අපේ ක්‍රිකට් මේ කොහෙද යන්නේ? | සිළුමිණ

අපේ ක්‍රිකට් මේ කොහෙද යන්නේ?

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය කලින්ම ජයගත් දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියේදී තමන්ට රිදෙන්නට පහර දුන් ශ්‍රීලංකාවට හැරෙන පමාවෙන් වැටෙන්නට ම පහර දුන්නේය . මේ දේවල් එකිනෙක පෙළ ගැසෙද්දී, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංගට එරෙහිව තරග පාවාදීමක් මුල්කර ගනිමින් බාල්දියක් පෙරළු අතර, කල් යල් බලා පිළිතුරු දුන් අර්ජුන සහ අරවින්ද ඊට නොදැවිනි ප්‍රහාරයක් එල්ල කළහ. දැන් සියල්ල කිසිවක් සිදු නොවු පරිද්දෙන් නිශ්ශබ්දය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ කරමින් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ අතීතයේ සියලු සිද්ධින් අමතක කර දමා මිළඟ ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් අත්වැල් බැඳ ගත යුතු බවය. එමෙන්ම හොඳ කණ්ඩායමක් සකසා ගැනීම සඳහා සියලු දෑ අලුතින් ආරම්භ කළ යුතු බවය. මේ සියලු දේවල් එක මිටකට ගොනු වන විට මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය දක්වා යන ගමනේදී ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් එක්දින තරගාවලි තුනක් පමණි.

ශ්‍රීලංකා එක්දින කණ්ඩායම 2016 න් පසු දෙරටක් අතර පැවැති තරගාවලියන්හිදී පරාජය කර ඇත්තේ අයර්ලන්තය පමණි. බංග්ලාදේශය සමඟ පැවැති එක්දින තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර ඉතිරි තරගාවලි සියල්ලම පරාජය වී තිබේ. පසුගිය වසරේ සිම්බාබ්වේ හමුවේ පවා 3 -2 ක් ලෙස පරාජය විය. ශ්‍රීලංකා දකුණු අප්‍රිකානු තෙවැනි එක්දින තරගය නිම වන විට ගෙවී ගිය කාලය තුළ ශ්‍රීලංකාවට ජයග්‍රහණ පහක් හිමි වන විට පරාජයන් තිස් තුනකි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිඩකයන් මේ ගෙවෙන මොහොත වන විට පසුවන දෙගිඩියාව පිළිබඳ අටුවා ටීකා ඇවැසි නැත. මේ දෙගිඩියාවෙන් ක්‍රීඩා පිටියේ කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යන්නවත් හරි හැටි අ‍ව‍බෝධයෙන් පසුවේද යන්න නොදනිමු. කෙසේ නමුත් කිසිවෙකුටත් සැහැල්ලුවෙන් නම් මේ ගමන යා නොහැකි බව සියලු දෙනා අවබෝධකර ගත යුතුය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී දඟ කැවෙන තණ තීරු සකසා ගෙන තරග ජය ගත්තද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ මෙන්ම එංගලන්ත සහ දකුණු අප්‍රිකානු තරගාවලියේ ඒ සියලු සෙල්ලම් ලෙල්ලම් වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා එළැඹෙන ඕනෑම තරගාවලියකට මුහුණ දීමට හැකි තැනක ශ්‍රී ලංකා කණ්ඩායම සිටගත යුතුය.

මේ සියලු සැලසුම් ඇතුලත නායක ඇන්ජලෝ මැතිව්ස් එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරන උපරිම දුර අතුරු උපද්‍රවයකින් තොරව ගමන් කළ යුතුය. පසුගිය කාලයේ දිගින් දිගටම මැතිව්ස් ආබාධවලට ලක් වූ අතර ඒ නිසාම ඇහින්දාස් නායකයන් කිහිප දෙනකු යටතේ ම පිටියට බසින්නට ශ්‍රී ලංකාව‍ට සිදු විය. මේ තත්වය වහාම වෙනස් විය යුතුය. ස්ථිර නායකයකු යටතේ හොඳ සංචිතයක් පවත්වා ගෙන යෑමට ද බලධාරින් කටයුතු කළ යුතුය.

අත්හදා බැලීම්වලට කාලය කා දැමීම තේරුමක් නැති වැඩකි. කකුල් කැඩුණු අශ්වයන් එළියේ තබා දුවන්නට හැකි ජව සම්පන්න අශ්වයන්ගෙන් ගාල පුරවා ගත යුතුය. මෙහිදී සෑම ක්‍රීඩකයකුම සිතට ගත යුත්තේ පෞද්ගලිකව තමන්ටත්, කණ්ඩායමටත් සෑම තරගයක් ම කොතෙක් වැදගත් ද යන්නයි. 

අදහස්