ඉන්දීය කලාපයේ භූ-දේශපාලනය හා ශ්‍රී ලංකාව | සිළුමිණ

ඉන්දීය කලාපයේ භූ-දේශපාලනය හා ශ්‍රී ලංකාව

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට බදු දෙන්නට යතැයි පැතිර පවතින කතාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය යක්ෂාරූඪ වී ඇති බවක් දකින්නට ලැබේ. පසුගියදා ඔවුහු මූලෝපායික ජාතික වත්කමක් වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අත නොතබන ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනතුරු ඇඟවූහ. තමන් බලයේ සිටියදී මහජන චීනය සමග බරපතළ ගනුදෙනුවල නිරත වූ දේශපාලන කණ්ඩායමක් අද මෙලෙස කටයුතු කිරීම උත්ප්‍රාසජනක බව අමුතුවෙන් කිය යුතු නොවේ.

රාජපක්ෂවරු කොළඹ වරාය නගරය ඉදි කිරීමේදී යම් නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් චීන රජයට සින්නකරව ලියා දෙන්නට එකඟ වූ බවට සම්මුතික සාක්ෂි පවතී. එසේම හෝටලයක් ඉදි කිරීම සදහා ගාලු මුවදොර යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම මහජන චීනයට අයත් සමාගමකට බදු දුන් බව ද සත්‍යයකි. ආර්ථික කාරණා කෙසේ වුවත් රාජපක්ෂ රෙජීමයට එලෙස කටයුතු කරන්නට සිදු වූයේ ශ්‍රී ලංකාව තුළ පවතින මහජන චීන භූ දේශපාලන අභිලාශවලට පිටු පාන්නට ඔවුන්ට නොහැකි වූ නිසාය.

මහජන චීන සමූහාණ්ඩුවේ ආර්ථික උපමාරූන් අනුව පැරණි සේද මාර්ගය මත පදනම් වෙමින් අලුත් ආර්ථික උපක්‍රම මත ශක්තිමත් වූ ප්‍රතිපත්තියක් නිර්මාණය කරගෙන ඇත. ඒ ප්‍රතිපත්තිය අනුව පැරණි සේද මාර්ගයේ පිහිටි රටවල් කෙරෙහි මහජන චීන වඩා උනන්දුවෙන් කටයුතු කරයි. ඒ සේද මාර්ගයේ වඩා වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව කේන්ද්‍රගතව තිබේ. එනිසා මහජන චීනය භූ-දේශපාලනිකව ශ්‍රී ලංකාවට අත පෙවීම ලෝක දේශපාලනය තුළ යථාර්ථයකි.

මහජන චීනයේ මේ භූ-දේශපාලන අවශ්‍යතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අවශ්‍යතාද සමපාත වීම අහඹුවක් නොවේ. දරුණු යුද්දයකට මුහුණදීමට හා යුද්ධයෙන් පසු ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට මුහුණ දීමට තිබූ ශ්‍රී ලංකාවට ගෝලීය එකමුතුව හා එක් වීම හැර වෙනස් විකල්පයක් නොතිබිණි. ඒ ගෝලීය එකමුතුව තුළ මහජන චීනය, ඉන්දියාව හා පාකිස්තානයද වීම අරුමයකි! එකිනෙකට වෙනස් භූ-දේශපාලන අභිමතාර්ථ සහිත රටවල් ශ්‍රී ලංකාවේ ගෝලීය එකමුතුව තුළ රොක්වීමම ප්‍රශ්නයේ සංකීර්ණතාව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව එදා මුහුණ දුන් බරපතළ කරුණු එමඟින් පැහැදිලි කරගත හැකිය.

ලෝක දේශපාලනය තුළ යම් නිශ්චිත රටක පැවැත්ම පිළිබද සාකච්ඡා කිරීමේදී භූ-දේශපාලන විෂයය වඩා වැදගත් මඟ පෙන්වීමක් කරයි. අධිරාජ්‍යවාදය තුළද, මහ බලවතුන්ගේ අරගලය තුළද ආර්ථික කුලක තුළද තම පැවැත්ම සකස් කරගැනීමට රටකට භූ-දේශපාලන සාධක වැදගත් වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ආර්ථික දේශපාලන වශයෙන් ශක්තිමත් නොවන රටකට භූ-දේශපාලනයේ වර්ධනයන් අමතක කළ නොහැකිය. ඉන්දීය සාගර කලාපය තුළ කුඩා රටක පැවැත්ම සදහා එම විෂය අතිශයෙන් වැදගත්ය.

එහෙත් ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තර භූ-දේශපාලන අභිලාශයන් ගැන උනන්දුවක් නොදක්වයි. රාජපක්ෂ යුගයේ මහජන චීනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී වූ අන්දමින්ම වත්මනයේ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී වීම විවේචනය කරමින් පවතී. මහජන චීනයේත් ඉන්දියාවේත් භූ-දේශපාලන අභිලාශයන් තේරුම් නොගැනීම මේ ලාමක දේශපාලන හැසිරීම්වලට හේතුවයි.

මහජන චීනයට තමන්ගේම වූ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් සකස් කරගෙන කටයුතු කිරීමේදී එරටේ භූ-දේශපලාන මූලෝපායන් සකස් කරගනී. එවිට ඒ සම්බන්ධයෙන් උනන්දු වන ඉන්දියාවද තමන්ගේම වූ භූ-දේශපාලන අභිලාශයන් මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. එවිට බොහෝ දෙනකු කල්පනා කරන්නේ ශ්‍රී ලංකාව මහජන චීනයේත්, ඉන්දියාවේත් ක්‍රීඩා පිටිය විය යුතුද යන්නයි.

ජාතික රාජ්‍යයක ස්වෛරීත්වය වැනි කාරණා දැන් පරණ අර්ථයෙන් වර නැගීම ප්‍රායෝගික නොමැත. අන් රටක කටයුතුවලට මැදිහත් වීමට තවත් රටකට තවදුරටත් අයිතිය නැති බව සත්‍යයකි.

එහෙත් හිසට උඩින් කපුටකුටවත් පියාඹන්නට නොහැකි ආකල්ප මේ යුගය තුළ වලංගු නොවේ. එනිසා පැරණි ස්වෛරීත්ව සංකල පසෙක ලා අලුත් ස්වෛරීත්ව සංකලප අර්ථ දක්වා ගැනීම වහා කළ් අයුතුයග එහි අරමුණ විශාල රටවල ක්‍රියාකාරීත්වය හමුවේ කුඩා රටවල පැවැත්ම සකස් කරගැනීම මිස නව යටත් විජිතභාවයට හුරු වීම නොවිය යුතුය.

ඉන්දීය සාගර කලාපය තුළ මහජන චීනයේ අභිලාශයන් ක්‍රියාත්මක වන විට මහා ඉන්දීය රාජ්‍යයද ක්‍රියාකාරී වීම තාර්කිකය. ඒ තුළ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අභිලාශයන්ද සක්‍රීය විය හැකිය.

ඉන්දීය සාගර කලාපයේ ප්‍රබල රටවල ක්‍රියාකාරීත්වය හමුවේ සිද්ධිවාචකව විරෝධාකල්පවලින් කටයුතු කිරීම අගති සහගතය. ඒ දේශපාලන විරෝධාකල්ප කුඩා රටක ස්වෛරීත්වය ආරක්ෂා කරගැනීමට කිසිවක් නොකරයි. රාජපක්ෂ යුගයේ මහජන චීනයේ සක්‍රියතාව ගැනත් මේ යුගයේ ඉන්දියාවේ සක්‍රියතාව ගැනත් විරෝධාකලප දේශපාලනයක යෙදීම ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන ස්වෛරීත්වයට කරන්නා වූ කිසිම දායකත්වයක් නොමැත. එනිසා ලාංකික දේශපාලන ව්‍යාපාර උනන්දු විය යුත්තේ ප්‍රබල රටවල භූ-දේශපාලන ව්‍යාපෘති තුළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ශක්තිමත් කරගන්නා අන්දම කෙරෙහිය.

එහෙත් ලංකාවේ ළාබාල දේශපාලන ව්‍යාපාර කෑගහන්නේ චීනයට හා ඉන්දියාවට රට නොවිකුණවු වැනි බොළඳ සටන් පාඨ කියමිනි. ජාතික රාජ්‍ය ව්‍යුහයේ සිට වෙළෙඳපළ ක්‍රමයට විවෘත වූ සමාජ, ආර්ථික, දේශපාලන සංස්කෘතිය තවමත් බොහෝ දෙනකුට ආගන්තුකය. ජාතික රාජ්‍යය අහෝසි වෙමින් පවතින කාලයක ලෝක වෙළෙඳ සංස්කෘතියට හුරු වීම අනිවාර්යෙන් කළ යුතු හැඩගැස්මකි.

එහෙත් ඊට හුරු වීම තබා එය තේරුම් ගැනීමටවත් ලාංකික දේශපාලන ව්‍යාපාරයන්ට දැනුමක් නොමැත. මහජන චීනය සමඟ රාජපක්ෂ ආණ්ඩුව ගනුදෙනු කළේ ජාතික අරමුණ සාධනයේ ලා නොවේ. එහි‍දී බොහෝ විට සිදු වූයේ මහජන චීනයට අවස්ථාව දෙමින් රට තුළ ආර්ථික අවශ්‍යතා ඇගයීමකින් තොරව නිර්මාණය කිරීමකි. එසේම අල්ලස, දූෂණය හා වංචාව මූලික කරගත් ආර්ථික ක්‍රියාකාරිත්වයක් ශක්තිමත් කිරීමකි.

පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත් හෙළිදරවු කළ පරිදි මහජන චීනය සමග ගනුදෙනු කර රාජපක්ෂලා තම සාක්කු පුරවා ගත්හ. හම්බන්තොට හා මත්තල මහජන අවශ්‍යතාවන්ගෙන් බැහැර ඉදි කිරීම් කළහ. පරිසරයට හානි වන පරිදි කොළඹ වරාය නගරය ඉදි කරන්නට පටන් ගත්හ.

රටේ ස්වෛරිත්වයට හානි වන්නේ මෙවැනි අපරාධ නිසා මිස ජාත්‍යන්තර වෙළෙද ගනුදෙනු නිසා නොවේ.

රාජ්‍යයන් සමග මෙන්ම රාජ්‍ය එකමුතූන් සමග ද වෙළෙද සබදතා ඇති කරගැනීමේදී රට තුළ විවිධ කණ්ඩායම් ඊට එරෙහි වීම මේ යුගය තුළ බරපතළ කරුණකි.

මහජන චීනය, ඉන්දියාව සමඟ පමණක් නොව, සිංගප්පූරුව සමග වෙළෙඳ ගනුදෙනු කිරීමේදීද සමහරු විරුද්ධ වෙති. තවදුරටත් පවතින්නේ ජාතික රාජ්‍යයක් නොවන බව බොහෝ කොටස් තේරුම් නොගැනීම මීට ප්‍රබල හේතුවකිග ඔවුහු පැරණි අර්ථයෙන් ජාතිකවාදීව සංවෘත මනසකින් දේශපාලනය කරති.

එහෙත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ජාත්‍යන්තර වෙළෙඳාමේ යෙදුණු බවට සාක්ෂි පවතී. අනුරාධපුර යුගයේදී මෙන්ම පොලොන්නරු යුගයේදීද ජාත්‍යන්තරය හා වෙළෙඳාම කිරීම තාර්කික අවශ්‍යතාවක් වියග අදද ඒ අවශ්‍යතාව සක්‍රියව පවතී. ජාතික රාජ්‍ය ශක්තිමත්ව තිබූ කාලයේ පවා රටකට ජාත්‍යන්තර වෙළෙඳාමෙන් තොරව පැවැත්මක් නොමැති විය. එබැවින් ලෝක වෙළෙඳාම පුළුල්ව ඇති වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳාමෙන් තොරව රටකට පැවැත්මක් නොමැත.

පවත්නා ආර්ථික ව්‍යුහය කැඩී අලුත් ආර්ථික ව්‍යුහයක් ඇතිවීම ලෝක ආර්ථික රටාවේ අනිවාර්ය කරුණකි. පවතින ව්‍යුහය වෙනස් නොවී එලෙසම පවතින්නේ සාම්ප්‍රදායික සමාජයකය. එහෙත් දියුණු වෙමින් පවතින වෙනස් වන ලෝකයක නව ප්‍රවණතාව සමඟ ඉදිරියට යන්නට නම් ලෝක දේශපාලන වෙනස්කම් සමග සමපාත වීම අනිවාර්යවේ. ලෝක ආර්ථික වෙනස්කම් තුළ දේශපාලනය අලුත් හැඩතල වලින් සක්‍රිය වන්නේ එවිටය.

පවතින දේශපාලන ආකෘතිය මුළු එකක් ලෙස වෙනස් වීම ප්‍රශස්තය. එහෙත් පැරණි දේ වෙනුවෙන් පෙනී සිටින පිරිස් හැමදාම අලුත් දේට එරෙහි විය.

ඊට හේතුව ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ පැරණි දේ තුළ නිසාය. එහෙත් ලෝක සමාජ ප්‍රගමනයේදී දේවල් අලුත් වීම අවශ්‍යම දෙයකි. ඒ සඳහා පැරණි දේ කඩා ඉවත් කළ යුතුය. එවිට සමාජයටද අලුත් වීමට සිදු වේ. ඒ අලුත් වීම නොවන්නට අලුත් ව්‍යුහයට හැඩගැසෙන්නට නොහැකිය.

සාම්ප්‍රදායික හා ඕලාරික සමාජ කොටස්වලට අවශ්‍ය පරිදි වෙනස් නොවී සිටින්නට සමාජයකට නොහැකිය. භූ-දේශපාලන විෂයය අප භාවිත කළ යුත්තේ ඒ වෙනස් වීම සඳහාය.

ඉන්දීය සාගර කලාපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයද මහජන චීනයද ඉන්දියාවද තමතමන්ගේ මානයන්ගෙන් භූ-දේශපාලන අභිමාර්ථ කරා යෑම තාර්කිකය.

එහෙත් අපටම ආවේණික වූ විදේශ ප්‍රතිපත්තියකින් අන් රටවල භූ-දේශපාලන ප්‍රවේශයන් ජයග්‍රහණය කරන්නට හැකියාවක් පවතී.

Comments