දළදා පෙරහරට සිටුවන“කප” මාවනැල්ලේ කපන්නේ ඇයි? | සිළුමිණ

දළදා පෙරහරට සිටුවන“කප” මාවනැල්ලේ කපන්නේ ඇයි?

මෙවර මහනුවර ඇසළ මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය ලබන 12 වන ඉරිදාට යෙදෙන සුබ මොහොතින් මහනුවර සිවු දේවාලයන් හීදි පැවැත්වේ. එ් වෙනුවෙන් “කප කැපීමේ” චාරිත්‍රය 11 වන සෙනසුරාදා අලුයම මාවනැල්ල අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාල භූමිය ආශ්‍රිතව සිදු කෙරේ. ‘කප’ කැපීමත් - සිටුවීමත් අතර බැඳුණු අපූරු සංස්කෘතික කාරණා සහ එයට පසුබිම් වූ අතීත සිද්ධි ගැන සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

ඇහැළ මල් පිපෙන්නට පටන්ගෙන තිබේ. පාරම්පරික දැනුමෙන් පාරිසරික සාධක සමඟ ගනුදෙනු කර පුරුදු ශ්‍රී ලාංකිකයාගේ හදවත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ කරන ඇසළ පෙරහර සමය ඇරඹී ඇති වගට එය හොඳම නිදසුනකි. රුහුණු මහ කතරගම දේවාලයේ සහ දෙවිනුවර දේවාලයේ ඇසළ උලෙළේ, පෙරහර මංගල්‍යය අවසන් වූයේ පසුගිය පුන් පොහෝ දිනයේය. දැන් එළැඹෙන්නේ කන්ද උඩරට ඒකාලෝක කරන දළදා පෙරහර පූජෝපහාර සමයයි.

අනාදිමත් කාලයක සිට පැවැතෙන දළදා සිරිතට අනුකූලව කෙරෙන පෙරහර චාරිත්‍ර අනුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙන්නේ සිවු දේවාල ආශ්‍රිතව සිදු කෙරෙන “කප් සිටුවීමෙනි”. “කප් සිටුවීම” යන වචනය අපට බෙහෙවින් හුරු පුරුදු එකක් වුවද, එම කාර්යයේ දි ආරක්ෂා කෙරෙන සම්ප්‍රදායයන් සහ චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ නොදැනුවත්භාවය මුසුවූ අනුමානයන්ය. මේ නිසාම ඉරිදා සිළුමිණ වෙනුවෙන් දළදා පෙරහරේ “කප් සිටුවීමේ” චාරිත්‍රයේ සුවිශේෂතා සොයා අපි කන්ද උඩරටට පිවිසුණෙමු.

ඒ අනුව අප මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාරකාර, දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා හමුවීමු. මහනුවර දළදා පෙරහරේ ‘කප් සිටුවීම’ ගැන අසන්නට ඊට සැතැපුම් විස්සක් මෙපිටින් වූ දැඩිමුණ්ඩ දේවාලයට යන්නේ කුමකට දැයි පාඨක ඔබට කුහුලක් ඇති වීම නොවැළැක්විය හැකි වුවද මේ ලිපියේ අවසානයේදි ඒ කුහුලෙන් ඔබ මිදෙනු ඒකාන්තය.

“දඹදෙණි යුගයේ අලුත්නුවර ඉදි වුණු උත්පලවර්ණ දේවාලය තමයි පස්සේ කාලෙක මහනුවරට ගෙනාවේ; ඒ සෙනරත් රජ්ජුරුවන්ගේ කාලේ. එහෙම ගේන්න ප්‍රධානම හේතුව වුණේ දෙවොලට පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණික හමුදා වලින් එල්ලවෙන තර්ජනය. මොකද කෝට්ටේ, සීතාවක හරහා සබරගමුවේ ඉඳන් කන්ද උඩරටට එන ප්‍රධාන පාරේ තමයි මේ දේවාලය පිහිටලා තිබුණේ. දේවාලයේ ආරක්ෂාව වෙනුවෙන් මහනුවරට ගේන කොට මහනුවර තිබුණේ නාථ දේවාලය විතරයි.”

දඹදෙණි යුගයට පෙර උපුල්වන් දේව ඇදහිල්ල සිදු කර ඇත්තේ පහතරට දකුණේ සහ රයිගම් කෝරලයේ ජනතාවය. එම ඇදහිල්ල සබරගමුවට ව්‍යාප්ත වි ඇත්තේ දඹදෙණි යුගයේදීය. දඹදෙණියේ රජකම් කරන ලද දෙවන පරාක්‍රමබාහු රජතුමාට (1234-1269) වැලඳුණු බස විකල් විමේ රෝගයකට භාර වීමට දෙවිනුවරට ගිය දේව පතිරාජ ඇමැතිවරයාට, උපුල්වන් දෙවියන් විසින් සත්‍ය පහදා දීම ගැන පැහැදීමෙන් රජු විසින් අලුත්නුවර උපුල්වන් දේවාලය තනවා තිබේ. ඒ සිය බිසව වූ ගිරුවාස සුනේත්‍රා දේවියට අයත් බිසෝ පත්තුවකය.

මාවනැල්ල අලුත්නුවර උත්පලවර්ණ දේවාලය ඉදි කර ඇත්තේ ක්‍රි.ව. 1258 වසරේදීය. ඒ ස්ථානයේ උත්පලවර්ණ දෙවියන්ගේ ප්‍රධාන අධිකාරම් තනතුර දැරූ දැඩිමුණ්ඩ දෙවියන්‍ෙ වෙනුවෙන්ද පුද පුජා පවත්වා ඇති අතර සෙනරත් රජු දවස 1714 දී උපුල්වන් දෙවොල සහ දේවාභරණ මහනුවර ස්ථාපිත කළ පසුව මෙම ස්ථානයේ දැඩිමුණ්ඩ දේවාලය ඉතිරිවී තිබේ. පසුව 19 වන සියවසේ මුල් භාගයේදී මොල්ලිගොඩ අධිකාරම විසින් දැඩිමුණ්ඩ දේවාලය යළි ඉදිකරවා ඇත.

මහනුවර දළදා පෙරහර පැවැත්වීම පළමු විමලධර්මසූරිය රජු ආරම්භ කළ ද එය විටින් විට පවත්වා නැත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු නිසාය. උත්පලවර්ණ දේවාලය මහනුවරට රැගෙන ගිය අවදියේද මහනුවර වෙනත් පෙරහර උත්සව පැවැතී නැත. “මුල් කාලේ දළදා පෙරහර අඛණ්ඩව කළේ නෑ. ආරක්ෂාව ගැන හිතලා කඩින් කඩ තමයි කරලා තියෙන්නේ. සමහර කාල වල තෙල්දෙණියේ, හඟුරන්කෙත, මැදමහනුවර වගේ පැතිවල තමයි දළදාව සඟවලා තිබිලා තියෙන්නේ. ඒත් උත්පලවර්ණ දේවාලය අලුත්නුවර තියෙද්දි වාර්ෂික සතර මංගල්‍යය හරියට කරලා තියෙනවා. ඒ වෙනුවෙන්ම දෙවිනුවරින් ආ ක්‍රිෂ්ණදාස් මුදියන්සේ පරම්පරාව අලුත්නුවර ඉඳලා තියෙනවා.”

දේවාල සම්ප්‍රදාය අනුව සතර මංගල්‍යය පවත්වා ආශිර්වාද ලබාගැනීම සාම්ප්‍රදායිකව සිදු කරයි. සිංහල ක්‍රමයට වසර ආරම්භයේ සිට පිළිවෙළින් වසර පුරා පෙරහර මංගල්‍යයත්, කාර්තික මංගල්‍යයත්, අලුත්සහල් මංගල්‍යයත්, නානුමුර මංගල්‍යයත් පවත්වන අතර දෙවියන් වෙනුවෙන් පෙරහර මංගල්‍යයේ පැවැත්වීමේ අරමුණ වන්නේ, නින්දගම් වල ගොවි ජනතාවගේ කෘෂිකර්මයට අදාළ කාලගුණික සාධක සැපිරී කෙත්වතු සරු සාර කරගැනීමයි.

“දේවාලෙ නුවරට අරන් යනකොට, රාජකාරි කරුවොත් නුවරට ගියා… අවුරුදු පන්සියයක් කරපු චාරිත්‍ර කඩ නොකර කරන්න ඕන නිසා ඒ වෙනුවෙන් රජතුමාගේ අවසර ඉල්ලුවා… දේවාල ඉඩම් නුවර නැති නිසා සම්පත් සහ පිරිවර අලුත්නුවරින් අරගෙන දේවාල රාජකාරි කරන්න අවසර ලැබුණා…නුවරින් ලැබුණේ ගැටඹේ දිය කැපුම්තොටයි, ගන්නෝරුව නින්දගමයි විතරයි…”

“ඊට පස්සේ කප සිටුවන්න ඕන කිරි ගහේ ඉඳල හැමදේමත්, පිරිවරත් සතර කෝරලෙන් අරගෙන ඇවිත් මහනුවර උත්පලවර්ණ දේවාලේ හතර මංගල්ලේ කරලා තියෙනවා… ඒක අදටත් එහෙමයි… මහනුවර විෂ්ණු දේවාලේ ගොඩක් රාජකාරි කෙරෙන්නේ සතර කෝරලේ, කෑගල්ලේ මිනිස්සු අතින්…”

මහනුවර රජ සමයට පෙර මෙරට පැවැති දේශීය දේව ඇදහිලි ලෙස ඌවට- කඳුරටට සමන් දෙවියන්, දෙවුන්දරට උපුල්වන් දෙවියන්, ඇත රුහුණට මහසෙන් දෙවියන්, මහනුවරට නාථ දෙවියන් සේම කැලණියට විභීෂණ දෙවියන් වෙනුවෙන් පුදපුජා පවත්වා තිබේ.

බටහිර ආක්‍රමණ වලින් මිදීමේ අපේක්ෂාවෙන් දකුණු ඉන්දියාව සමඟ ඥාති සබඳතා ගොඩනගා ගැනීමට මහනුවර පසුකාලීන සිංහල සහ නායක්කාර් රජවරු කටයුතු කළ අතර රජවරුන් විසින් රාජ අනුග්‍රහයෙන් දළදා පුද සත්කාර සිදුවද්දී, මදුරාපුරයෙන් ගෙනා බිසෝවරුනට වන්දනාමාන කිරීමට අවශ්‍ය නිසා හින්දු කෝවිලත්, සතර මහා දේවාලත් දළදා මාලිගාවට නුදුරෙන් ඉදි කිරීමට කටයුතු කෙරිණි. නමුත් මහනුවර යුගයේ නායක්කාර් බලයත් සමඟ හින්දු දේව ඇදහිල්ලට රාජකීය අනුග්‍රහය ලැබීමෙන් සමහර දේශීය දේව ඇදහිලි යටපත් වී තිබේ. සමහර දේව ඇදහිලි හින්දු දේව ඇදහිලි සමඟ ඒකාබද්ධ වී තිබේ. ඒ අනුව උත්පලවර්ණ දෙවොලත්, විෂ්ණු ඇදහිල්ලත් ඒකාබද්ධ වුණූ බව පෙනී යයි.

“පස්සේ කාලෙක මහනුවර උත්පලවර්ණ දේවාලය උත්පලවර්ණ- විෂ්ණු දේවාලය විදියට හැඳින්වුණා… අන්තිමේ උත්පලවර්ණ හැලිලා, නිකම්ම විෂ්ණු දේවාලය වුණා…”

පසුකාලීන හින්දු ආභාෂය මත බොදු දෙවොලක් වන නාථ දේවාලයද වාර්ෂික පෙරහර මංගල්‍යයට සම්බන්ධ වී ඇති අතර, නායක්කාර් බලපෑම මත අලුතෙන් ඉදිවූ කතරගම සහ පත්තිනි දෙවොලද මෙම උත්සවයට සම්බන්ධ වී ඇත. මේ සියලු දේවාල සඳහා කප ලබාදී ඇත්තේ උත්පලවර්ණ - විෂ්ණු දේවාලයට අයත් අලුත්නුවර නින්දගම් කොටුවේ ඉඩකඩම් වලිනි. නායක්කාර් රජවරුන් විසින් දේවාල ආරම්භ කළ ද මෙරට දේවාල සම්ප්‍රදායට කරන ගරුකිරීමක් ලෙස “කප” උත්පලවර්ණ දේවාලයෙන් ලබාගැනීමට කටයුතු කර ඇත. එනම් පෙරහර චාරිත්‍රයේ මුල් තැන උත්පලවර්ණ දෙවොලට ලබාදී ඇත.

“කප කියන්නේ මුල් කණුවකට…. කිසියම් කටයුත්තක මූලාරම්භය සටහන් කරන්න අද දවසේ මුල්ගලක් හිටවනවා වගේ අතිතයේ හිටවලා තියෙන්නේ කණුවක්. කණුවක් හිටවලා, පොල් මල්, පොල්ගෙඩි බැඳලා කිසියම් වැදගත් කටයුත්තක් වෙනුවෙන් සූදානම් වන බවට බාහිර පාර්ශ්වයට හඟවන සංඥාවක් විදියට තමයි කප හිටවලා තියෙන්නේ. පෙරහර වලට, දන්සල් වලට, දෙවොල් මඩු වලට කප සිටුවීම දැනටත් වෙනවා...”

“පසුකාලීනව ආරක්ෂාව තහවුරු වුණහම දළදා පෙරහරත් යළි ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාවේ දළදා පෙරහර පෙරටු කොට සතර දේවාල පෙරහර පවත්වන්න කියලා රජ්ජුරුවෝ නියෝග කරලා තියෙනවා. ඒ අනුව සතර දේවාල පෙරහැරේ උච්චතම අවස්ථාව වන කුඹල් පෙරහරටත්, රන්දෝලි පෙරහරටත්, දවල් පෙරහරටත් දළදා පෙරහර පෙරටු කොට ගෙන දේවාල පෙරහර පවත්වනවා.”

මේ අනුව පැහැදිලි වන කාරණය නම් දේවාල උත්සවයේ අංගයක් ලෙස “දළදා පෙරහර” පැවැත්වීමේ මහනුවර යුගයේ ක්‍රමවේදය, නිදහසින් පසුවද එලෙසම පවත්වාගෙන යන බවය. කෝට්ටේ යුගයට පෙර දළදා පෙරහර පැවැත්වී ඇත්තේ ඒකල පෙරහරක් ලෙසය. එයට දේවාල වල සම්බන්ධයක් තිබී නැත. දැනට දළදාවට කෙරෙන පුද සත්කාර ගැන සැලකිමේදී , එයට කෙරෙන සමහර පූජා විධි සහ තේවාවන්ද හින්දු ආභාෂයෙන් ඇතිවූ ක්‍රමයයන් ලෙස පෙනී යයි. ඒවා ද එක්වී ඇත්තේ මහනුවර යුගයේදිය. කෙසේ හෝ අද වන විටද දළදා පෙරහරේ ආරම්භය ලෙස සලකන “කප් සිටුවිමේ” චාරිත්‍රයේ මූලික කටයුතු කෙරෙන්නේ අතීත සිරිත අනුවම මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භුමියෙනි.

ඒ මහ පෙරහර පැවැත්විමට දින පහළොවකට පෙර අමාවක දින යෙදෙන සුබ මොහොතක සිදු වන “කප කැපීමේ” අවස්ථාවෙනි. දළදා මාලිගයේ නැකැත් මොහොට්ටාල විසින් දියවඩන නිලමේ වරයා හරහා දැනුම් දෙන සුබ මොහොතක “විෂ්ණු දේවාලයේ” රාජකාරී නිලයක් දරන “වන්නකුරාල” මේ “කප කැපීම” සිදුකරයි.

“කප” සදහා තෝරාගන්නේ ඵල නොදැරූ කිරි ගසකි. බොහෝ විට කොස් ගසක් තෝරා ගැනීම සිදු කරයි. “කප කැපීමේ” දිනයට දින දහකටවත් පෙර දවසක විෂ්ණු දේවාලයේ විදානේ රාලත්, දැඩිමුණුඩ දේවාලයේ තේවාව භාරකරුත්, වන්නකු රාලත් නින්දගම් කොටුවේ ඉඩමකට ගොස් සුදුසු ගසක් තෝරා ගනී. ඉන්පසු නැකතට සත් දිනකට පෙර දවසක, ඒ ගස වටා පිරිසුදු කොට, සුදු වට තිර ඇද, උදේ හවා සඳුන් කිරි පැණින් දොවා, සුවඳ දුම් අල්ලා පූජාවන් පැවැත්වීම සිදු කරයි. සත් දිනක් එසේ පූජා සිදු කළ පසු එය පූජනීය සංකේතයක් බවට පත්වේ. ඉන්පසු දින එළැඹෙන නැකැත් දිනයේදී මේ ගස මුලින් කපා, අතු ඉවත් කර, සුදු පිළියෙන් ඔතා හේවිසි, හොරණෑ, මඟුල් බෙර වාදනයෙන් අලංකෘතව, අලි ඇතුන් පිරිවරා මහ පෙරහරින් මහනුවර විෂ්ණු දේවාලයට යාබද, පල්ලේදේවාලය හෙවත් “දැඩිමුණ්ඩ දේවාලය’ වෙත ගෙනයයි.

“කප කපන්නේ රිදී පොරවකින්… ඒක සෙනරත් රජතුමා උත්පලවර්ණ දේවාලෙට පූජා කරපු එකක්. කප කපාගෙන ඇවිත් පැරණි උත්පලවර්ණ දේවාලෙන් අවසර අරන්, දැඩිමුණුඩ දේවාලෙනුත් ආශිර්වාද අරන්, ඇතෙකු පිට විශේෂ ආසනයක තියාගෙන පෙරහරෙන්ම මහනුවරට යනවා. එතකොට හවස තුන හතර වෙනවා. ” කප කැපීමේ අවස්ථාවට සතර දේවාල බස්නායක නිලමේ වරුන්ද, දියවඩන නිලමේ වරයාද, සිවු දේවාල සහ දළදා මාලිගයේ රජකාරිකරුවෝ ද එක්වෙති. පෙරහර ඇරඹෙන්නේ අලුත්නුවර කිර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරයේ භික්ෂූන් වහන්සේ ගේ පිරිත් සජ්කධායනා මධ්‍යයේය.

“පෙරහර නුවරට යනකොට සතර දේවාල බස්නායක නිලමේවරු දැඩිමුණ්ඩ දේවාලය ළග රැස්වෙලා ඉන්නවා… එතැනදි මහනුවර විෂ්ණු දේවාලයේ “වන්නකුරාල” මූලික වෙලා කප කොටස් කරලා, නාථ- විෂ්ණු- කතරගම- පත්තිනි දේවාල වලට පිළිවෙළින් කප භාර දෙනවා… ඒක ඇතෙකු පිට තම තමන්ගේ දේවාල වලට අරගෙන යන බස්නායක නිලමේවරු ඒ ඒ දේවාල වල ඇහැළ ගේ තැන්පත් කරනවා…”

නැකැත් මොහොට්ටාල විසින් ලබාදෙන කප් සිටුවීමේ නැකැත යෙදෙන්නේ පසුදා අලුයමිනි. ඒ සුබ මුහුර්තයෙන් සිවු දේවාල වල “කප සිටුවීම” සිදුවන අතර ලාංකිය සංස්කෘතික අංගයන් අතර අගතැන්පත් ඇසළ මංගල්‍යයද, දළදා පෙරහරද අැරඹෙන්නට සියලු කටයුතු සූදානම් බවට වන සංඥාව රට වැසියා දැනගන්නේ “කප් සිටුවීම” ගැන පුවත ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ පසුවය.

එදිනම උදයේ හෝ සවස ඇරඹෙන සිවු දේවාලයන්ගේ ඇතුළු පෙරහරත්, දින පහකට පසු දළදා මාලිගාවද සම්බන්ධ ව ඇරඹෙන කුඹල් පෙරහර පහත්, තවත් දවස් පහක් පැවැත්වෙන රන්දෝලි පෙරහරත්, පෙහෝ දිනට පසුදින කෙරෙන දවල් පෙරහරත් පැවැත්වීමෙන් සිවු දේවාල වල ඇසළ මංගල්‍යයේ, දළදා පෙරහර චාරිත්‍රය අවසන් වේ. එහෙත් දළදා පෙරහරේ නිමාවෙන් ඇසළ මංගල්‍යය නිමා නොවේ.

බොහෝ දෙනා නොදන්නා ඒ කතාව මීළඟ සිළුමිණෙන්.

(තොරතුරු සැපයීමේදී සහය වූ මහනුවර විෂ්ණු දේවාලයේ විදානේ රාල ලෙස කටයුතු කරන ක්‍රිෂ්ණදාස් මුදියන්සේලාගේ වරුණ බණ්ඩාර මහතාටත්, මහනුවර විෂ්ණු දේවාලයේ වන්නකුරාල ලෙස කටයුතු කරන පල්ලේගෙදර වෙදරාලලාගේ හේරත් බණ්ඩාර මහතාටත් ස්තූතියි.)

ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
සුදම් ගුණසිංහ

 

අදහස්