ඕනෑම වර්ජනයක සදාචාරයක් තිබිය යුතුයි | සිළුමිණ

ඕනෑම වර්ජනයක සදාචාරයක් තිබිය යුතුයි

පළාත් සභා ඡන්දය පවත්වන්න ආණ්ඩුව දින නියම කරන්නයි සූදානම. එහෙත් ඔබ පළාත් සභා විවේචනය කරනවා. පළාත් සභා අවශ්‍ය නැති බවයි පවසන්නේ.

ලංකාව වගේ පුංචි රටකට පළාත් සභා අවශ්‍ය නැහැ. මධ්‍යම ආණ්ඩුවයි. ප්‍රාදේශීය සභා පමණක් තිබුණහම හොඳටම ප්‍රමාණවත්. පළාත් සභා කියන්නෙ අපට අපේ රටේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් හැටියට ඉන්දියාව බලෙන් පටවපු දෙයක් මිසක් අපේ රටට අවශ්‍ය දෙයක් නෙමෙයි. මේක තනිකරම සුදු අලියෙක්.

ඔබ කොහොම කිව්වත් ජනවාර්ගික අර්බුදයට විසැඳුමක් ලෙසයි පළාත් සභා ආරම්භ කෙළේ

පළාත් සභා නිසා සිද්ධ වුණේ රටේ වැඩ තවත් අවුල් වුණු එක විතරයිනෙ. එහෙම නැතිව රටේ ජනවාර්ගික ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණෙ නැහැනෙ. පළාත් සභාවල වියදමෙන් 80%ක්ම පුනරාවර්තිත වියදම් ලෙසයි වැය වන්නෙ. එම නිසා මේ පළාත් සභා අහෝසි කළ යුතුයි.

කොහාම වුණත් මෙ වන විට පළාත් සභා ඔස්සේ බලය බෙදීමක් සිදු වෙනවා. එය උතුරු නැ‍‍‍ෙඟෙනහිර ජනතාව පවා පිළිඅරගෙන තිබෙනවා. දකුණේ අය එයට විරුද්ධ වීම තවත් ගැටලුවකට මඟ පෑදීමක් වෙනව නේද?

අවුරුදු 70ක මෙ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න ආණ්ඩුවලට බැරි වුණා. ඒකට පළාත් සභා හෝ වෙනත් ඒකක සකස් කරල හරි යන්නේ නැහැ. එකක් වෙනුවට තව එකක් ආදේශ කිරීම නෙමෙයි විසඳුම වෙන්නෙ. ආණ්ඩුවේ නිවැරැදි ප්‍රතිපත්තියයි විසඳුම විය යුත්තේ. කිසිම රජයකින් අපි එවැන්නක් දැක්කෙ නැහැ.

හැම විටම සිදුවන වර්ජන පිකටිං පිටුපස ජවිපෙ ඉන්නවා කියලා බොහෝ මැති ඇමැතිවරුන් කියනවා.

අපි වර්ජනවල පිටිපස්සෙන් නෙමෙයි ඉන්නෙ ඉස්සරහින්මයි . ජනතාවගේ ප්‍රශ්න විසඳන්න රජය අසමත් වුණහම අපිට සිදු වෙනාව අරගල කරන්න. එහෙම නැතිව කවුරුත් කැමැත්තෙන් නෙමෙයි මහ පාර ගානේ රස්තියාදු වෙන්නෙ. අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළලා දැම්මේ ඒ ආණ්ඩුවෙන් ජනතාවට වැඩක් නොවන නිසයි. මේ ආණ්ඩුව කරන්නෙ තමන්ගේ පඩි වැඩි කර ගන්න උත්සාහ දරන එකයි, අධීක්ෂණ මන්ත්‍රීවරුන් කියල කොටසක් හදාගෙන තවත් වරප්‍රසාද ගන්න හදන එකයි. පහුගිය බ්‍රහස්පතින්දාත් අපි විරෝධතාවක් කළා මැදවව්චියෙදි ගොවියන් හා එක්ව. ගොවි ජනතාවට පහුගිය කන්නෙට වගා හානි වන්දි ගෙවා නැහැ. රක්ෂණ වන්දි ක්‍රමයට ගොවි ජනතාව බඳවාගෙන ඔවුන් නිසි පරිදි වාරික මුදල් ගෙවලා, තියෙද්දි වගා හානි වන්දි ගෙවලා තියෙන්නෙ සුළු පිරිසකට විතරයි. අමාත්‍යාංශයට ගිහින් 6 වතාවක් කතා කළා. විසැඳුමක් නැහැ. ඉතින් මේ වගේ ඒවට ජනතාව වෙනුවෙන් අරගල නොකර පුළුවන්ද?

පසුගියදා ඇරැඹුණු දුම්රිය වැඩ වර්ජනය අපොස උසස් පෙළ විභාගය අතර ආරම්භ කළ වර්ජනයක්. ඔබ එය අනුමත කරනවද?

තම තමන්ගේ වෘත්තීය අයිතීන් දිනා ගැනීම උදෙසා විවිධ ක්‍රියා මාර්ග ගැනීම වෘත්තීය සමිති විසින් කරනු ලබනවා. ඕනෑම වර්ජනයක අරගලයක සදාචාරයක් තිබිය යුතු වනවා. දරුවන්ගේ විශේෂ විභාගයක් අතර ඒ වගේම ජනතාව කොළඹට ගෙනත් අතරමං කරල කරනු ලබන වර්ජන අනුමත කරන්න අමාරුයි. රජය පොරොන්දුවක් දුන්නා නම් එය ඉටු කරන්න ඕන.

මැති ඇමැති වැටුප් වැඩි වීම ගැන ඔබ කිව්වත් ඔබ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ ගැන කතා වෙනවා දැක්කෙ නැහැ. ඒ අයත් වැඩි වැටුපට කැමතියි වගේ.

අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා කිසිම මන්ත්‍රීවරයෙක් වැටුප් නොගන්න බවට. පාර්ලිමේන්තුවේ වන්නට පුළුවන්. පළාත් සභා වන්නට පුළුවන්. ප්‍රාදේශීය සභා වන්නට පුළුවන්. අපි කවුරුවත් වැටුප් ලබා ගන්නෙ නැහැ. වැටුප් සියල්ල බැර වන්නේ පක්ෂයෙ පොදු අරමුදලකට. නමුත් වැටුප් වැඩි කිරීමට අපි විරුද්ධයි. වැටුප් වැඩි කිරීම නෙමෙයි මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවටත් අපි විරුද්ධයි. මන්ත්‍රීවරුන් කියන්නෙ ගරු සේවයක් කරන අය. ඒකට වැටුප් ලබන්න බැහැ.

නමුත් සමහර මැති ඇමැතිවරුන් පැවසුවා ඔවුන්ට ලැබෙන්නේ ඉතාම සුළු වැටුපක් බව. ඔබ ඒ බව පිළි ගන්නවාද?

එක්තරා ඇමැතිවරයකු කීවා එතුමාගේ වැටුප රුපියල් 65000යි. බදු විතරක් 67000ක් ගෙවනවා කියලා. වැටුප ගැන විතරයි කිව්වෙ. ඇයි දීමනා ගැන නොකිව්වෙ. 65000ක වැටුපක් තියෙනවා නම් 67000ක් බදු ගන්නෙ කොහොමද? අතිරේක අතිවිශාල ආදායමක් තියෙන නිසානෙ. රටේ සම්පත් විකුණන් කාපු රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවල මේ ආණ්ඩුව ගෙනාවෙ ඒ වැඩ නවත්වන්න.

ඒ වුණාට ඔබ පක්ෂයේ නායකයා කියන්නෙ අගමැතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයි අතර ඩීල් තියෙනවා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඩීල් තියෙන්නෙ ඔබ පක්ෂයත් අගමැතිවරයාත් අතර කියලා.

අපිට කා එක්කවත් ඩීල් නැහැ. සේරම ඩීල් තියෙන්නෙ ඒ අය අතරේ තමයි. හරි නම් මහින්ද මහත්තයගේ පවුලම දැන් ඉන්න ඕන හිර ගෙදර.

අද රටේ සියලු ප්‍රශ්නවලට වඩා කැපී පෙනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නෙ විපක්ෂ නායකකමේ ප්‍රශ්නයයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ඒකාබද්ධයේ අය උත්සාහ කෙළේ විපක්ෂ නායක කම ගන්න නොවෙයි අගමැතිකම ගන්නනේ. ආණ්ඩුව ලබා ගන්න හිටපු අය දැන් අනෙක් පැත්තෙ බලය අල්ලන්න හදනවා. සියල්ල දේශපාලනයේ වාසි ලබා ගන්න කරන දේවල්නෙ මේ. ඒකාබද්ධ විපක්ෂය කියල පක්ෂයක් නැහැනෙ. එයාලට පුළුවන් එයාල සන්ධානෙන් අස් වුණා කියල නිල ප්‍රකාශයක් කතානායකවරයාට ලබා දෙන්න. එතකොට විපක්ෂ නායකකම ගන්න එක අසීරු නැහැ. මේ හැම කෙනෙකුම කරන්නෙ තම තමන්ගේ බලය වැඩි කරගන්න උත්සාහ කරන එක මිසක් ජනතාව ගැන හිතන එකෙ නෙමෙයිනෙ. එයාලා බලන්නෙ කොහාමද ඊ ළඟ මැතිවරණයට සල්ලි හොයා ගන්නෙ කියල. තම තමන්ගේ පවුල්වල අයට සලකන්නෙ කොහොමද කියන එකනෙ. ඒව ගැන හිතන කොට කොන්ත්‍රාත් ගැන ගසා කෑම් ගැන හිතනකොට ජනතා ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැහැ.

සිංගප්පූරු ගිවිසුමෙන් වන වාසි කිසිවක් නොබලා ඔබ පක්ෂයත් ඒ ගැන දැඩි විරෝධය පළ කරනවා.

මේ ගිවිසුම වාසිදායක නම් තියෙන වාසි ගැන රටට හෙළි කරන්න. එහෙම හෙළි කරන්න පුළුවන් නම් ජනතාව ආණ්ඩුවට විරෝධය පාන්නෙ නැතිව විරෝධය පාන අයට විරුද්ධව පාරට බහියි.

සංවාදය - තාරක වික්‍රමසේකර

Comments