අපි ඉල්ලන්නේ අපේ අයිතිය | සිළුමිණ

අපි ඉල්ලන්නේ අපේ අයිතිය

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බවත් ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයේ ඉදිරියටත් කටයුතු කරන බව දුමින්ද දිසානායක ඇමැතිවරයා සඳහන් කරනවා. ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය හිමි නොවන බව නේද එයින් පැහැදිලි වෙන්නේ.?

බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශ කිහිපයක් තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිටින කාලයේ කේ. බී. රත්නායක මැතිතුමාට විපක්ෂ නායක ධුරය ලබා දෙන්න කියලා යෝජනා ආ නමුත් පාර්ලිමේන්තුවේ එවකට සිටිය විපක්ෂයේ බහුතරය අනුර බණ්ඩාරනායකට ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අනුර බණ්ඩාරනායක මහතාට විපක්ෂ නායක ධූරය ලබා දුන්නා. වර්තමානයේ පාර්ලිමේන්තුවෙන් තුනෙන් එකක බහුතරයක් ඉන්න ඒකාබද්ධ විපක්ෂට විපක්ෂ නායක කම නැහැ. සය දෙනෙක් සහ දහසය දෙනෙක් ඉන්න‍ දෙමළ සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය ලබා දුන්නා.

අනිවාර්යෙන් අපිට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතුයි. කවදාවත් අපි පක්ෂ මාරු කරගෙන පක්ෂය පාවලා දීලා නැහැ. ඇමැතිකම් වලට කැමැත්තෙන් සමහරු ගියාට අපි එදා ජන්දේ ඉල්ලපු වෙලාවේ කියලා නැහැ අපි සභාග ආණ්ඩුවකට යනවා කියලා. අපි බහුතරයක් එදා සිටම සිටියේ විපක්ෂයේ ම තමයි. අපි කියනවා අපේ නිල අයිතිය ලබා දෙන්න කියලා.

නමුත් පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ‍යේ පිරිස පසුගිය මහ මැතිවරණයේ දි ජන්දය ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවත් ආණ්ඩුවේම පාර්ශ්වයේ පිරිසකට කෙසේ ද විපක්ෂ නායක ධුරය ලබාදෙන්නේ යැයි ඇතැමුන් තර්ක කරනවා?

ඇතැම් අය ආණ්ඩුවට එකතු වෙන්න වරදාන වරප්‍රසාද ලබන්න කියලා එය බහුතරයේ කැමැත්ත වෙන්නේ නැහැ. ඇමැතිකම්වලට පෙරේත කමේ අපි ගියේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය කියලා කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් වෙලා නැති බවත් ඒ අනුව එවැනි තනතුරක් ලබා දිය ‍නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් සඳහන් කරනවා.?

ඒකාබද්ධ විපක්ෂයෙන් කියලා අපි ජන්දය ඉල්ලුවේ නැහැ. අපි සන්ධානයක් විදිහට තමයි ජන්දය ඉල්ලුවේ. සන්ධානයේ කොටස්කරුවන් පාර්ශ්වයන් විදියට දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල වාසු දේව නායනායක්කාර විමල් වීරවංශ යන පාර්ශ්වකරුවන් ඇතුළු විශාල පිරිසක් තමයි ඒ ව‍ටා ඒකරාශි වී සිටි‍යේ. ඒ අයගේ අති බහුතරය විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා. සන්ධා‍නයේ ඇතැම් පිරිස් හවුල් ආණ්ඩු සමඟ එකතු වුණා කියලා අනෙක් අයත් ඒ පස්සේ යන්න අවශ්‍ය නැහැ. අපි ඉල්ලුවෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂා කරලා අපිට මේ තනතුර ලබා දෙන්න කියලා.

ඒකාබද්ධ විපක්ෂයේ බහුතර පිරිසක් හිටියට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දිය නොහැකි බව ඇතැමුන් සඳහන් කරනවා ?

19 වැනිව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණායින් පසුවත් දින සියයේ ආණ්ඩුවේ විපක්ෂ නායක ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාත් විපක්ෂ නායකවරයාව හිටියා. එය ව්‍යවස්ථාවට පටහැණියි. ඒ වගේම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උදවියට ඇමැතිකම් දරන්න පුළුවන් කම තිබුණා.

19 සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ එතුමා එම ධුරයෙන් ඉවත් වුණා නේද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු වූ පසුත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ධුරයේම කටයුතු කළා ආණ්ඩුව විසුරවා හරින තුරු. එහෙම නම් ඇයි අද අපිට මේ තනතුරු දෙන්න බැරි .

ආණ්ඩුවත් සමඟ ඩීල් දාන කට්ටියත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා. උඩ බලා‍ගෙන කෙළ ගහගන්න බැරි නිසා හෙළිදරව් කරන්න නැහැ කියලා ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා. පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදය නේද මේ මතු වෙන්නේ ද ?

ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවත් සමඟ ඩීල් දාපු අය ආණ්ඩුවට ගිහින් දැන් කරන්න දෙයක් නැතුව ඉන්නවා. අපි නම් ආණ්ඩුව සමඟ ඩීල් දාන්නේ නැහැ. ඒ වගේ කතා කියන අයගෙන් ම තමයි අහන්න වෙන්න ඕන. කවුද ඩීල් දාන්නෙ කියලා.

පළාත් සභා ඡන්දය කල්දැමීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීමටත් ජනතා විරෝධතා මතු කිරීමටත් කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කිව්වත් ඇතැම් පළාත්වල පළාත්සභා කාල සීමාව තවමත් අවසන් වී නැහැ නේද?

අපි කියන්නේ ඔනෑම ක්‍රමයකට මැතිවරණය පවත්වන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි සුදානම් කියලයි. ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් බය වෙලා ඉන්නවා ප්‍රාදේශිය සභා මැතිවරණයේ ගත් ජන්ද ප්‍රතිපලය මෙවරත් අත්විදින්නට වෙයි කියලා.

අපි කියන්නේ ඕනෑම ක්‍රමයකට මේ මැතිවරණය පවත්වන්න කියලයි.‍මේ කොට්ඨාස ක්‍රමය තුළ 60% හෝ 40% තිබිල ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න බැරි වුණා බහුතර බලය ලබා ගත්ත අයටත් බලය පිහිටගන්න බැරිව ගියා. ඒ වගේම තමයි සියයට පනහට පනහ ආවොත් අස්ථාවර පළාත් සභා බිහිවෙනවා. ඒවගේම ඒ ආයතනවල කටයුතු කිරීම අසීරු වෙනවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා ගෙනාවා වගේ 70%‍ සහ 30% යෝජනාව ගෙනාවොත් මෙය සාර්ථක වෙයි කියලා.

ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තර ඇති අර්බුදය වහගන්න විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවුල ඇති කරනවා යැයි ඇතැමුන් චෝදනා කරනවා ?

‍අපේ පක්ෂයේ අර්බුද නැති බව අපි ඉතා හොඳින් සනාථ කරලා අවසානයි පසුගිය මැතිවරණ කාලයේදී. පැහැදිලි ප්‍රතිපත්තියක් නැත්තේ ඒ අයගේ . අපේ පොදු අරමුණ ආණ්ඩුව පරාජය කිරීමයි . ඒ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් . අපේ පොදු අරමුණ එයයි. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබදව නොයෙක් දෙනා ‍නොයෙක් යෝජනා කළත් තවම ඒ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ ‍කිසිදු සාකච්ජාවක් සිදු වෙලා නැහැ.

සංවාදය - සුභද්‍රා දේශප්‍රිය

 

Comments