කවි­යකු සමඟ ටික වේලා­වක්... | සිළුමිණ

කවි­යකු සමඟ ටික වේලා­වක්...

උදේ ජනේලය ඇරලා... සුනන්ද, ඔබේ අලුත් ‘විශෝධා කවි’ ගැන ටිකක් කතා කරන්න සිතුවා. මේ වෙලාවේ ගේට්ටුව ඉදිරිපිට පාරේ රතු පාට ත්‍රිරෝද රියක් නවතා තිබෙනවා. එහි පැත්තක ලොකු අකුරු පෙළක් මට මෙතැනට පේනවා:

‘Don’t Touch My Heart’

මේක හදවත බේරාගන්න කැමැති මිනිසකු වෙළෙන්දන්ට, බලවතුන්ට කියන වචනයක්ද? එසේ නැති නම් මිනිසකු අනෙක් මිනිසුන්ට ඇසුරක් එපා කියන කතාවක්ද? මගේ හදවත අල්ලන්න එපා! එසේ නම් මිනිසුන්ට කවි ඕනෑ වෙන්නේ නැහැ. කවියා කරන්නේ හදවත් සෝදිසියනේ... Heart Watch. කවිය හෘදය සත්කාරයක් නේද? මනුෂ්‍යාත්මය, සමාජාත්මය අල්ලන්න එපා කියලා කවුරුන්ද කියා තිබෙන්නේ? මේ වගෙ වචන සමාජයක ලියවෙන්නෙ කොහොමද?

මේ ‘EGO’ මනස, මමංකාර සිත ගැන සුනන්ද කවියකින් ඔබ ප්‍රශ්න කරනවා:

‘... මම නැත් නම් මේ කාරිය කෙරෙන්නෙ නෑ,

මගේ මැදිහත් වීමෙන් තමයි

මේ හැම දෙයමක් සිද්ධ වුණේ,

අන් කිසිවකට නොවේ මේ වැඩට

ස්තුතිවන්ත විය යුත්තේ මටයි,

මගේ භාරකාරත්වයෙන් තමයි

මේ හැම දේ සිදු වන්නේ,

ඔය ටික ඔහොම වන බව

මම කල් තියා කිව්වා...

කුමක්ද මේ මැතිරිල්ල?

මම - මම - මම

මගේ - ම‍ගේ - මගේ

මට - මට - මට

මමත්වය...

ඉන් එහා ලෝකයක්

නැද්ද වෙන

ඉපදුණේ මේ මතුර සමඟින්ද?’

(මැතිරිල්ල)

ලෝකය කැරකෙන්නේ තම ආත්ම කේන්ද්‍රය වටායැයි සිතන මේ මමත්වය තරම් නරකයක් මේ ලෝක තලෙහි තිබෙනවාද? අද රට කරවන තැන්වල, විශ්වවිද්‍යාලයවල, මාධ්‍යවල, සම්මාන පොරවල, මහ ආරාමවල ඇති ‘දිවමතුර’ මෙයයි.

‘නැද්ද අන් මතුරක්

සිතට සතුට දෙවන...?’

කවියා ප්‍රශ්න කරන්නෙක්මය. කවිය විශෝධනයක් වන්නේ එහෙමය.

ආ! අර ත්‍රිරෝද රථය හරවාගෙන යනවා. එහි අනෙක් පැත්තේ පද පෙළ මට පෙනෙනවා:

‘Kiss Me’ ‘මගේ හදවත ස්පර්ශ කරන්න එපා!’ කියන එකකු සිපගන්නේ කොහොමද?

පාලකයා බිහි වන්නේ බලය නිසාය. බලය නිසාමය ඔහු මොහොතින් මොහොත මිය යන්නෙත්. ජීවිතය තුළම ජීවත් වන්නට ඔහුට ඉඩ නොදෙන්නේ ඔහුගේ බලකාමි සිතය. සුනන්දගේ අවලෝකනයට හසු වන්නේ ඒය.

‘... හිතවත් පාලකය ඔබේ මෘතදේහය

බලන්නට ආ නමුත් ආචාර කරන්නට හිත නැමේද?

නැත.

ඔබට කලක් හිතේසිව නිරහංකාර ලෙස

සේවය කළ මගේ හා ඔබේ හිතවතා

හිත්පිත් නැති සේ අස් කර දැමුවේ කෙසේද?

නිවහනට ගිය ඔබට නින්දක් ලැබුණෙද?

... සිතිවිලි සමඟ පොරබදිමින් හිඳ

ඔබ මියැදුණේද එළි වන ජාමයේ?’

(පාලක මළගම)

පොරබැදුමෙන් නිදහස් වීමට පාලකයාට ලැබෙන එකම අවස්ථාව මරණය යන්නද මේ කවෙන් ලියැවෙන්නේ?

අහ‍සේදී හමු වූ ගුවන් සේවිකාවක් කවියාට සිසිල් පානයක් පිළිගන්වයි. එම බඳුනද ඔහුට ගෙන යන්නට දෙයි, ඔහුගේ ඉල්ලීම අනුව.

‘... කෙසේ අමතක වේද හිස් කළ ඒ වීදුරුව

කාලයක් තිස්සේ මගේ පොත් අල්මාරියේ

ඇය සිහි වන පිණිස ඉඳ හිට මම අතට ගනිමි

ඒ කුඩා වීදුරුව

... යමි කෙමෙන්

හිනැහෙන මුදු බොළඳ ඇය හමු වීමට’

(තායි යුවතිය)

අපගේ ජීවිතය ඇත්තේ මහ දේවල නොව, මේ පුංචි ‍අවස්ථාවල නොවේද? මහලු කවියා ඒ බඳුනෙන් විඳින්නේ හදවත් පහස නොවේද? එය පොත් අල්මාරියක නැත.

ජීවිතය යනු පෝලිමක සිටීම මිස අන් කුමක්ද කියා සුනන්දගේ ඇතැම් කවියකදී කල්පනා වෙයි. නවදිල්ලියේදී බැංකු පෝලිමක සිටියදී විදේශීය යුවළක් හමු වෙයි. පෝලිමේ යද්දීම තිදෙන කතා කරති.

‘... දැන් හුරුද මේ කෑම?

ප්‍රශ්නයක් නැහැ අපට

කෑම නොවෙයි වැදගත් දේ

එහෙනම් මොනවද වැදගත්?

මුකුත් වැදගත් නෑ මේ ලෝකේ

මොහොතින් මොහොත ජීවත් වීම

පමණක්ය වැදගත්

ඔබ දෙදෙන උගත් අය බව පේනවා?

ස්තුතියි, ඒත් අපි නූගත්තු

... අපට කියා දෙයක් නෑ අමුතුවෙන්

රැකගන්නට

අපට කියා රටක් නෑ අමුතුවෙන්

අපේ වැඩේ ඇවිදින එක

අද එක තැනක හෙට තව තැනක

අපි දෙන්න අහිකුණ්ඨික...’

(නව දිල්ලියේදී)

ඔවුන්ට ජීවිතය සංචාරයක් නොවේද? එක තැනක, එක දේක අල්ලාගැනීමක් නැතිය. බටහිර ධනගැති සමාජ ක්‍රමයෙන් නිදහස් වීමට ඔවුන් සොයාගත් විමුක්ති මාර්ගයකි මේ සන්නාසි ගමන. සියල්ල අල්ලාගත් නවීනයාම අන්තිමේදී සියල්ල අත්හරින්නාද වන්නේ? මෙගා නග‍රයේ දේපළ විකුණාදමා, ඈත නෝවීජියානු කඳුකර ගමකට යන ජෝඩුවක් ගැන ‘The Last’ නම් අපූරු චිත්‍රපටයෙන් සැබෑ කතාවක් කියවෙයි.

‘... පෝලිම කෙමෙන් කෙටි වී මගේ වාරය

පැමිණ ඇති බව දැනිණි මට’

කවියාගේ අවලෝකනය පිබිදෙන්නේ, ඇස විවෘත වන්නේ බැංකු පෝලිමකදී.

‘Brahman in the super market’

වෙළෙඳ සංකීර්ණයක් තුළදීම බ්‍රහ්මන් දැකිය හැකිය යනු මේ සත්තාව නොවේද?

නූතන මිනිසාගේ බිහිසුණුම සතුරා ‘ඝෝෂය’ යි ඇතැම් නව චින්තකයෝ කියති. ‘ජංගම දුරකතන විසි කරදමා නිදහසේ ඇවිදිමු’ කියන අසාමාන්‍ය ජනකොටසක් දැන් බටහිර රටවල බිහි වී සිටිති. මේ අලුත් පරිකල්පනවලින් සුනන්දගේ ඇතැම් ‘විශෝධා කවි’ සශ්‍රීකය.

‘ගුවන්විදුලිය වසාදැමුවෙමි කරච්චලයක් වූ නිසා

ටෙලිවිශනය වසාදැම‍ුවෙමි කරච්චලයක් වූ නිසා

එක් රැස් කළ පත්තර ටික වීසි කළෙමි කුණු කූඩෙට

නිසරු තොරතුරු දෙන නිසා

... වැඩී ඇද්ද මුළු ලොව දැනුමෙන්

නැත.

(කරච්චලය)

කවියාගේ ආදරය ගෞරවය දිනාගන්නේ අමුතු වර්ණ, අමුතු සංගීතයක් ඇති මිනිස් චරිතයි. කතන්දරකරුවා ලෝකයම පිටපත් කරන්නෙක් නොවේද?

‘... ඔන්න මහත්තයො හිටියා

එක්තරා සිංහයෙක් මහ වනයක

ඒ සිංහයා ලෙනෙන් පිට වන වෙලාවේ

අන් සතුන් බලා ඉන්නේ

හික්මීයන් ලෙසින්...

සුන්දර කතන්දරකරු නික්ම ගිහින්

කතන්දර ඉතිරි කර

(කයිකතන්දරකාරයා)

කවියාත්, කවියාගේ මිතුරාත් එකම පාසලේ, එකම විශ්වවිද්‍යාලයේ, එකම ආයතනයේ එක්ව සිටියවුන්ය.

‘... එහෙත් පියගැට පෙළේ නිතරම

මා පහළ සිටින විට

ඔහු නැඟගනී ඉක්මනින් ඉක්මනින්

මා පහළ සිට හිණිපෙතේ ඔහුට පැවසූ දේ ඇසිණිද

ඔහු මා දෙස බලා හිනැහී පවසන දේ විටෙක

මට ඇසිණිද?

... ඔහු ඇදවැටිණි පහළට

ඔහු වැතිර සිටියේ දැව කඳක් සේ පතිතව’

(පියගැටපෙළ)

දඟර තරප්පුවෙහි මිනිසුන් දිවෙන්නේ තරග දිවුමකය. ඒ ගමන මැද අනතුරු බොහෝය; භයංකරය. ඒවා උන්ටම නොපෙනේ. කවියකු උගන්වන්නේ ධර්මධරයා දෙසීමට අසමත් දේය. මේ දිවිල්ලෙන් වෙනස් කෙනෙක්ද සිටී.

‘... කොළඹ ගිහින් එන්නම්’

උදෑසනින් පිටත් වන තාත්තා සවස දුම්රියෙන් ආපසු එන්නේ පුවත්පත බලමිනි. ගෙදර ආ විගස පුතා ඒවා කියවන්නේ දැල්වෙන කුතූහල‍යකිනි. තාත්තා සුදු කමිසය කලිසම තොප්පිය ගලවා සරමක් ඇඳගෙන ළිඳට ගොස් ස්නානය කොට තේ උගුරක් බොමින් හාන්සි පුටුවේ දිගා වී විවේකය විඳින සැටි පුතුගේ ඇස්වලට පෙනෙයි. ඔහු තාත්තා ‘දකින’ සැටියි, කවියා කියන්නේ. යටගිය සමාජයක සිටි මිනිසුන්ගේ ජීවිතවල රිද්මයක් ඒ තුළ අපට ඇසී යයි.

අර ත්‍රිරෝද රථය නැවතත් පැමිණ පාරේ එතැනම නවතා ඇති සැටි පෙනෙනවා.

‘Don’t Touch My Heart

Kiss Me’

මට නම් සිතෙන්නේ මේ කවියාගේ හදවත ස්පර්ශයටය; ඔහු සිප-වැලඳගැනීමටය.

සුනන්දගේ විශෝධා කවි සංග්‍රහයේ අර්ථ රස පූර්ණ කවි රැසක් අතර කවි බවට නොපත් දුර්වල රචනාද රැසකි. ඔහු හොඳම හරිය තෝරාගත්තා නම්...

‘ඇපල් බාස්කට්-එකක රසවත්ම ගෙඩි වගෙම නරක කහට ගැටත් තිබෙනවා!’

සුනන්ද කියන්නේ එහෙමය.

මා කියන්නේ මෙහෙමය:

‘හොඳින් තෝරා සකස් කළ පලතුරු වට්ටිය වඩාත් වටිනවා.’

Comments