ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව කොයිබටද? | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව කොයිබටද?

චාමර මිහිරාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මේ දිනවල මියන්මාර් ආසියානු ක්‍රීඩා සමාජ ශූරතාවලිය සඳහා එක්ව සිටියි. රටවල් දහතුනක් නියෝජනය කරමින් කණ්ඩායම් මේ තරගාවලියට එක්ව සිටින අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩාය‍ම දක්වන දක්ෂතා ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ හෙට දවසට බෙහෙවින් බලපානු නොඅනුමානය.

මෙහිදී වඩා වැදගත් වන්නේ ලබන මස මෙරට සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියයි. ඒ අතරම ඉන්දුනිසියාවේ දී මේ මසම පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය බොහෝ කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියට හොඳ පෙරහුරුවක් කරගැනීමට ද ප්‍රබල උත්සාහයක් දරනු ඇත. මේ අතර බහරේන්හි නිමාව දුටු වයස අවුරුදු 20 න් පහළ පිරිමි ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලියේ කණ්ඩායම් 23 ක් අතුරින් දහවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය‍.

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් තරගාවලිය ද නිමා වූ අතර එළඹෙන්නේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියයි. මෙම තරගාවලි දෙක සඳහා පමණක් ගත්තද සංඛ්‍යාත්මක කණ්ඩාය‍ම් පන්දහසකට ආසන්න ප්‍රමාණය බැගින් එක් වුවද ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව තවමත් පසුගාමී තත්ත්වයක පවතින බව නම් නොරහසකි. පෙරට වඩා වොලිබෝල් ක්‍රීඩාව රට පුරාම ජනප්‍රිය නමුත් ජාතික සහ ජාත්‍යන්තර තලයේදී ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව කතාබහ කරන මට්ටමක තිබේද යන්න බලධාරීන් ගැඹුරින් ම විමසා බැලිය යුතු සාධකයකි.

ජාතික තලයේ ක්‍රීඩකයන්ට මෙන් ම ක්‍රීඩිකාවන්ට ද ලැබෙන පහසුකම්, වෙනත් වරප්‍රසාද, ආර්ථිකය පවා මීට වඩා ඉහළ මට්ටමකට ගෙන ආ යුතු ය. මේ සාධකයන් එක මිටකට ගොනුකර ජාත්‍යන්තර තාක්ෂණය, පුහුණුව ආදිය අඛණ්ඩව මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැ‍බේ නම් ජාතික සහ ජාත්‍යන්තර තලයේ මීට වඩා දක්ෂතා අපේක්ෂා කළ හැකි ය. අද අප රටේ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන්ට ඇති තැන ජාතික ක්‍රීඩාවට නොමැතිවීම කණගාටුවට කරුණකි.

වසර දෙකකට පමණ වරක් ජාත්‍යන්තර තරගාවලියකට එක්වී ඉතිරි කාලයම දේශීය තරග බිමේ ලබන අත්දැකීම් ඉදිරියට යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකා ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර වශයෙන් පසුබෑම්වලට ලක්වී තිබෙන්නේ ජාත්‍යන්තර අත්දැකීම්, තාක්ෂණික ක්‍රමෝපායන් මඳකම මිස දක්ෂතාවල අඩුවක් නිසා නොවන බව පැහැදිලිය. වසර පුරා කෙසේ වෙතත් දකුණු ආසියානු මට්ටමේ හෝ තරගාවලි දෙක තුනක්වත් ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට තරග කරන්න ලැබේ නම් මීට වඩා කතාබහ කරන තැනකට වොලිබෝල් ක්‍රීඩාව ඔසවා තැබිය හැකි ය. බොහෝ විදේශීය කණ්ඩායම් ජාත්‍යන්තර තරගාවලියක් අවසානයේ තවත් තරගාවලියකට එක්වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගම්බිම් බලා යන්නේ විවේක ගැනීමට ය.

අදහස්