්කාර කියන්නෙත් මම ළඟින්ම ඇසුරු කළ කලාකරුවන්.

 

ලෙලුම කලායතනයේ ආරම්භය කරලා වසර 40 යි.

මම දැන් කලායතනය ආරම්භ කරලා දැන් වසර 50 ක්. මේ ස්ථානයේ ආරම්භ කළේ 1973 අවුරුද්දෙ. දැන් වසර 45 ක්. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සරසවියට අනුයුක්ත කරලා විභාග පැවැත්වෙනවා.

සංගීත ගුරුවරුන් ලෙස කටයුතු කරන හත් අට සියයක පමණ පිරිසක් මගේ ගෝලයෝ ඉන්නවා. මේ ස්ථානයෙන් ඉගෙන ගන්න අය විතරක් නෙමෙයි ඒ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්අය පවා මෙයින් විභාගයට අයදුම් කරනවා.

ගම්පහ විදුහල් කිහිපයකම විදුහල් ගීත ඔබේ නිර්මාණ

ගම්පහ ගෝතමී විද්‍යාලය, ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලය, යක්කල අනුර මහා විද්‍යාලය, අකරවිට විද්‍යාකර විද්‍යාලය, කඳන්ගමුව මහා විද්‍යාලය, ලෝලුවාගොඩ මධ්‍ය මහා විද්‍යාලය, හාපිටිගම මහා විද්‍යාලය, කොස්ඇටදෙණිය විද්‍යාලය යන පාසල් වල විද්‍යාල ගීතනිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාව ලැබුණෙත් මගේ හැකියාව නිසාමයි.

අදහස්