සල් ගසේ අවුල නිවැරදි කරගත යුතු ඓතිහාසික වැරැද්ද | සිළුමිණ

සල් ගසේ අවුල නිවැරදි කරගත යුතු ඓතිහාසික වැරැද්ද

සල් ගස ශ්‍රී සම්බුද්ධ චරිතය හා බැඳුණු පුජනීය වෘක්ෂයකි. එමෙන්ම පළමු ශ්‍රේණියේ ඉගෙනගන්නා කළ අපි සාමා සහ අමර සහ එක්ව සල් මල් කැඩුවෙමු. එහෙත් සම්බුද්ධ චරිතය හා බැඳුණු නියම සල් ගස එය නොවෙන බවට විද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි ඇත. අප සල් ලෙස හඳුන්වන ශාකය ඉන්දියානු උප මහද්වීපය ආසන්නයේවත් නොතිබුණු, බ්‍රිතාන්‍යයන් විසින් 1881 දී ලංකාවට හඳුන්වාදුන් ශාකයකි. එම ශාකය ඉන්දියාවට හඳුන්වා දී තිබෙන්නේ ද ලංකාවට හඳුන්වාදීමෙන් අනතුරුව බව 1872 දී ප්‍රකාශයට පත් කෙරුණු The Flora of British India නමැති කෘතිය සාක්ෂි දරනු ඇත.

එමෙන්ම අද අප සල් ලෙස හඳුන්වන ශාකයට වර්ෂ 1901 වන විටත් ලංකාවේ ජනතාව සල් යන නම භාවිත නොකළ බව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ඇති සාක්ෂි අනුව ඉතා පැහැදිලි වේ.

අප සල් ගස ලෙස හඳුන්වන ශාකය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන්නේ නම් සංදේශ කාව්‍යවල හා අතීත ඓතිහාසික ලේඛනවල සඳහන් සල්ගස කුමක් ද? එමෙන්ම සම්බුද්ධ චරිතය හා බැදුණු නියම සල් ගස කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම ද ඉතා වැදගත් වේ.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා මේ පුවත අප සමඟ පළමු වරට අනාවරණය කළේ 2000 වසරේ දී ය. කීර්තිමත් උද්භිද විද්‍යාඥයකු වූ එතුමන් එම පැහැදිලි කිරීම සඳහා විද්‍යාත්මක හා ඓතිහාසික සාධක රැසක් යොදා ගන්නා ලදී. ඒ අතීත මතකය දිගේ සුනෙත් පෙරේරා සුමිතුරා සමඟ මම පසුගිය සතියේ නැවතත් මහනුවරට ගොස් ජීවමාන සාක්ෂි සියැසින් දැක, විද්‍යාත්මක ලේඛන අධ්‍යයනය කර මෙම ලිපිය සම්පාදනය කරන බව පළමුව සිහිපත් කරනු කැමැත්තෙමි.

සාමාන්‍ය ජනතාව සල් ලෙස හඳුන්වන්නේ Couroupitaguianensis (කුරෝපිටා ගයනෙන්සිස්) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකයට ය. එහි ඉංග්‍රීසි නම Cannon balltree (කැනන් බොල් ටී‍්‍ර) ය. මේ ශාකයේ ඵලය මලකඩ කෑ කාලතුවක්කු උණ්ඩයක් වැනි ය. එබැවින් කාලතුවක්කු උණ්ඩ ගස ලෙස උද්භිද විද­්‍යාඥයෝ මේ ශාකය හඳුන්වති. ශාක වර්ගීකරණය අනුව එය ලෙසිතිඩේසියේ කුලයේ (Family –Lecythidaceae) ශාකයකි. එහි ඉතා අලංකාර මල් කඳේ හටගනී. එහෙත් ඉන්දියාවේ හෝ නේපාලයේ සල් වනවල ඇත්තේ මේ ශාකය නොවේ. එය ඉන්දියන් සල් ය.

මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පෙන්වා දෙන්නේ සම්බුද්ධ චරිතය හා බැඳුණු නියම සල් ගස ඉන්දියන් සල් විය යුතු බවයි. එම ශාකය ලංකාවේ අපි සල් ලෙස හඳුන්වන ශාකයට වඩා බොහෝ වෙනස්කම් දක්වයි. ඉන්දියන් සල් යනු විද්‍යාත්මකව Shorearobusta (ෂෝරියා රොබුස්ටා) ලෙස හඳුන්වන ශාකය යි. ඉංග්‍රීසි බසින් Sal Tree (සල් ටී‍්‍ර) ලෙස හඳුන්වන එම ශාකය අයත් වන්නේ ද Dipterocarpaceae (ඩිප්ටෙරකාපසියේ) කුලයට ය. එනම් හොර කුලයේ ශාකයකි.

ඉන්දියන් සල් ගස අතු නොබෙ දී ඉතා උසට වර්ධනය වේ. එහි කඳේ මල පිපෙන්නේ නැත. සෙන්ටිමීටර් දෙකක් පමණ කුඩා සුදු පැහැති මලක් අතු අග දක්නට ලැබේ. කඩල ඇටයක් තරම් කුඩා ඵලය පියාපත් සහිත ය. ළා කොළ පැහැති පත්‍ර එතරම් දිගටි ස්වභාවයක් නැත. එහි මල් පිපෙන කාලය සිදුහත් කුමරුගේ උපත හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ කාලය සමගද සමපාත වේ.

අප බොහෝ දෙනා සල් ලෙස හඳුන්වන ශාකය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් බවත් එම ශාකයට අතීතයේ දී සල් යන නම භාවිත නොකළ බවත් අපි මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කළෙමු. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ලේඛන පරීක්ෂා කිරීමෙන් හා එම භූමියේ පිහිටි සිහිවටන ශාක කලාපය පරීක්ෂා කිරීමෙන් ඊට සාක්ෂී සොයා ගත හැකිය. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සිහිවටන ශාක කලාපයට ගිය විට 1901 දී හය වන ජෝර්ජ් රජු විසින් සිටුවන ලද ගසක් දක්නට ලැබේ. එය අද අප සල් ලෙස හඳුන්වන ශාකයකි. එහෙත් එහි සිහිවටන ඵලකයේ සිංහල නාමය සඳහන් කිරීමේ දී සල් ලෙස ලියා නැත. ඒ වෙනුවට ලියා ඇත්තේ එම ගස අයත් ගණ නාමය වන කුරෝපිටා යන්න යි. අදටත් මේ ශාකය ඉදිරිපිට ඇත්තේ 1901.04.14 දින සවි කළ පැරණි පුවරුවම බැවින් 1901 වන විට ද මේ ගස සල් ලෙස හඳුන්වා නොමැති බව ඉතා පැහැදිලි වේ.

දශක තුනකට අධික කාලයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සේවය කළ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා සිය අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දෙන්නේ මේ ශාකයට ඒ වන විටත් සල් ලෙස භාවිත වූයේ නම් එහි සේවකයකු හෝ මෙය සල් ගසක් ලෙස පෙන්වා දී එම නාමය පුවරුවට ඇතුළත් කරන බවය.

සැලලිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍යයන් හා ඓතිහාසික ලේඛනවල සඳහන් සල් ගස කුමක්දැයි දැන් අවධානය යොමු කරමු. මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පෙන්වා දෙන්නේ එම සල් නම් කටු ඉඹුල් ශාකය විය හැකි බව ය. කටු ඉඹුල් යනු ඉන්දියාවේ ජනයා සල් හඳුන්වන, රතු පැහැති ඉතා අලංකාර මල් පිපෙන ශාකයකි. එහි පැරණි විද්‍යාත්මක නාමය වූයේ ද salmaliamalabarica (සල්මලියා මලබාරිකා) ය. පසුව එය බොම්බැක්ස් මලබාරියා (Bombaxmalabarica) ලෙස වෙනස් කෙරුණි. එම කටු ඉඹුල් මල් බිම වැටුණු පසු රතු පලසක් එලා ඇතිසේ පෙනේ. එබැවින් එය කවීන්ට වස්තු බීජයක් වන්නට ඇත.

අපේ රටේ ගම්වල නම් ද ඇතැම් විට සල් හා සම්බන්ධ වේ. සල් පිටිය, සල්පිටි කෝරලය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය. මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ අදහස වී තිබෙන්නේ එය හල් යන්නෙන් බිඳී ආ බවයි. හල් ගස යනු මුළු ලොවින්ම ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන, ආවේණික ශාකයකි. ඒ පිළිබඳව අප වෙනම විග්‍රහයක් කර ගැනීම අගනේ ය. මෙම ලිපියේ අරමුණ සම්බුද්ධ චරිතය හා බැඳුණු සල් වරදවා ගැනීම ගැන ය.

ලංකිකයන් වන අප සල් ගස වරද්දාගෙන ඇති බව තේරුම්ගත් උද්භිද විද්‍යාඥයන් විසින් සම්බුද්ධ චරිතය හා සම්බන්ධ ඉන්දියන් සල් ලංකාවේ විහාරස්ථාන වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් මීට වසර අටකට පමණ පෙර ආරම්භ කරන ලදී. නේපාලයෙන් ගෙනවන ලද එම සල් බීජ රෝපණය කරනු ලබන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ පිහිටි සුවිශේෂි ස්ථානයකය. මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ආරම්භ කරන ලද එම ව්‍යාපෘතිය යටතේ මේ වන විටත් පැළ දහසකට වඩා රෝපණය කර රට පුරා බෙදා හැර තිබේ. එහෙත් නිවැරදි සල් ගස පිළිබඳව රටේ සාමාන්‍ය ජනයා තුළ පැහැදිලි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත.

සිදුහත් කුමරු උපත ලද ස්ථානයේ තිබුණු වෘක්ෂය සම්බන්ධයෙන් ඉන්දියාවේ හා නේපාලයේ ද ඉතිහාසඥයන් අතර ද විවිධ මත පවතී. තායිලන්තයේ ජනයා ද ලාංකියයන් මෙන් සල් ගස පටලවා ගෙන ඇති බව මහාචාර්ය විජේසුන්දර මහතා අප සමඟ ප්‍රකාශ කළේය. මෙම ලිපියේ අරමුණ වන්නේ ඓතිහාසික වරදක් නිවැරදි කිරීම පමණි. එය බුදු දහමේ චිරස්තථියට හේතු වන බවට ද අපි විශ්වාස කරමු.

ෂර්ලි උපුල් කුමාර

අදහස්