'මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගකරුවෝ ෆවුසුල් හමීඩ් අතින් හැඩගැන්වෙති | සිළුමිණ

'මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා' තරගකරුවෝ ෆවුසුල් හමීඩ් අතින් හැඩගැන්වෙති

සියත ටීවී සංවිධානය කරන සියත මිස්ටර් වර්ල්ඩ් 2018 නිරූපණ උත්සව අවස්ථාව, ශ්‍රී ලංකාවේ විලාසිතා කලාවේ විශේෂඥයා වන ෆවුසුල් හමීඩ් විසින් හැඩ ගන්වන ලද තරුණයන්ගෙන් ඒකාලෝක විය. කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගිය දින පැවැත්වුණු අතිඋත්කර්ෂවත් සියත මිස්ටර් වර්ල්ඩ් 2018 අවසාන මහා තරඟයේ දී මනෝජ් සුරංග ද සිල්වා සියත මිස්ටර් වර්ල්ඞ් 2018 ජයග්‍රාහකයා ලෙසින් කිරුළු පැලඳි අතර මේ අනුව ඔහු පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වීමට නියමිත මිස්ටර් වර්ල්ඩ් 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කර ගත්තේය.

“දශක ගණනාවක් පුරා දිවෙන මෙවැනි ඉසව්වක් සමඟ සම්බන්ධ වීමට ලැබීම මා ලැබූ ගෞරවයක් කියා කියන්න පුළුවන්. හමීඩියා ගමන් මඟේ වසර 70 ක් පුරාවට මෙවැනි ලොව පිළිගත් විලාසිතා ඉසව් ගණනාවකට දායකත්වය ලබා දී තිබෙනවා. එවැනි තරග ඉසව් සඳහා එක්වන තරගකරුවන් ලෝක මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය සහාය නිරන්තරයෙන් ලබා දීමට ලැබීම මා ලැබූ අනගි අවස්ථාවක් ලෙසින් හඳුන්වන්න කැමතියි”, යැයි විලාසිතා විශේෂඥ, හමීඩියා කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් මහතා කියා සිටියේය.

මෙහිදී පැවති පුහුණු සැසිය සඳහා එක් වූ යොවුන් තරගකරුවන් මුළු දිනය පුරාවටම ඉතාමත් ඕනෑකමින් සිටියේ මීට අවශ්‍ය සියලු දෑ දැන ගැනීමේ අටියෙනි. එහිදී අවසාන කිරුළ වෙනුවෙන් අභිසෙස් ලබා සිටි තරඟකරුවන් 18 දෙනා හට පුද්ගල හැඩගැන්වීම, ජීවන ශෛලීන් හා ආචාර රීතීන් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීමට ෆවුසුල් හමීඞ් විසින් කටයුතු කළේය. ෆවුසුල් හමීඞ් ඇකඩමිය විසින් දියත් කරනු ලැබූ පුහුණු සැසිය, තරගකරුවන්ගේ විශ්වාසය වැඩියදියුණු කිරීමට මනා වේදිකාවක් විය.

අදහස්