ලබන සති අග රුවන්මැලි මහා සෑයේ කෙරෙන මහා අසදෘශ පූජාව කුමක්ද? | Page 2 | සිළුමිණ

ලබන සති අග රුවන්මැලි මහා සෑයේ කෙරෙන මහා අසදෘශ පූජාව කුමක්ද?

අපේ බුදු දහම අනුව අපට සිදු කළ හැකි පින්කම් පූජා බොහෝ ය. ඒ අතර කඨින පූජාව අටපිරිකර ප‍ූජාව, අලෝක පූජාව‍, ගිරිභණ්ඩ ප‍ූජාව, අටවිසි බුද්ධ ප‍ූජාව ආදිය ප්‍රමුඛ වේ.

මේ අතර අපට දැක බලා ගැනීමට ඉතා විරල අසදෘශ මහා බුද්ධෝපහාර පූජාවක් පිළිබඳව අපට තොරතුරු ලැබිණි. ඒ එලොව මෙලොව දෙකටම සෙත සදන මහා අධිෂ්ඨාන බල පූජාවක් පිළිබඳ තොරතු‍රුය.

මේ මහා අධිෂ්ඨාන පූජාව 11 වැනිදා පස්වරු 4 සිට පසුවදා උදේ 10 දක්වා අනුරාධපුරයේ රුවන්මැලි සෑය අසල දී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි. පූජාවේ සියලු කටයුතු මෙහෙයවනු ලබන්නේ නිසල විල පදනම මගිනි.

මෙවර මේ මහා අධිෂ්ඨාන පූජාවේ තේමාව “ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන්නයි.” එය සංවිධානය කරන්නේ නිසල විල පදනමයි. මෙම පින්කමේ සංවිධායකවරුන් පවසන පරිදි මේ පින්කම සඳහා ඉහත තේමාව යොදාගෙන ඇත්තේ සුවිශේෂී කරුණු කාරණා ගණනාවක් නිසා ය.

එම තේමාව පිළිබඳව නිසල විල පදනම කරුණු පැහැදිලි කර ඇත්තේ මේ අයුරිනි. “මේ මහා පින්කමට නන් අයුරින් දායකත්වය දක්වන එ වගේ ම දැකබලා ඒ මහා පුණ්‍යගංගාව අනුමෝදන්වෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ඔබහටත් පෙනෙන නොපෙනෙන සියලු ලෝක සත්වයන්හටත් අරිහත් සුවය ලබාගන්නට හේතු වාසනා ලැබේවා කියලා පතනෙක තමයි පැතිය යුතු හොඳම පැතුම. ඒ වගේම පෙනෙන නොපෙනෙන සියලු ලෝකවල සත්වයන් ලක්ෂ ගණනින් අප්‍රමාණව මේ මහා පින්කම අනුමෝදන්වන නිසා පැතුම සීමා නොකර ලක්ෂ ගණනින් යනුවෙන් ශබ්ද වන සීමාවක් පනවන්න බැරි අසීමිතයි කියන අර්ථය දෙන වචනය යෙදුවා. යොදලා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන ආශිර්වාදාත්මක පැතුම සියලු ලෝක සත්වයන් කෙරෙහි පතන්න අපි අධිෂ්ඨාන කරගත්තා. ඉතිං ඔබ අප සංවිධානය කරපු මේ මහා අසදෘශ පින්කම පහන් සිතින් අනුමෝදන් වුණ ලක්ෂ සංඛ්‍යාත ජනතාව වගේ ම අසංඛ්‍ය ගණනින් සත්වයන් ඒ හේතුවෙන් ඒකාන්තයෙන් ම සසර වැඩිදුර නොගොස් අරිහත්වය ලබන බව අපි පින්කම‍ට කලින්ම සද්ධර්මයෙන් සොයාගත්තා.”

සියලුම දේවල්ම පාහේ නොඉඳුල්ව සකසාගෙන මාස ගණනක්ම නිර්මාංශව පේවීඋන් දහස් ගණනක ශ්‍රද්ධාබුද්ධිසම්පන්න ජනතාවගේ ශ්‍රම බලය යොදවමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දායකත්ව ශක්තියෙන් පෙනෙන නොපෙනෙන අසංඛ්‍ය සත්ත්වයන්ගේ සාධුකාර මධ්‍යයේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේලා ජීවමානව වඩමවනවා යැයි සිහිකරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 නමක් උඩුවියන් සෙවණ ලබමින් යෝධ රන් පාවඩයක් මතින් වඩමවනු ලැබේ. මේ මිහිමත ඇති බලගතුම ස්ථානය වන රුවන්වැලි මහා සෑ රදුන් වටා ලක්ෂ ගණනක සුවඳ මලින් මනාවට සැකසූ මල් මණ්ඩප 28 ක් මත අටවිසි බුදු හාමුදුරුවන්ගේ ප්‍රතිමා වඩමවා හිඳුවා ලක්ෂයක් නොඉඳුල් පහන් එළි දල්වමින් දස ලක්ෂයක් විදුලි බුබුළු ආලෝකයෙන් අවට පරිසරය ඒකාලෝක කරමින් නොඉඳුල්ව සකසා ගත් පූජාවන් 26 ක් රැය පහන් වන තුරුම පෙරහැරින් වැඩම කරවමින් අසීමිත බුදුගුණකඳ උදෙසා පූජා කළ ඒ මහා අධිෂ්ඨාන බල පූජාව පැවැත්වේ.

අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පවත්වන මේ සුවිශේෂි පූජාව මෙවර සිදු කරන්නේ දෙවැනි වරටත් ප්‍රථම පූජාව 2017 අගෝස්තු මාසයේ සිදු කෙරිණි.

අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් වටා තැනවූ විශේෂ මල් මණ්ඩප මත අටවිසි බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රතිමා හිදුවා ඒ උතුම් ගුණකඳ සිහිකර මෙම පූජාව පවත්වනු ලැබේ.

මේ සුවිශේෂ අර්ථ දක්වන ප‍ූජාවේ වැඩපිළිවෙළ අනුව මේ අධිෂ්ඨාන පූජාව සුවිශේෂී පූජා ගණනාවකින් යුක්තය. ඒ අනුව නොඉඳුල් පොල් තෙල් පහන් පූජාව හා දස ලක්ෂයක් විදුලි බුබුළු දල්වන මහා විදුලි ආලෝක ප‍ූජාව ඒ අතර ප්‍රමුඛත්වය ගනී. මේ අධිෂ්ඨාන ප‍ූජාවට සම්බන්ධ අනෙක් පූජා මෙසේ ය.‍

ලක්ෂයක් නෙළුම් මල් පුදදෙන මහා නෙළුම් මල් ප‍ූජාව, ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පූජාව, දිය නොමුසු කිරෙන් සකස් කළ නොඉඳුල් මහා කිරිපිඬු පූජාව, රුවන්වැලි මහා සෑ රඳුන් වටා පළඳවන මහා අධිෂ්ඨාන බල වටතිර පූජාව, නොඉඳුල් මහා චතුමධුර ප‍ූජාව, නොඉඳුල් මහා රන් තැඹිලි පැන් පූජාව, මහා ස්වර්ණ සංඛ පූජාව‍‍, හඳුන්කූරු ලක්ෂයේ මහා හඳුන්කූරු පූජාව, ලක්ෂයක් කොඩි ලෙළදෙවන මහා කොඩි පූජාව, අති උතුම් රන් අටපිරිකර පූජාව, ඖෂධ වර්ග 108 කින් සමන්විත මහා ඖෂධ පූජාව, නොඉඳුල් නැවුම් පලතුරු පූජාව, නොඉඳුල් මහා කැවිලි පූජාව, පිච්ච මල් ලක්ෂයක් පුදදෙන මහා පිච්ච මල් පූජාව, නොඉඳුල් මහා කිරිපැණි පූජාව, නොඉඳුල් මහා විලඳ මී පැණි පූජාව, සුගන්ධවත් මහා දැහැත් පූජාව, නොඉඳුල් මහා අෂ්ඨපාන පූජාව, අතිඋතුම් මහා සේසත් පූජාව, ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමේ පූජාව ඒ අතර වේ.

මේ ලක්ෂයක් පහන් නොඉඳුල් තෙලින් දල්වන මහා පහන් අ‍ලෝක පූජාවට පොල් තෙල් ලබාගන්නේ අතට පොල් කඩාගෙන හිස් වැසුම් අත් වැසුම් මුඛ වාඩම් ඇතිව ඒ පොල් අතින් ම ගා ඒවා පිරිසුදු තාච්චිවලට දමා තෙල් හිඳීමෙනි. ඊට පසුව ලැබෙන පොල් කුඩු හා පොල් කටු පවා පූජාව අවසන් වනතුරු ඉවතට දමන්නේ නැත. නොඉඳුල් නැවුම් පලතුරු ප‍ූජාව ද සිදු කරන්නේ එලෙසින් ම අතට කඩාගත් පලතුරු පිරිසුදු කර ‍උඩුවියන් යටිවියන් ඇතිව හිස් වැසුම් අත්වැසුම් මුඛ වාඩම් දමා ඒ පලතුරු පූජාවට යවනු ලැබේ. කිරිපිඬු පූජාවට සහල් ලබාගන්නේ වෙනමව ඉතා පිරිසුදුව පේවී වැවූ කුඹු‍රුවලින් ය.

නොඉඳුල් කිරි පැණි පූජාවට කිරි දොවාගන්නේ මුඛවාඩම් අත් වැසුම් ඇතිව අලුත් පාත්‍රවලටය‍. ඒ පාත්‍රවලට දොවාගන්නා කිරි පසුව ඉතා පිරිසුදුව කිරිපැණි ලෙස සකස් කරනු ලැබේ. පැණි ද ආගමානුකූලව සැකසේ.

මේ අයුරින් සියලු පූජා නොඉඳුල් අයුරින් ඉතාම පිරිසුදුව සකස්කර පූජාවට සම්බන්ධ කරන අතර මේ සියලු පූජාවන් මුතුකුඩ, සේසත්, උඩුවියන්, යටට පාවාඩ උඩින් හේවිසි හොරණෑ මධ්‍යයේ රුවන්වැලි සෑ චෛත්‍යය වෙත රැගෙන යනු ඇත. නිසල විල පදනම මේ සුවිශේෂී පින්කම සංවිධානය කරන්නේ මෙරට ස්වාමින් වහන්සේලාට ද ගිහි පින්වතුන්ට ද පින් සිදුකර ගැනීමට ඉඩ සලසන පුණ්‍යකර්මයක් ලෙස ය.

මේ පූජාව සඳහා මෙරට ඉහළම තනතුරු දරන පුද්ගලයන් මෙන් ම පහළම ගමේ ජනතාව පවා පූර්ණ සහය දක්වති. ඒ අනුව මේ සද් කාර්යය දෙලොව වැඩ පිණිස උතුම් නිවන් සුව පිණිස හේතුවන මහා පුණ්‍ය කර්මයක් බව අපිදු පසක් කරමු. මේ පින්කම පිළිබඳව විස්තර www.nisalavila foundation.com වෙතින් ලබාගත හැකි ය.

Comments